Ape Budu Hamuduruwo 126

අපේ බුදුහාමුදුරුවෝ 126

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 21

ජූජක බමුණා දරුවන් ලබාගැනීමට වෙස්සන්තර රජ සොයමින් පිටත්වීම. 

මෙසේ මා ආපසු එනතෙක් පරිස්සම් වන්නැයි අවවාද දී මාර්ගෝපකරණ පසුම්බිය උරයෙහි එල්ලාගෙන අමිත්තතාපව දෙසට හැරී අවසන් වතාවට ඇය දෙස බලා කදුළින් පිරුණු දෙනෙතින් යුතුව වෙසතුරු රජු මීට පෙර විසූ ජයතුරා නුවරට දසිදාසියන් සොයමින් ජූජක බමුණා පිටත්ව ගියා. ඔහු ඒ වනවිටත් දැන සිටියේ නැහැ රජතුමා සියල්ල අතහැර වනගත වී සිටිබව. ඒ කෙසේවෙතත් මේ සියල්ල මෙසේ සිදුවන්නේ දෙවිවරුන්ගේ මැදිහත් වීමෙන් බෝසතාණන් වහන්සේ හට අවසාන පාරමිතා පුර්ණය සඳහා බව අට්ඨ කතාවන්හි සඳහන් කාරණා අනුව මැනැවින් පැහැදිළි වෙනවා.

ජයතුර නගර වැසියන් ජූජක බමුණාට ගල් ගසා පැන්නීම.

ඔහු ජයතුරා නගරයට ගොස් රැස්ව සිටිය ජනයාගෙන් වෙස්සන්තර රජු කොහේදැයි විමසුවා. එවිට සිදුවුනේ ඔහු හීනෙකින්වත් නොසිතු දෙයක්. ඒ වනවිටත් වෙසතුරු රජුව අධික ලෙස දන්දීමේ හේතුවෙන් ඔහුගේ සියලු දේ ඉල්ලාගත් බමුණන් කෙරෙහි රටේ සාමාන්‍ය මහජනතාව මහත් කෝපයකින් සිටියේ. එවිට වැසියෝ බමුණ, රජතෙම අඹුදරුවන් ගෙනගොස් වංකගිරියේ වාසය කරයි. තොපවිසින් අධික දානයෙන් පෙළන ලද රජ සියරටින් නෙරපන ලද්දේ වංකගිරිය පර්වතයේ වාසය කරයි. මෙසේ අපගේ රජතුමාව විනාශකොට නැවතද ආවාහු ඔහොම හිටු කියා” ගල්මුගුරු ගස් අතැතිව බමුණාව ලුහුබඳින්නට වුණා. ඔහු දේවතාවන් විසින් මෙහෙය වූ නිසාම එයින් මිදී වංකගිරියට යන මාර්ගයට නිරුපද්‍රිතව පිවිසියා.

මහා වනයේ අතරමංවූ ජූජක බමුණා දඩයම් බල්ලන් විසින් වටකරනු ලැබීම.

කාමයෙහි ගිජු වූ ඒ බමුණා බැමිණිය විසින් චෝදනා කරන ලද නිසා වනමුර්ගයන් ගැවසීගත් කඟවෙහෙනුන් හා දිවියන් විසින් සෙවුනා ලද වනයක වින්දයුතු යම් දුකක් ඇත්ද ඒ දුක විඳිමින් වෙසතුරු රජු සොයමින් ඉදිරියටම පියමැන්නා. මෙලෙස ඒ බමුණා බේලුව සැරයටියද ගිණිපුදන කෙනෙස්සද කමඩලාවද ගෙන වෙසතුරු රජ වෙසෙතැයි අසා දැනගත් ඒ මහා ආරණ්‍යට ද පිවිසියා. එහෙත් ඒ වනවිටත් මිට ඉහත කි පරිදී මිත්‍ර රජවරුන් විසින් වෙසතුරු රජුගේ ආරක්ෂාව පිණිස ඔහුටත් හොරෙන් ඉතා පළපුරුදු දක්ෂ විශ්වාසවන්ත කුලී හේවායෙක් යොදවා තිබුණ. ඔහු හිටියේ දඩයම් බල්ලෝ රෑනක් පිරිවරාගෙන. ඒ බල්ලන්ට හොරෙන් කාටවත් ඒ ප්‍රදේශයට ඇතුළු වන්නට පුළුවන් කමක් තිබුනේ නැහැ.

ඒ වනවිටත් අන්ත අසරණ වී සිටි ජූජක බමුණා මහාහඩින් හඬන්නට වුණා. මම මංමුළා වුණා. හරිමගින් දුරුව ගියා. භෝග සම්පතින් ගිජු වූ සංයමයක් නැති ඒ බමුණා වංකගිරියට යන මග මුළා වුණා. මහජනයා විසින් පසුපස ඒමේ දුකද, වනයට පිවිසීමේ දුකද, නිවැරදි මග සොයාගැනීමට නොහැකි වූ දුකද නිසා ඔහු තව තවත් හඬන්නට වුණා. මෙසේ වනයේ අතරමංව දසත ඇවිදිමින් සිටින අතරතුර ආරක්ෂාව පිණිස සිටි සේවක පුරුෂයාගේ සුනඛයෝ ඔහුව වටකරගත්තා. වහාම ආරක්ෂාව පිණිස අසළ තිබූ ගහකට නැගගත් ඔහු සුනඛයින් විසින් පිරිවරන ලදුව ගසේ සිටිමින් මෙලෙස ගාථාවෙන් කියන්නට වුණා.

රාජපුත්‍ර වූ උතුම් වූ මසුරුසිත් ජයගන්නාවූ අපරාජිත වූ බිහි අභය දෙන්නාවූ වෙසතුරු රජ වසන තැන් කවරෙක් මට දැන කියන්නේද?

හෙළපියුමින් සැදුණු කුසුම් රේණුයෙන් යුත් කලණ කොට ඇති පවිත්‍ර වූ සිහිල් සෙවණ ඇති මනරම් විලක් බදු වෙසතුරු මහරජු හු කවරෙක් මට දැන් කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මග මිරිකුණවුනට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග ඇති මනරම් ඇසතු රුකක් යම්සේ නම්, එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහෙදැයි කවරෙක් මට දැන කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මාර්ගයේ ක්ලාන්ත වුවන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගි මනරම් නුගරුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහිදැයි කවරෙක් මට කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා මහමග පෙළුනවුන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගිමනරම් අඹරුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු මහරජු කොහේදැයි කවරෙක් මට දන්වන්නේද?

