Ape Budu Hamuduruwo 196

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 196

 

ලක්ෂ ගණන් බෝසතාණන් වහන්සේලා බුදු බවට පත්වන දිනයෙහි ස්නානය කරන සුප්පතිට්ඨිත නම් නහන තොට

කහවණු ලක්‍ෂයක් වටිනා රන් භාජනයද මෙතැකැයි මිළ නියම කල නොහැකි දෙවුන් බඹුන් හා එක්ව කල කිරි පිඩුද පුජා කරන ලද සුජාතාව අති මහත් වූ චිතප්‍රිතියෙන් යුතුව නිකම ගියේ තමන්ගේ සියලු ප්‍රර්ථනා සඵල වීමෙන්. සුජාතාව නොපෙනී යනතෙක් එහිම රැඳුන අප මහා බෝසතාණන් වහන්සේ ඉන්අනතුරුව වැඩ හුන් තැනින් නැගිට ගස පැදකුණු කොට පාත්‍රයද රැගෙන නේරංජනා ගං තෙරට වැඩම කරනු ලැබුවා. ඒ මුළු පෙදෙසම වෙනදා දක්නට නොලැබුණු බොහෝ පුෂ්පයන්ගෙන් පිරී ගොස්. නේරංජනා නදියද ගලා බැස්සේ වෙනදා වගේ නෙවයි. ජලකදෙන් මවනු ලැබූ දිව්‍යමය විනාවක හඬ නංවමින් මහත් වූ ආඩම්බරයෙන්. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි. නොයෙක් ලක්ෂ ගණන් බෝසතාණන් වහන්සේලා බුදු බවට පත්වන දිනයෙහි ස්නානය කරන සුප්පතිට්ඨිත නම් නහන තොට නේරංජනා නදියට අයත් නිසා. සුදු වැලි තලාවද නිල් දියදහරද, දියපහරේ රිද්මයට නැගෙන ජල කඳේ දිව්‍යමය ස්වරයද බලා සිටියේ බෝසතාණන් වහන්සේගේ ශ්‍රී පාදය පිළිගන්නට නොවසිලිමත්ව.

මහ පොළොව එක් යොදුන් තුන් ගවුවක් අහස පුරවා වැඩෙන කාලය එක් දිනක් සේ දැනුණ කාලනාගරාජයා

එහි ඉවුරෙහි වූ ගල් තලාවේ පාත්‍රය තබා දියට බැස ස්නානය කරනු ලැබූ බෝසතාණන් වහන්සේ නායෙක් ශතසහස්‍ර සංඛ්‍යාත බුදුරජාණන් වහන්සේලාගේ චීවරය වූ අරහත් ධජය පොරවා පෙරදිගට අභිමුඛව වැඩහිඳුනු ලැබුවා. ඉන් පසු ඒ බෝසතාණන් වහන්සේලා මෙන්ම එක තල් ඇටයක් පමණ වන පරිදි එකුන් පනස් පිඩක් කොට ඒ මධුර පායාසය එහි සිටම වළඳනු ලැබුවා. එම ආහාරය ම උන් වහන්සේට බුද්ධත්වයටත්, ඉන්පසුත් සත් සතියක් බෝ මැඩ වැඩ විසීමට ආහාරයක් වුන බව කියනවා. ඒ කාලය තුළ වෙනත් ආහාරයක් ගැනීම සිදුනොවෙනවා. ඉන්පසු උන්වහන්සේ ධ්‍යාන සුවයෙන් හා මගඵල සුවයෙන් කල් ගත කළා. ඒ කිරිබත් ආහාරය වැළඳූ බෝසතාණන් වහන්සේ ඒ පාත්‍රය ගෙන “මම අද බුද්ධත්වයට පත් වන්නේ නම් මේ පාත්‍රය උඩුගං දහර අනුව යේවා. නොහැකි වන්නේ නම් ගඟ දිය පහර අනුව යේවා” යැයි සිතා දිය මත පත්‍රය තැබුවා. හරිම පුදුමයි. ඒ පාත්‍රය ද ගඟ සැඩපහර සිඳිමින් ගඟ මැදට ගොස් ජවසම්පන්න අශ්වයකු මෙන් ගඟ මැදින්ම අසූ රියනක් පමණ උඩුගං බලා ගොස් දිය සුළියකට හසු වූ කලෙක මෙන් ගිලී කාල නාරජුගේ භවනට ගොස් මීට පෙර තුන් බුදුරජුන්ගේ පරිත්‍යාග කළ පාත්‍රයන් වෙතට ගොස් කිටි කිටි ශබ්දය නඟමින් ඒ පාත්‍ර තුනට යටින් පිහිටා සිටියා. කාල නාගරාජයා ඒ ශබ්දය අසා “පළමුදා එක් බුදුරජාණන් වහන්සේ නමකි, ඊයේ එක් බුදුරජාණන් වහන්සේ නමකි. අද තව බුදුරජාණන් වහන්සේ නමක් උපන්හ” යැයි නොයෙක් පද සිය ගණනින් යුතු තුටු ගී ගයමින් ප්‍රීතිවුනා. ඔහුට මහ පොළොව එක් යොදුන් තුන් ගවුවක් අහස පුරවා වැඩෙන කාලය අද හෝ ඊයේ හා සමාන වෙයි. ඒ දුටු බෝසතාණන් වහන්සේ තමන් බුදු වනු ඒකාන්ත යැ’යි ස්ථිර වශයෙන්ම සිතාගත්තා. බෝසතාණන් වහන්සේ ගඟ අසබඩ මලින් ගැවසුණු සල් වනයෙහි මෙලෙස දහවල් කාලය ගතකොට සවස මල් නටුවෙන් බිඳෙන කාලයෙහි දෙවියන් විසින් සරසන ලද අට ඉස්බක් පමණ පැතිරී ගිය මාර්ගයේ පියනගමින් සිංහයකු මෙන් අභීතව ඇසතු බෝ රුක වෙත වැඩම කළා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ජාතක අට්ඨකතා 01

