Ape Budu Hamuduruwo 85

අපේ බුදුහාමුදුරුවෝ 85

 

සිඛී බුදුහාමුදුරුවෝ 01

දස දහසක් සක්වළ රුක්ෂලතාවන් මලින් ඵලින් බරකල
සිඛී බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වය. 

විසිඑක් කපක් බුද්ධ ශූන්‍ය වීම.

විපස්සි බුදුහාමුදුරුවන්ට පස්සේ ඒ කල්පයද ගෙවිලා ගියා. ඊට පස්සේ කල්ප විසිඑකක්ම බුදුවරු මේ ලෝකයේ පහල වුනේ නැහැ. ඔබට දැන් හිතෙන්න ඕනේ ඔබ අප ඒ කාලය තුල කොතරම් සතර අපා දුක් විඳින්නට ඇතිද කියා. බුදුවරයෙකුගේ නිර්මල බුද්ධ ධර්මය පවතින මේ කාලයේත් මෙතරම් මිනිසුන් පිරිහිලානම් බුද්ධ කියන වචනයක් වත් ඇසීමට නොමැති කාලයක ලෝකයේ තත්ත්වය හිතාගන්නටත් බැහැ.

රන් පැහැයෙන් බබළන පභාවතී අග මෙහෙසිය.

උන්වහන්සේත් සුපුරුදු ලෙස පෙරුම් පුරමින් පැමිණ පාරමිතා සම්පුර්ණ වූවායින් පස්සේ තුසිත දෙවුලොව ඉපදී එයින් චුත වුණේ බුද්ධත්වය අපේක්ෂාවෙන්. ඒ භාග්‍යය ලැබුණේ භාරතයේ අරුණවතී නුවරට. පියාණන් වහන්සේ වුණේ පරම ගුණයෙන් යුත් අරුණවත රජතුමා. උන්වහන්සේගේ මෑණියෝ වුනේ පභාවතී අග මෙහෙසිය. ඇය රූසිරියෙන් අග තැන්පත් රන් පැහැයෙන් බබළන ස්ත්‍රියක්. පභාවතී දේවියගේ කුසතුල දසමාසයක් ගෙවුවේ දෙවියන්ගේ ආරක්ෂාව මැද්දේ. එය සෑම බෝසත්වරයෙකුටම ලැබූ ආශීර්වාදයක්.

සුවිසිදහසක් රූමත් තරුණ ස්ත්‍රීන්ගේ පුද සත්කාර

එලෙස දසමසක් ඇගේ කුසතුළ වැඩුණු බෝසත් බිලිඳා මෙලොව එලිය දුටුවේ නිපක උයනේ. නිමිති කියනන් උන්වහන්සේට නම් තබන දිනයේ සිඛාවක් මෙන් උණ්හීසය උඩනැගී හෙයින් සිඛී යනුවෙන් නම් කළා. උන්වහන්සේ අවුරුදු හත්දහසක් ගිහිගෙයි ගතකලේ සුචන්දකසිරි, සීරියස නාරිවසභ නම් අධිසුඛෝපභෝගී මාළිගා වල. සබ්බකාමා දේවිය පෙරටුකොට සුවිසිදහසක් රූමත් තරුණ ස්ත්‍රීන් උන්වහන්සේට ඇප උපස්ථාන කළා.

අභිනික්මණ

උන්වහන්සේත සතර පෙරනිමිති දැක සසර කලකිරී අතුල නම් පුතු උපන්දිනයේ ගිහිගෙයින් නික්මෙමින් අභිනික්මන් කලේ ඇත්යානයෙන්. ඒ තිනියම නෙවෙයි. හැත්තෑලක්ෂයක් පිරිවර සමග. උන්වහන්සේ සමග ඒ හැත්තෑලක්ෂයක් වූ පිරිවරම තපස් පැවිදි දිවියට අතුලුවුණේ සංසාරයේ පතාගෙන පැමිණි හැටියටමයි. ඒ මහා පිරිවර පිරිවැරූ උන්වහන්සේ අටමසක් ප්‍රධාන විර්යය වඩමින් ගතකලා. සෑම මෙහෙයක් ඉටුකිරිමටම සංසාරේ පතාගෙන ආපු බොහෝ දෙනා පෙළ ගැසී සිටිය නිසා කිසි දෙයක් අහඹුවක් වුණේ නැහැ. ඒ තවත් වෙසක් පුන්පොහෝ දිනයක්. සුදස්සන නියම්ගමේ පියදස්සි සිටුතුමාගේ දියණිය මීකිරිබත් එදින උදේම පිළියල කලේ මේ බව දැනගෙන නෙවෙයි. සංසාරේ පතාගෙන ආපු අධිෂ්ඨානය පින සමග මතුවීමෙන්.