විඩාපත් ජනයාගේ වෙහෙස හරණ වූ මහමග පෙළුනවුන්ට පිහිට වූ සිහිල් සෙවන ඇති මහමග නැගී මනරම් සල්රුකක් යම්සේ එබදු උපමා ඇති වෙසතුරු මහරජ කොහේදැයි කවරෙක් මට දැන කියන්නේද?

විඩාපත් ජනයන්ගේ වෙහෙස හරනා වූ මහමග වෙහෙසට පත් වුවන්ට පිහිට වූ සිහිල් සෙවණ ඇති මහමග නැගී මනරම් රුකක් යම්සේ නම් එබදු උපමා ඇති වෙසතුරු රජු කොහේදැයි කවරෙක් මට දැන කියන්නේද? 

මහා වනයේ මංමුළා වූ මෙසේ වැලපෙන මට යමෙක් “මම දනීමි යි කීනම් හේ මට සොම්නස් දනවන්නේය.

මහවනයේ මංමුළා වූ මෙසේ වැළපෙනා මට යමෙක් මම දනිමියි කි නම් හේ වදනින් බොහෝ පින් රැස් කරන්නේය. 

ඔහුගේ ඒ වැළපීම් හඩ අසා ආරක්ෂාව පිණිස තබන ලද දඩයක්කාරයකු ලෙස වනයෙහි ඇවිදිමින් සිටි සේවකයා මෙලෙස සිතුවා.

වෙසතුරු රජුගේ ආරක්ෂාවට යොදවා තිබූ කුලී හේවායා ජූජක බමුණාව මැරීමට අදහස් කිරීම.

“මේ බ්‍රාහ්මණය වෙස්සන්තර රජු වසන තැන සදහා වැළපෙයි. මොහු වනාහි හොද දෙයකට පැමිණි කෙනෙකු විය නොහැකියි. මොහු නියත වශයෙන්ම එන්නට ඇත්තේ මද්‍රි දේවිය හෝ දරුවන් ඉල්ලීමටයි. ඔහුව මෙහිම මරා දැමිය යුතුයි.” යනුවෙන් ඔහුගේ සමීපයට ගොස් බ්‍රාහ්මණය තට ජීවිතය නොදෙමි කියා දුන්න ඇද තර්ජනය කරනු ලැබුවා.

ඔහු තව දුරටත් මෙසේ කිවා.

බමුණ තොප විසින් අතිදානයෙන් පෙළන ලද රජතෙම සියරටින් නෙරපන ලද්දේ වංකගිරියේ වාසය කරයි. බමුණ තොප විසින් අධික දානයෙන් මඩනා ලද වෙසතුරු රජ අඹුදරුවන් කැටිව ගොස් වංකගිරියේ වසයි. නුවණ නැති නොකටයුතු කරනසුලු තොප දියෙහි මත්සයකු සොයන කෙනෙකු මෙන් වෙස්සන්තර රාජපුත්‍රයා සොයමින් රටින් නික්ම මහවනයට ආයෙහි. බමුණා තා මරා තාගේ හිස සිද අක්මා සහිත හදමස් කපාගෙන තාගේ මසින් මාර්ග දේවතාවන්ට පන්තසකුල නම් බිලිපුජාවක් කරමි. බමුණ, තාගේ හදමස් කපාගෙන තාගේ මසිනුදු මස් තෙල්වලින් හිස්මොලවලින් ද හෝම කරන්නෙමි. බමුණ ම විසින් තාගේ මසින් කරන ලද ඒ මනාව යාගකරණ ලද මනාව පුදන ලද කවර හේතුවක් නිසාද? ඒ හේතුවෙන් තොප රාජපුත්‍රයාගේ අඹුව හෝ දරුවන් හෝ නොගෙන යන්නේය.

ජූජක බමුණාගේ වහසිබස් හමුවේ රැවටුන ආරක්ෂක කුලී හේවායා.

හෙතෙම ඔහුගේ වචනය අසා මරණභයින් තැතිගත්තේ බොරු ගොතමින් මෙසේ කියන්නට වුනා. චේත පුත්‍රය ! මාගේ බස් අසව, බමුණාද දුතයාවද නොමැරිය යුතු වෙයි. ඒ කරුණෙන් දුතයා නොමරති. මේ සනාතන ධර්මයකි. හැම සිවීහු සන්හිදුවන ලදහ. පියරජ ඔහු දක්නට රිසිවෙයි. ඔහුගේ මවද දුබලය. නොබෝ කලකින්ම ඇගේ ඇස් පිරිහෙයි. මම ඔවුන් විසින් මෙහෙයන ලදුවෙමි. චේත පුත්‍රය, මාගේ බස් අසව වෙසතුරු රජපුතු ගෙන යමි. ඉදින් දනීනම් මට කියව.

මෙය ඇසු කුලී හේවායා මොහු වෙස්සන්තර රජුව නැවත රැගෙන යන්නේයැයි සොම්නසට පත්ව සුනඛයින් බැද තබා බ්‍රාහ්මණයාව බස්සවා අතු අතරේ හිදුවා මෙසේ කීවා. බමුණ මාගේ ප්‍රිය වෙසතුරු රජ හට ඔබ ප්‍රිය දුතයෙකි. තට තුටුපඩුරු කොට මේ මී පුරවන ලද ලබුකබල ද මුවකලඹද දෙමි.කැමති සැපත් දෙන වෙසතුරු රජු යම්තැනක වෙසේද එදෙස තට කියමි.

 

Ape Budu Hamuduruwo 125

අපේ බුදුහාමුදුරුවෝ 125

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 20

කහවනු සියයක ණය හිලව් කිරීමට ජූජක මහලු බමුණාට පාවා දුන් තරුණ රූමතිය.

වෙසතුරු රජ ඇතුළු පවිලේ සියලු දෙන තපස් පැවිද්දෙන් පැවිදිව එලෙස බ්‍රහ්මචාරී ජිවිතයක් ගත කරද්දී තවත් පදෙසෙක ඔබ අප අසා ඇති තවත් අතීත වෘතාන්තයක් මෙලෙස ආරම්භ වෙමින් පැවතුණ.

කහවනු සියයක ණය හිලව් කිරීමට ජූජක මහලු බමුණාට පාවා දුන් තරුණ රූමතිය.

