ධාතූන් වහන්සේලා හැඳින ගැනීමට ඒවායේ යම්කිසි ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීමක් ඇත්තේ ද?

ධාතූන් වහන්සේලා හැඳින ගැනීමට ඒවායේ යම්කිසි ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීමක් ඇත්තේ ද?

 

ධාතූන් වහන්සේලාය කියන්නේ පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහන කිරීමෙන් පසු නො දැවී ඉතුරු වූ කොටස්වලට ය. ඒවාට ධාතුය කියන්නේ දැනීමක් නැති නිසාය. සත්ත්ව පුද්ගල භාවයක් නැති නිසා ය. සත්ත්ව පුද්ගල භාවයක් නැති ඒ ධාතූන්ට ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීමේ අදහසක් හෝ උත්සාහයක් කවදාවත් ඇති නොවේ. එබැවින් ධාතූන් වහන්සේලා විසින් ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීමක් නො කරන බව කිව යුතු ය. බුදුන් වහන්සේ විසින් උන් වහන්සේ ගේ සෘද්ධිබලයෙන් මේ ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් යම් කිසි ප්‍රාතිහාර්‍ය්‍යයක් වේවායි අධිෂ්ඨාන කොට තුබුණහොත් ඒ දේ සිදුවිය හැකි ය. මිනිසුන් ගේ ශ්‍ර‍ද්ධාව දියුණු කිරීම පිණිස සමහර විට දෙවියන් විසින් ධාතූන් ගේ ප්‍රාතිහාර්‍ය්‍ය දැක්විය හැකි ය. බලවත් සැදැහැවතුන් ගේ අධිෂ්ඨාන – සත්‍යක්‍රියාවලින් ද සමහර විට ප්‍රාතිහාර්‍ය්‍ය සිදුවිය හැකි ය.

ශාරීරික පාරිභෝගික උද්දේශික

ශාරීරික පාරිභෝගික උද්දේශික වස්තූන්ගෙන් කවරක් 

වැඳුම් පිදුම් කිරීමෙන් වඩා පින් ලැබේද?

උද්දේශික වස්තුවට වඩා පාරිභෝගික වස්තුවත්, පාරිභෝගික වස්තුවට වඩා ශාරීරික ධාතුත් උසස් බව කිය යුතු ය. වැඳුම් පිදුම් කරන්නහුට ලැබෙන පිනෙහි උසස් පහත් බව, ප්‍ර‍තිග්‍රාහකයා ගේ ගුණසම්පත්තිය හා පූජා කරන්නහු ගේ චේතනා සම්පත්තිය අනුව කිය යුතු ය. ශාරීරික පාරිභෝගික උද්දේශික වස්තු විෂයෙහි පුදපූජා පවත්වන්නේ තථාගතයන් වහන්සේ නමැති එක ම ප්‍ර‍තිග්‍රාහකයාට ය. එබැවින් ශාරීරිකාදි වස්තූන් අනුව කුශලයේ වෙනස්කමක් නො කිය හැකි ය.

ප්‍ර‍තිමා වන්දනාව අවිවාදයෙන් පිළිගන්නා ලද්දක් ද?

අතීතයේ විසූ සියලූම ධර්‍මධරයන් විසින් ප්‍ර‍තිමා වන්දනාව 

අවිවාදයෙන් පිළිගන්නා ලද්දක් ද?

