භාගවතුන් වහන‍්සේගේ අවවාදය භාරගත යුතුබව.

ගෝතමක සූත්‍රය.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර ගෝතමක චෛත්‍යයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක.
මහණෙනි, මම විශිෂ්ටඥානයෙන් අවබෝධ කොට දහම් දෙසමි. අවබෝධ නොකොට නො දෙසමි. මහණෙනි, මම හේතු සහිත කොට දහම් දෙසමි. හේතු රහිත කොට නො දෙසමි. මහණෙනි, මම ප්‍රත්‍යනීකධර්‍මයන් නෙරලීම් සහිත කොට දහම් දෙසමි. නෙරලීම් රහිත කොට නො දෙසමි.
මහණෙනි, අවබෝධ කොට ගෙණ දහම් දෙසන අවබෝධ නොකොට නො දෙසන, නිදාන සහිත කොට ගෙණ දහම් දෙසන, නිදාන රහිත කොට නො දෙසන, ප්‍රත්‍යනීකධර්‍මයන් නෙරලීම් සහිත කොට ගෙණ දහම් දෙසන, නෙරලීම් රහිත කොට නො දෙසන ඒ මාගේ අවවාදය කළ යුතුය. අනුශාසනා කළ යුතුය.
මහණෙනි, “භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය හ, ධර්‍මය ස්වාඛ්‍යාතය, සඟහු සුප්‍රතිපන්නයහ”යි තොපට තුෂ්ටියට නිසිය. සතුටු සිත් ඇති සෙයට නිසිය. සෞමනස්‍යයට නිසිය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. ඒ සියමනා මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව තුස්නවුහු. මේ වෙය්‍යාකරණය වදාරණු ලබත් ම සහස්‍රී ලෝකධාතුව කම්පිත විය.



භාග්‍යවතුන්වහන්සේ විසින් මෙම සූත්‍රය අර්ථොත්පත්තියෙහි පවසනලදැයි දතයුතුය. කවර අර්ථොත්පත්තියකද යත්? මුලපරියාය අර්ථොත්පත්තියෙහිය. බොහෝ බමුණු පැවිද්දෝ තමන් උගත් බුද්ධවචනය නිමා දැනීම් (දන්නේය යන) මදය උපදවා සම්මා සම්බුදුන්වහන්සේ දෙසනසේක් අප දන්නා දෙයම පවසන සේක. නොදත් දෙයක් නොවේයයි ධර්මශ්‍රවණ ශාලාවට නොයත්. භික්‍ෂූහු දෙසුමෙන් ආගිය තැන් නොදුටුහ. නොදක්නාහු සම්මා සම්බුදුන්වහන්සේ මගේ කථාවෙන් බැහැරවන සේකැයි මුවට පැමිණියක් පවසන්සේකැයි සිතුවාහුය. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ සිතදැන මේ සූත්‍රාන්තය ඇරඹූසේක.



මේ ස්කන්‍ධපස, දොළොස් ආයතන, අටළොස්ධාතු, දෙවිසි ඉන්‍ද්‍රිය, සිවුසස්, හේතු නවය, ස්පර්‍ශපස, වෙදනාසත, චෙතනා සත, සංඥාසත, සිත්සතැයි දැන, මානව දැන, ප්‍රත්‍යක්‍ෂ කොට එසේ මේ සතර සතිපට්ඨානයයි ආදී ක්‍රමයෙන් ඒ ඒ ධර්මයන් දැන මනාව දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රත්‍යය සහිත කොටම කියමි. ප්‍රත්‍යයරහිතකොට නොවේ. විරොධතා ඉවතලීමෙන් ප්‍රාතිහාර්ය සහිතවූවක්ම කොට කියමි. ප්‍රාතිහාර්ය රහිතවූවක් කොට නොවේ. නුඹලාට යුතුදෙයයි. සම්මා සම්බුදුන්වහන්සේ භාග්‍යවත්වූසේක. ධර්මය මනාව කියනලද්දේය. සංඝයා මනාව පිළිපන්නේයයි තෙරුවන ගුණවශයෙන් සිහිකරන්නාවූ නුඹලාට සතුටුවීම සුදුසුය. යන අර්ථයි. සෙසුපද දෙකෙහිද එම ක්‍රමයමයි.

