බොහෝ පාරිභෝගික වස්තූන් ඇති ජේතවන මහා විහාරයෙහි පාරිභෝගික වස්තුවක් වූ බෝධියක් රෝපණය කළේ කුමට ද?

මහාබෝධිය තථාගතයන් වහන්සේ පරිභෝග කළ වස්තුවකැයි කීවත් එය පාරිභෝගික වස්තුවක් වූයේ තථාගතයන් වහන්සේ ඒ ගස සෙවනෙහි සතියක් වැඩ සිටීමෙන් පමණෙකි. ජේතවනාරාමයේ ගඳ කිළිය උන්වහන්සේ නිතර පරිභෝග කරන තැනකි. දම්සභා මණ්ඩපයෙහි අසුන නිතර පරිභෝග කරන වස්තුවකි. උන්වහන්සේ නිතර පරිභෝග කරන තවත් වස්තු එහි නැත්තේ නො වේ. මහාබෝධිය පාරිභෝගික වස්තුවක් වුවත් එයින් ඇට ගෙන පැළ කරගන්නා බෝධිවලට ඇත්තේ තථාගතයන් වහන්සේ හා ඉතා සුළු සම්බන්ධයෙකි. වඩා පරිභෝගයට පැමිණි වස්තූන් තිබිය දී පූජනීය වස්තුවක් ලෙස බෝධියක් පිහිටවීමේ තේරුම කල්පනා කළ යුත්තකි. මේ ප්‍ර‍ශ්නයට පිළිතුරු කිසි ම බණ පොතක සඳහන් වී නැත. මේ ගැන අප අදහස් මෙසේ ය.

ඇඳ පුටු ආදි පරිභෝග භාණ්ඩයකට වඩා මහජනයා ගේ සිත් ඇද ගන්නා පෙනුමක් බෝධි වෘක්ෂයෙහි ඇත්තේ ය. එයත් බෝධියක් පිහිටවීමේ එක් කරුණක් සැටියට සැලකිය හැකි ය. භූතයන් වෙසෙන මහගස් වලට වැඳුම් පිදුම් කිරීමේ සිරිත බුදුන් වහන්සේ පහළ වන්නට පෙර පටන් දඹදිව වැසියන් අතර පැවැත්තේ ය. ඔවුනට වෘක්ෂවලට පුද පූජා පැවැත්වීම පුරුදු ය. හුරු ය. ඒ නිසා ඔවුන් බුදුන් වහන්සේ උදෙසා කරන පූජාව බෝධිවෘක්ෂයට කිරීමට වඩාත් කැමති විය හැකිය. එයත් බෝධි රෝපණය කිරීමට අදහස් කිරීමේ එක් හේතුවක් විය හැකි ය. අනිකුත් පරිභෝග භාණ්ඩයන් මෙන් බෝධිවෘක්ෂය ගින්නෙන් දියෙන් විනාශ වන්නේ ද නො වේ. සොරුන් ගෙන යන්නේ ද නො වේ. එය ආරක්‍ෂාවක් නැති වුව ද බොහෝ කල් පවත්නේ ය. එයත් ජේතවන විහාරයෙහි බෝධියක් රෝපණය කිරීමට අදහස් කිරීමේ හේතුවක් විය හැකි ය. බුද්ධාගම ලොව ව්‍යාප්ත වූ කල්හි සැම දෙනාට ම වැඳුම් පිදුම් කිරීමට ශාරීරික ධාතු ලබා ගත නො හැකි ය. බුදුන් වහන්සේ පරිභෝග කළ අන් වස්තු ලබා ගැනීමට ද පහසු විය නො හැකි ය. බෝධිවෘක්ෂ වුවමනා තරම් ලෙහෙසියෙන් සපයා ගත හැකි ය. අනාගතයෙහි ලෙහෙසියෙන් සපයා ගත හැකි බෝධිවෘක්ෂවලට වැඳුම් පිදුම් කිරීම මහ ජනයාට පුරුදු කරවීමට ද ජේතවන විහාරයේ බෝධි රෝපණය කළා විය හැකි ය.