 

අතීතයෙහි ද භික්ෂූන් වහන්සේලා අතර ඇතැම් කරුණු පිළිබඳ මත භේද ඇති විය. එබඳු කරුණු බොහෝ ගණනක් බුදුගොස් හිමියන් විසින් ලියූ අටුවා පොත්වල සඳහන් කොට තිබේ. ඒ ඒ ආචාර්‍ය්‍යවරයන් ගේ මත ද වෙන වෙන ම දක්වා තිබේ. අභිධර්‍ම පිටකයට අයත් කථාවත්ථුප්පකරණය ඇති වූයේ එකල පැවැති නානා වාද නිසා ය. වාදයට හේතු වූ කරුණු දෙසියයකට වැඩි ගණනක් කථාවත්ථුප්පකරණයෙහි සඳහන් වී තිබේ. ප්‍ර‍තිමා වන්දනාව ගැන වාදයක් ඒ පොත්වල කිසි තැනක සඳහන් වී නැත. එයින් පිළිගත යුත්තේ මහරහතන් වහන්සේලා ඇතුළු අතීතයෙහි විසූ සියලුම ධර්‍මධරයන් විසින් ප්‍ර‍තිමා වන්දනාව අවිවාදයෙන් පිළිගන්නා ලද බව ය.

 
 

බුද්ධ ප්‍ර‍තිමා තැනීම ආරම්භ වූයේ කවර කලෙක ද? බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් බුද්ධ ප්‍ර‍තිමා තිබුණේ ද?

බුද්ධ ප්‍ර‍තිමා තැනීම ආරම්භ කළේ කවදා ද? යන බව ත්‍රිපිටකයේ හෝ අටුවාවල සඳහන් වී නැත. අතීතයේ වූ සෑම කරුණක් ම මේ පොත්වල සඳහන් වී නැත. පොත්වල සඳහන් නො වන අද ජීවත් වන කිසිවකු නො දන්නා බොහෝ අතීත සිද්ධීන් ඇතුවාට සැකයක් නැත.

“අප බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වැඩම කර වස් එළඹුණු කාලයේ උන්වහන්සේ නො දැක සිටිය නුහුණු උදේනි රජ මුගලන් මහතෙරුන් වහන්සේ ගේ උපකාරයෙන් දෙව්ලොවට ශිල්පියකු යවා බුද්ධ ශරීරය හොඳින් බලවා ඔහු ලවා සඳුන් හරයෙන් බුද්ධ ප්‍ර‍තිමාවක් කරවූ බවත් බුදුන් වහන්සේ නැවත පොළෝ තලයට බට කල්හි ඒ බුදුරුව නැගිට උන්වහන්සේට නමස්කාර කළ බවත් ඒ ප්‍ර‍තිමාව අමතා බුදුන් වහන්සේ මිසදිටුවන් සම්‍යක් දෘෂ්ටිකයන් කිරීමත් අනාගතයෙහි සස්න රැක ගැනීමත් ඔබට බාරය යි වදාළ බවත් “හියුං සියං” චීන තෙරුන් වහන්සේ ගේ ගමන් විස්තරයෙහි සඳහන් කර තිබේ.

මෙය සත්‍ය ප්‍ර‍වෘත්තියකැයි ස්ථිර වශයෙන් නො කිය හැකි ය. අතීතයේ දේශාටනය කළවුන් ඒ ඒ පෙදෙස්වල දී දක්නට අසන්නට ලැබුණු වැදගත් කරුණු පොත්වල සටහන් කර ගත්තේ මුද්‍ර‍ණය කොට විකුණා මුදල් සැපයීම සඳහා නොව ඒ කරුණු මතක තබා ගැනීම සඳහා ය. තමන් ගේ සටහන් පොතේ බොරුවක් ගොතා ලියා තබා ගන්නට ඒ තෙරුන් වහන්සේට කිසි කරුණක් නැත. චීන තෙරුන් වහන්සේ මේ ප්‍ර‍වෘත්තිය පොතේ ලියාගෙන තිබෙන්නේ ඒ ප්‍රදේශයෙහි විසූ අය පිළිමය පිළිබඳ වූ මේ පුවත උන්වහන්සේට කී නිසා විය යුතු ය. මේ ප්‍ර‍තිමාව තුබූ බව කියා තිබෙන්නේ කෞශාම්බිදේශයේ ය. බොරුවක් ගොතා කියා චීන තෙරුන් වහන්සේ රැවටීමට වුවමනාවක් ඒ ප්‍රදේශ වාසීන්ට නො තිබිය හැකි ය. ඔවුන් කියන්නට ඇත්තේ කවර ආකාරයකින් හෝ ඔවුන් ඒ බව දැනගෙන සිටි නිසා විය යුතු ය. එබැවින් චීන තෙරුන් වහන්සේ ගේ පොතෙහි සඳහන් වන මේ පුවත නිකම්ම අහක දැමිය යුත්තක් නො වන බව ද සැලකිය යුතු ය. පසු කාලයේ දී ඒ පිළිමය ආදර්‍ශයට ගෙන එහි සැලැස්ම අනුව වෙනත් රජවරුන් බුද්ධ ප්‍ර‍තිමා සාදවා ගත් බව ද චීන තෙරුන් වහන්සේගේ පොතෙහි සඳහන් කොට ඇත්තේ ය.