නොකළයුතු වෙළදාම් පහ

පඤ‍්චිමා භික‍්ඛවෙ, වණිජ‍්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ‍්ච:
මහණෙනි, උවසුහු විසින් අකරණීය (නොකටයුතු) මෙ වෙළදාම් පසෙකි. කවර පසෙකින් යත්:

සත්‍ථවණිජ‍්ජා, සත‍්තවණිජ‍්ජා, මංසවණිජ‍්ජා, මජ‍්ජවණිජ‍්ජා, විසවණිජ‍්ජා.
ශස්ත්‍රවාණිජ්‍ය (සත්ත්‍ව හිංසා පිණිස වූ අවි වෙළෙඳාම) ය, සත්ත්‍වවාණිජ්‍ය (වහල් වෙළෙඳාම) ය, මාංසවාණිජ්‍ය (මස් පිණිස සතුන් වෙළෙඳාම) ය, මද්‍යවාණිජ්‍ය (මත්පැන් හා මාදක ද්‍රව්‍ය වෙළෙඳාම) ය, විෂවාණිජ්‍ය (වස වෙළෙඳාම) යි.

ඉමා ඛො භික‍්ඛවෙ, පඤ‍්ච වණිජ‍්ජා උපාසකෙන අකරණීයාති.
මහණෙනි, උවසුහු විසින් නො කටයුතු මේ වෙළදාම් පස යි.

සිතේ ආයුෂය

ඉමස්‌මිං පනත්‌ථෙ මිලින්‌දරාජා ධම්‌මකථිකං නාගසෙනත්‌ථෙරං පුච්‌ඡි, ‘‘භන්‌තෙ නාගසෙන, එකස්‌මිං අච්‌ඡරාක්‌ඛණෙ පවත්‌තිතචිත්‌තසඞ්‌ඛාරා සචෙ රූපිනො අස්‌සු, කීව මහාරාසි භවෙය්‍යා’’ති? ‘‘වාහසතානං ඛො, මහාරාජ, වීහීනං අඩ්‌ඪචූළඤ්‌ච වාහා වීහිසත්‌තම්‌බණානි ද්‌වෙ ච තුම්‌බා එකච්‌ඡරාක්‌ඛණෙ පවත්‌තිතස්‌ස චිත්‌තස්‌ස සඞ්‌ඛම්‌පි න උපෙන්‌ති, කලම්‌පි න උපෙන්‌ති, කලභාගම්‌පි න උපෙන්‌තී’’ති (මි. ප. 4.1.2).
 
ඉහතින් දැක්වෙන්නේ සංයුක්ත නිකායේ නිදානවග්ග අට්ඨකතාවේ සඳහන් වන කොටසකි.
 
මිලිඳු රජු ධම්මකථික වූ නාගසේන මහ තෙරුන් වහන්සේගෙන් මෙම ප්‍රශ්නය ඇසුවේ ය.
 
ස්වාමීනි නාගසේනයන් වහන්ස එක අසුරු සැනක දී ඇති වන්නා වූ චිත්ත සංස්කාරයන් රූපමය ආකාරයෙන් වේ  නම් කොපමණ රාශියක් ( විශාලත්වයක්  ) වන්නේ ද ?
 
ගැල් ( යාල ) 150 කුත් අමුණු 7 කුත් ලාස් 2 ක් යන ප්‍රමාණයෙහි ඇත්තාවූ වී ඇට ප්‍රමාණය,
 
අසුරු සැනක දී ඇති වන්නාවූ සිත් ප්‍රමාණය හා සංසන්දනය කිරීමේදී
 
ගණනට ද නො එන්නේ ය,
 
කලාවටද නො එන්නේ ය,
 
කලාවෙන් කොටසටද නොඑන්නේය.
 
( කලාව යනු යම් දෙයක් 16 වතාවක් 16න් බෙදූ කල ලැබෙන ප්‍රමාණයයි )
 
( යාල 1 ක ඇති වී ඇට ප්‍රමාණය   6,33,60,000 බව සිංහල මිලින්ද ප්‍රශ්නයෙහි සඳහන් කර ඇත )

භික්ෂූන් වහන්සේ විසින් නො යා යුතු කුලය.