 

දැනට බොහෝ දෙනා සිතන කියන පරිදි බුද්ධ ප්‍ර‍තිමාව උද්දේශික චෛත්‍යයක් නම් බුදු රජාණන් වහන්සේ තමන් විහාරයෙහි නැති විටෙක දී වැඳුම් පිදුම් කිරීම පිණිස පිළියමක් සාදවා ගැනුමට නියම නො කළේ කිම?

මෙය ද බුද්ධ ප්‍ර‍තිමාව උද්දේශික චෛත්‍යයක් වශයෙන් පිළිගැනීමට නො කැමති භවතුන් විසින් නඟන ප්‍ර‍ශ්නයෙකි. ආනන්ද ස්ථවිරයන් වහන්සේ චෛත්‍යය ගැන විචාළ කල්හි තථාගතයන් වහන්සේ චෛත්‍ය තුන් වර්ගයක් ඇති බව වදාළා මිස ජේතවනයෙහි යම්කිසිවක් පිහිටවීමට නියමයක් නො කළ සේක. බෝධියක් රෝපණය කරවීම ආනන්ද ස්ථවිරයන් වහන්සේට පහළ වූ අදහසෙකි. ඒ බව බුදුන් වහන්සේට සැල කළ කල්හි උන් වහන්සේ “හොඳයි, ආනන්දය” යි එය අනුමත කළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුද්ධ ප්‍ර‍තිමාවක් කරවන්නට අදහස් කළේ නම් තථාගතයන් වහන්සේ එයත් අනුමත කරනවා ඇත. ඉහත දැක් වූ ප්‍ර‍ශ්නය නගන්නේ බුදුන් වහන්සේ හා ආනන්ද ස්ථවිරයන් වහන්සේ අතර ඇති වූ කථාව වරදවා තේරුම් ගැනීමෙන් විය හැකිය.

උද්දේශික පාරිභෝගික ශාරීරික යන මේවා එකිනෙකට උසස් ය. උද්දේශික චෛත්‍යයක් වශයෙන් බුද්ධ ප්‍ර‍තිමාවක් තැනීම ඉතා අපහසු වැඩකි. බෝධියක් රෝපණය කිරීම ඉතා පහසු ය. පහසුවෙන් කළ හැකි නිසාත් උසස් නිසාත් බෝධියක් රෝපණය කරවීමට ආනන්ද ස්ථවිරයන් වහන්සේ කල්පනා කළා විය හැකි ය. මේ ප්‍ර‍ශ්නයෙහි ඇති වැදගත් කමක් නැත. ජේතවන විහාරයෙහි බෝධි රෝපණය සම්බන්ධයෙන් මෙයට වඩා බොහෝ වැදගත් ප්‍ර‍ශ්නයක් ඇත්තේ ය, ඒ මෙසේ ය.

 

උද්දේශික චෛත්‍යය වන්නේ බුදුරුව පමණක් ද?

උද්දේශික චෛත්‍යය සැටියට සැලකිය යුත්තේ බුදු රුව පමණක් නො වේ. ශාරීරික පාරිභෝගික වස්තු නැතුව තැනූ ස්තූපයටත් වැඳුම් පිදුම් කළ බවත් ඒ පිනෙන් බොහෝ දෙවි මිනිස් සැප ලබා අන්තිමේදී සියලු කෙලෙසුන් නසා රහත් වූ බවත් සෝවණ්ණ කිංකිණිය ථෙරාපදානයෙන් ද, පුලිනුප්පාදකථෙරාපදානයෙන් ද, පුලිනථූපියත්ථෙරාපදානයෙන් ද පෙනේ.

