‘මම බුදුවෙමි’ යි වර්තමානය ගැන සලකා කියනවා නම් ඒ තැනැත්තා බුදුවී නැති බැවින් එය මුසාවකි. අනාගතාර්ථය සලකා කියනවා නම් එය ප්‍රාර්ථනයක් වේ. සරණ සමාදානයක් එයින් නො වේ. ධර්මය යි කියනුයේ සතර මාර්ග සතර ඵල නිර්වාණ යන මේ නවයට හා ත්‍රිපිටකයට ය. කිසි කලෙක පුද්ගලයකුට ධර්මය විය නො හැකි ය. පුද්ගලයකුට ධර්මය නො විය හැකි බැවින් “මම ධර්මය වෙමි”යි කීම කිසි තේරුමක් නැති උමතු කථාවකි. සංඝයාය කියනුයේ බුදුන් වහන්සේ ගේ පැවිදි පිරිසට ය. එක් එක් පුද්ගලයෙක් සංඝයා නො වේ. කවර ආකාරයකින්වත් එක් පුද්ගලයකුට පුද්ගල සමූහයක් නො විය හැකි ය. එබැවින් “මම සඟ වෙමි”යි කීමත් කිසි ම තේරුමක් නැති උමතු කථාවෙකි. බුදුන් වහන්සේ අනුශාසකයාය, සංඝයා උන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ ය “බුදුවන්නේත් මම ය, සඟ වන්නේත් මම ය” යි කීම පියා වන්නේත් මම ය, මගේ පුතා වන්නේත් මම ය” යි කීම වැනි විහිළු කථාවෙකි.
මම බුදු වෙමි. මම ධර්මය වෙමි, මම සඟ වෙමි, මේ වගන්ති පාලි භාෂාවෙන් කියනවා නම් කියයුත්තේ “අහං බුද්ධො හොමි, අහං ධම්මො හොමි, අහං සංඝො හොමි” කියාය. “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” කියා පාලියට නො පෙරළිය හැකි ය. මේ කාරණයෙන් ද ඉහත කී තේරුම් කිරීමේ ක්‍රමය කිසි තේරුමක් නැතියක් බව කාහට වුවත් තේරුම් ගත හැකි ය.
මේවා මෙසේ වරදවා තේරුම් කරන්නවුන් විසින් එය කරන්නේ ඔවුන් ගේ නො දැනීමක් නිසා නොව කෛරාටිකකම නිසා ය. මෙසේ තේරුම් කිරීමෙන් ඔවුන් අදහස් කරන්නේ නූගත් බෞද්ධයන් මුළාකොට ඔවුන් පන්සල්වලින් ඈත්කොට, භික්ෂූන් වහන්සේලාගෙන් ඈත් කොට තමන් ගේ ශ්‍රාවකයන් කරගෙන ඔවුන්ගෙන් ගරු බුහුමන් ලාභ සත්කාර ලැබීමට ය.
සෑමලු ආදියෙහි පහන් දල්වන්නේ ඒ ස්ථාන ආලෝක කිරීම පරමාර්ථය කරගෙන නොව බුදුන් වහන්සේට පහන් පිදීමක් වශයෙනි. බුදුන් වහන්සේට එක පහනක් පුදන්නා හට එක පහනක් පිදීමේ කුශලය ලැබේ. දෙක තුනක් පුදන්නාට දෙක තුනක් පිදීමේ කුශලය ලැබේ. සැදැහැවත්හු බොහෝ පින් සිදුකර ගැනීම සඳහා සිය ගණන් දහස් ගණන් පහන් පුදති.
පින් පව් හඳුනන්නා වූ බුදුගුණ දන්නා වූ පින්වත්හු මෙබඳු පින්කම් දැක සිත සතුටු කර ගෙන පින් අනුමෝදන් වී අනුන් කරන පිනෙන් ද ප්‍රයෝජන ලබති. බාලයෝ ‘නිකම් පහන් දල්වා රටේ ඇති තෙල් විනාශ කරති’යි අනුන් කරන පින්කම්වලට සිත නරක් කර ගෙන මරණින් මතු අපා ගත වෙති. මල්ල රජුන් ගේ ධාතු පූජාව ගැන සිත් නරක් කර ගත්තා වූ අසූසය දහසක් මිථ්‍යාදෘෂ්ටිකයන් ඒ පවින් අපාගත වූ බව “මිච්ඡාදිට්ඨිකා සමණස්ස ගොතමස්ස පරිනිබ්බුත කාලතො පට්ඨාය බලක්කාරෙන සාධු කීළිතාය උපද්දුතම්හ, සබ්බේ නො කම්මන්තා නට්ඨාති උජ්ඣායන්තා මනං පදොසෙත්වා ජලාසීති සහස්සමත්තා අපායෙ නිබ්බත්තා” යනුවෙන් මහා පරිනිර්‍වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. කොසොල් රජතුමා ගේ අසදෘශ දානය ගැන සිත දූෂණය කර ගත් කාල ඇමති එපවින් මෙලොවදී ම තනතුරෙන් පහවූ බව දම්පියාටුවාවෙහි දක්වා තිබේ. තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.