ඒකාලයේ කලිගු රටේ දුනනිවිටඨ නම් බ්‍රාහ්මණ ගමෙහි වැසියෙකු වූ ජූජක නම් බ්‍රාහ්මණයෙක් සිගාකෑමෙන් ජීවත්වුණා. ඔහු සිගාකෑමෙන් ලැබූ කහවණු සියයක් ආරක්ෂාව පිණිස එක්තරා බ්‍රාහ්මණ ගෙදරක තබා නැවත මුදල් සෙවීම සදහා පිටත්වුණා. ඔහු ආපසු ඒමට කල්ගත වූ නිසා බ්‍රාහ්මණ ගෙදර අය තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වලට පරිස්සමට තැබූ කහවණු වියදම් කරගත්තා. පසුව මුදල්හිමියා අවුත් මුදල් නැති බව පිළිබදව චෝදනා කරද්දී මුදල් දීමට නොහැකි නිසා අමිත්තාතාප නම් තම දියණියව ඔහුට ඒ සඳහා හිලවු වීමට පාවාදුන්නා. ඔහු ඇයවත් රැගෙන කලිගු රටේ දුනනිවිටඨ නම් ගමට ගොස් අලුත් දිවියක් ආරම්භ කළා.

ජූජක මහලු බමුණාගේ තරුණ බිරිඳට ගමේ අනෙකුත් ගැහැණුන් නින්දා පරිභව කිරීම.

ඇය අමිත්තාතාපාව බ්‍රාහ්මණයාට ඉතාමත් හොදින් සැළකුවා. අනෙක් තරුණ බමුණෝ ඇගේ ආචාරශීලි බව දැක “මේ තැනැත්තිය මහළු බමුණකුට සත්කාර කරන්නීය.නුබලා අප කෙරෙහි කුමක් නිසා එසේ නොකරන්නාහුදැයි” තමන්ගේ බිරින්දන්ට තර්ජනය කරන්නට දොස් කියන්නට පටන්ගත්තා. එයින් කිපුණු ඒ කාන්තාවෝ මේ අමිත්තාතාපාව ගමෙන් පැන්නිය යුතුයයි සිතා ගංතොට ආදී තැන්හිද රැස්වී ඇයට නින්දා කරන්නට පටන්ගත්තා. ඒ කාන්තාවෝ දිය ගෙනෙන්නට ඔයට ගිය ඒ අමිත්තතාපාව පිරිවරාගෙන මෙසේ ඇනුම් පද කියන්නටත් පරිභව කරන්නටත් වුණා.

“මෙවන් ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හුද තිගේ ඒ මව සැතිරියකයි සිතම්හ. තිගේ ඒ පියා සතුරෙකයි හගිම්හ.

මෙවන් ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ දිරාගිය මහල්ලාට දුන්හිද තිගේ ඒ නෑයෝ රහසිගත තිට අවැඩක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් සොදුරු ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරාජීර්ණ මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ රහසිගත තිට අවැඩක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් සොදුරු ළදරු බව ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරාජීර්ණ මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ රහසිගත තීට දුෂ්කරයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් ළදරුවිය ඇතිකල්හි යම්කෙනෙක් තී මේ ජරපත් මහල්ලාට දුන්හුද තීගේ ඒ නෑයෝ රහසිගතව තිට පව්කමක් මන්ත්‍රණය කළාහු වන.

මෙවන් තුරුණුබව ඇතිකල්හි යම්කෙනෙක් තීමේ දිරාගිය මහල්ලාට දුන්හුද තිගේ ඒ නෑයෝ එකලා වැලිදු තිට අමනාපයක් මන්ත්‍රණය කළාහු විය යුතුය.

මෙවන් ළදරුබව ඇතිකල්හි නොමනා විසීමක් වසන්නෙහි යම්බදු තෝ මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද ඒ තිගේ ජිවිතයට වඩා මරණය උතුම්ය.

කල්‍යාණ වූ සොදුරිය, මෙවන් තරුණ බව ඇති කල්හි තී යම් කෙනෙක් මහල්ලාට දුන්හුද ඒ තිගේ මවුද ඒ තිගේ පියාද තිට අනික් සැමියකු නොලත්හයි සිතම්හ.

මෙවන් දහර බව ඇතිකල්හි තී යම්කෙනෙක් මහල්ලාට දුන්හුද ඒ තී විසින් නවම් යාගය නපුරුකොට පුදන ලද වන තී විසින් ගිනිපුජා නොකරනලද්දේ විය.

මෙවන් තරුණ බවක් ඇතිකල්හි යම්බදු තොප මහල්ලාගේ ගෙහි වාසය කෙරෙහිද, ඊට හේතුව තොප මිට පෙර ආත්මභවයන්හි ලෝකයේ බඹසරෙහි නියැලී සිල්වත් බොහෝ අසුපිරූ තැන් ඇති මහණ බමුණන්ට අක්‍රෝෂ කල නිසාවෙනි..

නයකු විසින් නසන ලද්දේ දුක් නොවෙයි. සැතින් පහරන ලද්දේ දුක් නොවෙයි.යම් ස්ත්‍රියක් මහළු සැමියකු දකීද හේ මැ දුක්ද තියුණු දුක්ද වෙයි.

මහළු සැමියා සමග ක්‍රීඩාවක් නැත. කාමරතියක් නැත. අල්ලාප සල්ලාපයක් නැත. සිනාවද නො හොබී. යම්කලෙක තරුණයාද තරුණියද දෙදෙන රහසිව හිද රහස් කියද්ද එසද ඔබලාගේ ළය ඇසුරුකළ යම්කිසි ශෝක කෙනෙක් ඇද්ද ඒ හැම ශෝකයන් නසිති.

තෝ ළදැරියෙහි රූමත්ය.පිරිමින් විසින් වෙසෙසින් පතන ලදුවහු නැගී යන්න.නෑයන්ගේ ගෙයි වසන්න.මහල්ලා කෙසේ නම් තී රමණය කරන්නේද ?

ඇය ඔවුන් ඉදිරියේ මෙලෙසින් අපහාස විද දියකළයද ගෙන හඩමින් නිවස වෙත පැමිණියා. සොදුරිය අඩන්නේ ඇයිදැයි බමුණා විසින් විචාරණ ලද්දී ඔහුට ඒ බව දන්වමින් මෙලෙස හඬා වැටෙමින් කියන්නට වුණා.

” බමුණ තොප මහලු හෙයින් ගැහැණු මට නින්දා කරති. එහෙයින් බමුණ තොපට දිය ගෙනඒමට ගගට නොයමි.”

එවිට බමුණා ඇයව සනසමින් මෙලෙස කියන්නට වුණා.

