භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ස්වරය

  • විස්සට්ඨො:- හමුනොවුයේ, බාධා නොකරන ලද්දේ, විශිෂ්ඨ වූයේ, නොපැකිළෙනුයේ වේ. ඒ ඒ තැන නැවත නැවතී කථා නොකරන. ( ගොත ගැසීමක්, බාධාවක්, උගුර පෑදීමක් න‍ොමැතිව සුවසේ වචන නික්මෙයි) 
  • විඤ්ඤෙය්‍යො:- දන්වන ප්‍රකට විස්‍රැත බැවින්, මනාව දැනගත හැකි වන්නේය. අර්ථය දන්වන්නා ( අවබෝධය ඇතිවන අර්ථයෙන් වචන නික්මෙයි)
  • මඤ්ජු:- මිහිරි, මෘදු ( මධුර ස්වරයෙන් යුත්ත වචන නික්මෙයි) 
  • සවනියො:- මිහිරිබව නිසාම කණට මිහිරි වේ. ඇසිය යුතු. කනට සැප ඇති. (සවන් යුග ඒ හඞට ඇදී යයි)
  • බින්‍දු:- සම්පිණ්ඩිත, ඒකඝන වූ ( ඒ ස්වරය වචන හා හොදින් කැ‍ටි වී තිබේ)
  • අවිසාරි:- නොවිසුරුණු, සම්පිණ්ඩිත බව නිසා, නො පැතුරුණු යථා පරිසං සිටිනතාක් පිරිසට දන්වයි, ශබ්දය ඇතුළත පිරිසට ඇසෙයි, පිටතට නො ඇසෙයි, සක්වළ කෙළවරටම ඒකාබද්ධවූ පිරිසට දන්වන සේක. බහිද්ධා අඟලක්වත් අඩ අඟලක්වත් පිරිසෙන් පිටට නොයයි. කුමක් නිසාද මෙවන් මිහිරි හඬක් නිකරුණේ නොනැසේවායි මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ හඬ පිරිස් මත්තෙන් මත්තෙන්ම හැසිරේ.
  • ගම්භීරො:- ගැඹුරින් නැගුණු, (ඒ ස්වරය ගාම්භීර හඞකින් යුත්තයි)
  • නින්නාදි:- නින්නාද වන, ගැඹුරු බව නිසාමහාමේඝ, (ගෙරවිලි හඬ) බෙර ශබ්ද මෙන් නින්නාදයෙන් යුක්ත ( ඒ ස්වරය දොංකාර දෙයි)

බ්‍රහ්මසරො:- අන්‍යයන්ට සිඳුණු ස්වර ඇත. බිඳුණු ස්වර ඇත. කාක ස්වර ඇත. බුදුරදුන් මහා බ්‍රහ්මයාගේ ස්වරය හා සමාන සවරයකින් යුක්තය. මහා බ්‍රහ්මයා වනාහි පිත්, සෙම් ආදී පීඩා නොවනක් වන නිසා ස්වරද ඉතා පිරිසිදු වූයේ වේ. කළ පින් බෙලෙන් බුදුරදුන්ගේ ශරීරාංග (වත්‍ථුං) ඉතා පිරිසිදුය. ශරීරාංගයන්ගේ පාරිශුද්ධභාවය නිසා නාභියේ සිට හටගන්නා වූ ස්වරය ඉතා පවිත්‍රය. අංග අටකින් සමන්විතව ම හටගනී. කෙවිල්ලන් (කොවුලන්) මෙන් හඬ ඇත්තේනුයි

භාවනානුයෝගී භික්ෂුවක් වෙත එළඹීමට සුදුසු කාලය කුමක්ද?

“මහණ, මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙනුවට සුදුසු කල් සයෙක.
කවර සයෙක යත්:

(1) මහණ, මෙසස්නෙහි මහණ යම් කලෙක කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයා විසින් මැඩුණු සිතින් වාස කෙරේ නම්, උපන් කාමරාගයාගේත් නිඃසරණයත් යථාභූතයෙන් නො දන්නේ නම්, එසමයෙහි මනෝභාවනීය මහණ වෙත එළැඹ මෙ සෙයින් කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයා විසින් මැඩුණු සිතින් වසමි. උපන් කාමරාගයාගේ නිඃසරණයත් යථාභූතයෙන් නො දන්මි. ආයුෂ්මත් කාමරාගයාගේ ප්‍රහාණය සඳහා මට දහම් දෙසා නම්, ඒකාන්තයෙන් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ කාමරාගයාගේ ප්‍රහාණය සඳහා (සුදුසු) දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණකු දක්නට එළැඹෙනුවට මෙ ප්‍රථම සමය යි.