දසදහසක් සක්වළ රුක්ෂලතාවන් බුද්ධත්වය වෙනුවෙන් මලින් ඵලින් බරවීම.

ඒ මිකිරිබත් වැළඳු සිඛී බෝසතාණෝ තරුණකිනිහිරි වනයෙහි දිවා කාලය ගතකලා. ඒ අතරතුරදී තමයි අනෝමදස්සී නම් තවුසා පැමිණියේ. ඔහුත් ඔහුගේ සංසාරේ පැතුම ඉෂ්ඨ කරගත්තේ අටතණමිට ලබාදීමෙන්. සිඛී බෝසතාණෝ ඒ අටතණමිටත් රැගෙන පුණ්ඩරික බෝධිය වෙත එළඹුණේ තනිවම. ඒ පුණ්ඩරික බෝධියද මිට පෙර කියූ පාඨලි බෝධිය ප්‍රමාණයම වුනා. එදිනම එය පනස් රියන් කඳ ඇතිව නැගී සිටියා. ඒ බුදුබව ලැබීමට සෙවන සැදීමට ස්වභාව ධර්මයෙන් කරනු ලබන ආශීර්වාදයක් ලෙස.  එහි ශාඛාද පනස් රියන් පමණ වුණා. සියලු ශාඛා සුවඳති මලින් ගැවසී ගත්තේ පරිසරයම සුවඳවත් කරමින්. මලින් පමණක් නොව ඵල සහිතද වුණා . එක පැත්තකින් තරුණ ගෙඩි. තව පැත්තකින් මැදිවියේ ගෙඩි. තවත් පැත්තකින් වඩා නොපැසුණු ගෙඩි. තවත් පැත්තකින් පැසුණු දිවඕජා මෙන් සුරස වර්ණ ගන්ධ රස සම්පන්න ගෙඩි තැන තැන එල්ලෙමින් තිබුනා. ඒ විතරක් නෙවෙයි. එදා දස දහසක් සක්වලම මල් හටගන්නා ගස් මලින්ද ඵල හටගන්නා ගස් ඵලින්ද යුක්ත වුණා කියලා කියනවා. ඒ තමයි සිඛී බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යමහිමය. ඒ ස්වභාව ධර්මයේ අනේක ආශීර්වාද මැද මාර පරාජය කරමින් තවත් බුදුවරයෙකු එලෙස ලොව්තුරා බුද්ධත්වයට පැමිණුනා.

Ape Budu Hamuduruwo 84

අපේ බුදුහාමුදුරුවෝ 84

 

විපස්සී බුදුහාමුදුරුවෝ 03

විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ විපස්සී බුදුරදුන්ගේ (උපන්) නුවර’’බන්ධුමතී’’ නම් වී. පිය තෙම’’බන්ධුමන්තු’’ නම් රජය. වැදූ මව්’’බන්ධුමතී’’ දේවිය වූවාය.

ඒ විපස්සී බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු අට දහසක් ගිහිගෙයි වාසය කෙළේය. ’’නන්‍ද’’ ය’’සුනන්‍ද’’ ය,’’සිරිමන්තු’’ යන උතුම් තුන් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද’’සුතනා’’ නම් වූවාය. පුත් තෙම’’සමවත්තක්ඛන්‍ධ’’ නම්.

(විපස්සී) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රථ යානයෙන් (රියකින්) මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

බඹහු විසින් අයදනා ලද්දේ, මහා වීරවූ, නර දෙටු විපස්සී ලෝනා හිමිඳු’’මිගදාය’’ නම් නගරයෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ විපස්සී බුදුරදුන්ට,’’ඛණ්ඩ’’ ද,’’තිස්සනාම’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම’’අසෝක’’ නම් වී.

’’චන්‍දා’’ ද,’’චන්‍දමිත්තා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක’’පළොල්’’ ගස යයි කියනු ලැබේ.