හිමාලය වනයට නුදුරු තැනක පිහිටි ‘යමක’ නම් වූ පර්වතයෙහි පන්සලක නාරද නම් තවුසෙක් විය. ඔහුට තුදුස් දහසක් ශිෂ්‍යයෝ වූහ. එක් දවසක් ඒ තවුස් තෙමේ සිතනුයේ හැම දෙනා ම මා හට වැඳුම් පිදුම් කරන්නාහ. අනුන්ගෙන් වැඳුම් පිදුම් ලබමින් වෙසෙනවා මිස මම කිසිවකුට වැඳුම් පිදුම් නො කරමි. මට අවවාද කරන්නෙක් නැත්තේ ය. ගරු කළ යුතු කෙනකු නැතිව මාගේ මේ වන වාසය නිරර්ථකය, මා විසින් ගරු කළ යුත්තෙක් සොයාගත යුතුය යි සිතා, එබඳු පුද්ගලයකු නො ලැබ සමීපයෙහි තිබෙන ‘අමරික’ නම් ගඟට බැස එයින් වැලි ගෙන ස්තූපයක් කොට අතීතයෙහි විසූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා ගේ ස්තූප මෙවැනිය යි සලකා සමීපයෙහි වැඩ වෙසෙන බුදු කෙනකුන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන් ඒ වැලි සෑයට වැඳුම් පිදුම් කළේ ය. එතුමා ඒ පිනෙන් සසර බොහෝ කලක් දෙව් මිනිස් සැප විඳ අන්තිම ජාතියෙහි සැවැත් නුවර ධනවත් පවුලක ඉපද පැවිදිව සත් අවුරුදු වයසේදී ම රහත් විය. මේ පුලිනථූපිය තෙරුන් වහන්සේ ගේ කථාව ය. තවුසකුව විසූ කාලයේ දී උන් වහන්සේ වැඳුම් පිදුම් කළ වැලි ගොඩ ශාරීරික පාරිභෝගික වස්තුවක් නැති බැවින් අවස්තුක ය. කිසි පූජනීය වස්තුවක් නැත්තා වූ ඒ වැලි ගොඩ චෛත්‍යයක් හෙවත් පූජනීය වස්තුවක් වූයේ ඒ තාපස තුමා ගේ සිතෙහි හටගත් ගෞරවාදරය නිසා ය. තාපස තුමා ගේ ගෞරවාදරය නො වී නම් එය නිකම්ම වැලි ගොඩකි. “උද්දිස්සකං අවත්ථුකං මමායනමත්තමෙව හොති” යන දේශනාවෙන් දැක්වෙන්නේ ඒ කාරණය ය.

තාපස තුමා රැස් කළ වැලි ගොඩ ශාරීරික පාරිභෝගික වස්තූන්ගෙන් තොර බැවින් අවස්තුක වන්නේ ය. එතුමා ගේ ගෞරවාදරය නිසා චෛත්‍යයක් වන්නේ ය. ගෞරවාදරය ඇති කල්හි නිකම් ම වැලි ගොඩ උද්දේශික චෛත්‍යයක් වන්නේ නම්, එයට වැඳුම් පිදුම් කිරීමෙන් නිවන් දැකීමට හේතු වන පිනක් අත්පත් වේ නම්, බොහෝ ජනයා ගේ ගෞරවාදරයට භාජන වන බුද්ධ ප්‍ර‍තිමාව උද්දේශික චෛත්‍යයක් නො වීමටත් එයට වැඳුම් පිදුම් කිරීමෙන් පින් සිදු නො වීමටත් කරුණක් නැති බව නුවණැති කාහට වුවත් තේරුම් යන කරුණෙකි.

 

පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් වැඳුම් පිදුම් කරන්නේ කෙසේ ද?

පරලෝසැපත් ගුණවත් පුද්ගලයන්ට ගරු කිරීමේ ක්‍ර‍මයක් ශිෂ්ට මනුෂ්‍යයන් අතර ඇත්තේ ය. සොහොන් කොත් පිහිටවීම-පිළිරූ පිහිටවීම – ස්මාරක පිහිටවීම – ඒවාට අභිවාදනය කිරීම – මල්වඩම් ආදියෙන් පිදීම යනාදිය මිය ගිය උත්තමයන්ට ගරු කිරීම් වශයෙන් ශිෂ්ට මනුෂ්‍යයන් කරන වැඩ ය. පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් කිරීම් වශයෙන් සැදැහැවතුන් අනුගමනය කරන්නේ ද ඒ ක්‍ර‍මය ම ය. බුද්ධාදි ආර්‍ය්‍යයන් වහන්සේලා උදෙසා කරන සොහොන් කොත් පිළිරූ සිහිවටන් චේතිය (චෛත්‍ය) නාමයෙන් හඳුන්වනු ලැබේ. උත්තම පුද්ගලයන් උදෙසා සොහොන් කොත් ආදිය පිහිටවීම ඒ පුද්ගලයන් ගේ නියෝගයක් හෝ ඉල්ලීමක් නිසා කරන්නක් නො වේ.