මහජනයා උත්තම පුද්ගලයන් ගේ පිළිරූ තැනවීමට බොහෝ සෙයින් උත්සාහ කරන්නේ ඒ පුද්ගලයන්ගේ අභාවයෙන් පසුව ය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ ගේ ශ්‍රී දේහය දැක ගත හැකි බැවින් බුද්ධ ප්‍ර‍තිමා කරවන්නට එතරම් උත්සාහ කරන්නට නැත. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමට සමීප කාලය වන ඈත අතීත කාලය එතරම් ප්‍ර‍තිමා ශිල්පය දියුණුව තිබූ කාලයක් නො වේ. එබැවින් ඈත අතීතයේ සංඝාරාමවල බොහෝ සෙයින් තුබුණේ දාගැබක් හා බෝධියක් පමණෙකි. බුද්ධ ප්‍ර‍තිමා තැනීමේ ශිල්පය සෙමින් දියුණු වූවකි. දැන් ඒ ශිල්පය ඉතා දියුණුවට පත්ව ඇති බැවින් බෞද්ධ ගිහි ගෙවලට පවා බුද්ධ රූප පැමිණ ඇත්තේ ය. ඈත අතීතයේ එතරම් සුලභව බුද්ධ ප්‍ර‍තිමා නො තිබුණත් ඒවා තුබුණු බව අටුවා පොත්වලින් පෙනේ. අටුවා ද බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන් ම පැවැත්තේ ය.

මිහිඳු මාහිමියන් විසින් මේ දිවයිනට ගෙනා අටුවා සිංහලට නඟා තුබුණේ ය. කල් යාමෙන් දඹදිව තුබූ අටුවා අභාවප්‍රාප්ත විය. එබැවින් බුදුගොස් මාහිමියෝ මේ දිවයිනට පැමිණ සකල ලෝකයාගේ ම ප්‍රයෝජනය සලකා නැවත ඒ හෙල අටුවා පාලි භාෂාවට පරිවර්තනය කළහ. ඒවා විදේශවලට ගිය බැවින් අද දක්වා නො නැසී පවතී. විදේශවලට නො ගිය බැවින් හෙල අටුවා මෙහි ම අභාවප්‍රාප්ත විය. දැනට පවත්නා පාලි අටුවා පසු කලෙක දී බුදුගොස් හිමියන් විසින් ලියන ලද ඒවා වුවත් බුද්ධ කාලයේ පටන් ම පැවැති පැරණි අටුවා බව කිය යුතු ය. රහතන් වහන්සේලා වැඩ විසූ ඈත අතීත කාලයේ බුදු පිළිම නො තිබුණා නම් අටුවාවල බුදු පිළිම ගැන සඳහන් නො විය හැකි ය.