Ape Budu Hamuduruwo 195

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 195

 

සුජාතාවගේ කිරිපිඩු දානයේ ඔබ නොදත් කරුණු 02

සෙනානි නිගමය

මහාමන්ධාතු රජු ගේ සේනාපති සෙනානී නම් වුනා . එ රජුට මනුලොව සිටියදීම දෙව්ලොව යන්න වාසනාව හිමිවුනා . ඒ ගැන පසුව මෙම ලිපිපෙලෙන් කියවන්නට ලැබේවි. ඔහු දෙව්ලොව ගොස් සක්දෙවිඳු හා එක්ව එහි ද රජකම් කළා. ( මෙය කිවේ කලකට පෙර කියවූ ජාතක කතාවක මතකයෙන්. වැරදි ඇතොත් සමාවන්න.) ඔහු දෙවු ලොව යනවිට ඔහු ගේ සේනාපති ඇතුළු චතුරංග සේනාව නවතා ගිය ස්ථානය උපචාර වශයෙන් සෙනානි නමින් හඳුන්වනවා. එයට සර්වදිශාභාගයෙන් ජනයා එළඹීම නිසා නිගම නම් වුනා. ඒ සෙනානි නම් ගම්හි නායක කුටුම්බික සෙනානී නම් වී යැයි මහාබෝධිවංශ ගැටපදයේ සඳහන්වනවා.

සුජාතාවගේ උපත සහ ප්‍රාර්ථනාව.

පියුමුතුරා බුදුන්ගෙන් ආශීර්වාද ලත් සුජාතා කුමරිය කල්ප ලක්ෂයක් දෙව් මිනිසුන් අතර සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උපතට පෙර උරුවේලාහි සේනානි නියම් ගමේ සේනානි නම් සිටුවරයාගේ දියණිය ලෙස උපත ලැබුවා. සිටු දියණියක් වී උපන් සුජාතා දැරිය සුදුසු වියට පත් වූ පසු එකල ඒ නියම ගමේ ගෞරවයට පත් වූද අනුහස් ඇතැයි මිනිසුන් විසින් පිළිගනු ලැබුවා වූද, එක් නුග රුකක් වෙතගොස් ප්‍රාර්ථනාවක් කළා. එය අදද පින්වත් කුල කුමරියන් විසින් නිබදවම කරන ප්‍රාර්ථනාවක්.එය මෙලෙසයි. ඉතිං මම සම ජාතික කුලගෙයක කුමාරයෙක් සමඟ විවාහව පළමුව පුතකු ලබයි නම් වසරක් පාසා ලක්ෂයක් පරිත්‍යාග කොට මෙම නුග රුක පාමුලට විත් මෙහි වැඩ වාසය කරන රුක්ෂ පුජාවක් කරන්නෙමි යන්නයි. ඇගේ ප්‍රාර්ථනාව ඒ පැතූ අයුරින්ම සඵල වුනා. ඇයට ලැබුණ පින්වත් පුත්‍රරත්නය තමයි ඔබ අප කවුරුත් හොඳින් හඳුණන යසකුල පුත්‍රයා. ඔහු ගැන ඉක්මනින් කියවන්නට ලැබේවි. එහෙත් ඇය කල්ප ලක්ෂයක් පුරා පැතු පැතුම එය නොවන බව ඇය දැන සිටියේ නැහැ. එය එලෙස වුනත් ඒ සුවිසේෂ ප්‍රාර්ථනාව මේ මහත් වූ විශ්වයට අමතක වුනෙත් නැහැ. ස්වභාව ධර්මය විසින් ඇයගේ ඒ උතුම් වූ ප්‍රාර්ථනාව සඵල වීමට අවශ්‍ය පසුබිම ඒ වනවිටත් සකසා තිබුණා.

බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ සය වස සම්පූර්ණ වූ වෙසක් මස පුන් පොහෝ දිනම දේව පූජාව කරනු කැමති වූ සුජාතාවෝ ඒ සඳහා විශේෂයෙන්ම සැරසුණා. ඒ ඔබ අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන කිරිපිඩු දානය වගේ එකක් නෙවෙයි. ඒ නිසාම ඒ පිළිබඳව මෙම ලිපි පෙලේ ලියන දිනය තෙක් මමත් හිටියේ නොවසිල්ලෙන්.

කිරිදෙනුන් දහසකගේ කිරේ සාරයෙන් සැදූ කිරිබත

පළමුකොටම මිහිරි කිරි ඇති කිරි දෙනුන් දහසක් තෝරාගනු ලබනවා. ඉන්පසුව ඔවුන් වැල්මී වනයක් වෙත රැගෙනවිත් එහි හොඳින් පෝෂණය කරනු . ඉන්පසේ ඒ දහසක් දෙනුන්ගෙන් නොඉදුල් කිරි දොවාගනු ලබනවා. ඉන්පස්සේ ඒ කිරි පන්සියයක් දෙනුන්ට පොවනු ලබනවා. ඒ දෙනුන්ගේ කිරි ඉන් අඩකට, ඒ කියන්නේ දෙසිය පනහකට පොවනු ලබනවා. නැවත ඒ දෙනුන්ගේ කිරි ඉන් අඩකට, ආදී වශයෙන් දෙනුන් අටදෙනෙකු දක්වා පොවා කිරෙහි ඝන බව මිහිරි බව ඔදවත් බව ඇතිකරමින් කිරෙහි කිරි මාරු කිරීම නම් ක්‍රියාව කරනු ලබනවා. ඉන්පසු ඇය වෙසක් පුන් පොහෝ දින ඉතා අලුයම නැගිට ඒ දෙනුන් අට දෙනාගෙන් කිරි දෙවීම සඳහා ඔවුන් වෙත ගියේ තමාගේ අතින්ම ඒ කටයුත්ත කරනු රිසියෙන්. එදා හරිම පුදුම දේවල් වුනා. කිසිම වසු පැටියෙක් දෙනුන්ගේ තන මුලට පැමිණියේ නැහැ. ඇය විසින් රැගෙන පැමිණි අලූත්ම භාජන තන මුලට ලංකලා පමණයි. ස්වභාවිකවම කිරි දහර ඒ භාජන වලට විදින්නට වුනා .

දෙවුන් බඹුන් විසින් පිළියෙළ කරනු ලැබූ ලොව දුර්ලභ පිණ්ඩපාත දානය.

මේ අසිරිය දුටු සුජාතාවෝ පුදුමයෙන් පුදුමයට පත්වුනා. සියතින්ම කිරි ගෙන අලුත් බඳුන්වල බහා සියතින් ම ගිනි අවුලුවා ඇය විසින්ම පිසීමත් ඇරඹූවේ මෙහෙකරුවන් සහභාගී නොකරමින්මයි. මේ කිරිබත පැසිගෙන එන විට මහත් මහත් බුබුළු පැන නැගී දකුණට පමණක් කැරකැවෙමින් ඒ මේ අත හැසිරුණා. ඒ කිරි බුබුලු කොතරම් නැටුවත් එයින් එක් බිඳුවක් පමණ දු පිටතටනොවැටුණා. සිදුවෙන හැම දෙයක්ම ආශ්චර්ය ජනකයි. සුජාතාවට අදහාගන්නත් බැහැ. කොතරම් ගිනි ඇවිලුනත් ඒ ලිපෙන් සුළු වූද දුමක් නැගුණේ නැහැ. එකෙණෙහි ලෝකපාලක සතර වරම් දෙවියෝ උදුනට ආරක්ෂාව සපයන්නට සතර කොණින් සිට ගත්තා. මහබඹු සේසත් දැරූවා. සක් දෙවිඳු ගිනි පෙහෙලි පෙරලමින් ගිනි දැල්වූවා. දෙවියෝ දෙදහසක් දිවැසින් පිරිවර වූ සතර මහා ද්වීපයෙහි දෙවි මිනිසුන්ගේ පරිභෝජනයට සුදුසු වූ ඕජාව තම දේවානුභාවයෙන් දඬුවැල් බෑ මී වදයක් මිරිකා මීපැණි ගන්නාක් මෙන් කැටි කොට ගෙන එම කිරි බතට මුසුකලා. අන් දිනවල දෙවියෝ පිඬක්පාසා දිව්‍ය ඕජස බහාලනවා. එහෙත් සම්බුදු බවට පත්වන දිනයෙහි සහ පිරිනිවන්පානා දිනයෙහි දිව්‍ය ඕජස සැලියටම බහාලනු ලබන බව අට්ට කතා ආචාර්යයන් වහන්සේලා දේශණා කරනු ලබනවා.

