Ape Budu Hamuduruwo 131

අපේ බුදුහාමුදුරුවෝ 131

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 26

ජූජක බමුණාහට දරුවන් දන්දීම.

ඔවුන්ගේ කදුළු බෝධිසත්ත්වයන්වහන්සේගේ පිපුණු පියුමක් බදු පාමත වැටී හිමිදිරියේ රෝස පුෂ්පයක් මත පිහිටි පිණිකැට මෙන් දිළිසුණා. ඒ විතරක් නෙවෙයි. ඔබට දුක හිතේවි. දෙපාලග වැටි හඬමින් සිටි දරුවන්ගේ රන්පලකයක් මෙන් වූ පිට මතට වැගිරුණු අප මහා බෝසතාණන් වහන්සේගේ කදුළු වලින් ඔවුන්ගේ පිට තෙත් වී ගියා.

ඉන්පස්සේ අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ කුමාරයන් නැගිටුවා සනසා ” ජාලිය, කීම දරුව, ඔබ මාගේ දාන චේතනාව ගැන නොදන්නේද? මාගේ බලාපොරොත්තුව මස්තකප්‍රාප්ත කරන්නැයි “කියා වටිනා දෙයක් මිළ කරන්නාක් මෙන් එහිම සිට දරුවන් හට මිළ නියම කරන්නට වුණා. ඔබට හිතෙයි ඒ කුමක්නිසාද කියලා. ඒ වෙනකිසිවක් නිසා නෙවෙයි යම් කෙනෙකුට ඔවුන්ව දාස භාවයෙන් ගලවාගැනීමට හිතුනොත් ඒ සඳහා ගෙවිය යුතු මිළයි . උන්වහන්සේ පුත්‍රයා අමතා මෙසේ කීවා.

බෝසතාණන් වහන්සේ විසින්ම තම දරුවන් වහල්බවෙන් නිදහස්කර ගැනීමට මිළ නියම කිරීම.

දරුව ජාලිය, නුඔ දාස කමෙන් නිදහස් වනු කැමැත්තේනම් බමුණාට තික දහසක් දී නිදහස් වන්න. ඔබගේ නැගණිය වනාහි අතිශයින් රූමත්ය. කිසියම් පහත් ජන්ම ඇති කෙනෙක් බමුණාට කිසියම් මුදලක් දී ඔබගේ නැගණියට නිදහස්කරගෙන ජාතිභේදය කරන්නේය. අන්තැනක රජු විසින් හැර සියල්ලෙන් සියය බැගින් දීමට හැකි කෙනෙක් නම් නැත. ඒ නිසා ඔබගේ නැගණිය දාසබවෙන් නිදහස් කරගනු කැමැත්තේ බමුණාට දාසයන් සියයක්, දාසීන් සියයක්, ඇතුන් සියයක්, අශ්වයන් සියයක්, වෘෂභයන් සියයක්, රන්මසු සියයක් යන ලෙස සියල්ල සියය බැගින් දී නිදහස් කරගන්න.

මෙසේ දරුවන් මිළකර අස්වසා අසපුවට ගෙනගොස් කෙන්ඩියෙන් පැන් ගෙන, “එම්බා බමුණ මෙහි එවයි අමතා සර්වඥතා ඤාණයට හේතුවේවායි ප්‍රාර්ථනාකොට පැන් වත්කර, එම්බා බ්‍රාහ්මණය, මට දරුවන්ට වඩා සියගුණයකින් දහස් ගුණයකින් ශතසහශ්‍ර ගුණයකින් දෙව් බඔුන් මිනිසුන් මේ දුක් සහිත සංසාර සාගරයෙන් එතෙර කරවීම පිණිස සර්වඥතා ඤාණයම ප්‍රිය වන්නේය” කියා මහපොළොව කම්පා කරවමින් බ්‍රාහ්මණයාට සිය දරුවන් දන් දුන්නා. . සිවිරට වඩන වෙසතුරු මහරජ තම ප්‍රිය දරු දෙදෙනා වන ජාලිය ක්‍රිෂ්ණජිනාවන් බමුණාට එලෙස දන් දුන්නා.

මහපොළව කම්පාවීම.

බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒ දාන පාරමිතාව මෙලෙස විස්තර දේශනා කරන්නට වුණා.

“යම්විටක දරුවන් දෙදෙනා දන් දුන් කල්හි මහපොළොව කම්පා වීද එකල්හි යම් බිහිසුණු බවෙක් වීද එකල්හි ලොමුදැහැ ගැන්මක් විය. යම්කලෙක සිවිරට වඩන වෙසතුරු මහරජ කළ බැදැදිලි ඇතිව සුවසේ විසූ දෙදරුවන් බමුණාට දන් දුන්නේද එදවස් යම් බිහිසුණු බවෙක් වීද එදවස් ලොමුදැහැගැන්මෙක් විය. එකල්හි දාන තේජසින් නද දෙන්නා වූ මහපොළොව කම්පා විය. සිනෙරු පර්වතරාජයා නැමුණේය. සියළු දෙවියෝ සාධුකාර දුන්හ. බඹලොව තෙක් ඒකකෝළාහල විය. හදිසි වර්ෂාවක් වැස්සේය. අකල්හි විදුලිය නිකුත් විය. හිමවත් වැසි සිංහාදිහු මුළු හිමවතම එකනින්නාද කළහ. මේ ආකාර බිහිසුණු බවක් විය..

සියුමැලි දරුවන්ට ගවයන්ට මෙන් තලමින් බමුණා රැගෙනයාම.

මහා බෝධිසත්ත්වයන්වහන්සේ දරුවන් දන් දී අහෝ! මා විසින් මනාකොට දන් දෙන ලදී යැයි සතුටු උපදවාගෙන දරුවන් දෙස බලමින් සිටියා. බමුණා වනරොදට පිවිස වැලක් අතින් කඩාගෙන කුමාරයාගේ දකුණ අත කුමරියගේ වම් අතේ බැද එම වැල් කෙළවර අල්ලාගෙන තලමින් වෙසතුරු රජු බලා සිටියදී ම දරුවන් ගෙන යන්නට වුණා. එහිදී ඔවුන්ට පහර දුන් තැන්වල සම බිඳුණා. එයින් ලේ වැගිරෙන්නට වුණා. පහරදෙන කල්හි ඔවුනොවුන් එකිනෙකා ආරක්ෂා කිරීමට පිට දෙන්නට වුණා. 

ජාලිය කුමරු බමුණාගෙන් මිදී බෝසතාණන් වෙතට පළායාම.

ඉන්පසු හදිසියේම එක් විෂම තැනක බමුණා කකුල පැකිළී බිම වැටුනා. කුමාරයන් ගේ මෘදු අත්වලින් තදවී තිබුණු වැල ගැලවී ගියේ ඒ මොහොතේ. ඔහු හඩමින් පැනගොස් බෝධිසත්ත්වයන්වහන්සේගේ සමීපයට පළාගියා. . කදුළු පිරි දෑසින් ජාලිය කුමරා පියා දෙස අහිංසක ලෙස බලමින්, බෝපත් සෙයින් වෙවූළමින් පියාණන්ට වදින්නට වුණා. පියාණන් වහන්සේගේ පාවැද මෙවදනන් පවසනු ලැබුවා. පියාණෙනි අම්මා ද පන්සලින් බැහැර නික්ම ගිහින්. පියාණෙනි ඔබද අපව බමුණාට දුන්නා. පියාණෙනි ඔබ අපව දෙන්න එපා. යම්තාක් අපගේ මව්තුමෝ ඒ ද එසද මේ බමුණා රිසිසේ අපව විකුණනවා නැත්නම් මරනවා. ඉන්පසු බමුණා ගේ නපුරු දේහ ලක්ෂණ මෙලෙස ප්‍රකාශ කරන්නට වුණා.

අසත්පුරුෂ බමුණාගේ දේහ ලක්ෂණ පවසමින් ජාලිය කුමරු නංගිව බේරාගන්නා ලෙස අයැදීම.