“තථාගතෙ පන පරිනිබ්බුතෙ උභතො සංඝස්ස පමුඛෙ සධාතුකං බුද්ධපටිමං ආසනෙ ඨපෙත්වා පත්තං ආධාරකෙ ඨපෙත්වා දක්ඛිණොදකමාදිං කත්වා සබ්බං සත්ථු පඨමං දත්වා උභතො සංඝස්ස දාතබ්බං”

මෙය දක්ෂිණාවිභංග සූත්‍ර‍ අටුවාවේ එන වගන්තියකි. එයින් කියන්නේ බුදුන් වහන්සේ පිරිනිවි කල්හි උභතෝ සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා පළමුවන සාංඝිකදානය දිය යුතු බව ය. ඒ පාඨයෙහි සධාතුක ප්‍ර‍තිමාවක් ගැන කියා තිබීමෙන් එකල නිර්ධාතුක බුද්ධ ප්‍ර‍තිමා ද තුබූ බව පැහැදිලි වේ.

මනෝරථපූරණී අටුවාවෙහි ද “සධාතුකං පන ථූපං වා පටිමං වා බාධමානං බොධිසාඛං ජින්දිතුං වට්ටති” යි බුද්ධ ප්‍ර‍තිමාව ගැන සඳහන් කොට තිබේ. සධාතුක ප්‍ර‍තිමාවට බාධා පැමිණෙන බෝධි සාඛා සිඳ දැමීමට වටනා බව දක්වා තිබීමෙන් අටුවා ලියූ කාලයටත් පෙර පන්සල්වල බුද්ධ ප්‍ර‍තිමාවත් තුබූ බව දත හැකි ය. මේ කරුණ සම්මෝහවිනෝදනී නම් විභංග අටුවාවෙහි ද ඇත්තේ ය. මේ කරුණු අනුව බුදුරදුන් ජීවමාන කාලයේ පටන් හෝ සිවුපිළිසිඹියා පත් මහරහතන් වහන්සේලා විසූ ඈත අතීත කාලයේ පටන් හෝ බුද්ධ ප්‍ර‍තිමා තුබුණ බවත් ඒවාට බෞද්ධයන් වැඳුම් පිදුම් කළ බවත් කිය යුතු ය.

 

තථාගතයන් වහන්සේ විසින් උන් වහන්සේ ගේ තත්ත්වය දක්වා වදාරන සූත්‍ර‍යක දී ‘අප්පටිමො’ යනුවෙන් උන් වහන්සේට ප්‍ර‍තිමාවක් නැති බව වදාරා තිබෙන බැවින් දැනට විහාරවල තබා ඇති රූප බුද්ධ රූප සැටියට පිළිගැනීම සුදුසු ද?

අප්පටිමො යනුවෙන් වදාරා තිබෙන්නේ සර්‍වාකාරයෙන් තථාගතයන් වහන්සේ ගේ රූපයට සමාන රූපයක් නැති බව සඳහා ය. තථාගතයන් වහන්සේ ගේ උස මැනගැනීමට උත්සාහ කළ බමුණාට එයත් කරගත නො හැකි විය. උසවත් මැන ගත නො හෙන තථාගතයන් වහන්සේ ගේ රූපයට සමාන රූපයක් කිනම් ශිල්පියකුට කළ හැකි වේද? නො හැකි ම ය. දැනට ඇත්තා වූ බුද්ධ ප්‍ර‍තිමා එකකුදු බුදුන් වහන්සේ ගේ රූපයට සමාන නැත. ඒ බුද්ධ ප්‍ර‍තිමා ද එකිනෙකට සමාන නැත. එහෙත් ඒවායේ එක්තරා සමාන කමක් ද ඇත්තේ ය. ඒ හැම රූපයක් ම බුදු රුවක් ලෙස හැඳින ගත හැකි වන්නේ ඒවායේ ඇති එක්තරා සමානකමක් නිසා ය.

