Ape Budu Hamuduruwo 171

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 171

 

කිසා ගෝතමියගේ උදාන වාක්‍යය

විශ්වකර්ම දෙවියන් විසින් දිව්‍ය රාජයෙක් මෙන් සරසනු ලැබූ අප මහා බෝසතාණන් වහන්සේ ඒ හා සමානම අලංකෘත වූ රාජකීය රථයට නැගී මහත් යසසින් හා සිත්කළු රූසපුවෙන් යුතුව ඇතුළු නුවරට පිවිසියා. මේ අවස්ථාවෙහි කිසාගෝතමී නම් රජ කුමරිය තම මන්දිරයේ උඩුමහලෙහි සිටිමින් නගරයේ ඈත කෙළවර සිට මහා පිරිවරක් සමග පැමිණෙන සිදුහත් කුමාරයා දෙස ඇසිපිය නොහෙලමින් බලා සිටියා. ඇය සමහරවිට බොහෝ වෙලා ඔහු දකිනු සඳහාම ඒ සඳලු තලයට වී පෙරමග බලා ඉන්නට ඇති. නුවර පැදකුණු කරන බෝසතාණන් වහන්සේගේ රූසපුව දැක සතුටු සිතින් ඉපිලී ගිය ඇය උන්වහන්සේ තම මන්දිරය අසළට පැමිණෙන තෙක් බලා සිටියේ නොවිසිල්ලෙන්. ඒ මෙම ප්‍රීති වාක්‍යය බෝසතාණන් වහන්සේට ඇසීමට ගායනා කිරීමට.

නිබ්බුතා නූන සා මාතා නිබ්බුතා නූන සො පිතා නිබ්බුතානූන සා නාරී යස්සායං ඊදිසො පති

මෙබදු කුමරකුට යම් කතක් මව් වූවාද ඕ තොමෝ නිවුනා යි හගිමි. යම් පුරුෂයෙක් පියා වූයේද හේද නිවුනේ යි හගිමි. යම් ස්ත්‍රියකටද මෙවැනි හිමියකු සිටී ද ඒ බිරියද නිවුනා යි හගිමි. යන්න එහි කෙටි අරුතයි.

බෝසතාණන් වහන්සේ මේ උදාන වාක්‍යය අසා එහි අරුත ගත්තේ හරිම පුදුම විදිහට. උන්වහන්සේ මෙලෙස සිතන්නට වුනා . ඇය විසින් කියන ලද්දේ මේ අදහස විය යුතුය. මෙවැනි රූසපුවක් ඇති ආත්ම භාවයක් දකින මවකගේ හදවත නිවෙයි. පියෙක්ගේ හදවත ද නිවෙයි. බිරියගේ හදවතද නිවෙයි. එහෙත් කුමක් නිවුණු කල්හි හදවතට නිවීමක් වේද?බෝසතාණන් වහන්සේට මෙසේද මෙසේද සිතුණි. රාග ගින්න නිමුණු කල්හි හදවත නිමුණේ වෙයි. මාන දිට්ඨි ආදී කෙලෙස් ගින්දර නිවුණු කල්හි නියම වශයෙන් හදවත නිවුණේ වෙයි. එම නිසා ඇය මට අස්සවන ලද්දේ මා හැගි දහමකි. මම ද නිවීම හෙවත් නිබ්බාණය සොයමින් සිටියි. හැකි ඉක්මණින් ගිහි ගෙය අතහැර නික්මී පැවිදි ව නිවීම හෙවත් නිර්වාණය සොයන්නට වටී.

මෙලෙස බෝසතාණන් වහන්සේගේ රූපශෝභාවයෙන් වසඟයට පත්වූ අතිශය රූමත් වූ ශාක්‍ය කන්‍යාවිය විසින් ව්‍යංග අර්ථයෙන් කල ඇරයුම තණ්හා දිට්ඨි මාන වශයෙන් ගෙන ප්‍රපංච නොකොට අලුයම ඉවතලු කෙල පිඬක් සේ තම සිතෙන් ඉවත ලු උන්වහන්සේ ඇයට පඩුරු වේවා යි ලක්‍ෂයක් වටිනා මුතුහර ගෙලෙන් මුදා ඇය වෙත යවනු ලැබුවා. එය ලැබූ කිසාගෝතමී සිදුහත් කුමරු මා කෙරෙහි අනුරාගී හැගීමෙන් එවන ලදැයි සතුටු වූවා. බෝසතාණන් වහන්සේ මහත් ප්‍රීතියෙන් තම ප්‍රසාදයට පියමැන්නා. පියමැන තම සිරියහනේ සැතපෙමින් ගිහිගෙයින් නික්මයාම පිළිබඳවම සිතන්නට වුනා . ඒ සිතන අතර තුරම උන්වහන්සේ කෙටි නින්දකට පිවිසුණා. ටික වේලාවකින් නින්දෙන් පිබිදුණ බෝසතාණන් වහන්සේ ගිහිගෙයින් නික්මෙන්නට කාලය පැමිණියේ යැයි කල්පනා කරනු ලැබුවා. එහෙත් මා හදාවඩා රැක බලා ගත් මාගේ සැපපහසුව ද අභිවෘද්ධිය තකා පමණ කළ නොහැකි මහත් ධන සම්භාරයක් වියදම් කළ රෑ දවාලේ මගේ යහපතම පතා නො පමණ වෙහෙස මහන්සි වෙමින් මගේ කරුණාබර පියාණන් වහන්සේට නොදන්වා උන්වහන්සේගෙන් අවසර නොගෙන නික්මයෑම අයුත්තක් බව උන්වහන්සේට තේරුම් ගියා වගේම එය අකෘතඥ බවත් වැටහුණා. එබැවින්දැන් පියාණන් වහන්සේ වෙත ගොස් දන්වමි යැයි සිතා මහ රෑම පියාණන්ගේ මාලිගාව වෙත පියමැන්නා.