(2) තවද මහණ, යම් කලෙක්හි මහණ ව්‍යාපාදයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ ව්‍යාපාදයා විසින් මැඩුණු සිතින් වෙසෙයි …

(3) ථිනමිද්ධයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ ථීනමිද්ධයෙන් මැඩුණු චිත්තයෙන් වෙසෙයි …

(4) උද්ධච්චකුක්කුච්චයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුණු සිතින් වෙසෙයි …

(5) විචිකිච්ඡායෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ විචිකිච්ඡා විසින් මැඩුණු සිතින් වාස කරයි …

(6) යම් මැ නිමිත්තකට පැමිණ යම් මැ නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් ම ආස්‍රවක්‍ෂය වේ නම්, එ නිමිත්ත නො දන්නේ නො දක්නේ නම්, එ සමයෙහි එළැඹ මනෝභාවනීය මහණ මෙසෙයින් කිවයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි යම් මැ නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් ආස්‍රවක්‍ෂය වේ නම්, එ නිමිත්ත නො දන්මි, නො දක්මි. ආයුෂ්මත් මට දහම් දෙසා නම් ඒකාන්තයෙන් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ ආස්‍රවක්‍ෂය සඳහා දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙන්නට මෙ සවන කලැ”යි.

ඇවැත්නි, “මහණ, මනෝභාවනීය භික්‍ෂූහු දක්නට වෙත එළැඹෙන්නට මෙ සය කල්ය”යි මා විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි.

දක්ඛිණාවිභංග සූත්‍රය

මෙසේ අසන ලදි. කවරදාක ගෞතමියට බුදුරදුන්ට වස්ත්‍ර යුගලක් දෙන්නට සිතක් උපන්නේ ද? බුද්ධත්වයට පැමිණ පළමු ගමනින් කිඹුල්වතට පැමිණි කාලයෙහිය. එකල්හි බුදුරදුන්ගේ රූප ශෝභාව දැක මහාප්‍රජාපතී ගෞතමිය සිතීය. මාගේ පුතාගේ ආත්මය හොබනේ යැයි අයට මහත් සතුටක් උපණ එයින් සිතීය. මාගේ පුතාට අවුරුදු විසි නවයක් ගිහිගෙදර වාසය කරද්දී යටත් පිරිසෙන් පුවක් ගෙඩියක් පමණකුදු මා විසින් නොදෙන ලද්දේය. දැන් ඔහුට පිණිස සළුවක් දෙන්නෙමියි මේ රජගහනුවර බොහෝ වටිනා වස්ත්‍ර ඇත. ඒවා මා සතුටු නොකරත්. සිය අතින් කරන ලද ම මා සතුටු කරයි. සිය අතින් කොට දෙන්නෙමියි සිතක් ඉපදවීය.

ඉක්බිතිව කඩයෙන් කපු ගෙන්වා සිය අතින් නෙළා තලා සියුම් නුල් කැටීම් කර ඇතුළෙහි ම ශාලාවක් කරවා ශිල්පීන් කැඳවා ඔවුන්ට ආහාර පාන දී වියවුයේය. කලින් කල කිරිමව්වරුන් පිරිවරා ගොස් දඬු කෙළවර ගත්තේය. නිමි කල්හි ශිල්පීන්ට බොහෝ සත්කාර කර වස්ත්‍ර යුගලය සුවඳ කරඬුවක දමා සුවඳ ගන්වා මගේ පුතාට සිවුරු පිණිස වස්ත්‍රයක් ගෙන යන්නෙමියි රජුට දැන්වීය. රජු මාර්ගය පිළියෙළ කරවීය. වීදි හැමද පුන්කලස් තබා කොඩි සෙසත් ඔසවා රජ ගෙදර දොරටුව පටන් නිග්‍රෝධාරාමය දක්වා මාර්ගය පිළියෙළ කරවා මලින් ගැවසීම් කළාහ. මහාප්‍රජාපතිය සියලු ආභරණයන්ගෙන් සැරසී කිරිමව්වරුන් විසින් පිරිවරණ ලදුව කරඬුව හිසෙහි තබා බුදුරදුන් ළඟට ගොස් ඉදම්මෙ භන්තෙ නවං දුස්සයුගන්ති යනාදිය කීය.

ගෞතමිය සංඝයාට දෙවයි කී කල්හි ස්වාමීනි, මම රෙදි කොටුවෙන් භික්‍ෂූන් සීයකට ද දහසකට ද ලක්‍ෂයකට ද සිවුරු සඳහා රෙදි දෙන්නට පොහොසත් වෙමි. ස්වාමීනි, මෙය බුදුරදුන් උදෙසා ම මා විසින් වියන ලදී. මා විසින් කටින ලදි. ස්වාමීනි, එහෙයින් එය මා උදෙසා පිළිගනිත්වායි කීවාය. මෙසේ තුන්වරක් දක්වා ඉල්ලීය. බුදුරදුන් ද ප්‍රතික්ෂේප කළේය.