බුදුන් වහන්සේ ගේ රූපයට සමාන රූපයක් පමණක් නොව ප්‍ර‍තිමා ශිල්පියා නො දුටු අතීතයේ විසූ කවරෙකු ගේ රූපයක් වුවත් ඒ පුද්ගලයාට සමාන වන ලෙස නො තැනිය හැකි ය. ප්‍ර‍තිමා තැනීමේ දී අදහස් කරන්නේ සමාන රූපයක් තැනීම නොව යම්කිසි පුද්ගලයකු හෝ යම්කිසි සිදුවීමක් හෝ රූපවල උපකාරයෙන් අනුන් ගේ සිත්වලට මතු කර දීම ය. වචන සිය ගණනක් ඇසීමෙන් හෝ සිතීමෙන් බුදුන් වහන්සේ සම්බන්ධයෙන් ඇතිවන හැඟීමට වඩා හොඳ හැඟීමක් බුදු රුවක් දුටු කෙණෙහි ම ඇති වේ. ප්‍ර‍තිමා ශිල්පියා ගේ දක්‍ෂ භාවයේ ප්‍ර‍මාණයට, දක්නවුන්හට වඩ වඩා හොඳ හැඟීමක් ඇතිවන පරිදි ප්‍ර‍තිමාව තැනීම කළ හැකි ය. බුද්ධ ප්‍ර‍තිමාවකින් ඇති ප්‍රයෝජනය එය බලා බුදුන් වහන්සේ පිළිබඳ හැඟීම ඇති කර ගැනීම ය. බුදුන් වහන්සේ ගේ රූපය තමාගේ සිතට නගා ගැනීම ය. නුවණැතියන් වැඳුම් පිදුම් කරනු පිණිස බුද්ධ ප්‍ර‍තිමා ඇති තැන්වලට යන්නේ රූපය දක්නා කල්හි තමන්ගේ සිතට බුදුන් වහන්සේ පිළිබඳ වඩා හොඳ හැඟීමක් ඇතිවන බැවිනි.

දැනට ලෝකයෙහි නොයෙක් ශිල්පීන් විසින් තනා ඇති ප්‍ර‍තිමාවලින් එකක්වත් ඒ ඒ පුද්ගලයා හා සර්‍වාකාරයෙන් සමවේ යයි නො සිතිය හැකි ය. එහෙත් යම් ප්‍ර‍තිමාවක් හෝ චිත්‍ර‍යක් දක්නා කල්හි යමෙක් සිහිවේ නම් ඒ ඒ ප්‍ර‍තිමාව ඒ චිත්‍ර‍ය ඒ පුද්ගලයා ගේ ප්‍ර‍තිමාව ලෙසත් චිත්‍ර‍ය ලෙසත් පිළිගනු ලැබේ. යම් ප්‍ර‍තිමාවක් හෝ චිත්‍ර‍යක් දක්නා කල්හි එයින් බුදුන් වහන්සේ පිළිබඳ හැඟීමක් ඇතිවේ නම් ඒ ප්‍ර‍තිමාව ඒ චිත්‍ර‍ය බුද්ධ රූපයක් ලෙස සලකනු ලැබේ. පිළිගනු ලැබේ. දැනට තනා ඇති කවර බුද්ධ ප්‍ර‍තිමාවක් වුව ද දක්නා කල්හි එයින් ඇති වන්නේ බුදුන් වහන්සේ පිළිබඳ හැඟීමකි. එබැවින් දැනට ඇති සෑම බුද්ධ ප්‍ර‍තිමාවක් ම බුද්ධ ප්‍ර‍තිමාවක් සැටියට පිළිගත යුතු ය. බුද්ධ ප්‍ර‍තිමා වන බැවින් ඒවාට ගරු කළ යුතු ය. බුද්ධ ප්‍ර‍තිමාවක් ලෙස පිළිගන්නා රූපයට ගරු කිරීම තථාගතයන් වහන්සේට ගරු කිරීමකි. ඒවාට අගෞරව කිරීම බුදුන් වහන්සේට අගෞරව කිරීමකි.