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.

Ape Budu Hamuduruwo 170

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 170

 

අපි නොදකින සතර පෙර නිමිති 02

තවත් එක් දිනක් බෝසතාණන් වහන්සේ පෙර සේම රාජකීය උයනට යන්නට සිතුවා. එදත් සුපුරුදු පරිදී රථාචාර්ය වරයා රාජකීය රථය ලස්සනට සැරසුවා. පිය රජතුමා වෙනදාටත් වඩා වැඩියෙන් යන මග දෙපස ගව්වක් දක්වා ආරක්ෂා විධිවිධාන තරකරනු ලැබුවේ කිසිම අසුභ දර්ශනයක් කුමරුන් ඇස නොගැටීමට. එහෙත් ඒ බාධක බාධකයක් වුනේ මිනිසුන්ට. දෙවියන්ට නෙවෙයි. එදත් දෙවියන් විසින් පෙර පරිදිම සසර කල කිරවන රෝගී පුද්ගලයෙකු මවනු ලැබුවා. දෙවියන් විසින් මවන ලද රෝගී පුරුෂයා දැක පෙර සේම විචාරා කළකිරීමට පත් වූ කුමරු ආපසු මාළිගවටම පැමිණියේ උයන් ක්‍රීඩාව ඉවතලමින්. රජතුමාටත් මෙය ලොකු ප්‍රශ්ණයක් වුනා. සමහරවිට ඇමතිවරු සේවයක්යෝ නොසැලිකිලිමත් වුනා කියලා නොසෑහෙන්න බැනුම් අහන්නත් ඇති. රජතුමා ද පෙර පරිදිම ආරක්‍ෂණ සංවිධාන තවත් වැඩිකොට තිගව්වක් ප්‍රදේශය දක්වා තර කළා. නැවතත් පෙර පරිදීම තවත් එක් දවසක් උයනට යන බෝසතාණන් වහන්සේ දේව නිර්මිත මළ සිරුරක් දැක සංවේගයට පත්ව පෙර පරිදීම ආපයින්ම ආපසු මලිගයටම පැමිණියා. මෙවර රජතුමා තවත් යොදුනක් පමණ ඔබ්බට ආරක්‍ෂාව තර කළා. ඔබ හිතන්න එපා මේ දේවල් මේ ආකාරයෙන්ම සිදුවුනේ අපේ බුදුහාමුදුරුවන්ට පමණක්මයි කියලා. නැහැ මෙතෙක් අප විසින් ලියු සියලු බුදුවරුන්ටත් මතු පහළවන බුදුවරුනටත් මේ කරුණු එක සේ සමානයි. එය ලෝකයේ ධම්ම නියාම යන යන නියාමනය යටතේ සිතුවන්නක්. තවත් දවසක බෝසතුන් වහන්සේ පෙරසේම උයනට යන්නට පිටත් වුනා. ඒ ගිහි ජිවිතයේ අවසාන උයන් ක්‍රීඩාව සඳහා බව උන්වහ්න්සේවත් දැනගෙන නොයින්නට ඇති. ඒත් ඒ බව දෙවිවරු දැන සිටියා. අතරතුරඑදත් ඒ යන අතරතුර දෙවියන් විසින් මවන ලද මනාව සිවුරු හැද පොරවූ පැවිදි රුවක් දැක මේ කවරෙක්දැයි රියදුරුගෙන් විචාරනු ලැබුවා. බුදු සසුන පවත්නා කාලයක් නොවන නිසා පැවිද්දෙකු හෝ පැවිදි ගුණ නොදන්නා රියදුරා දෙවියන්ගේ අනුහසින් දේවයිනි, මේ පැවිද්දෙක්යැයි හදුන්වා පැවිදි ගුණ ද වර්ණනා කරන්නට වුනා . ජිවිතයේ බොහෝදෙවල් වෙනස් වෙන්නේ බොහෝ විට එක ක්ෂණයකින්. බෝසතාණන් වහන්සේට ඒ පැවිදි රුවත් ඔහුගේ අරමුණත් පිළිබඳව සිත නැමුණේ පුදුමාකාරයට. සිත නැමුණා විතරක් නෙවෙයි සිත ඇලුනා. පැවිද්දට සිත ඇලුණු උන්වහන්සේ එදවස උයනට ගියේ පුදුම සතුටකින්. . හරියටම දීඝභාණක තෙරවරු සතර පෙර නිමිති එක දවසෙහි ම දැක අභිනික්මන් කළ බව කියනවා වගේ

එදා උන්වහන්සේට විශේෂ දවසක්. මීට පෙර දුටු පෙරනිමිති නිසා බොහෝ දුකට පත්ව සිටි උන්වහන්සේට දුකින් මිදිය හැකි දොරටුවක්ද මෙම සසරෙහිම සැඟව පවතින බව පෙනෙන්නට ඇති. උයන් සිරි විදිමින් මගුල් පොකුණෙහි ප්‍රීතියෙන් ගතකල උන්වහන්සේ නා හිරු බැස යත්ම එයින් නික්මිවුත් මගුල් ගල් පුවරුවෙහි අසුන් ගත්තා.

බෝසතාණන් වහන්සේව විස්කම් දෙවිඳු විසින් සැරසීම.

මේ ඔබ හට කියන්නට යන්නේ ලොව තවත් ධම්ම නියාමයක්. ඒ අභිනික්මනට පෙර බෝසත් වරුන්ව සක්දෙවිඳුගේ අනින් විස්කම් දෙවිඳු විසින් සැරසීම යන කාරණයයි. මෙය සම්මා සම්බුද්ධත්වයට පත්වෙන සියලු බෝසතන් වහන්සේලාට සාධාරණ වූ ධර්මතාවයක්. ඒ කරුණ නිසාම වෙන්නට ඇති බෝසතුන්ට එහිදී තමා අලංකාර කරවා ගන්නට කැමැත්තක් ඇතිවුනා . බෝසතාණන් වහන්සේ ගේ පිරිවර පිරිස නානා වර්ණ වස්ත්‍ර ද විවිධ ආභරණ ද මල් ගද විලවුන් ද රැගෙන උන්වහන්සේව පිරිවරා සිටිය. එහෙත් එය ඔවුනට අයිති කාර්යයක් නොවනබව ඔවුන්වත් දැන සිටියේ නැහැ. එකෙණෙහි සක් දෙවිදුගේ පඩු ඇබුල් අස්න උණුසුම් වෙන්නට පටන්ගත්තා. සක් දෙවිදු කවරකු මා සක් පදවියෙන් ඉවත් කරනු කැමැත්තෝ දැයි විමසනා විට සිදුහත් කුමරුන්ගේ අවසන් සරසන කාලය බව දැන විස්කම් දෙව්පුත් අමතා “සගය, අද මධ්‍යම රාත්‍රියෙහි සිදුහත් කුමරා මහාභිනිෂ්ක්‍රමනය කරන්නේය. මේ මොහුගේ අවසන් සරසීමයි. උයනට ගොස් බෝසතුන් වහන්සේ දිව්‍යාභරණයෙන් සරසව” යි නියම කරනු ලැබුවා. ඔහුද මැනවයි පිළිගෙන දිව්‍යානුභාවයෙන් එකනෙහිම උයනට පැමිණ බෝසතාණන් වහන්සේගේ කපුවාගේ වේශයෙන් ගොස් කපුවාගේ අතින් හිස වෙලුම් පිළිගෙන බෝසතාණන් වහන්සේගේ හිස වෙලන්නට වුනා .

බෝසතාණන් වහන්සේ විශ්වකර්ම දේව පුත්‍රයාගේ අත ස්පර්ශ වූ කෙණෙහිම මේ මිනිසකු නොව දිව්‍යය පුත්‍රයකු යැයි දැන ගත්තා. හිස වේලූ කෙණෙහිම ඔටුන්නෙහි එබ්බු මිණි කැට අයුරින් පිළි දහසක් පැන නැග්ගා. නැවතත් හිස වෙළත්ම නැවතත් පිළි දහස බැගින් පැන නැග්ගා. මෙලෙස දස වරක්ම හිස වේලනු ලැබුවා. මෙසේ හිස වෙළත් වෙළත් ම දශ දහසක් පිළි පැන නැග්ගා. මෙහිදී හිස කුඩාය පිළි බොහෝය, කෙසේ පැන නැග්ගේදැයි නොසිතිය යුතුයි. ඔවුනතුරින් සියල්ලටම වඩා මහත් පිලිය පූඩා මලක් පමණ වුනා . සෙසු පිළි මල් පමණ විය. බෝසතාණන් වහන්සේගේ හිස කෙසරු ගැවසී ගත් බක්මී මලක් මෙන් වුනා. සියලු ආභරණයෙන් සැරසී සිටි බෝසතුන් වහන්සේට සියලු වාද්‍යය විශේෂයන්හි දක්‍ෂ වූවන් තම තමන්ගේ කුසල භාවයන් දක්වද්දී බමුණන් ජය වේවා. සතුටු වේවා. ආදී වදන් කියද්දී ව න්දිභට්ටයෝ නන් අයුරින් සුබ වචන කියද්දී සතුන් නාදයෙන් බුහුමන් දක්වද්දී එතුමෝ සර්වාලංකාරයෙන් යුත් උතුම් රථයට නැග ගත්තා. මෙම කාලය තුළ යශෝදරා අග බිසව පුතකු බිහිකළ බව ඇසු සුදොවුන් මහරජාණෝ තම පුතුට සතුට දන්වනු පිණිස හසුනක් යවනු ලැබුවා. බෝසතාණන් වහන්සේට ඒ අසුන ලැබුණේ ඒ මොහොතේමයි. එය ඇසු සැණින් රාහුලයෙක් හෙවත් රඝුරාජ පුත්‍රයෙක් උපන්නේය. එයින් බන්ධනය වීයැයි උන්වහ්න්සේගේ මුවින් පිට වුනේ මේ වනවිටත් සසර දුකින් මිදීමට වනගත්විමට තීරණය කර තිබු නිසා වෙන්නට ඇති. පැමිණි සේවකයන් ද පියරජතුමා හට සිදුහත් කුමරු කී දෙය දන්වා සිටියා. රජතුමා පුතුන්ගේ වචනය අසා මෙතැන් සිට මුනුබුරාණන්ට රාහුල යන නාමය ම වේවා යි කියා සිටියා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.

Ape Budu Hamuduruwo 169

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 169

 

අපි නොදකින සතර පෙර නිමිති 01

ස්වභාව සෞන්දර්යට ප්‍රිය කළ අප මහා බෝසතාණෝ

මෙසේ දිනෙන් දින සති මාස ගෙවීගියා. අන්තපුර ස්ත්‍රීන් හා සමග කාලය ගතකරනවාට වැඩිය බෝසතාණන් වහන්සේ ප්‍රිය කලේ ස්වභාව සෞන්දර්යය හා කාලය ගත කිරීමට. ඒ සසරේ වැඩි කාලයක් ගතකලේ මහා වනපෙත් වල තවුස්දම් වඩමින් පාරමිතා පුරමින් සිටි නිසා වෙන්න ඇති. ඒ නිසා ඉඩ ලද සැමවිටම කලේ රාජකීය උයන්වෙත ගොස් ඒ ස්වභාව සෞන්දර්යයත් හා කාලය ගත කිරීමයි. එදත් එවැනිම තවත් දවසක්. සිදුහත් කුමරා එන බව ආරංචි වී ඔහුගේ රූපශ්‍රීය දැකීමට මිනිසුන් මග දෙපස රැස් වී පොර කකා සිටියා. ශුද්ධෝදන රජතුමා ඒ වන විටත් සසර කළකිරීම සඳහා භාජනය වන යමක් ඇද්ද ඒ සියල්ල මග දෙපසින් ඉවත් කරලයි තිබුණේ. එදින බෝසතාණන් වහන්සේ උයන් බිමට යනු කැමැත්තෙන් රථය සරසන ලෙස ඡන්න ඇමතියා හට කියනු ලැබුවා.

සතර පෙරනිමිති පෙළගැස්වූ දෙවිවරු

ඔහු මැනවැයි පිළිගෙන මාහැගි උතුම් රථයක් සියලු අලංකාරයෙන් සරසා කුමුදු පත්‍ර වර්ණ ඇති මංගල සෛන්ධව අශ්වයන් සිව් දෙනෙක් යොදා බෝසතාණන්වහන්සේට දන්වනු ලැබුවා. බෝසතාණන්වහන්සේ දෙව් විමනක් සමාන රථයට නැගී උයන දෙසට යන්නට පිටත්වුණා. බෝසත්වරයකුගේ බුද්ධත්වය කරා යන ගමනේදී දෙවියන් හටත් ඉටු කරන්න ලොකු කාර්යය භාරයක් තියනවා. දුරේ නිධානයේදී එවැනි බොහෝ තැන් අපි සඳහන් කළා. එදින සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මෙලෙස සිතන්නට වුනා . සිදුහත් කුමරුගේ අහිංසා බෝධියට දැන් සුදුසු කාලයයි. ඒ නිසා පෙර නිමිති දැක්විය යුතුයි. එලෙස සිතා එක් දිව්‍යය පුත්‍රයෙක් මහළු දිරාපත්, ගොනුස්සෙකු මෙන් වක් වූ කද, කටී, දණ, යන තැන්වලින් නැමුණු සැරයටියක් අතින් ගත් වෙවුලන ආකාරයෙන් පෙනී සිටියා. එහෙත් එම රූපය පෙනුණේ බෝසතාණන් වහන්සේට සහ රියදුරාට පමණක්මයි. ඒ නිසාම මහල්ලන් කුමරා යන මාර්ගයෙන් ඉවත් කරන්නට සිටි රාජ සේවකයනට ඔහුව පෙනුනේ නැහැ නෙවෙයි දෙවියන් විසින් පෙනෙන්නට සැලැස්සුවේ නැහැ.

සසර ගමනක් වෙනස්කල මහලු මිනිසා

එවිට බෝසතාණන් වහන්සේ රියදුරා අමතා යහළුව,මේ පුරුෂයා කවරෙක්ද? ඔහුගේ කෙස්වත් අන් අය හා සමාන නොවෙයි. ඔහුගේ කයද අන්‍ය පුරුෂයන්ගේ කය මෙන් නොවේ, යනුවෙන් පුදුමයෙන් විමසන්නට වුනා .

එවිට ඡන්න ඇමති ‘දේවයන් වහන්ස, මෙතෙමේ ජරාවටපැමිණි මහලු පුරුෂයෙක්යයි’ කියා කෙටි පිළිතුරක් දුන්නේ පුදුමයෙන්. ඇයි මෙතරම් ආරක්ෂකයන් සිටියදීත් මෙම මහලු මිනිසා කොහෙන් පැමිණියාද කියලා හිතන්නට ඇති. එවිට බෝසතාණන් ‘කිමෙක්ද යහළු රියැදුර, මේ තෙමේ ජරාවට ගිය පුරුෂයෙක්දැයි නැවතත් අසනු ලැබුවේ පුදුමයෙන්. එවිට ඡන්න රියදුරු ‘දේවයන්වහන්ස, එසේය, මෙතෙමේ ජරාවට ගිය කෙනෙක්. ඒ නිසා ඔහු තව වැඩි කලක් ජීවත් නොවන්නේයයි’ කියා සිටියා. ඒ අසා පුදුමයට පත්වුණ අප මහා බෝසතාණෝ ‘යහළු ඡන්න, කිමෙක්ද මමත් ජරාව ස්වභාවකොට ඇත්තෙම්ද? මා විසින් ජරාව නොඉක්මවනලද්දීදැයි, අසනු ලැබුවා. එවිට ඡන්න, ‘දේවයන් වහන්ස, ඔබ වහන්සේද අපිද යන සියල්ලෝම ජරාව ස්වභාවකොට ඇත්තෝ වෙමු. අපවිසින් ජරාව නොයික්මවන ලද්දේයැයි’ පැහැදිළි කොට දුන්නා. රියදුරුගේ පිළිතුර අසා මෙළොව ඉපදීමට නින්දා වේවා. උපන්නා හට මහළු බව පෙනෙන්නේයැයි සංවේගයට පත් සිතැති ව එතැනින් ම ආපසු හැරී එහෙනම් අද උයන් ක්‍රීඩාවට යාමෙන් කමක් නැත, දැන්ම ආපසුහැරී ඇතුළුනුවරට රථය ගෙනයවයි’ ඡන්නට අණ කරනු ලැබුවා.

උයන්කෙළියට ගිය සැණින්ම එය නිමාකොට සිදුහත් කුමරා ආපසු පැමිණි බව ඔහු කෙරෙහි නිරන්තරයෙන්ම, ඇස ගසා සිටි ශුද්ධෝදන රජතුමාට දැන ගැනීමට වැඩි වේලාවක් ගතවුණේ නැහැ. සිදුවූ දෙය අසා දැනගත් පියරජතුමා හට මහල්ලෙක් දැක පැවිදි වනේයැයි පෙර ඇසු වදනම සිහිපත් වුනා . තම පුතු කෙරෙහි අසීමිත ආදරයෙන් බැඳී සිටි රජතුමාට “මා නො නැසුව මැනවි”, “මා නො නැසුව මැනවි” යනුවෙන් කියවුණේ ඉබේටමයි. නාට්‍යය සංගීතාදිය පිළිවෙල කරව්. සැප සම්පත් විදින විට පැවිද්ද සිහි නොවන්නේයැයි ආරක්ෂා තව තවත් තර කොට සියලු දිශාවන්හි තව දුරටත් අඩ යොදුනක් තැන් රැකවරණ යොදනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ – ජාතකට්ඨකථාව.

Ape Budu Hamuduruwo 168

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 168

 

බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝධරාව 03

සිදුවන දෙය රහසින් විපරම් කරමින් සිටි රාජපුරුෂයෝ සුද්ධෝදන රජු වෙත ගොස් “දේවයන් වහන්ස යශෝධරා කුමාරිකාවෝ කුමාරයන් වහන්සේගේ ඇසට ඉලක්ක වූණා. දෙදෙනා අතර මොහොතක් කිසි කතාබහක් ද වුනා ” යැයි සැළ කර සිටියා. සුද්ධෝදන මහ රජතුමාත් එය අසා ප්‍රීතිව යශෝධරාවන්ගේ පියාණන් වෙතට “ඔබ දුව මා පුත් කුමරාට පාවා දීමට කැමතිදැයි අසා දූතයකු පිටත්කර යැවුවා.

බුද්ධත්වය පතා තම දියණිය හැර දා සිදුහත් කුමරු යයි යනුවෙන් බියවූ යසෝධරාවගේ පියාණන් විවාහ යෝජනාවට අකමැති වීම.

යශෝධරාවන්ගේ පියා මේ වනවිටත් සිදුහත් කුමරුවන්ගේ භාෂාශාස්ත්‍ර, ශිල්ප විද්‍යා විෂයයන්හි දැක්වූ සමාර්ථයන් පිළිබඳව පැහැදී සිටියේ. එහෙත් ලපටි වියෙහි කුමාරයන් පිලිබඳ අනාවැකි පැවසූ අනාවැකි කරුවන්ගේ කතාවන් සිහිකොට කවරදාක හෝ මේ කුමරු ගිහිගෙය හැරදමා පැවිදි වෙතැයි සිය දියණිය පාවා දීමට මැළි වුනා . එහෙත් එය පිටතට නොඅඟවා යශෝධරාවන්ට තම අදහස් පිළිගන්වනු පිණිස ඇය ළඟට කැඳවා “දුව සිද්ධාර්ථ කුමාරයෝ කවරදාක හෝ ගිහි ගෙය හැර තපසට යන එක ඒකාන්තයි. අසිතර්ෂි තුමා ද නිමිත්ත පාඨක බමුණන් ද කී අනාවැකිය කා අතරත් ප්‍රකට එකක්. නුඹ ඔහුට පාවා දුනහොත් වැඩිකල් නොයා දීම කනවැන්දුම් වෙන්න පුළුවන්. එබැවින් ඔහු හා කර බන්ධනයට කැමති නොවන්න. යැයි කියා සිටියේ පියෙකු ළඟ දුවකට තියෙන අසීමත සෙනෙහෙන්. එතකොට යශෝධරා දේවිය මෙලෙස කිවා.

සිද්ධාර්ථ කුමරුන් හැර වෙන කිසිවකු හා සමග විවාහ නොවන බව යසෝධරාව තම පියාණන් හට පැවසීමෙන් පසු විවාහය සිදුකිරීම.

” පියාණෙනි මා සරණ යතොත් ඒ සිද්ධාර්ථ කුමාරයන් සමගම පමණමයි. එතුමන් හෙට පැවිදි වෙතත් එතුමන් කෙරෙහිම මිස අන් කිසිවෙකු හා සමග නො වසමි ” යනුවෙන් කියා සිටියා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් එකට පැමිණි ගමන එලෙස කිසිවෙකුට ලෙහෙසියෙන් වෙන් කිරීමට හැකියාවක් ඇත්තේම නෑ . සිද්ධාර්ථ කුමාරයෝ ද යශෝධරාවන් මිස අන් කිසිම කුමරියක ආවාහ කොට නොගන්නෙමි එලෙස තරයේම කියා සිටියා. මෙසේ ඒ කුමරු කුමරියන්ගේ සරණ මංගල්‍යය වෙන කිසිවෙකුහට වලක්වාලිය නොහැකි වුනා . නොබෝ දිනකින් මහත් වූ මඟුල් උළෙලකින් යශෝධරා ව සිද්ධාර්ථ කුමාරයාණන්ට පාවා දෙනු ලැබුවා. ශුද්ධොදන රජ්ජුරුවෝ දෙදෙනාටම එක් විට කිරුළ පැළදුවා.

සිද්ධාර්ථ කුමරු සහ යසෝදරා දේවිය ත්‍රිවිධ ප්‍රාසාද තුල ගතකල තපස් දිවිය.

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේත් යශෝධරා දේවීන්වහන්සේත් පෙර සිය දහස් ගණන් ජාතීන්හි එකට ඇසුරු කරමින් පෙරුම් පිරීමට එකිනෙකාට උපකාර වුනා . එයින් ඇති වූ ස්නේහය නිසා ඔවුහු එක්ව විසීමට කැමැත්ත ඇති ව සිටියත් කාමාසක්ත නොවී සෙනෙහෙබර සහෝදරයෙකුත් සහෝදරියකත් ලෙසින් ඔවුඔවුන්ට උපකාරී ව ලැදි ව කල් ගෙවන්නට වුනා . සුද්ධෝදන රජු සහ ප්‍රජාපතී දේවිය මේ අලුත් රාජ රාජිනී දෙදෙනාට දුක් පිළිබඳ කිසිම හැඟීමක් ඇති නොවන ලෙසට අවශ්‍ය හැමදෙයක්ම සපයනු ලැබුවේ සසර කලනොකිරීමට.

යසෝධරාවගේ පැමිණීමෙන් පසු රජමාලිගයේ සේවක සේවිකාවන් වහල්භාවයෙන් මිදීම.

යශෝධරාවන් රජගෙදරට එන්නට පෙර රජ පවුලේ පිරිසට වෙනමත් සේවක සේවිකාවන්ට වෙනමත් බොජුන් පිළියෙල කෙරුණා. එහෙත් යශෝධරාවන් එය වෙනස් කොට රජපවුලට පිළියෙල කෙරෙන ආකාරයෙන් රාජ භෝජන එහි සේවක සේවිකා දාසි දාසියයි දාසයන්ට හැමදෙනාටම දෙන්නට සැලැස්වූවා. එදා රටේ සිරිත අනුව සුද්ධෝදන රජ ගෙදරද දාස දාසි නමින් සේවක පිරිසක් සිටියත් ඔහු වහල්ලු නොවුනා . ඔවුන්ද රජ පවුලේ හිත මිතුරන් සේ මහත් රුචියෙන් තම සේවාව ඉටුකලා. රජගෙයි පමණක් නොව මුළු රටෙහි හැමදෙනාම යශෝධරාවන්ගේ කරුණා ගුණය කෙරෙහි පැහැදුණා.

සිදුහත් කුමරාගේත් යශෝධරා දේවියගේත් තපස් දිවිය නිසා දරු ඵල ප්‍රමාද වීම

කපිලවස්තු පුර වැසි සියල්ලෝ යශෝධරාවන්ට තමන් හැමදෙනාගේ මවක මෙන් මහත් ආදර ගෞරව බුහුමන් දැක්වුවා. සිද්ධාර්ථ කුමාරයත් යශෝධරාවත් වසන මාලිගාව සුද්ධෝදන රජුගේ මෙහෙයවීමෙන් නිරතුරු පැවැත්වෙන නැටුම් ගැයුම් ආදියෙන් හැමදාමත් මගුල් ගෙයක මෙන් සිරි ගත්තා. කොතරම් යස ඉසුරු සම්පත් පිරී තිබුනත් සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේගේත් යශෝධරා දේවීන් වහන්සේගේත් ගිහි ජීවිතය උත්සව භූමියක ඉන්නා තපස් වරයෙක් හා තපස් වරියකගේ ජීවිතය බඳු වුනා . ඔහු ලොව තතු සලකා බලන්නේ එළැඹ සිටි සිහියෙන් කල් යැවූවා. යම්කිසි දවසක ගිහිගෙය හැරදා යා යුතුයැයි අනගාරික ජීවිතයක් ගත කළ යුතු යැයි යන අදහස දෙදෙනාටම විය. තවුසන් මෙන් දිවි ගත කළ නිසාම ඔවුන් දෙපලට බොහෝ කලක් යන තුරුත් දරුවෙක් නොලැබිණ. යශෝධරාවන්ගේ කුස දරුවකු පිළිසිඳ ගත්තේ බෝසතාණන්ට අටවිසි වැනි අවුරුද්දේදීයි.

සැළකිය යුතුයි; සිදුහත් කුමරුගේ විවාහය පිළිබඳ වැඩි විස්තරයක් ජාතක අටුවාවේ හෝ අනිකුත් ථෙරවාද ග්‍රන්ථ වල සඳහන් නැත. එනිසා බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් මෙම විස්තර උපුටාගෙන තිබුණේ ලලිත විස්තරය ඇතුලු මහායාන ග්‍රන්ථවලිනි.

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.