මහත්මා ගාන්ධිගේ පිළිරුව තනන ලද්දේ එතුමාගේ නියෝගයක් ඉල්ලීමක් නිසා නොවේ. කොළඹ විහාර මහාදේවි උයනෙහි විහාර මහාදේවි පිළිරුව පිහිටවා ඇත්තේත් – ධර්‍මපාල පිළිරුව – සේනානායක පිළිරුව යන මේවා පිහිටවා ඇත්තේත් ඒ අයගේ ඉල්ලීමක් හෝ නියෝගයක් නිසා නො වේ. එසේ ම තථාගතයන් වහන්සේ උදෙසා චෛත්‍ය පිහිටවීම කරන්නේත් උන් වහන්සේගේ නියෝගයක් නිසා නො වේ. උත්තම පුද්ගලයන් හට තැන තැන දී ගරු කිරීමට කරන මේ වැඩ පිළිවෙල හෙවත් ඒ ශිෂ්ට චාරිත්‍ර‍ය තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍තික්ෂේප කරන ලද්දක් නොව, උන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දකි.

චෛත්‍ය තුන

බුදුරජාණන් වහන්සේ ජනසංග්‍ර‍හය පිණිස ජනපද චාරිකාවෙහි වැඩවදාළ අවස්ථාවල දී සුවඳ මල් ආදිය ගෙන ජේතවනාරාමයට පැමිණෙන බොහෝ දෙනා ඒවා පිදීමට තැනක් නැතිකමින් බුදුන් වහන්සේ වැඩ වෙසෙන ගඳකිළිය දොරකඩ තම තමන් ගෙනා දෑ දමා යන්නට වූහ. එයින් ඒ මිනිස්සු සතුටක් නො ලබන්නාහ. ඒ බව දත් අනේපිඬු මහසිටාණෝ තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙරට පැමිණි කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, තථාගතයන් වහන්සේ නැති කල්හි මේ විහාරය මහජනයාට පිහිටක් නැති තැනක් වන්නේය. මිනිසුන්ට සුවඳ මල් ආදිය ගෙනැවිත් පිදීමට තැනක් මෙහි නැත්තේ ය. මේ කාරණය තථාගතයන් වහන්සේට සැල කොට මෙහි පූජනීය ස්ථානයක් ඇති කළ හැකි ද? නො හැකි ද? යන බව තථාගතයන් වහන්සේගෙන් දැනගනු මැනව” යි සැල කෙළේ ය.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගෙන තථාගතයන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, චෛත්‍ය කොතෙක් ඇත්තේදැ” යි විචාළහ. “ආනන්දය, චෛත්‍ය තුනක් ඇත්තේය” යි වදාළ සේක. “ඒ චෛත්‍ය කවරේදැ” යි විචාළ කල්හි: “ආනන්දය, ශාරීරිකය පාරිභෝගිකය උද්දේසිකය යි චෛත්‍ය තුනක් ඇත්තේය” යි වදාළ සේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ වැඩ ඉන්නා කල්හි චෛත්‍ය කළ හැක්කේදැ” යි විචාළහ. එකල්හි තථාගතයන් වහන්සේ, “ආනන්දය, ශාරීරික චෛත්‍යය නො කළ හැකි ය. එය කළ හැක්කේ බුදුන් පිරිනිවි කල්හිය. උද්දේසිකයට ශාරීරික පාරිභෝගික වස්තු නැත. සිතින් ආදරය කිරීම් මාත්‍රයෙන් උද්දේශික චෛත්‍යය වන්නේය. බුදුන් විසින් පරිභෝග කළ මහාබෝධි බුදුන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක් ම වන්නේ ය”යි වදාළ සේක. මේ ප්‍ර‍වෘත්තිය පිටකත්‍ර‍යට අයත් පොතක සඳහන් වී නැත. මෙය සඳහන් වී ඇත්තේ කාලිංග බෝධි ජාතක නිදානයේ ය: එහි සඳහන් වන පාළිපාඨය මෙසේ ය.