පුණ්ණා දාසි භාවයෙන් මිදීම.

සුජාතාවෝ එක් දවසක් තුළ තමාට ම ප්‍රකට වූ මේ අසිරිමත් සිදුවීම් දැක පුණ්ණා දාසිය අමතනු ලබනවා.

දුව පුණ්ණා වෙනි, අද අපගේ දෙවියෝ වඩාත්ම පහන් වූ සේය. මම මෙතෙක් කල් මෙබඳු අසිරියක් නොදුටුවෙමි. වහාම ගොස් දෙවොල පිළිදැගුම් කරව යි කියා සිටියා. පුණ්ණා විසින් දේවියගේ වදන් සතුටින් පිළිගෙන රුක් මුල වෙත වහාම ගියේ පුජාව සඳහා ඒ පෙදෙස පිළියෙළ කිරීමේ අරමුණින්. එදා බෝසතාණන් වහන්සේ ද ඉකුත් රැයෙහි පස් මහා සිහින දැක විමසන්නා හු අද මම බුදුවෙමි යි අධිෂ්ඨානයෙන් යුතුව අලුයම සිරුර පිළිබඳ කටයුතු අවසන් කොට පිණ්ඩපාත කාලය පැමිණෙන තුරු ඒ නුග රුක මුල වැඩ සිටියා. බෝසතාණන් වහන්සේගේ ශරීරාලෝකයෙන් මුළු නුග රුකම ආලෝකමත් වෙලා. නුග රුකමුල වෙත පැමිණි පුණ්ණාට පෙරදිග බලා වැඩ හුන් සිරුරින් නික්මෙන රැස් දහරින් මුළු ගසම රන්වන් කරමින් වැඩ සිටි බෝසතාණන් වහන්සේ දැක ගන්නට ලැබුණා. ඇයට සිතුනේ රුක් දෙවියා ගසින් බැස සියතින්ම පූජාව පිළිගැනීමට බලා සිටිනවා කියලයි. බියට පත් පුණ්ණා වෙවුලමින් ගොස් සුජාතාවන් ට මේ පුවත සැළ කළා. සුජාතා සිටු දේවිය ඇගේ වදන් අසා සතුටට පත්ව අද පටන් පුණ්ණා මගේ දෙටු දියණිය වන්නේ යැයි ඇයට දියණියකට සුදුසු සියලු ආභරණ දෙනු ලැබුවා. හරිම පුදුමයි. ඒ පින්වත් දර්ශණය නිසාම පුණ්ණා වහල් භාවයෙන් නිදහස් වුනා .

බෝසතාණන් වහන්සේ බුදු බවට පත්වන දිනයෙහි ලක්ෂයක් අගනා රන් බඳුනක් ලැබීම තවත් ධර්මතාවයක්. සුජාතාව එබඳු රන් බඳුනක් ගෙන කිරිබත එහි බහාලනු පිණිස පිසූ බදුන යටිකුරු කළා පමණයි. එවිට සියලු කිරිබතින් රන් බඳුනම පිරුණේ ඉබේමයි. එය නැවත වෙනත් රන් බඳුනකින් වසා වස්ත්‍රයක ඔතා තමාද සර්වාභරණයෙන් සැරසී රන්පාත්‍රය හිස මත තබාගෙන මහත් සිරියාවෙන් නුග රුක මුලට පිය නැගුවේ ඉහවහා ගිය ප්‍රීතියෙන්. එහි ගොස් බෝසතාණන් වහන්සේ බලා රුක් දෙවියන් යන හැඟීමෙන් සතුටුව දුටු තැන් සිට නැමි නැමී ගොස් හිසෙන් පාත්‍රය ගෙන පියන විවෘත කොට රන් කෙණ්ඩියෙන් සුවඳ ගැල්වූ දිය ගෙන බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි සිටියා. පැවිදි වන දින ඝටීකාර මහා බඹු විසින් දෙන ලද මැටි පාත්‍රය එතෙක් කලක් අත්නොහැර තිබුනත් ඒ මොහොතෙහි අතුරුදහන් වුනා .