“තොපි මින් පසු මට මෙහෙ නොකරව. මට දියගෙන ඒමද නොකරන්න. මම දිය ගෙනෙමි. ඔබ නොකිපෙන්න. “

හරිම පුදුමයි, මෙම කාන්තාව ගැන අප මිට පෙර අසා තිබුනේ මේ අයුරින් නෙවෙයි. නපුරු දුෂ්ඨ මහල්ලාගෙන් වැඩගත් වංක කතක් ලෙසයි. එත් ඒ සියල්ල මේ සටහන කියවන ඔබට බොරු යැයි වැටහේවි. ඇත්තෙන්ම තමාගේ ස්වාමිපුරුෂය වයෝවෘද්ධ මහල්ලෙක් වුවත් ඇය ඔහුට හැම යුතුකමක්ම ඉෂ්ඨ කලේ අවංක කීකරු බිරිඳක් ලෙසින්. එත් ඒ හැම දේම වෙනස් කලේ අපිරිසිදු සමාජය. අපට මෙම කතාව කියා දුන්නෙත් එවැනිම සමාජයක සත්‍ය වසාලමින්.

ගැහැණුන් ගේ අපවාද නිසා පොදු ස්ථාන වලට නොයාහැකි බැමිණිය ඒ සඳහා සේවකයන් ඉල්ලීම.

එම කාන්තාව කෙලෙසින්වත් ඔහුගෙන් වැඩ කරවගන්නට කැමති වුණේ නැහැ. ඇය විසින් සැළකුවේ එය ඇයට කරන මදිපුංචි කමක් ලෙස. ඔහුගේ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කල ඇය මෙලෙස කියන්නට වුණා.

යම්හෙයකින් ඔබ මා වෙනුවෙන් දිය ගෙනෙන්නේනම් මා හට බැල මෙහෙවරකම් කරයි නම් මම සැමියාගෙන් වැඩගන්නා එවන් කුලෙයෙහි නුපන්මු. බමුණ, ඔබ එසේ කරනු ලැබුවහොත් මම ඔබගේ ගෙයි නොවසන්නෙමි. එම නිසා මා හට බමුණ ඉදින් දාසයකු හෝ දාසියක හෝ නොගන්නාහු නම් තොප කෙරෙහි නොවසන්නෙමි. යම් කුලයක ස්ත්‍රීන් ස්වාමියන්හට වදකරත් ද මම එබදු කුලයක නුපන්නේ වෙමි. යම් හෙයකින් ඔබ ජලය ගෙනෙන්නේද මට එයින් වැඩක් නැත. බමුණ දැනගනුව, එසේ වුවහොත් මම ඔබට රුචිනොවන දෙයක් කරමි. එවිට ඔබ දුක් වන්නේය. යම්කලෙක ඍතු සම්බන්ධයේදී පවත්නා සැණකෙළියේ ස්වර්ණාභරණයෙන් සැරසුණු මා අන් පිරිමින් හා රමණය කරන්නී දක්නහුද ඒ තොපට දුක්වන්නේය. මා නොදැක්මෙන් හඩන්නාවූ මහළු තොපගේ කුදු බව බොහෝ වන්නේය. පැසුණු කෙහෙද බොහෝ වන්නේය.

එය අසා සිටි බමුණා බොහෝ අසරණ වුණා. ඔහු ඇයට මෙලෙස කිවා. 

“බැමිණිය, මා සතු ශිල්පයක් හෝ ධනයක් නැත . මම කෙසේනම් තිට දාසයක් හෝ දාසියක් ගෙනෙන්නෙම් ද? මම තිට මෙහෙ කරමි. පින්වතිය, කෝප නොවන්න.”

වෙස්සන්තර රජුගේ දරුවන් මෙහෙකාර කමට ගෙනෙන්න යැයි ජූජක බමුණා පිටත්කර යැවීම.

එහෙත් ඒ බසට ඒ තරුණ ස්ත්‍රිය කීකරු වුයේ නැහැ. ඇය මෙලෙස ඔහුට උපාය මාර්ගයක් කියාදුන්නා.

බ්‍රාහ්මණය, යම්සේ මා විසින් තෙපුලක් අසන ලදද එය මම ඔබට කියමි. සියල්ල දන් දෙන වෙසතුරු මහරජ, වංකගිරියේ වසයි. බමුණ ඔබ එහි ගොස් ඔහුගෙන් දාසයකු හෝ දැස්සක ඉල්ලව. එවිට ඒ රජ තොපට දාසයකුද දාසියකද දෙන්නේය. වෙස්සන්තර සමීපයට ගොස් දාසයකු හෝ දාසියක නොගෙනෙන්නාහු නම් තොපට රුචිනොවන දෙයක් කරන්නෙමි. ඒ අසා බ්‍රාහ්මණය තව තවත් බිය විය.

අවසානයේ ඇයගේ තර්ජන බියවැද්දීම් සහ ආදරය හමුවේ ඒ මහලු බ්‍රාහ්මණය තව තවත් බිය වුණා. ඉක්බිති ඒ බමුණා බියපත්ව බැමිණියගේ වයසට සහ කාමරාගයෙන් පෙළෙන ලදුව බැමිණියට මේ කාරණය කීවා.

“බැමිණිය තෙපි සංකුල නම් වූ කැවිලි ද සකුරුනම්වූ කැවිලිද මනාව සෑදු අත්වටද අත්සුණු ද බත්මුලක් ද මට මග උපකරණ ලෙස දෙන්න.සමාන කුල ඇති කුමරුවන් දෙදෙනෙකු තොපට දාසයන් පිණිස ගෙනෙන්නෙහි ඔවුහු දිවාරාත්‍රී නොමැළිව තොපට මෙහෙ කරන්නාහ. ඇයද වහා මාර්ගෝපකරණ පිළියෙළ කරදී බ්‍රාහ්මණයාට දැන්වූවා. ඔහු යාමට පෙර ගෙයි දුබල තැන් ශක්තිමත් කර දොර අලුත්වැඩියා කර වනයෙන් දර ගෙනවුත් කළයෙන් පැන් ගෙනවුත් සියළු භාජන පුරවා එහිදීම තවුස් වෙස් ගෙන, සොදුර මෙතැන් සිට අකාලයෙහි ගෙයින් පිටතට නොයන්න. මා ආපසු එනතෙක් අප්‍රමාදී වන්නැයි අවවාද දී පාවහන් ගලවා මාර්ගෝපකරණ පසුම්බිය උරයෙහි එල්ලාගෙන අමිත්තතාපව ප්‍රදක්ෂිණා කොට වැද කදුළින් පිරුණු දෙනෙතින් යුතුව ජයතුරා නුවරට දාසදාසියන් සොයමින් පිටත්ව ගියා.