න වෙ කදරියා දෙවලොකං වජන්ති
බාලා හවෙ නප්පසංසන්ති දානං
ධිරො ච දානං අනුමොදමානො
තෙනෙව සො හොති සුඛී පරත්ථ.
අනුන් ගේ දීම්වලට ද කැමති නො වන තද මසුරෝ දෙව්ලොවට නො යන්නාහ. බාලයෝ දානයට ප්‍රශංසා නො කරන්නාහ. නුවණැත්තෝ දානය අනුමෝදන් වෙමින් එයින් මරණින් මතු සැපවත් වන්නේ ය.
මල් පූජාව බුදුන් වහන්සේට හෝ චෛත්‍යයට බෝධියට විහාරයට හෝ මල්වලින් ඇති වුවමනාවක් නිසා කරන්නක් නොවේ. මනා වර්‍ණයෙන් හා සුවඳින් යුක්ත වන මල ප්‍රිය වස්තුවකි. ශුද්ධ වස්තුවකි. එබැවින් එය ලෝකයා විසින් උසස් දෙයක් කොට සලකනු ලැබේ. එබැවින් උසස් කොට සලකන මිණි මුතු ආදිය මෙන් මල් හිසෙහි ද පළඳිති. ගරු කළ යුත්තකුට ගරු කිරීමක් වශයෙන් පිරිනැමිය යුත්තේ තමා විසින් උසස් කොට සලකන පිළිගන්නා තැනැත්තා විසින් ද පිළිකුල් නො කරන දෙයකි. මල එබඳු දෙයක් බැවින් දෙවියන්ට ගරු කරන මනුෂ්‍යයෝ මලින් දෙවියන් පුදති. රාජාදි උසස් අය දක්නට යන කල්හි ද බොහෝ දෙනා මල් ගෙන යති. උතුමන් පිළිගැනීමේ දී මල්මාලා පළඳවති. බුදුන් වහන්සේ ලෝකයේ අන් සැමට ම වඩා උත්තම බව දත් නුවණැත්තෝ උන් වහන්සේට ද මල් පුදන්නට වූහ.
උන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු උන් වහන්සේ වෙනුවට ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි මල් පුදන්නට වූහ. එසේ පූජා කරන්නේ අනුවණකම හෝ උමතුකම නිසා නොව, බුද්ධාදි උත්තමයන්ට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ අනුසස් ලැබිය හැකි නිසා ය. ගරු කළ යුත්තන්ට ගරු කිරීමත්, පිදිය යුත්තන් පිදීමත් උතුම් පින්කම් දෙකකි. වැඳුම් පිදුම් මෝඩ වැඩ සැටියට පෙනෙන්නේ ආගම නො දත්, පරලොවක් ඇති බව නො දත් පින් පව් නො හඳුනන අයට ය. මල් පිදීමෙන් බොහෝ කල් දෙවි මිනිස් සැප ලබා අන්තිමට නිවන් දැක දුක් කෙළවර කර ගත් අය ගේ තොරතුරු දැක්වෙන කථා බොහෝ ගණනක් බෞද්ධ පොත්වල එන්නේ ය. රජගහ නුවර එක් උපාසිකාවක් චෛත්‍යයට පුදන්නට මල් සතරක් ගෙන යද්දී පැටවකු ඇති දෙනක විසින් ඇණ මරාදමනු ලැබ, මල් ගෙනයාමේ පිනෙන් ම තව්තිසා දෙව්ලොව උපන් බව විමානවත්ථු පාලියෙහි ඇත්තේ ය. බුදුනට මල් පිදීමේ අනුසස කොතරම් මහත් ද යන බව එයින් සලකා ගත හැකි ය.