මේ බමුණා හට බකල වූ පාද ඇත්තේය. කුණු නිය ඇත්තේය.තවද එල්ලා හැලෙන පීඩිමස් ඇත්තේය. දිගු උඩුතොලුය, මහතොලුය. නිකුත් දළ ඇත්තේය. බුන් නාසා ඇත්තේය. සැළ බදු උදර ඇත්තේය. තුන් තැනකින් වක්වූ බිදුණු පිටකොදු ඇත්තේය. තවද වමරු සිය, තඹදැලි ඇතියේය. තඹවන් රැවුල,රන්වන් වැඩුණු කෙස්, කළුතල කැළැල් වලින් පිරීගිය සම රැලි ඇතියේය. කටහඬ වැනි හඬක් නිකුත්වන ඇටසන්ධිවලින් යුක්තය. බළල් ඇස් ඇතියේය. කටිය පිට කදට වකැ, විසුළු පා ඇතියේය. මහ සිරුර ඇතියේය. අදුන් දිවිසම් දරයි. මිනිස් වෙසින් හැසිරෙන මොහු යක්ෂයෙකි. අතිශයින් හිංසාකාරීය, බිය ගෙන දෙයි. මොහු අපගේ මස් කණු කැමතිව ඔබගෙන් පුත්‍ර ධනය ඉල්ලයි. පියාණෙනි මේ පිසාචායා විසින් ගෙනයනු ලබන අප දෙස කුමට උදාසීනව බලන්නේද? පියාණෙනි, මවුපියන්ගේ හදවත් දරුවන් කෙරෙහි මෘදු වෙයි. දරුවන්ගේ දුක නොඉවසයි. ඔබගේ සිත ගලින් කලේ යැයි සිතමි. එසේ නැත්නම් ලෝහයෙන් බඳනා ලද්දක් මෙනි. ඒ නිසාවෙන් අපහට මෙවන් දුකක් ඇති වූ කල ඔබට නොදනේන්නේද? එසේත් නැතිනම් නොදන්නා ලෙස සිටින්නේද? අතිශයින් නපුරු මෙම බමුණා විසින් නංගිවත් මාත් දැඩිකොට බැඳ සිටින බව ඔබට නොපෙන්නේද? පියාණෙනි ක්‍රිෂ්නජිනාව කිසිම දුකක් නොදනී. යම්සේ කිරි පිපාසයෙන් මුළා වූ මුවපෙල්ලක් රංචුවෙන් මගහැරී කිරිසොයමින් හඬනාමෙන් හඬයි. ඇය මව නොදැක හඬා වැලපී මරණයට පත්වේවි. ඒ නිසා මා පමණක් බමුණාට දෙන්න. මේ ක්‍රිෂ්ණජිනාව මෙහි රඳවාගන්න. මේ සියල්ල අසා සිටි මහා බෝධිසත්ත්වයෝ කිසිවක්ම පැවසුවේ නැහැ. ඒ ඔබ සහ අප වෙනුවෙන්මයි. ඉන් පස්සේ කුමාරයා මවුපියන් පිළිබඳව වැළපෙමින් මෙසේ කිවා. 

 මට ලැබෙන දුක් දුක් නොවෙයි. මෙය පිරිමියකු විසින් ලැබිය යුතුමයි. යම්හෙයකින් අම්මා නොදකී ද ඒ දුක මට පහරදීමෙන් ලබන වේදනාවට වඩා සියගුණයකින් දුකය. මට ලැබෙන දුක දුකක් නොවේ. මෙය පිරිමියකු විසින් ලැබිය යුතුමයි. යම්හෙයකින් පියා නොදකී ද ඒ දුක මට මෙයට වඩා දුක් දෙයි. මනා සොදුරු දැකුම් ඇති ක්‍රිෂ්ණජිනා කුමරියව නොදක්නා මව්තොමෝ සහ පියාණන් දුකින් බොහෝකලක් අසපුවෙහි හිද වැළපෙයි. ඒ අපේ මව්තුමෝ මුළුරැයක්ම අප සිහිකර බොහෝ දුකින් වැළපෙයි. ජලය ස්වල්පයක් ඇති කුඩා නදියක් මෙන් වියළී යයි.(අරුණ නැග එනවිටම වියළි මැරෙන්නේය යන අදහසින් කියන ලදී.)

මේ අඹ වෘක්ෂයෝ එළෙන අතු ඇති තික ගස්ය. නොයෙක් ආකාර ගස් ඇත. අද අප ඒ සියල්ල හැර පියා යන්නෙමු. මේ ඇසතු රුක්ය, පනාරුක්ය, හෙළකිද ඇසතු රුක්ය,නොයෙක් ආකාර පලු දරන වෘක්ෂයෝය. ඒ සියල්ල හැරපියා යන්නෙමු. පෙරයම් තැනක හිද ක්‍රීඩා කළේනම් මේ ඒ සියල්ල හැරපියා යන්නෙමු. මේ ගල් මුදුන්වල ඇති නොයෙක් වර්ගයේ මල් පෙර පැළදෙමුද ඒ හැම අද හැරපියා යන්නෙමු. මේ ගල් මුදුනෙහි නන්වැදෑරුම් ඵලජාති වේද ඒවා පෙර වැළදු ඒ හැම අද හැරපියා යන්නෙමු. පෙර යමකින් අප බොහෝ වේලා සෙල්ලම් කලේද, ඒ අපගේ පියා විසින් අපට සෙල්ලම් කිරීමට තනා දුන් ඇත්රූප, අශ්වරූප,ගවරූප, ආදී ඒ හැම දේ අද හැරපියා යන්නෙමු.

බෝසතාණන් වහන්සේ නිහඬබව රකිද්දී ජූජක බමුණා දරුවන්ට තලමින් හිරිහැර කරමින් රැගෙනයාම.

මෙසේ සිය නැගණිය සමග හඩාවැලපෙන දරුවන් දෙදෙනා පුජකයා අවුත් පහරදෙමින් රැගෙන ගියා. බමුණා විසින් ගෙනයනු ලබන ඒ කුමාරයා පියමහරජහට මෙසේ කියයි පියාණෙනි “අප නිරෝගී බව අම්මාට කියන්න. පියාණෙනි ඔබට සැපවේවා. මේ අපගේ සෙල්ලම් අලි, අශ්වයින් සෙල්ලම් හරකුන් ආදීය අම්මට දෙන්න අම්මා එයින් පුත්‍රශෝකය දුරුකර ගනී.

දරුවන් දන් දුන් බෝසතාණන් වහන්සේ දරාගත නොහැකි ශෝකයෙන් තනිව වැළපීම.

මෙලෙස නින්දා පරිභව කරමින් තලමින් තම දරුවන් රැගෙන යනතෙක් බලා සිටි අප මහා බෝසතාණන් වහන්සේට දරුවන් අරභයා මහා ශෝකයක් උපන්නා. හෘදයමාංශයම පත්වුණා . කේශර සිංහයකු විසින් අල්ලාගත් මත්ඇතකු මෙන්, රාහු ගිලගත් චන්ද්‍රයා මෙන් කම්පා වෙමින් ස්වාභාවික ලෙස සිටින්නට අපොහොසත් වී කදුළු පිරි දෙනෙතින් පන්සලට පිවිස වේදනානෙන් හැඩුවා. ඒ හඬ වනය පුරා රැවු පිළිරැවු දෙන්නට ඇති. ඒ සියලු කැප කිරීම් නිසාම ඔබද මාද ඇතුළු ප්‍රකෝටි ගණනක දෙවු මිනිස් බඹුන් මේ බියකරු සංසාරේ යම්තමට හෝ දුගතියක නොවැටී යන්නට තරම් වාසනාව ලැබුවා.

 

Ape Budu Hamuduruwo 130

අපේ බුදුහාමුදුරුවෝ 130

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 25

බෝධිසත්ත්වයන්වහන්සේ ද පන්සලෙන් නික්ම ගල්තලාවක රන්පිළිමයක් මෙන් හිද පෙරදා මද්‍රී දේවිය දුටු සිහිනය අනුව සිතමින් දැන් දැන් යාචකයා එන්නේයැයි පිපාසිතයෙකු මෙන්, සුරාසොඩකු මෙන් ඔහු එනමග බලමින් සිටියේ නොවිසිල්ලෙන්. මේ කිසිවක් නොදත් සුරතල් දරුවන් දෙදෙනාද ඔහුගේ දෙපා ලග සෙල්ලම් කරමින් සිටියා. අසපුවට එන අඩිපාර ඈතින් ඒ මහලු බමුණාගේ රුව මතුවුණා. මගබලමින් සිටි බෝධිසත්ත්වයන් වහන්සේට බ්‍රාහ්මණයා එනු දැක සත්මසක් අත්හැර දමා තිබුණු දාන දජය යලි ඔසවන්නාක් මෙන්, මුවට සිහින් සිනහවක් නැගුනා. පසුගිය ලිපිය අවසන් වුණේ එතැනින්.

ජූජක බමුණා පිළිගැනීමට පෙරමගට ගිය ජාලිය කුමරුට නපුරු ලෙස කතා කල බමුණා

මෙහි එව බ්‍රාහ්මණය කියා එම දසුනෙන් සතුටට පත්වු වෙස්සන්තර තාපසතුමා ජාලිය කුමාරයා හට මෙසේ කිවා. 

“”ජාලිය නැගී සිටින්න පෙරගමන් කරන්න පැරණි දසුනක් මෙන් පෙනේ බමුණකු ලෙස පෙනේ, මගේ සිත සොම්නසින් පිරේ.”