බෝසතාණන් වහන්සේ පාත්‍රය නැති නිසා දකුණු අත දිගුකොට පැන් පිළිගත්තා. සුජාතා දේවිය රන්පත සමගම කිරිබත බෝසතාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙහි තැබුවා. බෝසතාණන් වහන්සේ සුජාතා දෙස බැලූ ආකාරයෙන්ම කාරණය වටහා ගත් සුජාතා දේවිය උතුමාණෙනි, මා විසින් රන් පාත්‍රය ඔබ වහන්සේට පිරිනැමුණි. කැමති සේ එය රැගෙන යනු මැන වැයි වැඳ මාගේ මනදොළ සපිරුණා ක් මෙන් ඔබවහන්සේගේ පැතුම් සඵල වේවා යැයි පවසා ලක්ෂයක් වටිනා රන්පත දිරාපත් පතක් මෙන් අපේක්ෂා රහිතව යන්නට් ගියා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර –

ඛුද්දක නිකාය උදාන පාලියේ චුන්ද සූත්‍රය,

මහා පරිනිර්වාණ සූත්‍රය ,

මනොරථපූර්ණී නම් වූ අංගුත්තර නිකායට්ඨකතා 01 හි(299 පිට) උපාසිකා පාළි වර්ණනාවෙහි සුජාතා සේනානි කතා වස්තුව. ජාතකට්ඨ කතා පළමු කාණ්ඩය 80 වෙනි පිටුව.

Ape Budu Hamuduruwo 194

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 194

 

සුජාතාවගේ කිරිපිඩු දානයේ ඔබ නොදත් කරුණු 01

ලොව උතුම් වූ පිණ්ඩපාත දාන වර්ග දෙක

චුන්දය, ලොව උතුම් වූ උසස් වූ මහත් වූ ආනිසංස ගෙනෙන අන් දානයන්ට සමකල නොහැකි පිණ්ඩපාත දාන වර්ග දෙකක් වෙත්. ඒ දෙපිණ්ඩපාතයෝ මහත් වූ ආනිසංස අතින්ද, කුසල විපාක අතින්ද, ශ්‍රේෂ්ඨ බැවින්ද අන් දාන වලට වඩා උතුම් වන අතරම කුසල විපාක අතින් ඔවුනොවුනට සමාන වනවා. ඒ “කවර දෙකක්දයත්,

  1. තථාගතයන් වහන්සේ යම් පිණ්ඩපාතයකුත් වළඳා නිරුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළසේක්ද,
  2. තථාගතයන් වහන්සේ යම් පිණ්ඩපාතයකුත් වළඳා පඤ්චස්කන්ධයන්ගේ ශෙෂය නැත්තාවූ නිර්වාන ධාතුවෙන් පිරිනිවන්පානසේක්ද,

මේ දෙපිණ්ඩපාතයෝ සමානවෙත්, සමඵලය ඇත්තාහුවෙත්, සමානවූවාහු සමවිපාක ඇත්තාහුවෙත්, ඉතාම අන් පිණ්ඩපාතයනට වඩා අතිශයින් මහාවිපාක ඇත්තාහුවෙත්, අතිශයින් මහානිසංස ඇත්තාහු වෙත්.(මහා පරිනිර්වාණ සුත්‍රය)

මට මේ ආරම්භය ගන්න හිතුනේ සුජාතාවගේ කිරිපිඩු දානයේ අප නොදන්නා උතුම් බව මෙන්ම සැඟවුණු ශ්‍රේෂ්ඨත්වය පෙන්වීමට. බුදුරජාණන් වහන්සේ නමක් උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණීමට පෙර ගන්නා වූ අවසාන දානය අහඹු ලෙස ලැබෙන්නක් නොව යනුවෙන් මෙම ලිපිය අවසානයේ ඔබට වැටහේවි. ඒ විතරක් නෙවෙයි. එවැනි දානයක් ප්‍රදානය කිරීමටද කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණිය යුත්තක් බවද ඔබට වැටහේවි. යම් දිනක මතු බුදුවරයෙකුට බුද්ධත්වයට පෙර මෙම උතුම් දානය පුද කරන ඔබත් එක් උපාසිකාවක් විය හැකියි. එවැනි පාරමිතාවක් උපද්දවිමට හෝ එවැනි පාරමිතාවක් ඇතිනම් ඒ සඳහා දිරිය දීමට මෙම කරුණු බොහෝ බාධක මැද්දේ සොයාගැනීමට වෙහෙසුනා.

 පියුමුතුරා (පදුමුත්තර) බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි අප සසුණෙහි ප්‍රථම උපාසිකාව වූ සුජාතාව.