සමහරු වැඳුම් පිදුම් කිරීම පිණිස සොරකමින් වුව ද ධාතූන් වහන්සේලා ගැනීම පාපයක් නො වෙති යි සිතති; කුමක් පිණිස කළත්, කිනම් අදහසකින් කළත් සොරකම සොරකම ම ය. පව් නො වන සොරකමක් ඇති බව පිටකත්‍රයෙහි හෝ අටුවා ටීකාවල හෝ සඳහන් වී නැත. ධාතූන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමේ ආශාව කුශලච්ඡන්දයෙකි. ඒ කුශලච්ඡන්දය නිසා සිදුවන හැම දෙය ම කුශල් නොවේ. සමහර අවස්ථාවලදී කුශලය අකුශලයටත් අකුශලය කුශලයටත් ප්‍රත්‍යය වන බව:-
“කුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො. අකුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො” යි පට්ඨාන මහා පකරණයෙහි වදාරා ඇත්තේ ය. කරුණු මෙසේ හෙයින් කුශලච්ඡන්දය නිසා වුව ද කරන ධාතු සොරකම වූ අදින්නාදාන කර්‍මය පාපයක් බව සැලකිය යුතු ය.
“අදත්තාදාන පාපය සිදුවන්නේ අනුන්ට අයත් වස්තුවක් සොරකම් කළහොත් ය. සර්‍වඥධාතූන් වහන්සේලා කාටවත් අයිති නැත. ඒ නිසා ඒවා ගැනීමෙන් අදත්තාදාන කර්‍මයක් සිදුවන්නේ නැත” ය යනු සමහරුන් ගේ මතයෙකි. මෙසේ ධාතූන් වහන්සේලා කාහටත් අයිති නැති බව කියතත් ධාතූන් වහන්සේලා කුසිනාරා නුවරට වැඩමවා ගත් සැටියේ ම බොහෝ දෙනෙක් ධාතූන් වහන්සේලාට අයිතිකම් කීහ. මල්ලයෝ ඔවුන් ගේ රටෙහි තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ බැවින් ධාතූන් වහන්සේලා ඔවුනට අයිති බව කීහ. ශාක්‍යයෝ නෑකම නිසා ධාතූන් වහන්සේලා ඔවුනට අයිති බව කීහ. තවත් රජවරු ද තථාගතයන් වහන්සේ ක්ෂත්‍රියයකු බැවින් ක්ෂත්‍රිය වංශයේ වූ ඔවුන්ටත් ධාතු අයිති බව කීහ. ධාතූන් වහන්සේලා ගේ අයිතිය සම්බන්ධයෙන් ඒ රජවරු යුද්ධයට සැරසුණෝ ය. එකල්හි ද්‍රෝණ බ්‍රාහ්මණයා ඔවුනට කරුණු කියා යුද්ධය නවත්වා ධාතූන් වහන්සේලා බෙදා දුන්නේ ය. ඒ ඒ අය ලැබූ ධාතු කොටස ඒ ඒ අයට හිමි විය. දැනට පරම්පරාවෙන් පරම්පරාවට අතින් අතට එනුවෝ ඒ ධාතූන් වහන්සේලා ය.
ධාතූන් වහන්සේලා කාහටවත් අයිති ද, නැත ද, යන බව තේරුම් ගත යුත්තේ අයිතිය පිළිබඳ වූ ලෝක සම්මුතිය අනුව ය. යම්කිසි වස්තුවක් තමා කැමති සැටියට තබා ගෙන සිටීමට නීතියෙන් බාධාවක් නැති නම්, යම් වස්තුවක් තමා ගේ කැමැත්තට කළාට ඒ ගැන ඒ තැනැත්තාට චෝදනා කිරීමට හෝ දඬුවම් කිරීමට හෝ නීතියෙන් ඉඩක් නැතිනම්, ඒ දෙය ඔහුට අයත් සැටියට සලකනු ලැබේ. යම් කිසිවකුට සර්‍වඥ ධාතූන් වහන්සේ නමක් ඇති නම් ඒ ධාතූන් වහන්සේ ගැන නීත්‍යනුකූල අයිතිය ඔහුට ඇත්තේ ය. ඒ ධාතූන් වහන්සේ අනිකකු විසින් සොරා ගත හොත් ඔහුට නීත්‍යනුකූලව චෝදනා කළ හැකි ය. දඬුවම් කළ හැකි ය. එසේ කළ හැකි වන්නේ සොරකම් කළහුට එය ගැනීමට බලයක් නැති නිසා ය. ධාතූන් වහන්සේලා සොයා ගෙන ආරක්‍ෂා කර ගෙන සිටින්නවුන්ට ඒවා ගැන නීත්‍යනුකූල අයිතියක් ඇති බැවින් ඒවා සොරකම් කරන්නවුන්ට ද අදත්තාදාන පාපය ඇති වේ.