 

Ape Budu Hamuduruwo 124

අපේ බුදුහාමුදුරුවෝ 124

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 19

සක් දෙව් අනින් විශ්වකර්ම දෙවියන් විසින් මැවූ අසපුව

වෙසතුරු කුමරු මුචලින්ද විළ අසලට පැමිණීම 

මම ඔබ හට මිට පෙරද කී සක් දෙවිඳු බෝධිසත්ත්වයන් වහන්සේට නිරතුරුවම ආරක්ෂාව රැකවරණය ලබා දුන්නා පමණක් නෙවෙයි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පවා ඒ ඒ අවස්ථාවල ඒ ඒ ආත්මභවයන්හි ලබා දුන්නා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ඔහු කෝටි සංඛ්‍යාත දෙවු මිනිසුන් මෙම සසරින් එගොඩකරන මතු බුදුවරයෙකු නිසා. ඒක හරියට විශ්වය තුලින්ම උන්වහන්සේට උන් වහන්සේගේ නිලයට නිල වශයෙන් ලැබූ වගකීමක් වගේමයි. එදත් ඒ වගේම තියෙන්නට ඇති. රමණීය හිමවත පාමුල මුචලින්ද විල තිබු තැනි තලාව ආසන්නයට අප මහා බෝසතාණෝ නොහොත් වෙසතුරු කුමරු පැමිණියේ දරු පවුලත් සමග හිස් අතින්. සුඛෝපභෝගී රජ මාළිගාවක සිටි එම කුමර කුමරියන් ගස් ගල් යට කෙසේ ජිවත් වන්නද?

සක් දෙව් අනින් විශ්වකර්ම දෙවියන් විසින් මැවූ අසපුව

ඒ මොහොතෙහි ශක්‍ර දේවේන්ද්‍රයා ආවර්ජනා කර බලමින් ඒ කාරණය දැනගෙන මහාබෝධිසත්ත්වයන් වහන්සේ හිමවතට පැමිණ ඇතිබවත් වාසයට සුදුසු තැනක් ලැබිය යුතු බවත් සිතා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවනු ලැබුවා. “දරුව, යව ඔබ වංකගිරි පර්වතය තුළ රමණිය තැනක අසපුවක් මවා එවයි” ඔහුට අණ කරනු ලැබුවා. ඒ කියූ සැණින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා එම භුමියේ පෙනී සිටියා. ඉන් අනතුරුව අඹු සැමියන් වෙනුවෙන් පන්සල් දෙකක් සක්මන්මළු දෙකක් රාත්‍රීස්ථාන, සහ දිවස්ථාන මවනු ලැබුවා. ඉන් පස්සේ සක්මන් මළුවේ කෙළවර ඒ ඒ තැන්වල නොයෙක් මල්ගස් ද කෙසෙල් වනයක් ද මවනු ලැබුවා. එලෙස සියල්ල යුගල වශයෙන් මැවුවේ ඇයිද යන්න ඔබට පසුව වැටහේවි. ඒ සියල්ල එසේ සිදුකර සියලු පැවිදි පිරිකරද සපයා දී “යම් කෙනෙක් පැවිදිවෙනු කැමැත්තේ ද මෙය ගනීවායි” අකුරු ලියා එම අසපුවට ඇතුළුවන දොරටුව මත එල්වා තැබුවේ පැමිණි සැණින් බෝසතාණන් වහන්සේට එය දැක ගැනීමටයි. ඒ සියල්ල අවසන් කර තවත් අත්‍යාවශ්‍ය කාර්යයක් ඉටුකලා. ඒය දෙවිකෙනෙකුට හැර අපහට කල නොහැක්කක්. එනම් අමනුෂ්‍යන් ද බියජනක ශබ්දයන් ද රවුද්‍ර මෘගයන් ද පක්ෂීන් ද ඉවත්කරවා එම ස්ථානය තුල ඔවුන්හට සුරක්‍ෂිතව විසිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. එම සියලු කටයුතු නිම කල විශ්වකර්ම දෙවිදුන් ඒ වෙත පැමිණීමට අඩිපාරක්ද මවා එතැනින් අතුරුදන් වුණා.

වෙස්සන්තර කුමරු හා මද්‍රී බිසව ඇතුළු දරුවන් තවුස් වෙස් ගැනීම.

බෝධිසත්ත්වයන් වහන්සේ ද ඒ අඩිපාර දැක පැවිද්දන් වාසයකරන තැනක් වන්නේයැයි සිතා මද්‍රි දේවිය ද දරුවන් දෙදෙනා ද අසපුව අසල තබා දොරටුව අසලට පැමිණ එහි වූ දැන්වීම බලා ශක්‍රයා විසින් තමා වෙනුවෙන් මවන ලද්දක් යැයි දැනගෙන පන්සල් දොර විවෘත කර ඒ තුලට පිවිස කඩුව ද දුන්න ද ඉවත්කර සළු ගලවා තවුස් වෙස් ගෙන හැරමිටිය රැගෙන පන්සලෙන් නික්ම සක්මනට නැග ඒමේ අත ඇවිද පසේ බුදුකෙනෙකුන්ට සමාන සංයමයකින් දරුවන් හා බිරිද සමීපයට ගියා. මද්‍රි දේවිය එදාද වර්තමානයේ යසෝධරා වගේම මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ පාලග වැටී හඩා ඔහු සමග අසපුවට පිවිස තමන්ගේ පන්සලට ගොස් තවුස් වෙස් ගත්තා. පසුව දරුවන්වද තාපස කුමාරවරුන් කළා. මෙලෙස මෙම ක්‍ෂත්‍රියෝ සතරදෙනා වංකගිරි පර්වතයෙහි වාසය කළා.

මද්‍රී බිසව වෙසතුරු කුමරුගෙන් ඉල්ලු වරය.

බලන්න ආදරණිය බිරිඳකගේ ලක්ෂණ. මද්‍රි දේවිය මහා බෝධිසත්ත්වයන් වහන්සේගෙන් එක් වරයක් ඉල්ලනු ලැබුවා. එය ඉතාමත් අහිංසක ඉල්ලීමක්.

“ස්වාමිනි, ඔබවහන්සේ මින් ඉදිරියට පළාපල සොයා නොගොස් අවුත් දරුවන් සමග මෙහිම සිටින්න. මම පළාපල ගෙන එන්නෙමි.”

 එතැන් පටන් ඇය වනයෙන් පළාපල ගෙනවුත් තුන්දෙනාව පෝෂණය කරන්නට වුණා.