උපාසිකා පාළියෙහි පළමුවැන්නේ “පඨමං සරණං ගච්ඡන්තීනං” යන්නෙන් සියල්ලන්ටම පළමුව සරණයෙහි පිහිටි උවැසියන් අතරින් සුජාතා සේනානි දියණිය අග්‍රයයි දැක්වෙනවා. ඇය පියුමුතුරා බුදුන්කල හංසවතියෙහි කුලගෙයක උපන්නා. බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් නිරන්තරයෙන්ම බණ ඇසීමට යාම ඇය පුරුද්දක් කරගෙන තිබ්බා. එදත් ඇය බණ ඇසීමට පැමිණ වන්දනා කරමින් සිටියා. එදා සුවිශේෂ දිනයක්. එදා ඒ පිරිස අතර සිටිය එක් උපාසිකාවකට පළමුව සරණ ගිය උපාසිකාවන් අතර අග්‍රස්ථානය තබන්නා වූ පියුමුතුරා ශාස්තෘන් වහන්සේ දැක පහල වූ සිතින් ඇයත් පින්දහම් කොට ඒ තනතුරම පතා සිටියා. ඒ බුදුන්වහන්සේද ඇයගේ පාරමී සැළකිල්ලට ගෙන අප බුදුපියාණන් වහන්සේ දවස ඒ පැතුම් එලෙසම ඉටුවන බවට විවරණ ලබා දී වදාරනු ලැබුවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර ;-

ඛුද්දක නිකාය උදාන පාලියේ චුන්ද සූත්‍රය, මහා පරිනිර්වාණ සූත්‍රය , මනොරථපූර්ණී නම් වූ අංගුත්තර නිකායට්ඨකතා 01 හි(299 පිට) උපාසිකා පාළි වර්ණනාවෙහි සුජාතා සේනානි කතා වස්තුව.

Ape Budu Hamuduruwo 193

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 193

 

බෝසතුන් දුටු සිහින පස

එදා තවත් එක් වෙසක් මසක පුර තුදුස්වක් දිනයක්. එ දින රාත්‍රියෙහි නිද්‍රෝපගත වූ බෝධිසත්ත්ව රාජර්ෂීන් වහන්සේ එළි වීගෙන එන වේලෙහි සුවිශේෂ සිහින පහක් දකිනවා. එම සිහිනත් එහි තේරුම් යයි සැළකෙන කරුනුත් පහත දැක්වෙන පරිදී කෙටියෙන් සඳහන් කරනවා.

පළමු සිහිනය

“මහ පොළොව යහනෙක් වී ය. හිමාලය පර්වතය කොට්ටය විය. එහි උඩුකුරු වැ නිදන බෝසතාණන්ගේ දකුණත අවර සයුරෙහි ද, වමත පෙර සයුරෙහි ද, පා දකුණු සයුරෙහි ද බැහුණා හ.” මේ උන් වහන්සේ දුටු පළමු සීනය යි . (මෙය උන් වහන්සේ ලොවුතුරා බුදුවන බවට පෙර නිමිත්ත ය.)

දෙවෙන සිහිනය

“උන් වහන්සේ ගේ නාභියෙන් රතු ඊතන ගසෙක් ඉතා උසට නැගී අහසැ පැතිර සිටියේ ය.” (මේ ස්වප්නය උන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිවේධ කොට ලොවට ප්‍රකාශ කරන බවට පෙර නිමිත්ත ය.)

තෙවෙන සිහිනය

“කළු හිස් ඇති සුදු පණුවෝ පා මුලින් නැගී දණ ඉස දක්වා වසා ගත්හ.” (මෙය බොහෝ ගිහියන් උන් වහන්සේ ගේ උපාසකයන් වන බවට පෙර නිමිත්ත ය.)

සිවු වන සිහිනය

“නානා වර්ණ ලිහිණියෝ සිවුදෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් උන් වහන්සේ ගේ පා මුලැ හොත්තෝ වහා සුදු පැහැ වූහ. (මෙය සිවු කුලයන් හි ම ජනයා සස්නෙහි පැවිදි වැ පිරිසිදු වැ නිවන් පැමිණෙන බවට පෙර නිමිත්ත ය.)

පස් වන සිහිනය

“උන් වහන්සේ මහත් අශූචි පර්වතයක් මතුයෙහි ඒ අශූචි යෙන් නො තැවරී සක්මන් කළ සේක.” (මෙය සිවුපස බොහෝ සේ ලැබෙතත් එහි නො ඇලෙන බවට පෙර නිමිත්ත ය.)

අජපල් නුගරුක් කරා යාම

“මහා පුරුෂයාණන් වහන්සේ මෙකී ස්වප්න පස දැක, තුමූ ම ඒ විසඳා බලා, තමන් ‘බුදු වන බව නිසැක’ යි දැනැ, පසු දා උදය ම සිරුරු පිළිදැගුම් කොට, ගොස් අජපල් නුග රුක් මුල භික්ෂාචාර වේලාව තෙක් පෙර දිගට මුහුණ ලා වැඩ සිටියා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.