“නවහි භික්ඛවේ අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං. උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං. කතමෙහි නවහි? න මනාපේන පච්චුට්ඨෙන්ති. න මනාපේන අභිවාදෙන්ති. න මනාපේන ආසනං දෙන්ති. සන්තමස්ස පතිගූහන්ති. බහුකම්පි ථෝකං දෙන්ති. පණිතම්පි ලූඛං දෙන්ති. අසක්කච්චං දෙන්ති නො සක්කච්චං. න උපනිසීදන්ති ධම්මසවනාය, භාසිතස්ස න රසීයන්ති ඉමෙහි ඛෝ භික්ඛවේ නවහි අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා. නාලං උපගන්තුං වා උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.”
 
මෙහි අදහස මෙසේ ය.
 
මහණෙනි, අංග නවයකින් යුක්ත වූ කුලය (පවුල) නො එළඹියේ නම් එළඹීමට ද, එළඹියේ නම් වැද හිඳීමට ද නුසුදුසු ය. කවර අඞ්ග නවයකින් ද යත්?
 
(1) භික්ෂූන් වහන්සේ දුටු කල්හි සතුටින් හුනස්නෙන් නො නැගී සිටිත් ද,
 
(2) සතුටින් නො වඳිත් ද,
 
(3) සතුටින් ආසනයක් නො දෙත් ද,
 
(4) ඇත්තා වූ දෙය සඟවත් ද,
 
(5) බොහෝ ඇත ද ස්වල්පයක් දෙත් ද,
 
(6) ප්‍ර‍ණීත දෑ ඇත ද අප්‍ර‍ණීත දෙයක් දෙත් ද,
 
(7) නො මනා කොට දෙත් ද,
 
(8) ධර්මශ්‍ර‍වණයට එළඹ නො හිඳිත් ද,
 
(9) දේශනය කරන ධර්මයට සතුටු නො වෙත් ද,
 
මහ‍ණෙනි! මේ නවයක් වූ අංගයන්ගෙන් යුක්ත වූ කුලය නො එළඹියේ නම් එළඹීමට ද එළඹියේ නම් වැද හිඳීමට ද සුදුසු නො වන්නේ ය.

පත්ත නික්කුජ්ජන කර්මය

පත්ත නික්කුජ්ජන කර්මය යනු නො හික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්ථවිරයන් වහන්සේට බොරු චෝදනාවක් ඇති කළ වඩ්ඪනම් වූ ලිච්ඡවී පුත්‍ර‍යාට ය. ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද අටක් ඇත්තේ ය. ඒ මෙසේ ය.
 
“අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තො නික්කුජ්ජිතබ්බො, භික්ඛූනං අලාභාය පරිසක්කති. භික්ඛූනං අනත්ථාය පරිසක්කති. භික්ඛූනං අවාසාය පරිසක්කති. භික්ඛූනං අක්කෝසති පරිභාසති, භික්ඛු භික්ඛූහි භෙදෙති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති. සඞ්ඝස්ස අවණ්ණං භාසති. අනුජානාමි භික්ඛවේ ඉමෙහි අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තං නික්කුජ්ජිතුං”
 
එහි තේරුම මෙසේ ය:
 
මහණෙනි! අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කළ යුත්තේ ය.
 
(1) භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද?
 
(2) භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේ ද?
 
(3) භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නො විසිය හැකි වනු පිණිස උත්සාහ කෙරේ ද?
 
(4) භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරේ ද,
 
(5) භික්ෂූන් භික්ෂූන් හා බිඳවා ද,
 
(6) බුදුන්ගේ අගුණ කියා ද,
 
(7) ධර්මයේ අගුණ කියා ද,
 
(8) සංඝයාගේ අගුණ කියා ද,
 
මහණෙනි, මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කිරීමට අනුදනිමි.
 
පත්ත නික්කුජ්ජන යන වචනයේ තේරුම පාත්‍ර‍ය මුනින් නැවීමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලු ම භික්ෂූන් විසින් පාත්‍ර‍ය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකටවත් ඉන් පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටිය හොත් නැවත සංඝයා රැස් ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සිව්පසය පිළිගැන්වීමට අවකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙ පමණ ය.