වැඳුම් පිදුම් කිරීමට ගාථාවන් වුවමනා බවක් පිටකත්‍රයෙහි හෝ අටුවා ටීකාවල හෝ සඳහන් වී නැත. පැරණියන් වැඳුම් පිදුම් කළේ ගාථා කීමක් නැතිවය. චෛත්‍යය හෝ බෝධිය වැඳිය යුතු ආකාරය සාමඤ්ඤ ඵල සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ ය.
චෙතියංගණං ආරුය්හ මහන්තං චෙ චෙතියං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතුසු ඨානෙසු වන්දිතබ්බං. ඛුද්දකං චෙ තථෙව පදක්ඛිණං කත්වා අට්ඨසු ඨානෙසු වන්දිතබ්බං, චෙතියං වන්දිත්වා බොධියංගණං පත්තෙනා පි බුද්ධස්ස භගවතො සම්මුඛා විය නිපච්චාකාරං දස්සෙත්වා බොධිං වන්දිතබ්බො.
“සෑ මලුවට නැඟ ඉදින් සෑය මහත් වේ නම් තුන් වරක් ප්‍රදක්ෂිණා කොට සතර තැනක දී වැඳීම කළ යුතු ය. ඉදින් සෑය කුඩා නම් එසේ ම ප්‍රදක්ෂිණා කොට අට තැනක දී වැඳිය යුතු ය. චෛත්‍යය වැඳ බෝ මලුවට පැමිණියහු විසින් බුදුන් වහන්සේ ඉදිරියෙහි මෙන් ගෞරව කොට බෝධිය වැඳිය යුතුය” යනු එහි තේරුම ය.
ගාථා කිය යුතු බවක් එහි සඳහන් වී නැත. එහි සඳහන් වන්නේ ප්‍රදක්ෂිණා කරමින් තැනින් තැන නැවතී පසඟ පිහිටුවා වැඳිය යුතු බව ය. මේ කරුණ මෙසේ ම තවත් අටුවාවල ද සඳහන් වී ඇත්තේ ය. වැඳුම් පිදුම් කිරීමෙන් ලත් අනුසස් දැක්වෙන කථා බොහෝ ගණනක් අපදාන – විමානවත්ථු යනාදි පොත්වන එන්නේ ය. කවරකු විසින්වත් ගාථා කියා වැඳුමක් පිදුමක් කළ බවක් ඒ කථාවල සඳහන් නො වන්නේ ය. අපදානයේ කථා කීපයක ගාථා කියා බුදුන් වහන්සේට ස්තුති කළ බව සඳහන් වී ඇත්තේ ය. ඒ අය ඒ ගාථා කීයේ ස්තුති පූජාවක් වශයෙනි.
බුදුන් වහන්සේ ජීවමාන කාලයේ දී උන් වහන්සේ වෙත පැමිණෙන ජනයා ගාථා කියා වඳින්නට පටන් ගත්තා නම් කොතරම් අවුලක් වේද කියා සිතා බැලිය යුතු ය. උන් වහන්සේ වෙත පැමිණෙන අය වැඳීම කළේ ගාථා නැතිව ය. මල් ආදිය පිදුවේත් ගාථා නො කියා ය. එසේ ම දැනුදු ගාථා නො කියා වැඳීම හා මල් පහන් ආදිය පිදීම කළාට ඇති වරදක් නැත.
විහාරයට චෛත්‍ය මලුවට හෝ බෝ මලුවට ගොස් පසඟ පිහිටුවා තුෂ්ණීම්භූතව වැන්දාම වැඳීමේ කුශලය අත්පත් වේ. බුදුනට පිදීමේ අදහසින් මල් පහන් ආදිය පූජාසනය මත තැබුවාම පූජා කිරීමේ කුශලය අත්වේ. ගාථා නො කීමෙන් වැඳීම පිදීම සිදු නො වීමක් නැත. ඇතැම්හු ගාථා කියන්නත් වුවමනා ම ය යි වරදවා සිතා ගෙන ගාථා නො දැනීම නිසා වැඳුම් පිදුම් කරන්නට ද නො යෙති. එය වැරදි හැඟීමෙකි. ගාථා නො දත් අය විසින් ගාථා නො කියා වැඳුම් පිදුම් කළ යුතු ය.
ඇතැම්හු තමන් ගාථා කියන්නට නො දත් බැවින් වැඳුම් පිදුම් කරන්නට වුවමනා වූ විට ගාථා කියවා ගන්නට තවත් අය සොයමින් වෙහෙසෙති. දේව පූජා වලට කපුවකු සොයන්නාක් මෙන් බුද්ධ පූජා කිරීමට ගාථා කියවන අය සෙවීමට වුවමනා නැත. කියවන කෙනකු ඇති නම් ගාථා කියවා ගත්තාට ද වරදක් නැත. ගාථා කීමේ සිරිත මෑත කාලයේ ඇති වූවකි. තේරුමක් නො දැන ගාථා කීම එතරම් පලක් ඇති වැඩකැයි නො කිය හැකි ය. තේරුම දැන ගෙන ගාථා කියනවා නම් එසේ කරන්නා හට වචනයක් පාසා කුශල් ඇති වේ. ගාථා කියන පින්වතුන් ඒවායේ තේරුම දැන ගන්නටත් උත්සාහ කළ යුතු ය. වැඳුම් පිදුම් කිරීමේ දී සිය බසින් ගෙතුණු තුනුරුවන් ගුණ පාඨ භාවිත කිරීම වඩාත් හොඳ බව කිය යුතු ය. වැඳුම් පිදුම් කිරීමේ දී රත්නත්‍රය ගුණ කී පමණට පින් සිදු වන බව සැලකිය යුතු ය.
දේශපාලන න්‍යාය අනුව මේ ප්‍රශ්නය විසඳත හොත් ඒ ආහාරය සාගින්නෙන් පෙළෙන දුගියාට දීම හොඳ බව කිය යුතුය. බුදුනට පූජාවක් කරන පින්වතා එය කරන්නට බලාපොරොත්තු වන්නේ තමා ගේ අනාගත සැපය සඳහා පින් කර ගැනීමට ය. දානමය කුශලය මහත්ඵල වන්නේ ප්‍රතිග්‍රාහකයා ගේ අසරණකම අනුව නොව ගුණවත්කම අනුව ය. බුදුනට වැඩි ගුණවතෙක් ලොව නැත්තේ ය. තථාගතයන් වහන්සේ ගුණවතුන්ගෙන් අග්‍රය හ. වැඳුම් පිදුම් කළ යුත්තන් අතරින් තථාගතයන් වහන්සේ ම අග්‍ර වන සේක.
“නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”
“මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තන් විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය. දුගියාට දීමෙන් වන කුශලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය. බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය.
බොහෝ සෙයින් මෙබඳු ප්‍රශ්න නඟන්නේ බුද්ධ පූජාවක් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමීහු ය. බුද්ධ පූජා කරන සැදැහැවත්හු බොහෝ සෙයින් දුගීන්ට ද උපකාර කරන්නෝ ය. නිරාහාරව ඉන්න දුගියන් සම්බන්ධයෙන් නැගිය යුත්තේ මේ බුද්ධ පූජා ප්‍රශ්නය නොව “තමාගෙන් යමක් දී අසරණයකුට පිහිටවීම ය, තමා ගේ දේ පරෙස්සම් කර ගැනීම ය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද” යන ප්‍රශ්නය ය.
තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු උභතෝ සංඝයා ගේ මධ්‍යයෙහි සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට පාත්‍රයක් තබා පළමුවෙන් සියල්ල තථාගතයන් වහන්සේට පුදා සංඝයාහට දන් දීම් වශයෙන් පළමුවන සාංඝික දානය දිය හැකි බව දක්වා එහිදී බුදුන් වහන්සේ උදෙසා පිදූ ආහාර පානාදියට කළ යුතු දෙය දක්‍ෂිණා විභංග සූත්‍ර අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ.
තත්ථ යං සත්ථු දින්නං තං කිං කාතබ්බන්ති? යො සත්ථාරං පටිජග්ගතිවත්ත සම්පන්නො භික්ඛු තස්ස දාතබ්බං. පිතුසන්තකං හි පුත්තස්ස පාපුණාති භික්ඛුසංඝස්ස දාතුම්පි වට්ටති. සප්පි තෙලානි පන ගහෙත්වා දීපා ජාලිතබ්බා. සාටකං ගහෙත්වා පටාකා ආරොපෙතබ්බාති.
“එහි බුදුන් වහන්සේට යමක් පුදන ලද නම් එයට කුමක් කළ යුතුද? යම් වත්තසම්පන්න භික්ෂුවක් බුදුන් වහන්සේට උපස්ථාන කෙරේ නම් ඒ භික්ෂුවට දිය යුතු ය. පියාට අයිති දෙය පුත්‍රයාට පැමිණෙන බැවින් භික්ෂු සංඝයාහට දෙන්නට ද වටනේ ය. තෙල් හා ගිතෙල් ගෙන පහන් දැල්විය යුතු ය. වස්ත්‍ර ගෙන කොඩි එසවිය යුතුය” යනු එහි තේරුම ය.
විහාරාදියට ගෙන ගොස් පුදා ඇති ආහාර පානාදිය ගැන පිළිපැදිය යුතු සැටි ද මේ අටුවා පාඨය අනුව කිය යුතු ය. විහාරයෙහි වත් කරන භික්ෂුවක් විසින් ඒවා ගත යුතු ය. නිබඳ වත් කරන භික්ෂුවක් එහි නැති නම් පැමිණි භික්ෂුවක් විසින් වත් කොට ඒවා ගත යුතු ය. වත් කොට ගැනීමට කල් මඳ නම් ගෙන පසුව වත් කළ යුතු ය. වත් කරන අයට ඒවා වුවමනා නැති නම් පියා සතු දෙය පුතුන්ට හිමි බව සලකා කැමති භික්ෂුවක් විසින් ඒවා ගත යුතු ය. ගන්නා භික්ෂුවක් නැති කල්හි වත් කරන ගිහියකුට වුව ද ගැනීමෙන් වරදක් නො විය හැකි ය.
පූජාසන පවිත්‍ර කරනු පිණිස පිදූ ආහාරපාන ඒ තැන්වලින් ඉවත් කළ යුතු ම ය. අහක දැමිය යුතු වන ඒ ආහාර පානයන් වත් කරන්නවුන් නො ගනිත් නම් කවරකු විසින් වුව ද ගැනීමෙන් පාපයක් නො විය හැකි ය. ඉවත ලද බුද්ධ පූජාව අනුභව කරන දුගී මගී යාචකාදීන්ට එයින් පාපයක් නො වේ. විහාරයෙහි චෛත්‍යයෙහි බෝධියෙහි ප්‍රයෝජනයට යෙදිය හැකි යමක් වේ නම්, ඒ සඳහා ම යෙදිය යුතු ය. වත් කරන්නවුන් විසින් වුව ද නො ගත යුතු ය. බුද්ධ සන්තක වස්තුව සොරකම් කිරීම ඉමහත් පාපයෙකි.
විහාරාදියෙහි වත් කරන්නවුන්ට බුදුන් වහන්සේ උදෙසා පුදන ආහාර පාන ගැනීමෙන් වරදක් නැතත් ඒවා නො ගෙන වත් කිරීම ම ප්‍රශංසනීය ය. බුදුනට ලැබෙන ප්‍රත්‍යය භුක්ති විඳීමෙන් වත් කිරීමෙහි එතරම් වටිනාකමක් නැත. ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසිපස් වසක් ම තථාගතයන් වහන්සේට උපස්ථාන කළහ. උන් වහන්සේ බුදුනට ලැබෙන කිසිම ආමිෂයක් නො පිළිගත්හ. උන්වහන්සේ උපස්ථායක තනතුර පිළිගත්තේ ද බුදුන් වහන්සේට ලැබෙන ප්‍රණීත චීවර පිණ්ඩපාත නො පිළිගැනීමේ වරය බුදුන් වහන්සේගෙන් ලබා ගෙන ම ය. විහාරාදියෙහි වත් කරන ඒවා රැක බලාගෙන ඉන්නා භික්ෂූන් වහන්සේලා ආනන්ද ස්ථවිරයන් ගේ චරිතය ආදර්ශයට ගනිත්වා!
බුදුන් වහන්සේ වෙනුවෙන් පුදන ප්‍රත්‍යය බුද්ධ පුත්‍රයන් වශයෙන් භික්ෂූන්ට හිමි වතුදු “ධම්ම දායාද මේ භික්ඛවෙ, භවථ. මා ආමිස දායාද” යනුවෙන් භික්ෂූන් තථාගතයන් වහන්සේ ගේ ආමිෂයට උරුමක්කාරයන් නො වී ධර්‍මයට උරුමක්කාරයන් වීම යහපත් බව තථාගතයන් වහන්සේ විසින් ධර්‍මදායාද සූත්‍රයෙහි වදාරා ඇති බැවින් ද, ඒ සූත්‍රයෙහි ම තථාගතයන් වහන්සේ දන් වළඳා අවසානයෙහි ඉතිරි වී ඉවත ලන්නට තිබෙන ආහාර වළඳා සාගින්න නිවාගෙන ඒ දිනයෙහි මහණ දම් පුරන භික්ෂුව ය, එය නො වළඳා ඒ දවස නිරාහාරයෙන් වෙසෙන භික්ෂුවය යන දෙනම ගෙන් තථාගතයන් වහන්සේ ගේ භුක්තාවශේෂය නො වළඳා ඉන්නා භික්ෂුව ප්‍රශංසනීය බව වදාරා ඇති බැවින් ද සියලු භික්ෂූන් විසින් බුදුනට ලැබෙන ප්‍රත්‍යය භුක්ති විඳීමෙන් වැළකී දිවි පවත්වා ගැනීම ම යහපත් බව කිව යුතු ය.