Ape Budu Hamuduruwo 192

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 192

 

සතානුසාරි විඤ්ඤාණය පහළවීම

මේ දුෂ්කර ක්‍රියාව බුද්ධත්වයට මඟ නො වේ ආනාපාන ධ්‍යානය නම් එයට මඟ ය” යි මෙ සේ වරක් දෙකක් උපන් සිහියට අනතුරුව උපන් සිත සතානුසාරිවිඤ්ඤාණ නොහොත් ස්මෘත්‍යනුසාරි විඥානය නම් වනවා. මෙසේ යලි ගත වූ කාලය විමසා බලන සේක්, තමන් කුඩා වියෙහි පියාණන්ගේ කෙත් බිමේ දී දඹ ගස යටැ හිඳ වැඩූ ආනාපාන ස්මෘතිය සිහි කොට, “මෙය බෝධියට මඟ වේ දෝ” යි සිතා එය වැඩීමට ඉටාගත්තා. “දුර්වල සිරුර ඇති ව ආනාපාන ස්මෘතිය පුරනු නො හැකි ය. එබැවින් ආහාර සේවනයෙන් කය සතපා, එයට පසු ව සමාධිය වඩන්නෙම් නම් යෙහෙකැ” යි සිතූ සේක.

කය සැතැප්වීම

ඉක්බිති බෝසතාණන් වහන්සේ පාත්‍රය තුබුණු තැනින් ගෙනැ උරුවෙල් දනව්වට පිඬු පිණිස වැඩියහ. මිනිස්සු උන්වහන්සේ දැකැ, “පෙර මෙ තුමා තමා ළඟට ගෙනවුත් දුන් ආහාරය වත් නො ගත්තේ ය. ඒකාන්තයෙන් මුන් වහන්සේ ගේ මනෝරථය මස්තක ප්‍රාප්ත වූයේ මය. එබැවින් තුමූ ම පිඬු පිණිස ආහයි සතුටු වැ ප්‍රණීත ප්‍රණීත ආහාර පිළිගන්වන්නට වුනා . බෝසතාණන් වහන්සේ සෑහෙන තරම් සුව පහසු ලැබෙන තෙක් ප්‍රණීත ආහාර වළඳමින් දෙසතියක් පමණ කාය විවේකයෙන් මෙලෙස කල් යවනු ලැබුවා.

විතර්ක විමැසීම

ප්‍රධන් වීර්ය වඩන බෝසතාණන් වහන්සේගේ සිත් සතන්හි නෛෂ්කාම්‍යසංකල්ප ආදී කුශල විතර්කයෝ මහ ගංවතුරක් සේ ඉතා අධික වැ පහළ වෙමින් පැවැතුනා. කලක් ම කෘශ වැ සිටි මුත් ආහාර සේවනයෙන් නැවතත් සිරුර ප්‍රකෘතිමත් වැ කලදී සේ ම මහා පුරුෂලක්ෂණයන් මතු වැ බ්‍රහ්මශරීරය ද ඉක්මැ ශෝභාසම්පන්න වූ නියාව දැක්මෙන් “මගේ ශරීරය සමෘද්ධියට පැමිණියේ යැ”යි කිසි විටෙක උන්වහන්සේට කල්පනා වුවත්, එහෙත් එය ද කාමවිතර්කයක් කොට සලකා නැවැත එවැන්නක් සිතේ පහළ නො වන ලෙසට සිත රැක ගන්න ඉටා ගත්තා.

කාමවිතර්ක මැඩලීම

 තව ද අසපුව ඉදිරියේ ඉන්නා බෝසතාණන් වහන්සේ මුව ගව ආදි සිවුපාවුන් ද වෙනෙහි රැව් පිළිරැව් දෙමින් රුකින් රුක සරණ මොනර වලිකුළු ආදී පක්ෂීන් ද, නෙලුම් ඕලු මහනෙල් කුමුදු ආදී ජලජ පුෂ්ප සංඡන්න හෙප් හා මඬවගුරු ද, නානා පුෂ්ප සමූහයෙන් ශෝභිත තරුවර ශතයෙන් ගහන වනරොද ද, මිණි කඳක් වන් පිරිසිදු ජල ධාරායෙන් ශෝභමාන නේරංජරා නදිය ද දකින සේක. ඒ දැක්මෙන්, “මේ සිවුපා රැල සිත්කළු ය. මේ පක්ෂීහු ප්‍රියංකර හ. මේ දිය හෙප් රම්‍ය ය, මේ රාජිහු ශෝභමාන හ. නේරංජරාව දර්ශනීය යැ”යි උන් වහන්සේට සිතෙයි. එවිට “අහෝ මට කාම විතර්කයෙක් වී යැ” යි ඒ ස්වල්පය පවා කාමවිතර්ක පක්ෂයෙහි ලා සලකා ඒ ද දුරු කිරීමට ඉටා ගත්තා.

ව්‍යාපාද විතර්ක මැඩලීම

දැඩි උණුසුම් දැඩි ශීත ආදියෙන් සිතෙහි මඳ පෙරැළීමක් වූ විටැ එය ව්‍යාපාද විතර්ක පක්ෂයෙහි ලා සලකා එබඳු විතර්ක ද දුරු කරන්නට වුනා  .