එය අසා කුමාරයා කුමාරයා මෙසේ කිවා. ” පියාණෙනි, මමද දකිමි යමෙක් බමුණෙකු මෙන් පෙනේද ඔහු යදියෙකු ලෙසින් එයි. හේ අපට අමුත්තෙක් වන්නේය. මෙසේද කියා කුමාරයා ඔහුට ගරුසත්කාර දක්වන්නේ අසුනින් නැගිට බ්‍රාහ්මණයාට පෙරගමන්කොට පිටකර ගන්නටදැයි විමසුවා. බ්‍රාහ්මණයා ඔහු දෙස බලා මේ වෙස්සන්තර රජුගේ පුත්‍රයා වූ ජාලිය කුමාරයා බව දැන මුලසිටම පරුසවචනයෙන් කථා කරන්නෙමියි සිතා ඉවත්වන්න ඉවත්වන්න කියා අසුර ගැසුවා.

අනේ අහිංසක ජාලිය කුමාරයා කියූ සැණින් කීකරුව ඔහුගෙන් ඉවත්වුණා. ඉවත්ව ගොස් “මේ බ්‍රාහ්මණයා අතිශයින් ඵරුෂය. ඒ කුමක් නිසාදැයි ඔහුගේ ශරීරය ලක්ෂණ බලනවිට අසත්පුරුෂයන් කෙරෙහි පිහිටන අටළොස් පුරුෂ දෝෂයන් දුටුවා. . ඒ නපුරු බ්‍රාහ්මණයාද බෝසතුන් වෙතට පැමිණ පිළිසදර කථා කරමින් මෙලෙස අසන්නට වුනේ ඉතා කාරුණික ගුණවන්තයෙක් ලෙසින්.

” කිම භවතට රෝගයක් නැද්ද? කිම ඔබට දුකක් නැද්ද? කිම වනමල් වනඵලයන්ගෙන් යැපෙන්නෙහිද? කිම අලවර්ග හා පලාඵල බොහෝ තිබේද? කිම මැසිමදුරුවෝද දීර්ඝජාති සර්පයෝද අල්පද? චණ්ඩ මෘගයන් ගැවසීගත් වනයේ උන්ගෙන් හිංසාවක් නැත්තේද?

අප මහා කාරුණිකයන් වහන්සේද ඔහු සමග පිළිසදර කථා කරමින් මෙසේ පැවසුවා. “බමුණ අපට රෝග නැත්මය, තවද දුකක්ද නැත, වනමුල් වන ඵලයෙන් යැපෙමි. පළාපල බොහෝ ඇත. තවද මැසිමදුරැවෝද උරග ජාතිහුද අල්පම වෙති. සතුන්ගෙන් ගැවසී ගත් වනයෙහි අපට උන්ගෙන් හිංසා නැත. සත්මසක් කල් වනයේ වසන අප වසන තැනට බෙලිපහ හුණ දණ්ඩ ද ගිණිපුදන හැන්දද කමඩලාවද දෙවියන් විසින් ගෙන ආ බව වර්ණනා කරමින්” මේ බමුණාට පළමුකොට පෙන්නුවා.

“බමුණ තොපගේ පැමිණීම යහපත් එකකි, තවද මේ පැමිණීම නොමනා එකක් නොවේ. භවත ඔබගේ දෙපා සෝදා පන්සල ඇතුළට පිවිසෙන්න. තිබිරි, පියල්,මිහිය,කටුඑරමිණිය යන ඵලයෝද දඩුවෙල් බෑ මී ද ඇත. බමුණ හොද හොද දේ අනුභව කරන්න. මේ කළයේ පැන්ද සිහිල්ය. ගිරිකදුරුවලින්ගලා ආ ඒවාය. බමුණ තොප පානය කරනු කැමතිනම් එයින් ගෙන පානය කරන්න.

බමුණා ළමයින් ඉල්ලීම.

මෙසේද කියා මහා බෝධිසත්ත්වයන්වහන්සේ මෙසේද සිතුවා. “මේ බ්‍රාහ්මණයා කිසිම හේතුවක් නැතිව මේ මහා වනාන්තරයට පැමිණියේ නොවන්නේය. පැමිණි කාරණය ප්‍රමාද නොකොට ඔහුගෙන් විචාරන්නෙමියි සිතා මේ ගාථාව කීවා.

බමුණ තොප කුමන කරුණකින් හෝ කවර හේතුවකින් නම් මහා වනයට පැමිණියාහුද? එවිට බමුණා මෙසේ කීවා.

යම්සේ පිරුණු දියකඩ හැමකල්හි නොගෙවේද, එවන් තොප අයදනට ආවෙමි. මාහට තොප දරුවන් දාසයන් ලෙස දෙන්න.

එවිට අප මහා බෝධිසත්ත්වයන්වහන්සේ

බමුණ,දෙදරුවන් දෙමි. කම්පා නොවෙමි, ඔබ මාගේ දරුවන්ට ප්‍රධානියා වී, ස්වාමියා වී ඔවුන් රැගෙන යන්න.

එහෙම කියල නිකන් හිටියේ නැහැ. බලන්න බෝසත්වරයකුගේ, මහා දානපතියකුගේ, සත්පුරුශයකුගේ ලක්ෂණ. තව දුරටත් මෙහෙම කිවා.

“රජ දුව උදයේම වනයට ගියාය. සවස වනයෙන් ආපසු එයි. බමුණ, එක රැයක් මෙහි නතරවී සිට අලුයම යව. ඒ මද්‍රි දේවිය විසින් නහවා හිස සිඹ සනසන ලද මල්දම් පැළදි නොයෙක් සුවද කුසුමින් සදන ලද නොයෙක් සුවද විලවුන් ආලේප කරන ලද මගට අවශ්‍ය පළාපලද ඇතිව දරුවන් ගෙන යන්න.

එම කාරුණික වදන් අසා කපටි නපුරු ජූජක බමුණා මෙලෙස පිළිතුරු දුන්නා.

මද්‍රී දේවිය පිළිබඳව බමුණාගේ අඩු තක්සේරුව

” රජතුමනි, මෙහි එක් රැයක් සිටීම නොකැමැත්තෙමි. ගමනම මට රුචි වෙයි. මෙහි විසීම මට ලාභාන්තරායද වන්නේය. එහෙයින් යන්නෙමි. එමෙන්ම කාන්තාවෝ ඉල්ලීමට සුදුසු නොවෙති. ඔව්හු පිනට බාධා කරති. ලාභයටද බාධා කරති. මායා මන්ත්‍ර දනිති. හැමදෙයක්ම අවැඩ ලෙස සළකති. යාචකයන්ට ලැබෙන දෙයටද බාධා කරත්, ශ්‍රද්ධාවෙන් දන් දෙන්නාහු මොවුන්ට මව නොදක්වව. ඔවුන් දුටුනම් දානයට අන්තරාය කරන්නීය. රජතුමනි ඒ නිසා යන්නෙමි. තොප දෙදරුවන් කැදවන්න. ඒ දරුවෝ මව නොදකිත්වා. මහරජතුමනි, මා වැන්නකුට පුත්‍රධනය දී දෙව්ලෝ යන්න. දරුවන් මා සමග එවන්න යැයි යදින්නට වුනා.

අනේ ඒ ආදරණිය බිරිඳ ගැන එලෙස අඩු තක්සේරුවක් කරනවිට අප මහා බෝසතාණන් වහන්සේට සිත නොරිදුණා වන්නට නුපුළුවන්. අප මහා බෝසතාණන් වහන්සේ තව දුරටත් මෙලෙස පැවසුවා.

දරුවන් තම පිය රජතුමාට පෙන්වීමට කියූ බස් ප්‍රතික්ෂේප කල කපටි ජුජකයා.

තොප මට පතිනිය වූ බිරිය දක්නට නොරිස්සුහුනම් නම් ජාලිය, ක්‍රිෂ්ණජිනා දරුවන් දෙදෙනාව මුත්තා සදමහරජුට දක්වව. සිත්කළු වූ පියතෙපුල් ඇති මේ දෙදරුවන් දැක ඔද වැඩි සතුටු වූ මහරජ තොපට බොහෝ ධනය දෙන්නේය. එවිට බමුණා

රජපුත්‍රය, මාගේ වචනය අසන්න. ඒ රජ මා දඩුවම් කිරීමට ඇමතියන් දෙන්නේ හෝ වෙයි. රජ මා විකුණන්නේ හෝ වෙයි. ඝාතනය කරන්නේ හෝ වෙයි. ධනය ද දාසයන්ද යන දෙකින්ම පිරිහුණු මම බැමිණිය විසින් ගැරහීමට ලක්වෙමි.

බෝසතාණන් වහන්සේ කාරුණිකව තව දුරටත් මෙලෙස කිවා.