මෙය චේතනාව නො හැඳිනීම නිසා නඟන ප්‍රශ්නයෙකි. පරමාර්ථ ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක් ද? යන බව තේරුම් ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්‍ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම, නැතහොත් සිතීම චේතනාවය කියා වරදවා තේරුම් ගෙන සිටිති. මේ ප්‍රශ්නය නගන්නේ ඒ අය ය.
‘චේතනාවය’ යි කියන්නේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් උපදනා සිත්වල ඇති ‘ක්‍රියා සාධක බලවේගය’ ට ය. පින් කැමැත්තෙක් දන් දීම් වශයෙන් අහර බඳුනක් ගෙන භික්ෂුවක ගේ අතෙහි තබයි. පින් කැමැත්තාට අයත් වූ ඒ ආහාර බඳුන භික්ෂුව ගේ අතට පැමිණවීම දන් දීම ය. ඒ ආහාර භාජනය භික්ෂුව අතට පැමිණවීම දායකයා ගේ අතින් සිදු වූ සැටි සොයා බැලුවාම චේතනාව සොයා ගත හැකි ය. දායකයා ගේ අත් දෙක ආහාර බඳුන කරා ගියේත්, එය තද කර ගත්තේත්, ඔසවා ගත්තේත්, භික්ෂුව දෙසට යැවූයේත් දායකයා ගේ ශරීරය තුළ ඇති වූ බලවේගයකිනි. එබඳු බලවේගයක් අභ්‍යන්තරයෙහි ඇති නො වී නම්, දායකයා ගේ අත් නිකම්ම තිබෙනවා මිස ඒ ක්‍රියා සිදු කිරීමෙහි නො යෙදෙන්නේ ය. ඒ ක්‍රියා සිදු වන පරිදි දායකයා ගේ අත් එහා මෙහා ගියේ ශරීරය තුළ හටගත් වායු වේගයකිනි. ශරීරය සෙලවීම් වශයෙන් ඇතිවන ඒ වායුව අභිධර්ම පොත්වල උගන්වන්නේ චිත්තජ වායෝ ධාතුව කියා ය.
මේ චිත්තජ වායෝ ධාතුව පහළ නොවී නම් අර ආහාර බඳුන භික්ෂුව අතට නො යන්නේ ය. ශරීරය සොලවන ඒ වායෝ ධාතුව ඉබේ ම ඇති වන්නක් නොව, එයත් යම් කිසි බලවේගයකින් ඇති කරන්නකි. ඒ බලවේගය නම් සිත හා එක්ව ඇතිවන දාන වස්තුව භික්ෂූන් වහන්සේ අතට පැමිණවීමේ උත්සාහය ය. චේතනාව ය යි කියනුයේ ඒ උත්සාහයට ය. දීම පිළිබඳ උත්සාහයක් නිසා එයට දාන චේතනාව ය යි කියනු ලැබේ. දන්දීමේ මුල නැතහොත් දාන ක්‍රියාවේ මුල ඒ චේතනාව ය.
දායකයා ගේ අත් හෝ ඒවායේ සැලීම හෝ ආහාරය හෝ ඒ ක්‍රියාවට යෙද වූ වායෝ ධාතුව හෝ දානමය කුශල කර්‍මය ලෙස ගණන් ගනු නො ලැබේ. දානමය කුශල කර්‍මය ලෙස ගණන් ගන්නේ ඒ සියල්ලට ම මුල් වූ චේතනාව ය. “චේතනාහං භික්ඛවෙ! කම්මං වදාමි” යි වදාරා ඇත්තේ ඒ ක්‍රියා සාධක මානසික බලවේගය සඳහා ය. වස්තුවක් වියදම් කරන්නට නො කැමති කෙනකුට කවදාවත් එබඳු දාන චේතනාවක් ඇති නො වේ. අනික් කුශලාකුශල චේතනාත් මෙය අනුව තේරුම් ගත යුතු ය. මහන්සි නො වන්නකුට වස්තුව වියදම් නො කරන්නකුට දාන චේතනා ඇති කරගත නො හැකි ය. චේතනාව හරියට තේරුම් ගතහොත් මේ ප්‍රශ්නය ඉබේ ම විසඳෙන්නේ ය.