තවත් සමහරු සර්‍වඥධාතූන් වහන්සේලා පෞද්ගලික වශයෙන් කාහටවත් අයිති සැති සියලු ම බෞද්ධයන්ට පොදුවේ අයිති වස්තූහු ය යි ද කියති. එය නීතියට යුක්තියට ගැලපෙන්නක් නොව ඔවුන් ගේ මතිමාත්‍රයෙකි.
සෝවාන් පුද්ගලයෝ පස්පවින් වැළකී සිටින්නෝ ය. කුසිනාරා නුවර සර්‍වඥධාතූන් වහන්සේලා බෙදන අවස්ථාවෙහි දී ද්‍රෝණ බ්‍රාහ්මණයා ගේ ජටාවෙහි සඟවා ගෙන තුබූ දකුණු දළදා වහන්සේ සෝවාන් පුද්ගලයකු වන සක්දෙව් රජ ගෙන ගියේ ධාතු සොරකම පාපයක් නො වන නිසා ය යි ද ඇතැම්හු කියති. සක්දෙව් රජ ධාතූන් වහන්සේ ගෙන ගියේ සොර සිතින් නොව, “මේ බ්‍රාහ්මණයා ධාතූන් වහන්සේට සුදුසු ලෙස සත්කාර කරන්නට සමත් නො වන්නේය: මම ගෙන ගොස් ධාතූන් වහන්සේට සුදුසු පරිදි සත්කාර කරන්නෙමි” යි යන අදහසිනි. අන්සතු දෙයක් සොරසිතින් ගැනීම සෝවාන් පුද්ගලයකු වන සක්දෙවිඳු නො කරන්නේ ය.
සක්දෙව් රජ විසින් දළදාව ගත් සැටි මහා පරිනිර්‍වාණ සූත්‍ර අටුවාවේ දක්වා ඇත්තේ “බ්‍රාහ්මණො පි දාඨාය අනුච්ඡවිය සක්කාරං දාතුං න සක්ඛිස්සති ගණ්හාම නන්ති වෙඨන්තරතො ගහෙත්වා සුවණ්ණ චංගොටකෙ ඨපෙත්වා දේවලොකං නෙත්වා චූළාමණී චෙතියෙ පතිට්ඨාපෙසි” යනු වෙනි. මෙයින් දැක්වෙන්නේ සුදුසු පරිදි ධාතූන් වහන්සේට සත්කාර කිරීමට බමුණා අසමත් බැවින් සක්දෙවිඳු ධාතූන් වහන්සේ ගෙන ගොස් සිළුමිණිසෑයෙහි තැබූ බව ය. ධාතු සොරකම පවක් නො වන බවට සොර සිතින් තොරව කළ සක්දෙව් රජු ගේ මේ ක්‍රියාව සාධකයක් වශයෙන් නො ගත හැකි ය.
මේවා සර්‍වඥධාතූන් වහන්සේලා ම ය කියා නිසැකව හැඳින ගත හැකි වන යම් කිසි ප්‍රාතිහාර්‍ය්‍යයක් ඒ ධාතූන් වහන්සේලා කෙරෙහි නැත. සාමාන්‍යයෙන් ධාතූන් වහන්සේලා හැඳින ගත හැක්කේ ප්‍රමාණයෙන් හා පැහැයෙනුත් හැඩහුරු කමිනුත් ය.
තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහන කළ පසු ලලාට ධාතුව ය, දන්තධාතු සතර ය, අකුධාතු දෙක ය යන ධාතූන් වහන්සේලා සත් නම ඒ සැටියට ම ඉතිරි වූහ. ශරීරයේ අනික් සියලු අස්ථීහු කුඩා ධාතු බවට පත් වූහ. එවායින් මහත් වූ ධාතූහු මුං පියලි පමණ වන්නාහ. මධ්‍යම ධාතූහු කඩසහල් පමණ වන්නාහ. කුඩා ධාතූහු අබ ඇට පමණ වන්නාහ. ඒවායින් මහාධාතුහු රන්වන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතුහු සමන් කැකුළු පැහැ ඇත්තාහ. කුඩා ධාතුහු මුතු පැහැ ඇත්තාහ.