සිත්කළු වූ ප්‍රියතෙපොල් ඇති මේ දරුවන් දැක සිවිරට වඩන දහමෙහි හැසිරෙන සිවි මහරජ ප්‍රීති සොම්නස් සිත් ඇතිව තොපට බොහෝ ධනය දෙන්නේය.

එම නිසා දරුවන් ඔවුන්හට පෙන්වන්න.

බෝසතාණන් වහන්සේගේ ඒ කාරුණික ඔවදන නපුරු ලෙස ඉවතලමින් ඒ ජූජක බමුණා තව දුරටත් මෙලෙස පැවසුවා.

“මහරජ, තොප මට යමක් කියවූ නම් එය නොකරමි. මම මේ දරුවන් බැමිණියගේ දාසමෙහෙවරට ගෙන යන්නෙමි. මට වෙන ධනයකින් ප්‍රයෝජනයක් නැත. මම මේ දරුවන් තමන්ගේ බැමිණියගේ දාසයන් ලෙස ගෙන යන්නෙමි.”

ජූජක බමුණාට බියටපත් දරුවන් පැන යාම. 

මේ සියල්ල අසල සිට අසා සිටි දෙදරුවෝ නපුරු බමුණාගේ නපුරු බස් අසා වෙව්ලන්නට වුණා. බොහෝ තැතිගෙන ඒ මේ ඇත දුවන්නට වුණා. දරුවෝ ඔහුගේ ඒ නපුරු වචනය අසා පන්සල පිටුපසට ගොස් සැඟවුණත් එතැනත් අනාරක්ෂිත යැයි සිතමින් එතැනිනුත් පැනගොස් වනරොදක සැගවී එහිදීද පුජකයා අවුත් අල්ලා ගන්නා යැයි සිතමින් කම්පාවට පත්ව කිසිතැනක සිටින්නට නොහැකිව එහෙමෙහෙ දුවගොස් සතරැස් පොකුරු තෙරට ගොස් ගොරෝසු වැහැරී වස්ත්‍රය පොරවාගෙන වතුරට බැස නෙලුම්කොළයක් හිසට තබාගෙන ජලයේ සැගවී සිටිය. පුජකයාද දරුවන් නොදැක බෝධිසත්ත්වයන්වහන්සේට මෙලෙස අකාරුණික දොස් පවරන්නට වුණා.

වෙස්සන්තර රජුට අවලාද නැගු පවිටු ජූජක බමුණා.

“වෙස්සන්තරයෙනි, දැන්ම මට දරුවන් දෙනු. මම ඔවුන්ව ජයතුරා නගරයට ගෙන යන්නෙමි. දරුවන් මගේ බැමිණියගේ සේවකයන් ලෙස ගෙන යන්නෙමි” කියා ඉගියක් කර හරියටම බෝසතාණන් වහන්සේ දරුවන් පලවාහැර නොදන්නාක් මෙන් පෙන්නා සිටියා. ඒ විතරක් නෙවෙයි “ඔබ වැනි මුසාවාදියෙක් මේ ලොව නැතැයි සිතමි” කියා කී කල්හි මහා බෝධිසත්ත්වයන්වහන්සේ මහත් ලෙස කම්පා වුණා.

තම දාන පාරමිතාව පුරන්නට උදව් වෙන්නැයි ආයාචනය කරන අප මහා බෝසතාණෝ.

ඔවුන් පැන ගියහයි සිතා “බ්‍රාහ්මණය, එලෙස නොසිතන්න. මම දරුවන් රැගෙන එමියි” නැගිට පන්සල පිටුපසට ගොස් ඔවුන් වනරොදට පිවිසි බව දැනගෙන පියසටහන් අනුසාරයෙන් පොකුණුතෙරට ගොස් ජලයට බැස්ස පාසටහන් දැක ජලයට බැස සිටින්නාහු යයි දැන දරුව ජාලිය, ප්‍රිය පුත්‍රය එව මාගේ ප්‍රාර්ථනාව සම්පුර්ණ කරන්න. මාගේ ළය තෙත් කරන්න. මාගේ වචනය කරන්න.සංසාර සාගරයෙහි මට නිසල වූ ගමන් නැවක් වන්න. ජාති සාගරයෙහි පරතෙරට තරණය කරන්නෙමි. දෙවියන් සහිත ලොවැසියනුදු තරණය කරවන්නෙමි.” කියා පවනු ලැබුවා.

කුමාරයා පියාගේ හඩ අසා මෙසේ සිතුවා. ” බ්‍රාහ්මණයා මට කැමති දෙයක් කලාවේ, පියා දෙවරක් කතා කරනතෙක් නොසිටිනනේමි යයි” හිස ඔසවා නෙලුම්කොළ බැහැර කර ජලයෙන් ගොඩ අවුත් බෝධිසත්ත්වයන්වහන්සේගේ දකුණු පාදය ලග වැදවැටී වළලුකරය තදින් අල්ලාගෙන හඬන්නට වුණා. ඉක්බිති බෝධිසත්ත්වයන්වහන්සේ ඔහුට මෙසේ කිවා, දරුව, ඔබගේ නැගණිය කොහිද?දරුව මේ සත්ත්වයෝ බියක් ඇතිවූ විට තමන්ව රැකගනිති. ඉක්බිති මහසත්ත්වයෝ මා විසින් දරුවන් සමග කතිකාවක් කලේ වන්නේයයි දැනගෙන “එන්න නැගණිය

එන්න නැගණිය ක්‍රිෂ්ණජින” යැයි හඬ ගැසුවා. අප මහා කාරුණිකයන් වහන්සේ තවදුරටත් දරුවන්හට මේ උතුම් පාරමිතා පුරණයේ අගය වටහා දෙමින් මෙලෙස අයැද සිටියා.

දරුවන්ගේ කඳුළු බෝසතුන්ගේ පාදයත් බෝසතාණන් වහන්සේගේ කඳුළු දරුවන්ගේ පිටත් පුරා ගලායාම.

දරුව ප්‍රිය දියණියනි. මාගේ දාන පාරමිතාව සම්පුර්ණ කරන්න. මාගේ ළය තෙමන්න. මාගේ වචනය කරන්න. සසර සයුරෙහි මට නිසල ගමන් නැව වන්න. ජාති සාගරයෙහි පරතෙරට යන්නෙමි. දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් නගාලන්නෙමි.ඕ තොමෝද පියා සමග කථා දෙකක් නොකරන්නෙමි. ඒ මොහොතේදීම ඇය ගොඩ අවුත් බෝධිසත්ත්වයන්වහන්සේගේ වම් පා ලග වැටී වළලුකරය තදින් අල්ලාගෙන හඬන්නට වුණා. ඔවුන්ගේ කදුළු බෝධිසත්ත්වයන්වහන්සේගේ පිපුණු පියුමක් බදු පාමත වැටී හිමිදිරියේ රෝස පුෂ්පයක් මත පිහිටි පිණිකැට මෙන් දිළිසුණා. ඒ විතරක් නෙවෙයි. ඔබට දුක හිතේවි. දෙපාලග වැටි හඬමින් සිටි දරුවන්ගේ රන්පලකයක් මෙන් වූ පිට මතට වැගිරුණු අප මහා බෝසතාණන් වහන්සේගේ කදුළු වලින් ඔවුන්ගේ පිට තෙත් වී ගියා. මෙය ලියනවිට මටත් ඉකිගසමින් හැඬුනා. මම නොදැනුවත්ව හෝ සිතෙන් කයෙන් වචනයෙන් අප මහා බුදුපියාණන් වහන්සේ හට වරදක් කළා නම් පළමුවත් දෙවනුවත් තුන්වනුවත් සමාව අයැද සිටියා.

 

Ape Budu Hamuduruwo 129

අපේ බුදුහාමුදුරුවෝ 129

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 24 

වෙස්සන්තර තාපස තුමාගේ අසපුවට නුදුරෙහි එක් කදුගැටයකට නැග සුව පහසුතැනක මීට ඉහත කියූ පරිදී රැය පහන් කරන්නට නැවතුනේ මද්‍රි දේවිය පසුදින පලවැල නෙලීමට යනතෙක් සැඟවී සිට දරුවන් වෙසතුරු තාපසයන්ගෙන් ඉල්ලාගෙන පළා යාමටයි. එහෙත් මවු සෙනෙහස කියන්නේ ඊට වැඩිය බල සම්පන්න දෙයක්. බෝසත්වරු බුදුවනතෙක් ඔහුගේ දරුවන් රැක්කේ යශෝධරාවරු. ඔවුනට හැම දෙයම ඉවෙන් වගේ දැනුනේ බෝසත්වරයෙකුගේ පළමු ආරක්ෂකයා ඇයම වීමෙන්.

මද්‍රි දේවිය දුටු නපුරු සිහිනය.

