Ape Budu Hamuduruwo 201

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)201

 

මාර පරාජය 02

මෙසේ මාරයා සුළඟ ,වැස්ස, ගල්, ආයුධ, අඟුරු, අළු, වැලි ,මඩ ,අදුර යන නව වර්ෂාවෙන් බෝසතාණන් වහන්සේ පලවා හරින්නට නොහැකි ව මාර සෙනග අමතා තොප බලා සිටින්නේ ඇයි? සිදුහතුන් අල්ලා ගනු. නසනු, පලවා හරිවූ යැයි අණ කොට තමාද ගිරිමේඛලා ඇතු පිට සිට චක්‍රායුධය ගෙන බෝසතාණන් වහන්සේ ළඟට අවුත් සිදුහත් කුමරුනි, පළඟින් නැගිටිනු. එය ඔබට අයිති නැත. එය පැමිණිය යුත්තේ මා වෙතැයි කෑගසන්නට වුනා.

එවිට බෝසතාණන් වහන්සේ ඔහුගේ වචනය අසා මෙසේ වදාරනු ලැබුවා. “මාරය, ඔබ දශපාරමිතා නොපිරුවෙයි. දශ උප පාරමිතා ද නොපිරුවෙයි. දශ පරමත්ථ පාරමිතා ද නොපිරුවෙයි. එසේම ඔබ අංග, ධන, පුත්‍ර ආදී මහා පරිත්‍යාගයන් නොකරන ලදී. එසේම ඤාතිචරියානම් වූ ඤාති වර්ගයා ගේ හිත සුව පිණිස හැසිරීම,ලොකිර්ථචරියා නම් ලෝකයාට හිත සුව පිණිස හැසිරීම, බුද්ධචරියා ඤාණය වර්ධනය කිරීම යන ත්‍රිවිධ චර්යාවෙහි ඔබ නො හැසුරුනෙහිය. එම නිසා මේ පළඟ මා සතුය. ඔබට අයත් නොවේ.”

අනතුරුව කිපුණු මාරයා තරහ වේගය දරාගත නොහැකිව බෝසතාණන්වහන්සේ වෙත චක්‍රායුධය දමා ගැසුවා. එයද දශ පෙරුම් දම් බලය සිහි කරමින් සිටි බෝසතාණන් වහන්සේගේ හිස මතුයෙහි මල් වියනක් වී සිටියා. එම සියුම් මුවහත් ඇති චක්‍රායුධය අන් දිනවල කිපුණු මරු විසින් විහිදුවා හලේ නම් කලු ගල් ටැඹක් වුවද හුණබඩක් මෙන් සිදීයනවා. එදින චක්‍රායුධය බෝසතාණන් වහන්සේගේ හිස මතුයෙහි මල් වියනක් මෙන් සිටි කල්හි මර සෙනග දැන් දැන් පළඟින් නැගිට පලායතියි මහත් ගල් කුළු පෙරළා හැරිය. ඒවාද පාරමී බලයෙන් මල් ගුලා බවට පත් ව බිම වැටුණ.