“ආනන්ද සාරීරිකං න සක්කා. තඤ්හි බුද්ධානං පරිනිබ්බුතකාලෙ හොති. උද්දෙසිකං අවත්ථුකං මමායනමත්තමෙව හොති. බුද්ධෙහි පන පරිභුත්තො මහාබොධි බු‍‍‍ද්‍ධෙසු ධරන්තෙසුපි පරිනිබ්බුතෙසුපි චෙතියමෙවා” ති.

මේ දේශනාවෙහි “උද්දෙසිකං අවත්ථුකං මමායන මත්තමෙව හොති” යන පාඨය අර්ථය තේරුම් ගැනුමට අපහසු පාඨයෙකි. බුද්ධ ප්‍ර‍තිමාවලට වැඳුම් පිදුම් කිරීම පිළිබඳ මතභේදයක් පැන නැඟ ඇත්තේ මේ පාඨය නිසා ය. කාරණය ඉතා කොටින් දක්වන මෙබඳු පාඨවල අර්ථය සෙවීමේදී ඒ දේශනාවේ නිදානය සලකා බැලිය යුතු ය. ඒ කාරණය පෙළ අටුවා ආදියෙහි හා තවත් තැන්වල දක්වා ඇති සැටිය ගැන ද බැලිය යුතු ය. ආචාර්‍ය්‍ය පරම්පරාවෙහි පැරණියන් ඒ කාරණය සම්බන්ධයෙන් කෙසේ පිළිපදින ලද්දේ ද යන්න ගැනත් සලකා බැලිය යුතු ය.

මෙබඳු පාඨවල අර්ථය උඩින් පෙනෙන සැටියට ගතහොත් නියම අර්ථය අසු නො වන්නේ ය. ඒ පාඨයේ අර්ථය වරදවා තේරුම් ගත් ඇතැම්හු උද්දේශික චෛත්‍යය වස්තුවක් නො වේය, බුදුගුණ සිහි කිරීම් මාත්‍ර‍ය ම උද්දේශික චෛත්‍යය” යි කියති. එසේ අර්ථය ගැනීම ඒ දේශනාවේ නිදානයට කොහෙත් ම නො ගැලපේ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් චෛත්‍ය ගැන විචාළේ ජේතවනාරාමයට පැමිණෙන ජනයා විසින් වැඳුම් පිදුම් කිරීමට වස්තුවක් ඇති කරනු සඳහා ය. වැඳුම් පිදුම් කිරීමට සුදුසු වස්තූන් අසන කල්හි එයට පිළිතුරු දෙන තැනැත්තා එයට වස්තු නො වන්නක් කියා නම් එය “යන්නේ කොහි දැයි අසන්නා හට මල්ලේ පොල්ය” කීම වැනි කාරණයට නො ගැලපෙන හිස් කථාවක් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ එබඳු හිස් කථා නො කියන්නාහ.

උද්දේසික චෛත්‍යය වැඳුම් පිදුම් කිරීමට තබා ගත නො හෙන සිතීම් මාත්‍ර‍යක් නම්, මෙ තන්හි බුදුරජාණන් වහන්සේ ශාරීරික, පාරිභෝගික චෛත්‍ය දෙක පමණක් දක්වා වදාරනවා මිස, පලක් නැතිව උද්දේශික චෛත්‍යයක් ගැන නො වදාරන්නාහ. මෙ තන්හි උන් වහන්සේ උද්දේශික චෛත්‍යයක් ගැන වදාළේ එයත් වැඳුම් පිදුම් කිරීමට සුදුසු වස්තුවක් වන නිසා ය. උද්දේශික චෛත්‍යය වස්තුවක් නො වේ ය යි කීම දේශනා නිදානයට නො ගැලපෙන බව කියන ලද කරුණු අනුව දත යුතු ය.