එදාත් ඒ වගේමයි. ජූජක බමුණා මාන බලන ඒ බියකරු රාත්‍රියේ මද්‍රී දේවිය විශේෂ හීනයක් දුටුවා. එය මෙබදු එකක්. 

එක් කාලවර්ණ පුරුෂයෙක් කසාවන් රෙදි දෙකක් හැද කන්දෙකෙහි රතුමාලා පැළද ආයුධ අතැතිව තර්ජනය කරමින් ඇවිත් පන්සලට පිවිස මද්‍රි දේවියගේ ජටාවෙන් අල්ලාගෙන ඇද බිම හෙළා ඇය හඩා වැලපෙද්දී ඇගේ ඇස්දෙක ගලවා, අත්දෙක කපා, පපුව පළා ලේ බිදු වගුරුවමින් හෘදයමාංශය ගෙන නික්ම යාමයි. ඇය ඒ මහා වනාන්තරයේ දරුවන් සමග තනිව යාබද අසපුවේ රාත්‍රී පහන් කරන්නේ වෙසතුරු කුමරා සමග ගිවිසගත් ගිවිසුම නිසාවෙන්. ඒ බ්‍රහ්මචාරී වීමට. සිහිනයෙන් බිය වැදුණු ඈ “මා විසින් පවිටු සිහිනයක් දකින ලදී.

මද්‍රි දේවිය රාත්‍රියේ හදිසියේ තම කුටියට තනිව පැමිණීම බ්‍රහ්මචර්යා සීලයට සුදුසු නොවන්නක් ලෙස බෝසතාණන් වහන්සේ සිතීම.

වෙස්සන්තර රජු හා සමානව සිහින විස්තර කරන්නාවූ වෙන කෙනෙක් නැත. ඔහුගෙන් විචාරන්නෙමි ” යයි සිතා බෝධිසත්ත්වයන් වහන්සේ වැඩ සිටින්නාවූ පන්සලට ගොස් දොරට තට්ටු කරන්නට වුණා. එවිට බෝධිසත්ත්වයන් වහන්සේ මේ කවරෙක්දැයි අසන්නට වුණා. ස්වාමිනි, මම මද්‍රි දේවියයි, ඇය සෙමින් පැවසුවා. පුදුමයට පත් වූ බෝසතාණන් වහන්සේ ” සොදුර, අපගේ පොරොන්දුව කඩකර කුමක් නිසා විකාලයේ මෙහි ආවෙහිද? යනුවෙන් ප්‍රශ්න කරන්නට වුණා. එවිට අවිහිංසක ඇය “ස්වාමිනි කෙලෙස් සිතකින් පැමිණියා නොවෙයි, තවද ම විසින් පවිටු සිහිනයක් දක්නා ලදී” කියා ඇය දුටු සිහිනය දුටු අයුරින්ම බෝධිසත්ත්වයන් වහන්සේට පැවසුවා.

බෝධිසත්ත්වයන් වහන්සේ සිහිනය පරික්ෂා කර බලා ” මාගේ දාන පාරමිතාව සම්පුර්ණ වනවා. මෙම හීනයට අනුව හෙට මා වෙත යදියෙකු පැමිණ දරුවන් ඉල්වන්නේය.” යනුවෙන් එහි අර්ථය වටහාගත්තා. එය ලෞකික ජිවිතයක් ගත කරන්නෙකුට බියගෙනදෙන සිහිනයක් වුවත් බුදුබව පතන්නෙකුට තම අවසාන පාරමිතාව සඵල කරන සුභඵල සිහිනයක්ම වුණා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. තමන්ගේ බිරිද දරුවන් සමග මත්තෙහි තවත් කෝටිගණනක දරු දැරියන්ද බිරින්දෑවරුන්ද මේ මහා සංසාර දුකෙන් සදාකාලික ගලවාලන සම්මා සම්බුද්ධත්වය උදෙසා සෑම බෝසත්ත්වරයෙකු විසින්ම කල යුතු අවසාන පරිත්‍යාගය වීම නිසාමයි. ඒ නිසාම ඔහු මද්‍රි දේවිය සනසා සිතෙහි බිය දුරුකර ඒ මටසිලුටු මනසට කිසිවක් සඳහන් නොකර පිටත්කර හැරියා.

ඇය එම බස් අසා තම කුටියට ගියත් ඒ භයංකාර සිහිනය සිතේ හොල්මන් කරන්නට ඇති. ඇය ඒ නොනිදි රාත්‍රිය පහන්වූ පසු සියලු වැඩ නිමවා දරුවන් දෙදෙනා වැළදගෙන හිස සිඹ, ” අද ම විසින් නරක සිහිනයක් දකිනා ලදී. දරුවෙනි, ප්‍රවේශම් වන්නැයි” අවවාද දී ස්වාමීනි දරුවන් හොදින් බලාගන්නැයි මහාබෝධිසත්ත්වයන් වහන්සේට දරුවන් භාරදී අවශ්‍ය උපකරණ රැගෙන කදුළු පිසමින් මුල් පළාපල සදහා වනයට පිවිසියා. ඒ අතරතුර පුජකයාද දැන් මද්‍රි දේවිය වනයට යන්නට ඇතැයි සිතමින් කදුගැටයෙන් බැස අඩිපාර දිගේ අසපුව දෙසට පියමැන්නා.

 බෝධිසත්ත්වයන්වහන්සේ ද පන්සලෙන් නික්ම ගල්තලාවක රන්පිළිමයක් මෙන් හිද පෙරදා මද්‍රී දේවිය දුටු සිහිනය අනුව සිතමින් දැන් යාචකයා එන්නේයැයි පිපාසිතයෙකු මෙන්, සුරාසොඩකු මෙන් ඔහු එනමග බලමින් සිටියේ නොවිසිල්ලෙන්. මේ කිසිවක් නොදත් සුරතල් දරුවන් දෙදෙනාද ඔහුගේ දෙපා ලග සෙල්ලම් කරමින් සිටියා. අසපුවට එන අඩිපාර ඈතින් ඒ මහලු බමුණාගේ රුව මතුවුණා. මගබලමින් සිටි බෝධිසත්ත්වයන් වහන්සේට බ්‍රාහ්මණයා එනු දැක සත්මසක් අත්හැර දමා තිබුණු දාන ධූරය යලි ඔසවන්නාක් මෙන්, මුවට සිහින් සිනහවක් නැගුණා.

 

Ape Budu Hamuduruwo 128

අපේ බුදුහාමුදුරුවෝ 128

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 23

ආරක්‍ෂාවට සිටි කුලී හේවායා මග කියූ මග අනුව පූජක බමුණා වෙස්සන්තර තපස තුමා සොයමින් ඉදිරියටම ගමන් කළා. ඔහු කියූ මග සලකුණු අනුව යමින් සිටි ඔහුට ඔහු කියූ අයුරින්ම ඒ යන මග අතරමග සිටින අච්‍යුත නම් තවුසා ඔහුට මුණ ගැසුණා. ඔහු දුටු ජූජක බමුණා තවුසා සමග පිළිසදර කථාවේ යෙදුණේ ඉදිරි ගමන ගැන තොරතුරු ඔහුගෙන් තවදුරටත් දැනගන්නා අටියෙන්.

ජූජක බමුණා 

“කිම, භවත ඔබ නිරෝගීද, ඔබට දුකක් නැද්ද? ඔබ වනමුල් පලාපලයන්ගෙන් යැපෙන්නෙහිද? මෙහි මුල් හා පලවැල බොහෝ ඇද්ද? මෙම වනයෙහි මැසිමදුරුවෝ ද දීර්ඝ ජාතික සර්පයෝද අල්පව සිටිත්ද? චණ්ඩ මෘගයන් ගැවසීගත් වනයේ කිම හිංසා නැද්ද?

අච්‍යුත තවුසා ඔහු හට මෙලෙස පිළිතුරු දෙන්නට වුණා.

බමුණ, මට රෝග නැත. තවද මට දුක්ද නැත. වනමුල් පළවලින් ජීවත්වෙමි. මුල් හා පළවැල බොහෝය. තවද මැසිමදුරුවෝ ද දීර්ඝ ජාතික සර්පයෝද මෙහි අල්පමය. චණ්ඩ මෘගයන් සිටින වනයේ මා හට හිංසාවක් නැත. අවුරුදු බොහෝ ගණනක් අසපුවේ වසන මට උපන් සිත්කළු නොවන රෝගයක් නුදුටිමි. බමුණ, ඔබට යහපත් ගමන් වේවා. තවද තොපගේ නුසුදුසු පැමිණීමක් නොවේ. තොපට යහපතක් වේවා. තොපගේ පා ධෝවනය කරන්න පන්සල ඇතුළට පිවිසෙන්න.බමුණ තිඹිරි පලය,පියල්පලය,මිහිරි කටු එරමිණිය දඩවැල් බෑ මීයේය යන මේවා මෙහි ඇත. යහපත් දේ වළදන්න. මේ පැන්ද සීතලය,ගල්කුසින් ගලා ආ ඔයෙන් ගෙනෙන ලදය. බමුණ, ඉදින් තෙපි රිසියව් නම් එයින් ගෙන පානය කරව. පුජකයා කියන්නට වුණා.