සර්‍වඥධාතුය කියන යමක් මුං ඇට පළුවකට වඩා මහත් නම් එය සැබෑ ධාතුවක් නො වන බව දත යුතු ය. අබ ඇටයකට කුඩා නම් එයත් සර්‍වඥ ධාතුවක් නො විය හැකි ය. මුං පියල්ලක් පමණ වෙතත් රන්වන් පැහැය නැතිනම් එයත් සර්‍වඥ ධාතුවක් නො විය හැකි ය. සහල් ඇටයකින් භාගයක් පමණ වෙතත් සමන් කැකුළු පැහැය නැති නම් එයත් සර්‍වඥධාතුවක් නො විය හැකි ය. අබ ඇටයක් පමණ වෙතත් මුතු පැහැය නැති නම් එයත් සර්‍වඥධාතුවක් නො විය හැකි ය. ලෝකයෙහි ඇති සෑම දෙයකට ම සමාන දෙයක් සෑදිය හැකි ය. එබැවින් කියන ලද ලකුණු තුබුණත් එපමණින් ම එය සර්‍වඥ ධාතුවකැයි ස්ථිර වශයෙන් නො පිළිගත හැකි ය. සත්කාර සම්මාන නො ලබන්නා වූ ධාතූන් වහන්සේලා තථාගතයන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි සත්කාර කරන ස්ථානවලට වැඩම කරන බව මනෝරථ පූරණී අටුවාවෙහි කියා තිබේ.
බුදුසසුන පිරිහෙන කල්හි මේ ලක්දිව සියලුම සර්‍වඥධාතූන් වහන්සේලා අනුරාධපුරයේ රුවන්වැලි මහසෑයට එකතුවන බවත්, එතැනින් සියලු ම ධාතූන් වහන්සේලා නාගදීපයේ රාජායතන චෛත්‍යයට වැඩම කර, ඉන් පසු දඹදිව මහ බෝමැඩට වැඩම කරන බවත්, නාගලෝක දිව්‍යලෝක බ්‍රහ්මලෝකයන්හි වැඩ සිටින ධාතූන් වහන්සේලාත් එතැනට වැඩම කර සියල්ල එක්වී බුදු රුවක් මැවී දස දහසක් සක්වළ පැතිර යන පරිදි බුදුරැස් විහිදුවා නැවත දැවී සියල්ල අතුරුදහන් වන බවත් ධාතු පරිනිර්‍වාණය සිදුවන තුරු එකම ධාතූන් වහන්සේ නමක්වත් නැති නො වන බවත් සම්පසාදනීය සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ.
ධාතු පරීක්ෂා කරන ඇතැම්හු ධාතුපරිනිර්‍වාණය සිදු වන තෙක් සියලු ම සර්‍වඥධාතූන් වහන්සේලා නො නැසී පවතින බව කියා තිබීම සලකා ගෙන ධාතූන් වහන්සේලා ගින්නෙහි ලා විමසති. ගින්නට ඔරොත්තු දෙන තවත් වස්තූන් ඇති බැවින් ඒ පරීක්ෂණයෙන් ද ධාතු ගැන ස්ථිර නිගමනයකට බැස ගැනීමට නුපුළුවන. සමහරු අඬුවලට තදකර ධාතූන් වහන්සේලා විමසති. එබඳු තද කිරීම්වලට ඔරොත්තු දෙන තවත් වස්තූන් ඇති බැවින් ඒ පරීක්‍ෂණය ද එතරම් වැදගත් කොට නො පිළිගත හැකි ය. සර්‍වඥ ධාතූන් වහන්සේ නමක් වුවත් අඬුවකින් තද කිරීමක් හෝ තැළීමක් කළ හොත් පොඩිවීමක් නො වනවාය කියා නිශ්චය නො කළ හැකි ය. උපක්‍රමයකින් පොඩි කළත් එයින් ධාතූන් වහන්සේ නැතිවූයේ නො වේ. ඒ කුඩු, ධාතු පරිනිර්‍වාණය තෙක් කොහි හෝ පැවතිය හැකි ය. සමහරු ධාතූන් වහන්සේලා මල්වලට වඩිතියි කියති. එය පිළිගත හැක්කක් නො වේ. සර්‍වඥ ධාතූන් වහන්සේ නමක් වශයෙන් සලකා ගෙන තමා වැඳුම් පිදුම් කරන වස්තුව සැබෑ සර්‍වඥ ධාතූන් වහන්සේ නමක් නො වූවත් ඒ ගෞරවය බුදුන් වහන්සේ උදෙසා ම කරන්නක් බැවින් වැඳුම් පිදුම් කිරීමේ ඒ පින ඒ තැනැත්තාට අඩුවක් නැතිව ලැබෙනවා ඇත. පරීක්‍ෂා කරන්නට ගොස් ධාතූන් වහන්සේලාට අගෞරව කිරීමත් නුසුදුසු බව සැලකිය යුතු ය.