චේතිය යන වචනයේ අර්ථය නිධිකණ්ඩ සූත්‍ර‍ අටුවාවෙහි දක්වා තිබෙන්නේ “චයිතබ්බන්ති චෙතියං: පූජෙතබ්බන්ති වුත්තං හොති” එයින් දක්වන්නේ චේතිය යන වචනයේ තේරුම: පූජා කළ යුතු වස්තුවය කියා ය. වැඳුම් පිදුම් කිරීමට වස්තුවක් නො වන දෙයකට ‘චේතිය’ යයි නො කිය හැකි ය. වැඳුම් පිදුම් කිරීමට තබා ගත නො හෙන බුදු ගුණ සිහි කිරීම් මාත්‍ර‍ය චෛත්‍යයක් නො විය හැකිය. උද්දේශික චෛත්‍යය වශයෙන් අවස්තුවක් ගැනීම චේතිය යන වචනයේ අර්ථය හා සැසඳෙන්නේ නො වේ. චේතිය යන වචනයේ අර්ථයට ගැලපෙන්නට නම් උද්දේශික චේතිය සැටියට වස්තුවක් ම ගත යුතු ය. චෛත්‍යය තුන නිධිකණ්ඩ සූත්‍ර‍ අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේ ය:

“තං පනෙතං තිවිධං හොති, පරිභොගචෙතියං උද්දිස්සක චෙතියං ධාතු චෙතියන්ති. තත්ථ බොධි රුක්ඛො පරිභොගචෙතියං, බුද්ධපටිමා උද්දිස්සක චෙතියං, ධාතුගබ්භ ථූපා සධාතුක චෙතියං”

පරිභෝග චේතිය උද්දිස්සක චේතිය ධාතු චේතිය කියා ඒ චෛත්‍යය ත්‍රිවිධ වන්නේ ය. එහි බෝරුක පරිභෝග චේතිය ය, බුද්ධ ප්‍ර‍තිමාව උද්දිස්සක චේතිය ය, ධාතුගර්භ වූ ස්තූප සධාතුක චේතිය ය යනු ඒ අටුවා පාඨයේ තේරුම ය.

බුද්ධ පටිමා උද්දිස්සක චෙතියං යන මේ අටුවා පාඨයෙන් බුදු පිළිමය උද්දේශික චෛත්‍යය බව නිරවුල් ලෙස ම දැක්වේ. ජාතක අටුවාවය, ඛුද්දකපාඨ අටුවාවය යන මේ පොත් දෙක ම සම්පාදනය කර තිබෙන්නේ එක ම ආචාර්‍ය්‍යවරයා විසින් ය. එක ම ආචාර්‍ය්‍යවරයෙක් එක ම කාරණයක් එකිනෙකට විරුද්ධ වන ලෙස නො ලියන්නේ ය. ඛුද්දකපාඨ අටුවාවෙහි බුදු පිළිමය උද්දේශික චේතිය බව කියා තිබීමෙන් උද්දෙසිකං අවත්ථුකං යනාදි පාඨයෙන් ගතයුතු අර්ථයත් යම්කිසි වස්තුවක් ම බව කිය යුතු ය. උද්දෙසිකං අවත්ථුකං යනුවෙන් කියැවෙන්නේ; උද්දේශිකයට ශාරීරික පාරිභෝගික වස්තු නැති බව ය. උද්දේශික චෛත්‍යය වස්තුවක් නො වන බව දැක්වීමට නම් කිය යුත්තේ “උද්දෙසිකං අවත්ථුකං” කියා නොව “උද්දේසිකං අවත්ථු” කියා ය. ශරීරයේ කොටසක් වීමෙන් ශාරීරික චෛත්‍යය වේ. පරිභෝග කළ වස්තුවක් වීමෙන් පාරිභෝගික චෛත්‍යය වේ. මේ බුදුන් වහන්සේ ගේ රූපය යනාදීන් සලකා සිතින් ආදරය කරනු ලැබීමෙන් උද්දේශික චෛත්‍යය වේ. “මමායන මත්තමෙව” යන පාඨයෙන් දැක්වෙන්නේ ඒ බව ය. මමායන මාත්‍ර‍ය ම චෛත්‍යය යි ගතහොත් එය විහිළුවකි. එයින් වන්නේ මහ අවුලෙකි. මමායනය ම චෛත්‍යයක් වශයෙන් ගතහොත් උද්දේශික චෛත්‍යය කියා වැඳුම් පිදුම් කරන්නට සිදුවන්නේ තමා ගේ සිතට ය. එය කළ හැකි වැඩක් ද?