කපටි ජූජක බමුණාට අවශ්‍ය වුණේ කෑමක් නෙවෙයි. වෙස්සන්තර කුමරු ඉන්නා දිශාව මොහුගෙන් නිවැරදිව දැනගැනීමටයි. ඔහු නැවතත් කතාවට මුලපිරුවා.

ඔබ විසින් යමක් දෙමියි කීවේනම් ඒ දෙන ලදමය වේවා. මා විසිනිදු එය පිළිගන්නා ලදමයි. සියල්ල පඩුරු කරන ලදය. රජුගේ ප්‍රිය පුත්‍රයා සිවීන්ගෙන් වෙන්ව වසන බව ඔබ නොදහුද? මම ඔහු දක්නට ආමි. ඉදින් දන්නේ නම් මට කියන්න ඔහු ඉන්නා දිශාව. මම ඔහු දැකීමට ආවෙමි යි තාපසයා පැමිණි කාරණය වසා මෙලෙස කිවා. එහෙත් ඒ තාපස තුමාට මොහු පැමිණියේ වෙස්සන්තර තාපස තුමාව බැහැදැකීමට පමණක් නොවන බව හැඟී ගියා. 

“මොහු වෙසතුරු රජ දකින්නට එන්නේ පිනක් කරගනු පිණිස නොවෙයි. මොහු රජුගේ දේවිය පතාගෙන ආවා වන්නටත් පුළුවන. ක්‍රිෂ්ණජිනා දාසියකොට ජාලිය දාසයාකොට ගන්නට රුචිවන බව වන්නටත් පුළුවන්. සමහරවිට මව සහ දෙදරුය යන තිදෙනා වනයෙන් ගෙන යන්නට ආයේ වනැයි මට හැඟෙනවා.” යනුවෙන් සිතමින් තවදුරටත් ඔහුව අධෛර්යමත් කිරීමට මෙලෙස කියන්නට වුණා.

” එම්බා බ්‍රාහ්මණය වනයේ වසන වෙස්සන්තර රජුහට භවභෝග සම්පත් නැත. පෙර පරිදී ධන ධන්‍යද නැත. දුප්පත්ව සිට ජීවත්වෙයි. ඔබ ඔහුගේ සමීපයට ගොස් කුමක් කරන්නෙහිද? “

කපටි වයෝවුර්ධ ජූජක බමුණාට ඔහුවත් ලේසියෙන්ම මෙලෙස රවටනු හැකි වුණා. 

එම්බා තාපසය, ඔබ මා කෙරෙහි තරහා ඇතිකරගන්න එපා. එවැනි දේ වලින් මට වැඩක් නැත .මට වනාහි වෙස්සන්තර රජු ගෙන් කිසිවක් ඉල්වනු කැමැත්තේ නොවෙමි. උතුමන්ගේ දැකීම යහපත්ය. මොවුන් සමග විසීමද සැපතකි. මම ඔහුගේ ඇදුරු බමුණා වෙමි. යම්කලෙක සිවීන් විසින් නෙරපන ලද්දේ ද එතැන්පටන් මා ඔහුව නොදකින ලද්දේය. ඒ නිසා මම ඔහු දැකීමට ආවෙමි. ඔහු වසන තැනක් දන්නේ නම් මට කියන්න. 

මම ඔහුගේ ගුරුවරයා යන වචනය අසා ඒ තාපසයාද ඔහුට රැවටුණි. ! “මම ඔබව සනසන්නෙමි. අද දවස මෙහිම ගත්කරන්න යැයි පළාපල ආදියෙන් සංග්‍රහකොට පසුදා මාර්ගය පෙන්වන්නට අත දිගුකර මෙසේ කියන්නට වුණා. බමුණ,යම්තැනක වෙසතුරු රජදරුවන් සැමගේ වාසය කෙරේද,තෙල පෙනෙන පර්වතය ගන්ධමාන නම් වේ. හේ තාපස විලාශයද දෙහෙටිල්ලද ගිණිපුදන හැන්දද දළමඩුළුද දරනුයේ අදුන්දිවිසම් දරනුයේ බිම හොවී ගිනිදෙවිය පුදයි. එහි නිල්වන් වූ නොයෙක් පළ දරණ වෘක්ෂයෝ නැගී සිටි වලාකුළු මෙන් නිල්වන් අදුන්කුළු මෙන් පැනෙති. මෙම අඩිපාර නිමවෙන්නේ ඔහුගේ අසපුව අසලින්.”

“පුජකයා අච්චුත තාපසයා විසින් කියන ලද මාර්ගයෙන් ගොස් සතරැස් පොකුණ වෙත පැමිණ මෙසේ සිතන්නට වුණා. ” අද බොහෝ සවස් විය. දැන් මද්‍රි දේවිය වනයෙන් එන්නීය. කාන්තාවෝ වනාහි දානයට විරුද්ධ වුවෝ වෙති. හෙට ඇය වනයට ගිය කල්හි අසපුවට ගොස් වෙස්සන්තර රජුගෙන් දරුවන් ඉල්වා ඇය පැමිණෙන්නට පළමුව දරුවන් රැගෙන නික්ම යන්නෙමි.” ජූජක බමුණා මෙලෙස සිතමින්, එයට නුදුරෙහි එක් කදුගැටයකට නැග සුව පහසුතැනක වැතුරුනේ හෙට දවස ගැන සිහින මවමින්.

 

Ape Budu Hamuduruwo 127

අපේ බුදුහාමුදුරුවෝ 127

 

මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 22 

ජූජක බමුණාට රැවටුණු වෙසතුරු කුමරුගේ ආරක්ෂක නිලධාරියා.

ඒ කුලී හේවායා ජූජක බමුණාගේ වහසිබස් වලට රැවටී ඔහුව විශ්වාස කරනු ලැබුවා. ඇත්තෙන්ම ඔහු සිතුවේ ඔහු දෙමාපියන්ගේ පණිවිඩ කරුවෙකු කියායි. ඉතාමත් දුකට පත්වී සිටින මහලු රජ තුමා සහ දේවිය ගැන අනුකම්පාවෙන් වෙසතුරු කුමරුහට කරුණු පැහැදිලි කොට ආපසු රැගෙනයාමට පැමිණි ඔහුගේ පැරණි ගුරුදේවයන් කියලයි හිතුවේ. ඔහු එම නිසාම ඔහුව විශ්වාස කරනු ලැබුවා.

වෙසතුරු රජ සිටිනා තැන පිලිබඳ විස්තර ජූජක බමුණාහට ලබාදීම.

” මම ඔබව සනසන්නෙමි. අද දවස මෙහිම ගත්කරන්න යැයි පලාපල අදියෙන් සංග්‍රහකොට පසුදා මාර්ගය පෙන්වන්නේ අත දිගුකර මෙසේ ගන්ධමාන පර්වතය අසල ඇති මුචලින්ද විලත්, එහි අවට පරිසරයත්, එහි අසිරියත්, කුරුළු සිවුපා මල්වැල් ගහකොළ ඇතුළු සියලු විස්තර ඔහුට මෙලෙස එකිනෙක විස්තර කලේ ලස්සන සිතුවමක් මවමින්.

බමුණ,යම්තැනක වෙසතුරු රජදරුවන් ඇතුළු ඔහුගේ අඹුදරුවන් වාසය කරයිද, අර පෙනෙන පර්වතය ගන්ධමාන නම් වේ. ඔහු තාපස විලාශයද දෙහෙටිල්ලද, ගිණිපුදන හැන්දද, දළමඩුළුද, දරනුයේ අදුන්දිවිසම් දරනුයේ බිම හොවී ගිනිදෙවිය පුදයි. එහි නිල්වන් වූ නොයෙක් පළ දරණ වෘක්ෂයෝ නැගී සිටි වලාකුළු මෙන් නිල්වන් අදුන්කුළු මෙන් පැනෙතිවව.

හෙළගිරිකිල්ල මල් පිපෙණ නිල්වන් කැළෑ හීතණ.