Ape Budu Hamuduruwo 167

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 167

 

බෝසතාණන් ද පැතු දෙතිස් ගුණාංගයෙන් යුතු බෝසත් බිරිඳ යසෝධරාව 02

මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන දෙතිස් ගුණාංගයන්ගෙන් යුතු කෙනෙකු විය යුතු යැයි කුමරා බෝසත් බිරිඳක් සතු විය යුතු ගුණාංග පිලිබඳ විස්තරයක් සුද්ධෝදන මහ රජුට යවනු ලැබුවේ එවැනි කුල කාන්තාවක් කිසිදිනක සොයා නොගනීවි යයි සිතමිනි. එහෙත් ඒ සඳහාම පාරමී පුරමින් පැමිණ මේ සියලුම ගුණාංගයන් සහිතව තම ආදරණිය බිරිඳ යසෝධරා ඔහු උපන් දිනයේම මෙලොව එළිය දුටු බව ඔහුද දැන සිටියේ නැත.

සේවකයන් මෙම ලිපිය සුද්ධෝදන මහ රජුට දෙනු ලැබුවා. මහරජ එය කියවා බලා පෙරෙවි බමුණා කැඳවා ඔහුට මෙලෙස පවසනු ලැබුවා. “බමුණානෙනි, යන්න මෙහි සඳහන් ගතිගුණ ඇති කන්‍යාවන් ඇත්දැයි සොයා බලන්න. යම් කන්‍යාවක කෙරෙහි මේ ලිපියෙහි සඳහන් ගුණ ඇත්නම් ඇය ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන කවර කුලයක එකියක වුවද කම් නැත. මාගේ පුතා කුලවංශ ගෝත්‍ර භේද නොසලකති. ඔහු ගුණ දහම පමණක් සළකනවා. ඒ නිසා වහාම මාව දැනුවත් කරන්න. යනුවෙන් කියා ඔහුව පිටත් කර යවනු ලැබුවා.

බමුණු තෙමේ ද ලියවිල්ල ගෙන විවිධ නගර වෙත යමින් මානාධික වූ ශාක්‍යකන්‍යාවන් අතුරෙහි හෝ අන් කුලවල දැරියන් අතර හෝ එම ගුණාංග වලින් යුතු කුමරියක් සොයන්නට වුවත් අවසානයේ එය නිෂ්ඵල කාර්යයක්ම වුනා . එහෙත් නොපසුබට වීර්යයෙන් තව දුරටත් ඇවිදින ඔහු එක් රාජ වංශිකයකුගේ මාලිගයකට පිවිසුණා. එවිට පෙර නොදුටු විරූ රූප සම්පත්තියෙන් යුතු කන්‍යාවක් ඔහු විසින් දුටුවා. බමුණා දුටු කුමරිය වහා ඉදිරියට අවුත් පෙරෙවි බමුණා ගේ පාමුල වැටී දෙපා අල්ලා ඔබට කුමක් අවශ්‍ය දැයි විමසනු ලැබුවා. එවිට බමුණා ඒ ලියවිල්ල පෙන්වා සුද්ධෝදන මහරජු සිද්ධාර්ථ කුමාරයාට මේ ලියවිල්ලෙහි දැක්වෙන ගුණ ඇති කෙනෙක් ආවාහ කොට දෙන්නට අපේක්ෂා කෙරෙයි යනුවෙන් පවසනු ලැබුවා. මේ කුමරිය නම් යශෝධරාවයි. ඕ ලියැවිල්ල අතට ගෙන කියවා බලා එහි සඳහන් සියලු ගතිගුණ තමා තුළ ඇති නියාව දැක “බමුණානෙනි, මෙහි සඳහන් හැම ගුණයක්ම මා කෙරෙහි ඇත. සිද්ධාර්ථ කුමාරයෝ මාගේ ස්වාමියා වෙත්වා එය කුමාරයන්ට කියන්න”එමෙන්ම පහත් ගති ඇති කිසිවකු හා එක්ව මාගේ වාසයක් ද නොවන්නේ යැයි කියනු ලැබුවා. යශෝධරාවෝ සුප්‍රබුද්ධ රජුගේත් සුදොවුන් රජුගේත් සොහොයුරියකගේ දියණියයි. බමුණානෝ ගොස් සුදොවුන් මහ රජුට යශෝධරාවන් පිළිබඳව තමා විමසා දත් සියල්ල සැළ කර සිටියා.

එවිට රජතුමා මෙලෙස සිතුවා. කුමාරයෝ ගුණ දහමෙහිම ඇලුණ කෙනෙක්. ඇතැම්විට ස්ත්‍රීහු තමන් කෙරෙන් නැති ගුණද ඇති සේ අඟවනවා. එනිසාම කුමරියක තෝරාගැන්ම කුමාරයන්ටම පැවරීම නුවණටහුරු යැයි සිතා එයට උපායක් යොදනු ලැබුවා. රජතුමා ස්ත්‍රී පළඳනා රාශියක් කරවා මේවා කුමරුන් ලවා රැස්වන ශාක්‍ය කුමාරිකාවන්ට දෙන්නෙමි මේවා දීමේදී යම් එකියක කෙරෙහි කුමරුවෝ වැඩි සැලකිල්ලෙන් බැල්ම හෙලූ නම් ඇය පාවා දෙමියි සිතා ගත්තා. ඉන්පස්සේ රන් රිදී මුතු මැණික් යොදවා ස්ත්‍රී පලදනා රාශියක් කරවනු ලැබුවා. ඉන්පස්සේ මෙලෙස නිවේදනයක් කරනු ලැබුවා.