වෙසතුරු කුමරු මද්‍රී දේවියගෙන් ඉල්ලු වරය

ඒ එක්කම මහා බෝධිසත්වයන් වහන්සේත් ඇගෙන් වරයක් ඉල්ලුවා. “මද්‍රීය අපි මෙතැන් පටන් පැවිද්දෝ වෙමු. ස්ත්‍රිය වනාහි බ්‍රහ්මචරියාවට කිලුටයි. මෙතැන් පටන් ඔබ නුසුදුසු වේලාවෙහි මා සමීපයට නොඑන්න. ඕ තොමෝ යහපතැයි පිළිගත්තා. හැමදාම වගේම එදත් ඇය උන්වහන්සේ වෙනුවෙන් විතරක් නෙවෙයි ලොව්තුරා බුද්ධත්වය වෙනුවෙනුත්, අප වෙනුවෙනුත් රති සැප අත්හළේ ඉතාමත් තරුණ වයසේදී. මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ මෛත්‍රී අනුභාවයෙන් හාත්පසින් යොදුන් තුනක් තුළ විසු සියළු තිරිසන්ගත සත්ත්වයෝ පවා ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රීය සහගත සිත් ඇත්තෝ වුවා. මද්‍රි දේවියද උදෑසනම පිබිද පරිහරණයට අවශ්‍ය පැන්ද සුදානම් කර තබා මුවදෝනා පැන් ද ගෙනවුත් දැහැටි දඩු දී අසපුව ඇමද දරුවන් දෙදෙනාව පියා සමීපයේ රදවා පැස බිම කණින යකඩයත්, කෙක්කත් ගත් අත් ඇතිව වනයට පිවිසුණා. ඉන්පසුව වනමුල් පළාපල ද රැගෙනවුත් පැස පුරවා සවස් වෙලාවේ අවුත් පන්සලෙහි පළාපල තබා දියනා දරුවන් දිය නැහැවීම කරවා රාත්‍රී ආහාරය පිළියල කරනු ලැබුවා. ඒ සියල්ල අවසානයේ ඔවුන් සතරදෙනාම පන්සල දොරටුවේ අභියස සිට පළාපල අනුභව කරනු ලබනවා. ඒ සියල්ල අවසානයේ මද්‍රි දේවිය පොරොන්දු වූ පරිදී දරුවන් දෙදෙනාද රැගෙන තමන්ගේ පන්සලට නික්ම යනවා. මෙය තමයි දවසේ දින චරියාව වුණේ. මේ අයුරින් අසපුව තුල සත්මසක් ජීවිතය සතුටින් සෙමින් ගතකලා. වනයට පිවිසීමේ කොටස නිමි.

 

Ape Budu Hamuduruwo 123

අපේ බුදුහාමුදුරුවෝ 123

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 18

වෙසතුරු කුමරු හිමවතෙහි මුචලින්ද පොකුණ වෙතට පැමිණි මගෙහි අසිරිය.

ඒ රාජකීය පිරිස ඇතුළු මහජනයාගෙන් සමුගත් වෙසතුරු යුවළ ඇතුළු දරුවන් සෙමින් සෙමින් ඒ වංකගිරියට යන වන පියසේ ඉදිරියට පියනගන්නට වුණා. ඔවුන් පසුපස පැමිණි පිරිස තවමත් මග ඈතින් බලා සිටිනවා. කෙමින් කෙමින් ඔවුන් නොපෙනී යද්දී ඒ අහිංසක සිත්වලට කොතරම් අවිනිශ්චිත බවක් දැනෙන්නට ඇද්ද? එහෙත් අප මහා බෝසතාණන් වහන්සේටනම් එලෙස නොදැනෙන්නට ඇති කියලා මට හිතෙනවා. මක්නිසාද මීට ඉහත ආත්මභාව වල මෙම හිමවතෙහිම උන්වහන්සේ අනන්ත අප්‍රමාණවාරයක් පාරමී වැඩුව නිසා. ඒ මහා වනපියස ගැන හොඳින් දත් වනචරිකයන් මගින් ලබාගත් තොරතුරු අනුව ගන්ධමාන පර්වතය අසල ඇති මුචලින්ද විල අසලට යන මාර්ගය දෙසට යන පසළොස් යොදුනක් වූ මාර්ගය ගැන පැහැදිලි කිරීම මද්‍රි දේවිය වූ වර්තමාන යසෝදරාව මෙනෙහිකරන්නට වුයේ ඒ මහාවීරයාණන් හට සංසාරයේ සුපුරුදු ලෙසින්ම සහාය වීමටය.

මද්‍රි දේවිය මග සලකුණු මෙනෙහි කරන්නට වුණා.

ඔබලා මෙම වනපෙතේ ඉදිරියට යන්න. යම් දුරක් යනවිට නොයෙක් වෘක්ෂ සමුහයෙන් ගැවසීගත් මනහර සිහිල් සෙවණ ඇති විපුල නම් මහා ගලකින් සැදි පර්වතය මුණගැසේවි. ඒ ගල් පර්වතය ඉක්ම යනවිට යලිත් පොකුලොම් මසුන් ගැවසීගත් අති සුන්දර බොහෝ දිය ඇති ගැඹුරු වූ, විපුල ගල් පර්වතයෙන් ගලා පැමිණෙන කේතුමතී නම් මහ ඔයක් දක්නට ලැබේවි. ඒ තමයි මෙම වෙහෙසකර ගමනේ විඩා හැරීමට සුදුසුම ස්ථානය. එහි ඇති තරම් ස්නානය කරන්න. පිරිසිදු පැන් පානය කරන්න. එහි කිසිම අනතුරක් නැහැ. ඉන්පසුව දරුවන් ඇති පමණ සතුටුකොට, නැවත ගමන අරඹන්න. පින්වතාණෙනි , එය පසුකොට තවත් ඉදිරියට යනවිට අති රමණිය වූ කදු මුදුන්හි හටගත් මනරම් වූ සිහිල් සෙවණ ඇති මධුරපල ඇති නුගරුකක් දක්නට ලැබේවි. පින්වතාණෙනි , එය පසුකොට යනවිට නොයෙක් ළිහිණි ගණයා විසින් ගැවසීගත් කිදුරන් ගහන වූ නාලික නම් වූ ශෛල පර්වතය දකින්නට ලැබේවි. ඒ නාලික පර්වතයට ඊසාන දිගින් හෙළපියුමින්ද හෙල්මැලි කල්හාරයෙන්ද ගැවසීගත් විලක් ඇත. ඒ විල හඳුන්වන්නේ “මුචලින්ද” යන නමින්. ඒ විල අසල නීල වලාකුළක් බදු නිරතුරු පලාවන් තණබිම් ඇති මල්රුකින්ද පලරුකින්ද යන දෙකින්ම ගැවසීගත් අතිරමණිය වනලැහැබක් ඇත. ගොදුරු කැමති සිංහයෙකු මෙන් එම සුන්දර වන ලැහැබට පිවිසෙන්න. එහි ඒකරාශිව පවත්නා හඩ ඇති මියුරු රාවයන් ඇති නන්පැහැ නන් කුළු ඇති බොහෝ සියොත්හු ඍතු සමයෙහි නොයෙක් පුෂ්පයන් පිපි රුක්හි හිද කුජනය කරන්නවුන්ට අනුව කුජනය කරයි. ඒ භුමිය තමයි ඔබගේ අසපුව තනන්නට සුදුසුම ස්ථානය.