දැව, අසුය, කිහිරිය, සල්ය, කොළොම්ය, මාළුවාය යන වෘක්ෂයෝ එක්වරක් පානය කල සුරාසොඩුන් මෙන් පවනින් වෙව්ලති. රුක් අතු මත්තේ පක්ෂීන්ගේ රාවය දේවගීතිකා මෙන් ඇසෙයි. විලිකුළු ගණන හා කෙවිලි ගණන ගසින් ගසට පනිති. යම්තැනක වෙසතුරු රජ දරුවන් හා සමග වෙසේද එහි පවනින් සැලෙන ගසේ පත්‍ර තමා පියා දරුවන් කැදවන්නවුන් වැනිය. තමා කරා එන්නාහු සතුටු කරනුවන් වන්නාය. නිරන්තරයෙන් වාසය කරන ජනයා තුටු කරන්නාහ. රජ එහි තවුස් වෙස්ද පළවැල නෙළන කෙක්කද ගිණිපුදන හැන්දද දළමඩුළුද දරනුයේ අදුන්දිවිසම් හැදගෙන බිම සයනය කරයි. ගිණි දෙවියාද පුදයි. ඒ වනයේ සිත්කළු බිම්පෙදස්හි පැතිර සිටි හෙළගිරිකිල්ල මල් ඇති බිම හීතණයෙන් නිල්වන් ය. ඒ බිම ධුලි නොනැගෙන්නේය.ගිරිතිල්ල මල් වියනකින් හා නිල් තණයෙන් නීල වර්ණ වූ ඒ ස්ථානයෙහි අල්ප වුද දුවිල්ලක් නොනගී.

මොණරකර බදු වූ හිඹුල් පුළුන් ස්පර්ශය සමාන උපමා ඇති, ස්පර්ශයෙන් පුළුන් හා ස්පර්ශවීම සමානය. තෘණයෝ හාත්පසින් සතරගුල් ඉක්ම නොවැඩේ. ඒ භූමියේ ඇති මොණර ග්‍රීවාව වැනි වර්ණ ඇති නිල් තණ හාත්පසින් අගල් සතරක් පමණක්ව පවතී. අඹ දඔ ගිවුළුද මිටි රුක්හි විලිකුන් දිබුල් ද ඇත.නොයෙක් පරිභෝග වෘක්ෂයන්ගෙන් ඒ වනය ඇලුම් වඩවයි.

සිව්රැස් පොකුණ

නොයෙක් ඵලයන්ගෙන් යුතු පරිභෝග වෘක්ෂවලින් හා වනරොදෙහි වන්කගිරියෙහි කුඩා ගංගාවලින් ගලාබස්නා ජලය පවතී මස්කැලන් විසින් නිරන්තරයෙන් සෙවුනා ලද වෙරළුමිණිවන් පැහැ ඇති පිරිසිදු සුවද සලිල් ඇති දියදහර ඒ වනරොදෙහි ගලාබසියි. එයට නුදුරුව මනරම් බිම්පෙදෙසක දෙවියන්ගේ නදුන් උයනෙහි මෙන් පියුමින් හා උපුලින් සැදි පොකුණක් ඇත. බමුණ ,ඒ සිව්රැස් පොකුණෙහි උපුල් වර්ග තුනක් ඇත.එක් වර්ගයක් නිල්පාටය එක් වර්ගයක් සුදුය. එක් වර්ගයක් ලේ පාටය. මේ තුන් ආකාර උපුල්වලින් ඒ විල විසිතුරුය. සරසන ලද මුදුන් මල්කඩක් මෙන් බබලයි. ඒ පොකුණ විසිතුරුය. මෙසේ සිව්රැස් පොකුණ වර්ණනා කර නැවත මුචලින්ද විල වර්ණනා කරමින් මෙසේ කියන්නට වුණා.

මුචලින්ද විල

ඒ වන ලැහැබෙහි විලක් ද ඇත. ඒ විලෙහි හෙලපියුම්, හෙළපිලි අතුරනලද තැනක් බදුය. හෙළපුළින් හා හෙල්මැල්ලෙන් ද දියකුරයෙන්ද ගැවසුනේය. ඒ විල මුචලින්ද නම් වේ. තවද ඒ මුචලින්ද විලෙහි පියුම් කෙළවරක් නැත්තා සේ පෙනෙති. ඇතිරිල්ලක් ඇතුරුවාසේ හාත්පසම පෙනේ. ගිම්හාන, හේමන්ත ඍතුවල පිපුණු පියුම් දණක් පමණ ගැබුරු දියෙහි පැතිරී සිටිති. විසතුරු මල් සතර අත සුවද පතුරුවයි. බඹරු මල්සුවදින් හාත්පසම අභිනාද කරයි. වෙසතුරු රජුද, තොප සතුටු වේවයි කියන නන්දික ලිහිණියෝ ද, දරුවන් සමග සැරදෙවයි කියන ජිවපුත්ත ලිහිණියෝද, තොප ද තොප ප්‍රිය දරුවෝද සැරදේවයි කියන ලිහිණියෝ ද තොපිද තුටුව තොප දරුවෝද තුටුවෙත්වයි කියන ලිහිණියෝ ද මුළු පොකුණම නිවාස කොට ඇත්හ. යම්තැනක වෙස්සන්තර රජුන් දරුවන් සමග සිටීද ඒ වනහිස් නන්පැහැ වූ මලින් නිපුණයින් විසින් ගෙතූ මල්දම් ලෙසින් සොබනේය.තවද බමුණ ඒ විල්දිය කෙළවර වෘක්ෂයෝ වෙත්.සුපිපි කොළොම් රුක්ය. පළොල් රුක්ය. මල් පිපී ගිය කොබොලීල රුක්ය. අගුණ රුක්ය,වැල්කිණිහිරිය, කරගස් නාගස් යන මේ වෘක්‍ෂයෝ මුචලින්ද විල වටා පීපී සිටියි.

මුචලින්ද පොකුණ වටකොට ඇති ගස් වර්ග

මහරිය, හෙළපළුය , පියුමගස්ය, යන මේ ගස් වලින් මනා සුවද හමයි. මහනිකද,සුළුනිකද ගස්ද පියාරුක්ද එහි පීපී තිබේ. පගුරුය, මුහුළුය, සල්ය, මුරුංගාය යන මේ රුක් පීපී සිටී. දුනුකේ ගස්ද කිණිහිරි ගස්ද කණේරු ගස්ද පීපී තිබේ. මහා කුඹුක්ද සුළු කුඹුක්ද මහඋක්ද මල්මල් පීපී සිටී. මනාව පිපුණු අගති කැල ගස් දිළිසෙන අගුරු මෙන් සිටී. ඇත්දෙමටය, රුක්අත්තනය, කදලය, වනුක්ය, දුනුවලලා ය තිටිගය යන රුක්මලින් ඇට්ටර හා වරණ රුකින්ද ඒ වනය හෙබුනා. අසුගස්ද තෙලබු රුක්ද හින්සල්රුක්ද පිපීවනම සිටී. හෙළවසුරුක් හා තුවරලාද මැසිගස්ද උපුල්කොළ ද කළුවර ගස්ද ඇත. තවද ඒ විලෙහි උදයකාන්තයෙහි බහුලව හටගත් දඹලද ඇත. සිහින් මුගු ද මහමෑ ද කටුකොහොවිල ද බොහෝය. තවද ඒ විලමියර ඇත්තේය. වාතයෙන් අලළන ලද්දේ වෙයි. නද දෙන මීමැස්සන්ගෙන් යුක්ත මල් පිපුණු හුගු ගස් හා රත්කරව් ගස් ඇතියේය. සුළු අංගෙන්ද මහ අංගෙන්ද හුරුකලන්ද ගස් ද මෙහි බොහෝය.

මල් වර්ග සහ එහි සුවඳ

බමුණ, හෙළ කලවැලින් ගැවසීගත් වෘක්ෂ ඇත. සත් දවසක් මුළුල්ලෙහි රදා සිටින ඒ මල්වල සුවද නොසිදේ. ඒ මුචලින්ද විල දෙපස ශෝභමාන මල් ඇත. එරහැන්ද ගස්වලින් යුතු ඒ වනය හොබනේය. අඩමසක් මුළුල්ලෙහි දරනු ලබන ඒ එරහැන්ද ආදී මල්වල සුවද නොසිදේ.පිපියා වූ දියබෙරලිය සේතවාරි,නිල්කටරොළු ද ඇත.ඒ වනය කටෙරුකයෙන් හා තලාගසින් වැසුනේය. ඒ වනය මල්අත්තෙන් පවත්නා සුවදින් පැමිණි අයව මත් කරවයි.මල් සුවදින් හාත්පසම නද දෙන බඔරු වෙති. බමුණ,ඒ විල අසල කැකිරි වර්ග තුනකි.එක් වර්ගයක් කළයක් පමණය.වර්ග දෙකක් මිහිගු බෙර දෙකක තරම් වෙයි. තවද ඒ අසපුව ඉදිරියේ අබ ද හරිතායුත යනාදිය යන ලුහුණු බොහෝය.ඉදිගස් තල්රුක් මෙන් සිටී. මිටින් සිදලිය හැකි රන් එරහැදී බොහෝය.ගැහැවි සුවද වත් සමන් වැල්ද හිරිවැල්ද කෑලිය ද මිහිගෙදි ද හෝපලු ද නීතුල ද ලබුකොමඩු ද හිගිනි රුක් ද කටුකරඩු, අනෝජා ද පීපී ඇත.නාලියද හිරමුසු වලද ගස්නාග පිපිවනම සිටී. රන්කටුකරඩු ද වෑකොද විනිගස් ද ඉද්ද ද වැල්සමන් ද හොයොඹු ද ගදඇඹුලු ද යන වෘක්ෂයන්ගෙන් ඒ වනය හොබනේය. මීපැණි සමාන සුවද ඇති මධුගන්දිය, පළොල් ද සූරිදුගස් ද කිණිහිරි ගස්ද පිපියාහු රුසිරැ ගිනිසළු වැනිය. එළන ලද රන්දැල් මෙන් පෙනේ. දියගොඩ උපදනා හටගන්නා යම්කිසි කුසුමයෙක් ඇද්ද ඒ සියළුම පුෂ්පයන් ඒ විලේ පෙනෙයි.මහා දියකද දරන මුචලින්ද විල මෙසේ රමණිය වේ.