කුමක් නිසා බුදුරදුන් තමන්ට දෙනු ලබන්න භික්‍ෂු සංඝයාට දෙන්න යැයි කීවේ ද? මව කෙරෙහි අනුකම්පාවෙනි, උන්වහන්සේට මෙබඳු සිතක් ඇති විය. මැයට මා අරබයා පූර්ව චේතනාව මුඤ්චනචේතනාව අපරචේතනාව යැයි චේතනා තුනක් ඉපදුනාහ. මැයට භික්‍ෂු සංඝයා කෙරෙහි ද එබඳු සිතක් උපදීවා. මෙසේ ඇයට චේතනා හය එක්ව බොහෝ කලක් හිතසුව පිණිස පවතින්නේ ය යනුයි.

විතණ්ඩවාදීහු මෙසේ කීහ. සංඝයාට දීම මහත්ඵළ වේ යැයි කියන්නෙහි ද? එසේ යැයි කියමි. සූත්‍රය ගෙනෙයි. ගෞතමිය සංඝයාට දෙව. තා විසින් සංඝයාට දුන් කළ මම ද පුදන ලද්දේ වන්නෙමියි. සූත්‍රයෙහි ද මේ තේරුමයි. මෙය එසේ නම් ආනන්ද, කුසගිනි වූවන්ට කැවුම් දෙවයි. හකුරු දෙවයි යනුවෙන් වචනයෙන් කුසගිනි වූවන්ට දෙන ලද්දක් මහත්ඵල වේද බුදුරදුන් තමාට දෙන ලද්ද දෙවයි කීය. රාජ රාජ මහාමාත්‍යයෝ ද තමාට ගෙනෙන පඬුරු ඇත්ගොව්වන් ආදීන්ට දෙවයි කීවත් ඔවුන් රජුන්ට වඩා මහත් වන්නාහු ද? එහෙයින් එසේ නොගනුව.

මේ ලෝකයෙහි හෝ පරලෝකයෙහි හෝ බුදුරදුන් හා සමාන ශ්‍රේෂ්ඨයෙක් නොවෙයි. යමෙක් ආහුනෙය්‍ය වේද ඔවුන් අතරෙන් අග්‍ර බවට ගියේය. පින් කැමැත්ත වුවන්ට මහත් ඵලයක් වෙයි.

වචනයෙන්වත් බුදුරදුන්ට වඩා උතුම් දක්‍ෂිණාර්හ කෙනෙක් නැත. මෙසේ චේතනා හය එකතුව බොහෝ කලක් හිතසුව පිණිස පවතිත්. කුමක් සඳහා තුන්වරක් බැහැර කොට සංඝයාට දෙවයි කීවේ ද?

පශ්චිම ජනයාට සංඝයා කෙරෙහි ගෞරව ඇතිවීම පිණිසයි. මෙසේ කීය. මෙසේ ද සිතක් විය. මම සජිවි දීර්ඝ නොවෙමි. මාගේ ශාසනය සංඝයා කෙරෙහි පිහිටන්නේය. පශ්චිම ජනතාව සංඝයා කෙරෙහි ගෞරව උපදවා යි තුන් වරක් ප්‍රතික්‍ෂේප කොට සංඝයාට දෙවීය. මෙසේ ඇති කල්හි බුදුරදුන් තමාට දෙන ලද්ද සංඝයාට දෙවීය. සංඝයා දක්‍ෂිණාර්හය ය. පශ්චිම ජනතාව සංඝයා කෙරෙහි ගෞරව උපදවා සිව්පසය දිය යුතු යැයි සිතන්නේය. සංඝයා සිව්පසයෙන් ක්ලාන්ත නොවී බුද්ධ වචනය ඉගෙන මහණකම කරන්නේය. මෙසේ මාගේ ශාසනය අවුරුදු පන්දහසක් පිහිටන්නේ ය.

බුදුරදුන්ට වඩා උතුම් දක්‍ෂිණාර්හ කෙනෙක් නැත. ආනන්ද තෙරුන්ට මහා ප්‍රජාපතිය කෙරෙහි ක්‍රෝධයක් හෝ වෛරයක් නැත. තෙරුන් වහන්සේ ඇයගේ දක්‍ෂිණාව මහත්ඵල වේවයි කැමති නැතිව නොවේ. තෙරුන් පණ්ඩිතය. බහුශ්‍රැතය. සේඛ පටිසම්භිදා පැමිණියේය. උන්වහන්සේ බුදුරදුන්ට දෙන ලද්දෙහි මහත්ඵල බව බලනේ ස්වාමීනි, බුදුරදුන් පිළිගනීවායි ගැනීම පිණිස ඉල්ලීය.

ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයා

මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි: බුදුහු ශාස්තෘහ. මම ශ්‍රාවකයෙමි. බුදුහු දන්නාසේක. මම නො දනිමියි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන වැටෙන සැදැහැති ශ්‍රාවකයක්හට ශාස්තෘශාසනය ස්නේහවත් වැ වැඩෙනුයේ වෙයි, මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි​.

සතර මහා අපදේශ

එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, “මහණෙනි, සතර මහා අපදේශයන් දෙසන්නෙමි. එය අසවු, මොනොවට සිත්හි කරවු, කියන්නෙමි” යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ ’ යි ඒ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

 “මහණෙනි, මෙහි මහණෙක්, ‘ඇවැත්නි, ධර්‍මය මේ යැ, විනය මේ යැ, ශාස්තෘශාසනය මේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සිට මා විසින් මෙය අසන ලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී පිළිගන්නා ලද්දේ යැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, (එ පමණින්) එ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යංජන මොනොවට ඉගෙන සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො බස්නාහු ද, විනයයෙහි නො සැසැඳෙන්නාහු ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, මෙය මේ මහණහු වරදවා ගත් දැයෙකැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහිත් බැසැගනිත් ද විනයෙහිත් සැසැඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ, යි මේ මහණහු විසින් මෙය මොනොවට උගන්නා ලදැ’ යි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ පළමු මහා අපදේශය සිත්හි ලා දරවු. (1)

 මහණෙනි, මෙහි මහණෙක් ‘තෙරුන් සහිත ගණපාමොක් මහණක්හු සහිත භික්‍ෂුසංඝයා අසෝ නම් ආවාසයෙහි වෙසෙයි. ‘මේ දහමැ යි, මේ විනයැ යි, මේ ශාස්තෘශාසන යැ යි ඒ සඟන හමුයෙහි සිටි මා විසින් අසන ලදි, අසා ඒ සඟන හමුයෙහි මැ පිළිගන්නා ලදැ’ යි කියන්නේ වී නම් මහණෙනි, (එ පමණින්) ඒ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහාලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැස ගන්නාහු නම් විනයෙහි නො ද සැසැඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ’ යැයි ද ‘ඒ සඟන විසිනුත් වරදවා ගන්නා ලද්දෙකැ’ යි ද කියා මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය ද බැහැර ලවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙකින් බැස ගනිත් නම්, විනයෙහිත් සැසැඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ මෙය ඒ සඟන විසිනුත් මොනොවට උගන්නා ලද්දේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ දෙවෙනි මහ අපදේශය සිත්හි ලා දරවු. (2)

 මහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත කළ ආගමය ඇති, ධර්‍මධර විනයධර මාතෘක ධර බොහෝ ස්ථවිර භික්‍ෂූහු වෙසෙත්. ‘මේ ධර්‍මයැ’යි ‘මේ විනයැ’ යි ‘මේ ශාස්තෘශාසනයැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි. මා විසින් පිළිගන්නා ලදැ’ යි කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය නො මැ පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු, නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො බැසැගනිත් ද, විනයෙහි නො සැසැඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය නො වේ, ඒ තෙරවරුන් විසින් ද මෙය වරදවා ගන්නා ලදසේ යැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහ් බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසැ ගනිත් ද, විනයෙහි සැසැඳෙත් ද, ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යි, ඒ තෙරවරුන් විසිනුත් මොනොවට උගන්නා ලද සේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ තෙවෙනි මහා අපදේශය සිත්හි ලා දරවු. (3)

 මහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත ආගමය ඇති, ධර්‍මධර විනයධර මාතෘකාධාර එක් ස්ථවිර භික්‍ෂු නමෙක් වෙසෙයි. ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි, ඒ තෙරුන් හමුයෙහි මා විසින් පිළිගන්නා ලදැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය එ පමණින් නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැසගනිත් ද, විනයෙහිත් නො ම සැසැඳෙත් ද, එ විටැ ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, ඒ තෙරහු විසින් ද වරදවා ගන්නා ලද්දෙකැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසගනිත් ද, විනයෙහිත් සැසැඳෙත් ද, එ විට ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ. ඒ තෙරහු විසිනුත් මොනොවට ඉගෙන ඇති නියා යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ සිවුවන මහා අපදේශය සිත්හි ලා දරවු. (4) මහණෙනි, මේ සතර මහා අපදේශයන් සිත්හි දරවු” යනුයි.