මේ සියල්ල ආවර්ජනය කරමින් ඔවුන් සතර දෙනා ඉදිරියටම පියමැන්නා. හැබැයි මුචලින්ද පොකුණ දෙසට යන පසළොස් යොදුන් මාර්ගය කියා දී ඔවුන්ව පිටත්කර යවා ඒ සත්පුරුෂ රජවරු නිකන්ම හිටියේ නැහැ. වෙසතුරු රජුට යම් අනතුරක් බියක් ඇතිකිරීම පිණිස කිසියම් හෝ සතුරකු හෝ පාපතරයෙකු එහි යාමට ඇති අවස්ථාව වළක්වාලීම සඳහා එක් දක්ෂ කුලී හේවායකු ඒ මග යන එන්නවුන් පරික්ෂා කිරීමට ඒ පෙදෙසට ඇතුළුවන දොරටුව දෙසට යවනු ලැබුවා. එලෙස එම කුලී හේවායව වනයට ඇතුළුවන තැන ආරක්ෂාව සදහා තබා ඔවුන් සැම දෙන තමන්ගේ නුවරටම ආපසු ගියා.

වෙස්සන්තර රජුද දරුවන් සහ බිරිද සහිතව ඒ කියූ අයුරින්ම නිරුපද්දිතව ගන්ධ මාන පර්වතයට පැමිණියා. ඉන්පසු එදින එහි ගතකොට පසුදින උතුරුදිසාවට අභිමුව විපුල පර්වත පාදය වෙතට පියමැන්නා. ඉන්පසු එහි පිහිටි කේතුමතී නම් ගංඉවුරේ සිට වනයෙහි හැසිරෙන්නන් විසින් දෙනලද මී පැණි හා මස් කා ඔවුන්හට රන්කුරක් දී නා පැන් පානයකොට සංසිදුන වෙහෙස ඇතිව එම නදියෙන් එතෙරව පර්වත ශිඛරයෙහි පිහිටි නිග්‍රෝධ රුකමුල වෙතට පැමිණියා. ඉන්පසු එහිද ටිකවෙලාවක් ගතකොට නුගපල අනුභවකොට වෙහෙස නිවීමෙන් පසු අසුනින් නැගිට නාලිකා නම් වූ පර්වතයට දෙසට යන්නට වුණා. එහි ළගා වූවායින් පසුව එහිද අසිරිය විඳ එයද පසුකොට මුචලින්ද විල්තෙර කොනට පැමිණ එහි ඇති අඩිපාරකින් වනරොදට පිවිස එය පසුකොට ගිරි දුර්ග,නදී දුර්ග ,පර්වත දුර්ගයන්ගේ ඉදිරියේ පිහිටි ඒ සතරැස් පොකුණ ලගට පැමිණියා.

ඔබ හොද කෙනෙකුනම් ඔබව දෙවියොත් රකිනවා කියන්නේ නිකම්ම නෙවෙයි. ඒ මොහොතේ ශක්‍ර දේවේන්ද්‍රයා පවා අප මහා බෝසතාණන් වහන්සේගේ ගමන පිළිබඳව අවදානයෙන් සිටියේ. එවිට උන්වහන්සේ දැක්කා අප මහාබෝධිසත්ත්වයන් වහන්සේ හිමවතට පැමිණ ඇතිබව. දැන් වාසයට සුදුසු තැනක් ලැබිය යුතු බව සිතා වහා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැදවා දරුව, යව ඔබ වංකගිරි පර්වතය තුළ රමණිය තැනක අසපුවක් වෙසතුරු කුමරු සඳහා මවා එවයි අණකරනු ලැබුවා. ඒ සැණෙකින්ම විශ්වකර්ම දිව්‍යපුත්‍රයන් වහන්සේ එහි පෙනීසිටියා.

Ape Budu Hamuduruwo 122

අපේ බුදුහාමුදුරුවෝ 122

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 17

අසල රාජ්‍යන්හි රජවරු පරිත්‍යාග කල රජකම පවා අත්හල වෙස්සන්තර කුමරු.

මීට පෙර කී ලෙස හැටදහසක් වූ රජවරුන් ඇතුළු පිරිස වෙස්සන්තර ඇතුළු රජ පවුල අනාථව පැමිණි බව අසා මහත් වූ දුකෙන් පැමිණ විවිධ ප්‍රශ්න අසන්නට පටන්ගත්තා.

” දේවයිනි !කිම නිරෝගී ද? දුකක් නැද්ද? කිම තොපගේ පියමහරජ නිරෝගීද? සිවිරට වැසියන්ට දුක් නැද්ද? මහරජතුමනි ! ඔබගේ සේනාව කොහිද? කිම සතුරන් විසින් යටත්කරන ලද ද? අසුන් නැතිව රිය නැතිව මෙරටට පැමිණියාහුද? ඉක්බිති ඒ රජවරුන්ට මහාබෝධිසත්ත්වයන් වහන්සේ තමන් පැමිණි කාරණය පැහැදිලි කරන්නට මෙලෙස කිවා.

රටින් නෙරපුබව කියා සත්‍ය ප්‍රකාශ කල වෙසතුරු කුමරු.

“සබදිනි, මට රෝගයක් නැත. මට දුක් නැත. මාගේ පියමහරජ නිරෝගීවෙයි. සිවිරට වැසියනටද දුකක් නැත. යම්හෙයකින් මම රියහිස් බදු දළ ඇති, බර උසුලන, සියලු යුද්ධ වලදී නියම භූමිය හදුනන, සම්පුර්ණ ශ්වේතවර්ණ වූ හැම ඇතුනටම උතුම් වූ ඇතු දන් දුන්නෙමි. රත්පලසකින් වසන ලද මද වැහෙන සතුරන් මඩිනා යහපත් දළ ඇති වල්විදුනා සහිත වූ කෛලාසය මෙන් සුදු වූ සේසත් සහිත වූ බුමුතුරුණු, උඩුවියන්, ජවනිකා සහිත ඇත්වෙදුන් හා ඇත්ගොව්වන් සහිත වූ රජුව උසුලන අග්‍රයානය වූ අපගේ හස්තියානය බමුණන්ට මම දුනිම්ද ඒ කාරණයෙහිලා සිවිරට වැසියෝ මට කිපියහ. මා පියරජුද කෝප වූ සිත් ඇත්තේ මා රටින් නෙරපීය. එබැවින් වංකගිරියට යමි.”