මුචලින්ද විලේ දිවිගෙවන මත්ස්‍ය වර්ග සහ විල අවට ඇති සිවුපාවුන්

විශාල ජලකදක් දරා සිටින මුචලින්ද විලේ දිය ඇසුරු කොට සිටින්නාවූ රෙහෙ මස්හුද ඉස්සෝද සුගුමස්හුද කිඹුලෝද මෝරුද සුංසුමාරයෝද බොහෝ වෙති. මී ද වැල්මී ද තලිස්පතුරු ද පුවගු ද කළුනීර ද වම්මුතු ද සියපුප් ද ලොලුපද තුවරලාය,තුංගවණ්ටකය, පද්මකය නරදය කුට්ඨය කධාමකය හරෙණුකය යන සුවද රුක් බොහෝය. තවද ඒ වනයේ සිංහයෝද ව්‍යඝ්‍රයෝද වෙළෙඔ, මුව පක්ෂීහුද ඇතුන්ද ඒණිමුවන් ද පසද මුවන්ද රෙහෙ මුවන්ද සරභ මුවන්ද කැනහිලුන් කොක් නහවෝත් ගිජු නහවෝත් පිය බළලුන් ද රුක් නහවෝද සෙමරහුද තිත්මුවෝද වාමුවෝද මහකළු වදුරෝද හැලිවදුරන්ද රිලා වදුරන්ද ගෝණහුද හගමොරලියෝද වලස්සුද දඩගෝන්නුද බොහෝ වෙති. කඟවෙහෙණුවෝ ද හූරෝ ද මුගටියෝද කලවැද්දෝ ද ඒ විල්තෙර බොහෝ වෙති. 

කියා නිමකළ නොහැකි හිමවතෙහි තව බොහෝ විස්තර විස්තර. 

එයින් මතුද ආශ්‍රමය වර්ණනා කරමින් මෙසේ කියයි. අඹ ද ගිවුළුද පනාද සල්ද දඹද බුළුද අරළුද නෙල්ලිද ඇසතුද ඩෙබරද එහි රන්තිඹිරි රුක්ද නුගද හෙලකිදි ඇසතු ද ඇත මියුරු රස ඇති මීරුක්හු හොබවති. මිටි රුක්හි විලිකුන් දිඹුල්පලද ඇති කිරිපළුද එල්ගෙදද මී වෑහෙන මිදිද ඇත. ඒ වෙනෙහි නිවසි මී තුමු මැ ගෙන බුදති. ඒ වනයෙහි සමහර අඹ රුක් කෙතෙක් මල් පිපී තිබේ. ඇතැම් අඹරුක් අමුපලද විලිකුන් පලද ඇතිව සිටිති .ඒ අමු විලිකුන් පළ දෙවර්ගයම මැඩියන් වැන්න. තවද ඒ අසපුවෙහි අඹරුක් යට සිටි පුරුෂ තෙම වර්ණ ගන්ධ රසයෙන උතුම් වූ අමු අඹද විලිකුන් අඹද නෙලා ගනී. මට මෙය ඉතාම අසිරිය. මට විශ්මය වැ වැටහෙයි. දෙවියනට නිවාස වූ නදුනුයනු මෙන් හොබී. ඉදුරුකින් සැදි මහවනයෙහි තල් රුක්ද නෙරළු රුක්ද ඇත. සුපිපි වෘක්ෂයෝ ගෙතු මල්දම් සෙයින් සිටිති. ධ්වජාග්‍රයන් මෙන් පෙනෙයි. නන්පැහැ මලින් තරුවලින් සැදි අහස මෙනි. සළුකෙලිද උපුල්කොළද තුවරලාද පළොල් රුක්ද පිපී සිටී. දොඹරුක් ද මහදොඹ රුක්ද කොබෝලීල රුක්ද පිපී සිටී. එහි එරහැන්ද ද සෝමරුක් ද ඇගිල්රුක් ද බදුලුරුක් ද බොහෝය. අවරිද සුලුකුඹුක් ද පියාරුක් ද පිපී සිටී. එහි මහකෙලිද ද සළල රුක් ද බක්මී රුක්ද කොසඹ රුක්ද දෙල් රුක්ද දැවරැක්ද සල්රුක්ද පිපී සිටී. පිදුරු කලවිටි වැන්න. ඒ අසපුවට නුදුරෙහි මනරම් බිම් පෙදෙසක දෙවියන්ගේ නදුනුයනෙහි මෙන් පියුමුපුලෙන් සැදි පොකුණෙක් ඇත .තවද එහි පොකුරු මී රසින් මත් වූ මියුරු හඩ ඇති කුරවි කෙවිල්ලෝ ඍතු සමයෙහි පිපි රුක්වල හිද මහවනය වෙසෙසින් හඩවති. මලින් බස්නා මුවරදින් පොකුරු පත මී ඇත. තවද ඒ අසපුවෙහි දකුණු දෙසින් පවන් හමයි. පියුම් කෙසරුයෙන් හා රොනින් ඒ අසපුව ගැවසී ගත්තේ වෙයි. ඒ පොකුණෙහි මහවිල්කටු හා ස්වයංජාත හුරු හැල්ද එයින් සැදුනු හාල් ද ඇත. රැහැබැද ඇවිදින මස්කැස්බෝ ද ඇත .එහි කකුළුවෝ ද බොහෝ වෙති. නෙලූඹු අලයෙන් මී වෑහෙයි. නෙලූඹු වලින් වෑහෙන රස කිරිමුසු ගිතෙල් වැන්න. සෑම වූ ගන්ධයෙන් වෑහුණු ඒ වනය සුවද හමයි. පුෂ්පයන්ගෙන් වහනය වන්නාවූ සුවදින් ඒ වනයට පැමිණෙන දනන් මත් කරන්නේය. බඹරු මල් සුවදින් හාත්පසම නද දෙයි. තවද ඒ වනයෙහි ලිහිණියෝ සිටිති. නේක වර්ණයෙන් යුතු ලිහිණියෝ ඔවුන්නොවුන් කුල්නාහු ලිහිණි දෙනුන් හා තුටු වෙයි.

මෙලෙස කුලී හේවායා විසින් කරනු ලැබූ දීර්ඝ විස්තරය එය අසා සතුටු වූ බමුණා තමා සතු වූ මීපැණින් සාදන ලද බත චේත පුත්‍රයා වෙත පිළිගැන්නුවා. එවිට චේත පුත්‍රයා මාර්ගෝපකරණ තොපටම වේවා. මම තොපගේ මාර්ගෝපකරණ නොකැමැත්තෙමි. යනුවෙන් එම තුටු පඬුරු ප්‍රතික්ෂේප කරනු ලැබුවා. බමුණ මතැනින් දැන් යන්න. සැපසේ යන්න. මෙලෙස ඉදිරියට යනවිට අඩිපාරක් හමුවෙයි. එය අසපුවට ඉදුරාම යයි. ඒ මාර්ගයේ මැලියම් බැදුණු දත් ඇති දුවිලි වැනි හිස් ඇති අච්‍යුක නම් තපසයෙක්ද වෙයි. ඔහු තාපස විලාශය ද පළාපල නෙලන අංකුශයද ගිණිපුදන හැන්දද දළමඩුලු දරනුයේ බිම නිදන්නේය. ගිණි දෙවියෝ පුදයි. ඔබ ගොස් ඔහුගෙන් පාර අසන්න. ඔහු ඔබට නිවැරදි මග කියන්නේය. බමුණා මෙය අසා චෙත වැසියන්ට පැදකුණු කොට අච්‍යුත තවුසා යම්තැනකද ඒ වෙත ඔදවැඩි සිතින්ම පිටත්ව ගියා.