දෙවියෝ සක්වළ ගැබ මුවවිටියෙහි සිට ගෙල ඔසවා හිස් උස්කොට සිදුහත් කුමරුන් ගේ රුවින් අගතැන්පත් ශරීරය දුටුව. දැන් කුමක් සිදුවන්නේදැයි විමසමින් සිටිනවා. අනතුරුව බෝසතාණන් වහන්සේ දශ පෙරුම් පිරූ බෝසතාණන් වහන්සේලා බුදුවන දවසෙහි ලැබෙන පළඟ අද මට හිමිවෙයි, ඔබ දාන පාරමිතාව පිරූ බවට කවරෙකු නම් සාක්ෂි දැයි ඇසූවා . එවිට මාරයා මෙතෙක් දෙනා මට සාක්ෂියයි මර සෙනග දෙසට අත දිගු කළා. මර සෙනග ද මම සාක්ෂි වෙමි මම සාක්ෂි වෙමි ඔවුන් වෙන වෙනම නැගූ හඬ මහ පොළොව ගුගුරණ ශබ්දය මෙන් විය. මාරයාද බෝසතාණන් වහන්සේට සිදුහත් කුමරුනි,ඔබ දාන පාරමිතාව පිරූ බවට කවරෙක් සාක්ෂි දැයි අසා සිටියා. මාරය, ඔබට දාන පාරමිතාව පිරූ බවට සජීවී සාක්ෂි ඇත. මට මෙහි සජීවී සාක්ෂියක් නැත. නොයෙක් ආත්ම වලදී පිරූ දාන පාරමිතාව තිබේ. වෙස්සන්තර ආත්මයෙදි සත්තසතක සත් සියය නම් මහා දානය දුන් බවට මේ සිත් පිත් නැති මහ පොළොව සාක්ෂි වෙයි. සිවුරු ගැබ අතරින් දකුණු අත දිගුකොට වෙස්සන්තර කාලයේ දුන් ඒ මහා දානයට ඔබ සාක්ෂි ද? නැද්දැයි පොළොව දෙසට ශ්‍රී හස්තය දික් කළහ. එවිට මහ පොළොව මම ඔබ වහන්සේට සාක්ෂි වෙමි කියන්නාක් මෙන් ලක්ෂ සංඛ්‍යාත මහා හඬ පතුරුවමින් මාර බලය යට කරමින් මිහිකතගේ රාවය දසත පැතිර ගියා.

මෙසේ බෝසතාණන් වහන්සේ ඒ මහා දානය නැවත නැවත සිහි කරන කල්හි ගිරිමේඛලා හස්තියා බෝසතාණන් වහන්සේ ඉදිරියේ දණ ගැසුවා. දානයක ඇති අනුහස් හිතන්නටවත් බැහැ. මාර පිරිස ඒ ඒ දිශාවන් වලට පලා ගියා. එහෙත් දෙදෙනෙක් එක මගින් නොගිය. හිස් වෙළුම් ද ඇඳි වස්ත්‍රද අතහැර ඒ ඒ දිශාවෙන් පැන දිවූවා. දේව සමූහයා පලා යන මර සෙනග දැක “මාරයා පරාජය වූයේ ය. සිදුහත් කුමරුවන්ට ජය වූයේ ය. ජය පූජා කරමු” යි සුවඳ මල් අතැතිව බෝ මැඩ වෙත පැමිණිය. එසේම නාග, ගරුඬ, දේව සහ බ්‍රහ්මයෝ ද බෝසතාණන් වහන්සේ වෙත පැමිණ පූජා කරන්නටන් පටන්ගත්තා. ඔවුන් ගිය කල්හි දස දහසක්  සක්වළ  දෙවියෝ මල්, ගඳ විලවුන් ආදියෙන් පූජා කරමින් ස්තුති ඝෝෂා කරන්නට වුනා.

Ape Budu Hamuduruwo 200

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 200

 

මාර පරාජය 01

බෝසතාණන් වහන්සේ පෙර කී පරිදී බුද්ධත්වය සඳහා වැඩ සිටිය යුතු නියමිත දිශාව තිරණය කල පසු බෝ කඳ ට පිටදී පෙරදිගට අභිමුඛව දැඩි සිත් ඇතිව මගේ ශරීරයෙහි සම්, නහර, ඇට විසි වේවා. මස්, ලේ, වියලේවා. සම්මා සම්බුද්ධත්වයට නොපැමිණ මේ බද්ධාශනය නොහරින්නෙමි සිතා සිය ගණන් හෙණ පාත් වුවද නොබිදිය හැකි පරාජය කළ නොහැකි පර්යංකය බැද අපරාජිත පර්යංකයෙන් වැඩ සිටියා. මහා පුරුෂයාණන් වහන්සේට ගෞරව ස්තූති පූජා පිණිස, ගලා එන මහාජලෞඝයක් මෙන් අතුරු සිදුරු නැති සේ රැස් වන දිව්‍ය බ්‍රහ්ම සේනා හේතුයෙන් හාත් පස සියලු පෙදෙස මිහිබට දෙව් පුරයෙක සිරි ඉසිලුවා. දස දහසක් සක්වල දෙවියෝ බෝසතාණන් වහන්සේට ස්තුති ගායනා කරමින් උන්නා. සක්දෙව් රජ විජයුත්තර නම් සංඛය පිඔමින් සිටිය. ඒ සංඛය වනාහි එක්සිය විසිරියන් වෙනවා. එක්වරක් පිබි කළ සිව් මසක් රැව් දී නිහඬ වනවා. ඒ වේලාවෙහිම මහ කෙළ නා රජ සිය ගී වලින් බෝසතාණන් වහන්සේගේ ගුණ වනමින් සිටිය. මහබඹු සුදු කුඩය දරමින් සිටිය.

මේ අතරැ කලින් ම ඈත එන සතුරකු දැක බිය ලකුණු සෙස්සනට ද පහළ කොට පැන යන්නනාක් මෙන් හිරු අස්ත පර්වතය දිසාවටගමන් කරන්නට වුනා . සඳට හිරුට තරම්ම බලයක් තිබ්බේ නැහැ. එහෙත් වුවමනා විටෙකැ බෝසතාණන් පෙරුම් පිරූ බවට දෙස් කියනු පිණිස සුප්‍රකාශිත ශශ ලාංඡන ඇතිව ගගන තලය බබුළුවමින් උදාවීම ආරම්භ කළා.

එකෙනෙහිම මාර දෙවි පුත් “සිදුහත් කුමරු මාගේ බලය ඉක්මනු කැමැත්තේය. මම දැන් ඔහුට මා ඉක්මවන්නට ඉඩ නොදෙමි”. යැයි සිතා මර සෙනග වෙත ගොස් මෙම කරුණ කියා මර සෙනග සමග අහසට නැංගා. ඒ මාර සේනාව මරු පෙරටුව දොළොස් යොදුනක් වුනා. දකුණු හා වම් පසින් ද දොළොස් යොදුනක් ම වුනා . පිටුපසින් සක්වල කෙළවර කොට සිටිය. උඩ දිශාව ට තව යොදුනක් වුනා . මේ මාර සේනාවේ ගුගුරන ශබ්දය පොලව ගුගුරන කලක් මෙන් යොදුන් දහසක් දුරට ඇසෙනවා. ඒ මාර දෙවි පුත් අඩ සියයක් උස ගිරිමේඛලා නම් ඇතුපිට නැගී අත් දහසක් මවා නොයෙක් ආයුධද ඒ අත් මතට මවා ගත්තා. ඔහුගේ මාර සේනාවටද දෙදෙනකුට එක සමාන නොවන සේ විවිධ ආයුධ ලබා දුන්නා. මර සෙනග නොයෙක් වර්ණයෙන් හා විවිධාකාර මුහුණු වලින් යුක්තව බෝසතාණන් වහන්සේ මැඩගෙන යන්නාක් මෙන් ඉදිරියට පැමිණිය. මර සෙනග බෝමැඩ ලඟට පැමිණෙත්ම පෙර කී එක් අයකුට හෝ සිටින්නට නොහැකි වුනා . ඔවුන් හිස් ලූ ලූ අත පලා ගියා. නාරජ පොළොව යටට කිමිදී යොදුන් පන්සියයක් වූ මඤ්ජෙරික නාග භවනට ගොස් අත් දෙකෙන් මුහුණ වසාගෙන සිටිය. මහබඹු සේසත සක්වල කෙළවර තබා බඹ ලොවට ම ගියා. එක දෙවියකු හෝ උන්වහන්සේ අසළ සිටින්නට සමත් වුනේ නැහැ. එහෙත් අප මහා බෝසතාණන් වහන්සේ තනිවම එහි රැඳී සියා. මාරයා සිය පිරිස අමතා මෙලෙස කිවා. .