විහිංසා විතර්ක මැඩලීම

පන්සල් දොරැ ඉන්නා කිසි විටෙකැ උන් වහන්සේට ව්‍යාඝ්‍රාදීන් මුව හූරු ආදී දුබල සතුන් පෙළනු දක්නට ලැබේ. ගමට පිඬු පිණිස වැඩි කිසි විටෙක රාජකාර්යය හේතුයෙන් තමන් රැකියාවන් කැරැ ගන්නට නො ලැබැ උපද්‍රෑත වූවෝ ද දක්නට ලැබෙයි. මෙකී දර්ශන හේතුයෙන් උන්වහන්සේගේ සිතෙහි ශෝකය උපදින්නට වුනා . ඒ අනුනට හිරිහැර ඇති කරන්නන් ගේ අකාරුණික බව, ක්‍රෑරකම උන්වහන්සේට වැටහුණා. ඉන් සිත නොසංසුන් වන්නට වුනා . නො එකඟ වුනා . එවිටැ ඒ ස්වල්ප නොසන්සුන් බව පවා විහිංසා විතර්ක යැ යි ගෙන, එය ද දුරු කලයුතු යැයි සිතුවා.

නෛෂ්කාම්‍ය විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක වැඩීම.

“මෙ සේ සිතන බෝසතාණන් වහන්සේ විතර්කයන් කුශලාකුශල වශයෙන් දෙ කොටසකට බෙදන සේක් “මේ කාම විතර්කය, මේ ව්‍යාපාද විතර්කය, මේ විහිංසා විතර්ක යැ”යි අකුශල පක්ෂය එක් කොටසක්ද “මේ නෛෂ්කාම්‍ය විතර්කය, මේ අව්‍යාපාද විතර්ක ය, මේ අවිහිංසා විතර්ක යැ” යි කුශල පක්ෂය එක් කොටසක් දැ’යි කුසල් අකුසල් විසින් විතර්කයන් දෙ කොටසක් කොට අකුශල විතර්ක වැනසීමෙහි ද කුශල විතර්ක වැඩීමෙහි ද යෙදෙන්නට වුනා . කාම විතර්කාදී අකුශල විතර්කයන් පහළ වූ විටැ එය තමනටත් අන්‍යයනටත් දෙපක්ෂයට ම අවැඩ පිණිස පවත්නා බව, ලොවුතුරු සුවයට බාධක බව, දුක් පැත්ත ගෙන සිටින බව, නිවන් පිණිස නො පවත්නා බව සැලැකූවා. මෙසේ සලකන බෝසතාණන් වහන්සේ තුළැ ඒ හටගත් දුර්වල විතර්ක විනෂ්ට විය. උන්වහන්සේ අකුශල ධර්මයන් ගේ දෝෂයත් ලමා බවත් කෙලෙසුමත් කුශල ධර්මයන්ගේ, නෛෂ්කාම්‍යයාගේ, අනුහසුත් විශුද්ධ පක්ෂයත් දුටුවා.

මෙ සේ අප්‍රමත්ත වැ කෙලෙස් තවන වීර්යය ඇති ව වසන සේක්, තමනට පහළ වූ නෛෂ්කාම්‍ය විතර්කාදී කුශල සංකල්පයන් තමනටත් අන්‍යයනටත් දෙපක්ෂයටමත් අවැඩ පිණිස නො පවත්නා බව ද, ලොවී ලොවුතුරා ප්‍රඥාව ගේ වැඩුමට හිත බව ද, දුඃඛ පක්ෂයෙහි නො වන බව ද, නිවන් පිණිස පවත්නා බව ද දුටුවා.

යටැකී පරිදි රෑ මුළුල්ල ද, දාවල් මුළුල්ල ද, රෑ දාවල් දෙක් හි ම ද විතර්කන විචාරණයන්හි යෙදුණු උන් වහන්සේගේ ශරීරය ක්ලාන්ත වන්නට වුනා. සිරුර ක්ලාන්ත වූ විට සිත නො සංසුන් වුනා . ඒ හේතුයෙන් සිත එකඟ බැවින් ඈත් වන්නටද වුනා . එවිට සමාපත්තියට සමවැද ඒ සියලු පීඩා ද නො සංසුන් බව ද සංහිඳුවා ගන්නටද දක්ෂ වුනා . අකුශල විතර්ක පක්ෂය නුවණින් බලමින් නිග්‍රහකොට කුශල විතර්ක පක්ෂය වඩමින් මෙ සේ ප්‍රධන් වීර්යය වඩන බෝධිසත්ත්ව රාජර්ෂීන් වහන්සේ ගේ ඒ තවුස් ජීවිතය සම්බන්ධ සවන වර්ෂයේ අවසාන භාගයටද පැමිණිය.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධර්තගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.