මිත්‍රවරුනි, අපහට වනයේ විසීමට සුදුසු පෙදෙසක් දැන කියව.

එය ඇසු රජවරු මෙලෙස කියන්නට වුණා.

රජකම භාරගන්නා ලෙස ආරාධනය කල චේතිය රටවැසියන්.

මහරජුනි, ඔබගේ පැමිණීම අපහට මැනවි , තවද ඔබ නිදොස්ය. මෙලෙස පැමිණි ඔබ අපට ඉසුරු වන්න. ඔබහට තොප රිසි යමක් ඇත්නම් කියන්න, මහරජුනි, පැමිණි තෙපි අපට ආගන්තුකයකු බැවින් පලා ද, නෙලඹල ද, මී ද, මස් ද, පිරිසිදු හැල්බත් ද, වලදන්න. අපි සියල්ල පිළියෙළ කර දෙන්නෙමු. රට වඩන මහරජුනි, ඉදින් ඔබව එරට රටවැසියන්ට එපාවීනම් චේතිය රටවැසියන් විසින් පිරිවරන ලදුව මෙහිම රජකම් කරන්න. දේවයිනි, මෙරට ද හැම සැපතින් පිරුණේ ය, සමෘද්ධ ය, විශාල ය, මේ රජයට අනුශාසනා කරන්නට අදහස් කරත්වා යයි කීය.

එවිට මහාබෝධිසත්ත්වයන් වහන්සේ ඔවුන්ව අස්වසමින් මෙලෙස පිළිතුරු දුන්නා.

රටින් නෙරපන ලද මට රාජ්‍යානුශාසනාවට කැමැත්තෙක් හෝ බුද්ධියක් නැත. කරුණාවෙන් මාගේ බස් අසන්න. යම් හෙයිකින් රටින් නෙරපන ලද වෙසතුරු හට චේතිය රටේ වැසියෝ රාජ්‍යයෙහි අභිෂේක දුන්හයි සිවිහුද බලකාය ද නියම්ගම් වැසියෝද යන යම්කෙනෙක් දැනගත්තා වෙත්ද ඔවුහු සැමදෙන නොසතුටු වනවා ස්ථිරයි. ඒ විතරක් නෙවෙයි. මා නිසා ඔබ රාජ්‍යයන් අතර අසමගිය ද නිරතුරුව වන්නේය. ඒ නිසාම එකිනෙකා අතර කලහවිවාද ඇතිවීමද වැළක්විය නොහැකියි. එවැනි සිවි වැසියන්ගේ කලහයද විග්‍රහයද මට රුචි නෙවෙයි. තවද එම නිසාම කර්කශ කලහයද පහරදීමට නොමදව සිදු වන්නේය. එසේ ඇතිකල්හි එකල මා නිසා බොහෝදෙනා නැසෙන්නේය. හැමදෙනා විසින් සම්මාදන් වී කරන ලද යමක් ඇද්ද තෙලහැම තොප විසින් දෙන ලදමැ මා විසිනුදු පිළිගන්නා ලදම වේවා. පියමහරජ මා නෙරපීය. එහෙයින් මම වංකගිරියට යමි. සබදිනි, වනෙහි යම්තැනක් වසමෝද එහි අපට නිසි පෙදෙසක් කියනු.

මෙසේ ඒ රජවරුන් මහා බෝධිසත්ත්වයන් වහන්සේ වෙතින් නොයෙක් අයුරින් රාජ්‍යය භාරගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් ඔහු එයට කැමැති වුණේ නැහැ. ඊටපස්සේ ඔහුට ඒ රජවරු බොහෝ සත්කාර කරන්නට වුණා. මේ සියලු කතාබහ සිදු වුණේ ප්‍රධාන නගරයෙන් පිටත ශාලාවක් තුලයි. ඊට හේතු වුණේ මහා බෝධිසත්ත්වයන් වහන්සේ නගරයට පිවිසෙන්ට අකමැති වූ නිසාවෙන්. එනිසා රජ යුවල සිටි ඒ ශාලාව අලංකාරකොට තිරයකින් වටකොට මහා ආසනයක් සුදානම් කර ආරක්ෂාවද යොදා සියල්ලෝම පිරිවරා ගත්තා. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ එක්දිනක් එක් රාත්‍රියක් ඔවුන් විසින් ආරක්ෂා කරන ශාලාවේ වාසයකොට ඔවුන්ගේත් සිත නොරිදවා පසුදා උදෑසනම යන්න තීරණය කළා.

රාජකීය බෝජන සංග්‍රහය

පසුදා උදෑසන රාජකීය භෝජන සංග්‍රහයක් ඔවුන් විසින් රජකෙනෙකුට සුදුසු අයුරින් සකසා තිබුණා. නොයෙක් අග්‍ර රසයෙන් පිරිපුන් භෝජන අනුභවකොට ඒ රජවරුන් විසින් පිරිවරමින්ම ඔහු ශාලාවෙන් නික්ම ගියා. හැටදහසක් පමණ ක්ෂත්‍රියෝ ඔහු සමග පසළොස් යොදුන් මාර්ගය ආසන්නයට පැමිණුනා. පැමිණ ඒ භාග්‍යවන්ත ලොව දුකෙන් මුදවාලීම උදෙසා සියල්ල අතහැර අසීරු ගමනක් යන සියුමැලි පිවිතුරු රජ පවුලට වාසය කිරීමට සුදුසුම වනගත පෙදෙස පිළිබඳව මෙලෙස විස්තර කරනු ලැබුවා. 

“එම පුදන ලද ගිනි ඇති එකග සිත් ඇති රාජර්ෂිහු යම්තැනක සන්සිදෙත් ද එයට යන භාරිය දක්ෂ වනචරකයෝ යම්සේ කියද්ද එසෙයින් ඒකාන්තයෙන් තොපට අපි කියම්හ. මහරජුනි, තොපි දරුවන් හා භාර්යාව සමග යම්තැනක වාසය කරන්නාහු නම් එයට නිසි පර්වතය ගන්ධමාදන නම් වේ. කදුළු පිරුණු නෙත් ඇති වැලපෙන මුහුණු ඇති චේතිය රටේ රජු වෙස්සන්තර රජුට අනුශාසනා කළහ. මහරජුනි ,මේ මගින් ඍජුව උතුරු දිග බලා යව.තොපට යහපතක්ම වේවා.”

ඉන්පසු වෙසතුරු රජ ඇතුළු ඒ කුඩා පවුල කිසිදිනක නොගිය මහා වනපෙත අතරින් ඉදිරියටම පියවර තැබුවේ ඔබ අප වෙනුවෙන්මයි.