“අද පටන් තව සතියකින් කපිල වස්තුවෙහි සංස්ථාගාර ශාලාවෙහි සිද්ධාර්ථ කුමාරයෝ පෙනී සිටින්නාහ. එහි එන සියලු දැරියනට තුටු පඳුරු දෙන්නාහ. ඒවා ලබනු කැමති සියලු දැරියන් එදා එම ශාලාවට පැමිණිය යුතුයැයි” සැමතැනම ඝණ්ටාඝෝෂාවන් කරවනු ලැබුවා.

සත්වෙනි දිනයෙහි බෝසතාණෝ ශාලාවට වැඩ තමන්ට නියමිත භද්‍ර ආසනයෙහි හිඳ ගත්තා. සුද්ධෝදන රජ ද කවර නම් තැනැත්තියකට කුමාරයාණන් වැඩි සැලකිල්ලක් දක්වන්නේදැයි විමසා රහසින් බලා සිටින්නට රාජ පුරුෂයන් කිහිපදෙනෙකු යොදවනු ලැබුවා. කුමාරිකාවන් කෙනෙකුට පසු කෙනෙක් පිළිවෙලින් කුමාරයන් වෙත පැමිණියා. සිද්ධාර්ථ කුමාරයාණන් රූපශ්‍රීයෙන් අගපත් නිසාද, එක්කම පැවැති තේජස නිසාද, පැමිණි කිසිම කුමරියක් කුමාරයාණන් දෙස කෙලින් බලන්නට නො සමත් වුනා . බිම බලාගත් වනම ඇවිත් කුමරුන් දෙන පඬුරු පිළි ගෙන වහා නික්මගියා. සිද්ධාර්ථ කුමාරයෝ ද තුටු පඬුරු දුන්න නමුදු ඒ කිසිම කුමරියක දෙස ඕනෑකමින් බැලුවේ නැහැ. මැදහත් බැල්මෙන් යුතුව ඒ හැමදෙනාටම තුටු පඩුරු දෙනු ලැබුවා. ශාලාව වටා ආසනවල හිඳ බලා සිටී ශාක්‍ය අධිපතීහු කුමාරයාණන්ගේ ඉරියව් දැක “මේ නම් මහ පුදුම කෙනෙක් දෙව් කුමරියන් බඳු මේ තරම් රුසිරු හෙබි මේ කුමරියන් දැක ද ඕනෑකමින් බැල්මකුදු නොහෙලා යි සිනහ පමණකුදු නො පෑය. කිසිකෙනෙකු විසිනුත් නමා ගත නොහැකි තද සිතක් ඇත්තෙකු යැයි” ඔවුන් නොවුන් කොඳුරන්නට වුනා .

සියලු කුමරියන් නික්ම ගොස් නොබෝ වේලාවකින් යශෝධරාවන් පැමිණියා. ඇවිත් කුමාරයාණන් වෙත ගොස් බලාගත් වනම සිටියා. මේ වන විට පිළියෙල කර තිබූ සියලුම පළඳනාද නිම වී තිබුණා. එහි යශෝධරාවන්ට දෙන්නට කිසිවක් ඉතිරිව තිබුනේ නැහැ. යශෝධරාවෝ කුමාරයන් ළඟටම ගියා. ගොස් සිනාමුසු මුහුණින් යුතුව “කුමාරයාණෙනි මට තුටු පඩුරක් නොදෙන්නේද? ඔබෙන් යමක් පතා ආ මට සැලකිල්ලක් නොදක්වන්නේදැයි” ඇසුවා.

එවිට කුමරු “ඔබට නො සලකන්නේ නොවෙමි. සියලු තුටු පඬුරු දී නිම විය. ඔබ ආවේ බොහෝ පරක්කු වී කියා සිනහ මුහුණින් යුතුව තමන්ගේ ඇඟිල්ලක තිබුන ලක්ෂ ගණනක් අගනා මුද්ද ගලවා ඇය අතෙහි තැබුවා. එවිට “මේ ඔබේ මුදුව පළඳින්නට මම සුදුසුදැයි ඇය ඇසුවා” එවිට කුමරා ” මෙය මා සතු මුද්දකි. මේ පිළිගන්න. එවිට යසෝධරාව අපි ඔබගේ පළඳනා හැරගෙන ඔබගේ ඇඟිලි හිස් කරන්නට කැමැති නැත යනුවෙන් පවසා සිටියා. එවිට කුමරා “අපි ඔබට සුදුසු පළඳනා වන්ගෙන් මෙලෙස සරසන්නෙමු” යනුවෙන් පවසනු ලැබුවා. එවිට යශෝධරාවෝ බොහෝ සතුටු සිත් ඇතිව ගරු බුහුමන් දක්වා නික්ම ගියා.

සිදුවන දෙය රහසින් විපරම් කරමින් සිටි රාජපුරුෂයෝ සුද්ධෝදන රජු වෙත ගොස් දේවයන් වහන්ස යශෝධරා කුමාරිකාවෝ කුමාරයන් වහන්සේගේ ඇසට ඉලක්ක වූණා. දෙදෙනා අතර මොහොතක් කිසි කතාබහක් ද වුනා  යැයි සැළ කර සිටියා. සුද්ධෝදන මහ රජ එය අසා ප්‍රීතිව යශෝදරාවන්ගේ පියාණන් වෙතට ඔබ දුව මා පුත් කුමරාට පාවා දෙන්නේ යැයි දූතයකු යැවී ය

උපකාරක ග්‍රන්ථ – ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය, ජාතකට්ඨකථාව.