පිරිනිවන් පා වදාළ බුදුන් වහන්සේට පූජා පැවැත්විය යුත්තේ ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි ය. එසේ කළ කල්හි බුදුන් වහන්සේට පූජා කළේ වන්නේ ය. චෛත්‍යයක් නො ලබන කල්හි කොතැනක හෝ බුදුන් උදෙසා පූජා පැවැත්වීම සුදුසු ය. සැදැහැයෙන් පිදුවහොත් බුදුන් උදෙසා කොතැනක පිදුවත් පින් සිදු වේ.

 

බුද්ධප්‍ර‍තිමා තනා ඒවාට වැඳුම් පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ නියම කළ සේක් ද?

මෙයට දිය යුතු කෙටි පිළිතුර නම් එ වැනි නියමයක් තථාගතයන් වහන්සේ විසින් නො කරන ලද්දේය, කියා ය. අනුන් ලවා ගරුබුහුමන් කරවා ගැනීමේ ආශාව – වැඳුම් පිදුම් කරවා ගැනීමේ ආශාව බුද්ධාදි මහෝත්තමයන් වහන්සේලාට නැත. අනුන් ලවා ගරුබුහුමන් වැඳුම් පිදුම් කරවා ගැනීමට උත්සාහ කරන්නේ කෙලෙස් සහිත වූ ලාමක අදහස් ඇති පුද්ගලයන් විසින් ය. සියලු කෙලෙසුන් නසා ‍සිටින ආර්‍ය්‍යයන් වහන්සේලාට ඒ ලාමක අදහස් කොයින් ද?

දිනක් තථාගතයන් වහන්සේ අලුයම් කාලයෙහි ලොව බලා වදාරණ සේක්: එදින ම මැරී අපායෙහි උපදින්නට සිටින රොඩී මැහැල්ලක් දැක, ඇය ලවා තමන් වහන්සේට වන්දවා ඒ පිනෙන් ඇය ස්වර්ගයට පැමිණවීමේ අදහසින් බික්සඟන පිරිවරා රජගහනුවරට පිඬු සිඟා වැඩි සේක. සැඩොල් ගැහැණිය ද සැරයටියක ආධාරයෙන් පෙර මඟ එනවා තථාගතයන් වහන්සේට මුණගැසිණ. උන්වහන්සේ ඇය ඉදිරියේ නැවතුණු සේක. එහෙත් තමන් වහන්සේට වැඳ පින් සිදුකර ගනුව’යි නො වදාළ සේක. මුගලන් මහතෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ ගේ අදහස දැන, ඇය ලවා තථාගතයන් වහන්සේට වන්දවනු පිණිස :-

“චණ්ඩාලි වන්ද පාදානි ගොතමස්ස යසස්සිනො,

තවෙව අනුකම්පාය අට්ඨාසි ඉසිසුත්තමො,

අභිප්පසාදෙහි මනං අරහන්තම්හි තාදිනි.

ඛිප්පං පඤ්ජලිකා වන්ද පරිත්තං තව ජීවිතං” යි

වදාළ සේක. ඕ තථාගතයන් වහන්සේට වැඳ එදින ම කලුරිය කොට දෙව්ලොව උපන්නා ය.

තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් ගාථා කී නිසා කසීභාරද්වාජ බ්‍රාහ්මණයා පිළිගැන්වූ භෝජනය ද නො පිළිගත් සේක. සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා පිළිගැන්වූ ආහාරය ද නො පිළිගත් සේක. තමන් වහන්සේටත් වැඳුම් පිදුම් කරන්නට නියම නො කරන තථාගතයන් වහන්සේ උන් වහන්සේ ගේ පිළිරුව තනා එයට වැඳුම් පිදුම් කරන්නය’යි කෙසේ නම් නියම කරන සේක් ද? නො කරන සේක් ම ය. බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේට ගරු බුහුමන් පූජා සත්කාර කරන ලෙස නියෝගයක් හෝ ඉල්ලීමක් නො කරන නුමුත් උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් සැදැහැවතුන් කරන ගරු බුහුමන් පූජා සත්කාර පිළිගන්නා සේක. එබැවින් බුදුගුණ දන්නා සැදැහැවත්තු ජීවමාන වූ ද, පිරිනිවියා වූ ද තථාගතයන් වහන්සේට ගරු බුහුමන් වැඳුම් පිදුම් කරන්නාහ.