’’පුනබ්බසුමිත්ත’’ ද,’’නාග’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සිරිමා’’ ද,’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

විපස්සී ලෝනාහිමිඳු අසූ රියනක් උස්විය. උන් වහන්සේගේ පැහැය සත් යොදුනක් තැන් දුවයි.

ඒ කාලයෙහි (විපස්සී) බුදුරජුන්ට අවුරුදු අසූ දහසක් ආයුෂ වී. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.

බොහෝ දෙවි මිනිසුන් සසර බැඳුමෙන් මිදෙව් සේක. මග හා නොමග සෙසු පුහුදුන්ට වදාළ සේක.

ඒ (විපස්සී) බුදුරජතෙම ආලෝකය දක්වා, අමාපදයයි කියන ලද නිවන් තැබීමට කරුණුවූ දහම් දෙසා, ගිනි කඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

උතුම් ඍද්‍ධියද, උතුම් පිනද, (සක්) ලකුණු ආදිය කරණ කොට මල් පිපුණු ගසක් මෙන් අලංකාර ශරීරයද, සියල්ල අතුරුදන් විය. සියළු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද?

නුවණ (නොහොත් වීර්‍ය්‍යය) ඇති විපස්සී ජිනරාජ තෙම සුමිත්තාරාමයෙහිදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය (දාගැබ) සත් යොදුනක් උස්වී. (හෙවත් සත් යොදුනක් උසට බඳින ලද්දේය.)

 

Ape Budu Hamuduruwo 83

අපේ බුදුහාමුදුරුවෝ 83

විපස්සී බුදුහාමුදුරුවෝ 02

මංගල ධර්ම දේශණය

විපස්සි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණුනායින් පස්සේ උදන් අනා බෝ සමීපයෙහිම සත් සතිය ගෙවා මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන දිවැසින් ලොව දෙස බලන්නට වුනා. ඒ අවස්ථාවේ තම සුළු මවගේ පුත් ඛණ්ඩ කුමරුගේ ද, පුරෝහිතගේ පුත් තිස්ස කුමරුගේද හේතුසම්පත් දකින්නට වුනා. ඒ මොහොතේම ඛේම මිගදායෙන් අහසෙන් බැස උයන් පාලක ලවා ඔවුන් දෙදෙනා කැඳවා පිරිවර මැද ඔවුනට දම්සක් පවත්වන්නට වුණා.  ඒ අවස්ථාවේ ධර්මාවබෝධයට පැමිණි දෙවියන්ගේ ප්‍රමාණය සීමාවක් නැහැ කියලයි අට්ඨ කතාවේ සඳහන් වෙන්නේ.

 ඒකාලේ අප මහා බෝසතාණෝ මහර්ධිමත් මහානුභාව ඇති අතුල නම් නාරජව සිටියේ. උන්වහන්සේ නොයෙක් කෙළගණන් නාපිරිවර සහිත අසම සිල්බල ඇති, කරුණාවෙන් බරිත වූ සිහිල් සිත් ඇති අතිශය බලපරාක්‍රමයක් යුතුව වැඩ සිටින අතරේ තමයි විපස්සි බුදුරජාණන් වහන්සේ ලොව පහල වී ඇති බව දැනගන්නට ලැබුනේ. උන්වහන්සේ මුලින්ම කරන්නේ ඒ දසබලයන් වහන්සේට සත්කාර කරනු පිණිස සඳමඩල වන් රුවන්මුවා දර්ශණීය මණ්ඩපයක් කරවීමයි. ඉන් අනතුරුව එහි වඩාහිඳුවා සතියක් දෙවුසැපතට අනුරූප මහදන් පුදන්නට වුනා. අවසානයේ සත්රුවනින් සැරසූ මාහැඟි රන්මුවා නන් මිනිරැස්දහරින් බබළන පුටුවක් පුජා කරමින් මහත් වූ ශ්‍රද්ධාවෙන් වන්දනා කරමින් නොසැලී සිටියා. එකල්හි ඒ මහාකරුණිකයාණෝ ඔහුට පීඨාදානානුමෝදනා වශයෙන් මෙතෙම මෙයින් එකානුවන කප්හි ගෝතම නමින් බුදුවන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා. නැවතත් දිව්‍යමය සාදුකාරය අත්පොලසන් හඬ සක්වලෙන් සක්වලට පතුරුණා. අප මහා බෝසතාණෝ තවත් නියත විවරණයක් අපව සතර අපායෙන් ගලවන්න ලබාගෙන සසර නතර වුනේ එලෙසයි.

Ape Budu Hamuduruwo 82

අපේ බුදුහාමුදුරුවෝ 82

 

විපස්සී බුදුහාමුදුරුවෝ 01

ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ නැවතත් අන්තර් කල්ප සහිත වූ කල්පයක් ගෙවිලා ගියා. නිකම්ම නිකම් කල්පයක් වශයෙන් හැඳුන්වුවාට ගණනය කල නොහැකි කාලයක් තමයි අපි එලෙස අද ඊයේ වගේ හඳුන්වන්නේ. පසුව කල්ප ගැන වෙනම විස්තරයක් ලියන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බුද්ධශුන්‍ය කාල වල අපිත් සතර අපායේ සැරිසරන්නට ඇති. කෙසේ හෝ ඒ අවාසනාවන්ත අවිද්‍යා අඳුර මකාලමින් විපස්සි නම් ශාස්තෘන් වහන්සේ ලොව පහලවුණා. ඒ නානාමාදිලියේ රුවන් කාන්ති සමූහයෙන් දිදුලන තුසිත දෙවුලොවින් චුතවී.

උන්වහන්සේ මෙළොව එලිය දුටුවේ බන්ධුමතී නුවර බන්ධුමතී අගමෙහෙසියගේ කුසේ. දෙවියන්ගේ සියලු ආරක්ෂාවන් මැද දසමස් ඇවෑමෙන් ඛේම මිගදායෙහි වලාරොදින් මිදි පුන්සඳ සේ මෙලොවට බිහිවුණා. උන්වහන්සේට නම් තබන දිනයේදී ලක්ෂණ පාඨකයෝද නෑයෝද දිවා රෑ අතර තුර මොහොතුකුදු අන්ධකාරයක් නොමැතිව පිරිසිදුව දක්නේය, වීවෘත ඇසින් දක්නේය යයි කියා විපස්සි යනුවෙන් නම් කරනු ලැබුවා. තවත් විමසා විමසා දකින්නේ යන නමින් විපස්සි වශයෙන් නම් කළා කියලත් කියනවා.

උන්වහන්සේ අවුරුදු අටදහසක් ගිහිගෙයි ගතකලා. ඒ සඳහා ඉතාමත් දැකුම්කලු ප්‍රාසාද තුනක් උන්වහන්සේටත් හිමිවුණා. ඒවා නමින් නන්ද සුනන්ද සිරිමා නම් වුණා. සුදස්සනා දේවිය ප්‍රමුඛ කොට ස්ත්‍රීන් එක්ලක්ෂ විසිදහසක් උන්වහන්සේ වෙනුවෙන් සේවයේ නිරතවුණා. සුදස්සනා දේවියට” සුතනු” යනුවෙන්ද හඳුන්වනවා.  අනේක වූ රජ සැප සම්පත් විඳිමින් එලෙස අවුරුදු අටදහසක් ගතවුණා. අවසානයේ උන්වහන්සේටද දෙවියන් විසින් සතර පෙරනිමිති පෙන්නුවේ සුදස්සනා දේවිය සමවත්තකඛන්ධ පුතු මෙලොවට බිහිකළ දිනයෙමයි.

එදින රාත්‍රියේම උන්වහන්සේ මහභිනික්මන් කලේ ආජඤ්ඤ රථයකින් අසුහාරදහසක් පිරිවර සමග. ඒ සියලුම දෙනා උන්වහන්සේ සමග තපස් මහණ දිවියට අතුලුවුණා. ඒ මහා පුරුෂයාණන් වහන්සේ ඔවුන් සමගින් පුර අටමසක් ප්‍රධාන විර්යය වැඩුවා. අවසානයේ මෝහ අන්ධකාරය දුරලා ලොවට තවත් අලුත් ඉරක් උදාකරන තවත් වෙසක් දිනක් එළඹුණා. එදින උදෙන්ම සුදස්සන සිටුදියණිය ගෙනවිත් දුන් මීකිරිබත් වළඳා කුසුමින් සමලංකෘත සාලවනයෙහි දිවාවිහාර ගෙවා සුජාත නම් යුවලක දුන් අටතනමිට ගෙන සමලංකෘත පළොල් බෝධිය දැක දකුණු දිගින් ඒ වෙත එළඹුනා.

විශේෂිත පළොල් බෝධිය.

ඒ පළොල් බෝධිය ගැන විශේෂ වර්ණාවක් තියෙනවා. එය මෙහෙමයි. ඒ පළොල් බෝධිය සමවටකඳ ඇත්තේය. එදින පනස්රියන්ව උඩට නැගුනේය. ශාඛාව පනස්රියන්ය. උසින් රියන් සියයක් විය. එදිනම පළොල් රුක කර්නිකබද්ධ වුවක් මෙන් සුවඳ මලින් මුල පටන් හැමලෙසින්ම ගැවසී ගත්තේය. ඒ මල් වලින් දිවසුවන්ද දසත හමයි. එකල්හි මෙම රුක පමණක් නොවිය. දසදහසක් සක්වළ අභ්‍යන්තරයෙහි ධජමාලයෙන් අකූල විය. ඒ ඒ තැන්වල මලාගුල විසිරී නන් සුවඳ කුසුමින් පොළෝතලය සුවඳ දුමින් අඳුරු විය. 

ඒ ආශ්චර්යමත් රුක වෙත පැමිණි විපස්සි බෝසතාණෝ තෙපනස් රියන් පුළුදෙති තණ ඇතිරි අතුරා බුදුබව ලබනතුරු නොනැගිටිමි යන ප්‍රතිඥා කොට වැඩ සිටින්නට වුණා. එසේ වැඩහිඳ මාරු සහිත මැරබල නසා බුද්ධත්වයට පැමිණ තවත් අඳුරෙන් වැසි තිබු කල්පයක් ඒකාලෝක කරන්නට වුනා.

Ape Budu Hamuduruwo 81

අපේ බුදුහාමුදුරුවෝ 81

 

ඵුස්ස බුදුහාමුදුරුවෝ 03

ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.

මහර්ෂීවූ ඵුස්ස බුදුරදුන්ගේ (උපන්) නුවර’’කාසි’’ නම් වී. පිය තෙම’’ජයසේන’’ නම්. වැදූ මව්’’සිරිමා’’ නම් වූවාය.

ඵුස්ස බුදුරජතෙම අවුරුදු හය දහසක් ගිහිගෙයි විසී. ’’ගරුළ’’ ය,’’හංස’’ ය,’’සුවන්නභර’’ ය යයි උතුම් පහයක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරින්ද’’කිසාගොතමී’’ නම් වූවාය. පුත් තෙම’’අනූපම’’ නම් වී.

පුරුෂොත්තමවූ බුදුරජතෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයකින් මහබිනික්මන් කෙළේය. සමසක් ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ, නරදෙටුවූ,’’ඵුස්ස’’ නම් ලොවග නාහිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, උතුම් මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ’’ඵුස්ස’’ බුදුරදුන්ට,’’සුඛිත’’ ද’’ධම්මසෙන’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම’’සභිය’’ නම් වී.

’’සාලා’’ ද,’’උපසාලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක’’නෙල්ලි’’ ගස යයි කියනු ලැබේ.

’’ධනඤ්ජය’’ ද,’’විසාඛා’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’පදුමා’’ ද,’’නාගා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

ඒ ඵුස්ස මුනිඳු තෙමේ පණස් අට රියනක් උස්වූයේ, සහස් රැස් (හිරු) මෙන්ද, පුන් සඳ මෙන්ද බබලයි.

ඒ කාලයෙහි අවුරුදු අනූ දහසක් ආයුෂය ඇත්තේය. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා (බව සයුරෙන්) එතර කළ සේක.

අපමණ යසස් ඇති ඒ ශාස්තෲන් වහන්සේද, බොහෝ සත්ත්‍වයන්ට අවවාද කොට මහජනයා (සසරින්) එතර කොට, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.

ශාස්තෘවූ ඵුස්ස ජිනරාජතෙම ජේතවනාරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්හි (උන්වහන්සේගේ) ධාතු පැතිරීම වී.

අටළොස්වන බුද්ධවංශය සමාප්තයි