පිළිගැනීම හා නො පිළිගැනීමත්, පරිභෝග කිරීම හා නො කිරීමත්, පූජාකරන්නහුට පින්සිදුවීමට හා නො වීමටත්, පින මහත්වීමට හා කුඩා වීමටත් කරුණක් නො වේ. පින වනාහි කරන තැනැත්තා තුළ ම ඇතිවන දෙයක් මිස පිටතින් එන දෙයක් නො වේ. “චේතනාහං භික්ඛවෙ, කම්මං වදාමි” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ ඒ ඒ පුද්ගලයා තුළ ඒ ඒ දෙය සිදුකිරීම් වශයෙන් ඇතිවන චේතනාව ම කුශලාකුශලය වන බව ය. පූජාකරන්නහුට ලැබෙන පින වූ කුශලචේතනාව පූජා කරන වේලාවේදී ම ඇතිවන්නකි. පිළිගැනීම හා පරිභෝග කිරීම පසුව සිදුවන කරුණු ය. ඒවා සිදුවන්නට කලින් පූජා කිරීමේ පින සිදුවී ඉවර ය.
පිළිගැනීම් පරිභෝග කිරීම් සිදු වුවත් නුවූවත් කලින් ඇති වූ කුශල චේතනාව එවායින් සිදුවන අමුත්තක් නැත. තථාගතයන් වහන්සේ ගේ පිළිගැනීමක් හා පරිභෝගයක් නැතිකමින් පූජාකරන්නහු ගේ පිනට කිසි හානියක් නැති බව කිය යුතු ය. පිළිගැනීම හා පරිභෝගය ඇතිවන පරිදි ජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන් හා අජීවමාන බුදුන් වහන්සේට කරන පූජාවෙන්, පූජා කරන්නහු ගේ සිත සම නම් සමානානිසංසයක් ලැබෙන බව “තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමං ඵලං” යන විමානවත්ථු දේශනාව අනුව කිය යුතු ය.
මහාප්‍රජාපති ගෞතමි තථාගතයන් වහන්සේට වස්ත්‍ර යුග්මයක් පූජා කළ කල්හි උන් වහන්සේ “සංඝෙ ගොතමි දෙහි. සංඝෙ දින්නෙ අහං චෙව පූජිතො භවිස්සාමි සංඝො ච” යි වදාරා එය ප්‍රතික්ෂේප කොට සංඝයාහට පුදන්නය යි වදාළ සේක. සකල සත්ත්වයන් කෙරෙහි පතළ මහාකරුණාවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි පෙරුම් පුරා ලොවුතුරා බුදු බව ලබාගත් තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ මෑණියන් ගේ පිනට බාධාවක් කෙරෙත් ද? නො කෙරෙත් ම ය. වස්ත්‍ර යුග්මය තථාගතයන් වහන්සේට පූජා කිරීමේදී මහාප්‍රජාපතීගෝතමීට එයින් වන පින ලැබී ඉවර ය. තථාගතයන් වහන්සේ ගේ නො පිළිගැනීමෙන් ඒ පිනට කිසිදු හානියක් නැත. බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ඒ වස්ත්‍ර නැවත සංඝයාට පිදීමෙන් ගෝතමියට නැවත වරක් සංඝයාට පිදීමේ පින ද ලැබෙන්නේ ය. තථාගතයන් වහන්සේ ඒ වස්ත්‍ර ප්‍රතික්ෂේප කරන ලදුයේ සංඝයාහට පිදීමේ පිනත් ඇයට ලබා දෙනු පිණිස ය.
තථාගතයන් වහන්සේ මහාප්‍රජාපතී ගෞතමිය ගේ වස්ත්‍ර දානය ප්‍රතික්ෂේප කරන ලදුයේ නො පිළිගත්තත් පරිභෝග නො කළත් ඇයට අඩුවක් නැතිව පින ලැබෙන බැවිනි. මේ කාරණය අනුව පිළිගැනීමක් හා පරිභෝගයක් නැත ද, පිරිනිවියා වූ තථාගතයන් වහන්සේ උදෙසා පූජා පවත්වන සැදැහැවතුන්ට කිසිදු අඩුවක් නැතිව බුදුන් වහන්සේට පිදීමේ කුශලය ලැබෙන බව සැලකිය යුතු ය.
අජීවමාන බුදුන් වහන්සේට පුදා, ජීවමාන බුදුනට පිදීමෙන් ලැබෙන පිනට සමාන පිනක් ලැබ ගන්නට ජීවමාන බුදුන් වහන්සේට සුදුසු වන පරිදි ම දානවස්තුව පිළියෙල කොට ජීවමාන බුදුන් වහන්සේට කරන ගෞරවය ම කොට පූජා කළ යුතු ය.