” දරුවනි, සුද්ධෝදන පුත්‍ර සිද්ධාර්ථ සමාන අන් කෙනෙකු නැත. මුහුණට මුහුණ ලා යුධ කිරීමට අප සමත් නො වෙමු. පසුපසින් යුධ කරමු.” යනුවෙන් උපක්‍රමශීලිව පසුබැස්සා. බෝසතාණන් වහන්සේ තුන් පැති බලා සියලු දෙවියන් පළා ගිය බැවින් හිස්ව ඇති බව දැන එහෙත් නැවතත් උතුරු දෙසින් මර සෙනග තමා මැඩීමට එන බව දැක “මේ විශාල සෙනග මා හා යුධවදීමට උත්සාහ කරති. මෙහි මා සඳහා මව්පිය සොහොයුරො හෝ අන් කිසිවකු හෝ නැත. මේ දශ පාරමිතාවෝ මා විසින් දිගු කලක් පෝෂණය කළ වන්නාහ. එහෙයින් පාරමී ධර්ම පළිහක් කොට පාරමී නැමැති ආයුධයෙන්ම මේ මර පිරිස විසිරුවා හැරිය යුතු වන්නේ යැයි” සිතා දශ පාරමිතාවන් සිහිකරමින් වැඩහුන්නා. ඉක්බිති මාර දෙවිපුත් මෙයින්ම සිදුහත් කුමරු පලාපි යමි සිතා මහා සුළඟක් මවනු ලැබුවා. එකෙනෙහිම සියලු දිශාවෙන්ම වා මඩුලු හටගෙන යොදුන්, අඩ යොදුන්, තුන් යොදුන් පමණ වූ මහා පර්වත බිදිමින් මහා ගස් මුල් මුලිනුපුටා සියලු ගම්, නියම් ගම් සුනු විසුනු කරමින් පැමිණියද බෝසතාණන් වහන්සේගේ සිවුරු කොනක් හෝ සෙලවීමට සමත් නොවුනා .

නැවත මාරයා ජාලයෙන් බෝසතුන් යට කොට මරමියි ගණන් වළා පටල නැගී මහා වරුසා වට වැසි ධාරා වේගයෙන් පොළොව සිදුරු වුනා . වන රුක් මතුපිටින් ගලා ආ මහාමේඝ ය බෝසතාණන් වහන්සේගේ සිවුරු පිණි බිඳකින් තෙමන පමණකුදු තෙමීමට අසමත් වුනා . අනතුරුව ගල් වර්ෂාවක් වැස්ස වන්නට වුනා . මහත් වූ පර්වත මෙන් ගල් ගිනි ගෙන දුම් දමමින් අහසින් අවුත් බෝසතාණන් වහන්සේ වෙත පැමිණ දිව්‍යයමල් බවට පත්වුණා. අනතුරුව ආයුධ වරුසාවක් වැස්ස වනු ලැබුවා. එක් පැත්තක මුවහත් ඇති, දෙපැත්තෙහි මුවහත් ඇති කඩු, අඩයටි, ඊතල ආදිය ගිනි ගෙන දිලිසෙමින් දුම් දමමින් අහසින් බෝසතාණන් වහන්සේ වෙත අවුත් දිව්‍යය කුසුම් බවට පත්වුණා. අනතුරුව අඟුරු වරුසාවක් වැස්ස වනු ලැබුවා. කිනිහිරි මල් වන් ගිනි අඟුරු අහසින් අවුත් බෝසතාණන් වහන්සේගේ පාමුල දිව්‍යය කුසුම් මෙන් විසිරී ගියා. අනතුරුව අළු වර්ෂාවක් වැස්සවූවා. ඉතා උණුසුම් වූ ගිනි ගත් අළු අහසින් අවුත් බෝසතාණන් වහන්සේගේ පාමුල සඳුන් සුනු මෙන් විසිරී ගියා. අනතුරුව වැලි වර්ෂාවක් වැස්සවුවා. ඉතා සියුම් වැලි ගිනි ගෙන දුම් දමමින් අහසින් අවුත් බුදුරජුන් අවට දිව්‍යය මල් බවට පත්වුනා. අනතුරුව මඩ වර්ෂාවක් වැස්ස වුවා. ගිනි ගෙන දිලිසෙන මඩ අහසින් අවුත් බෝසතුන් පාමුල දිව්‍යය විලවුන් බවට පත්වුණා . අනතුරුව මෙයින් සිදුහත් බිය ගන්වා පලවා හරිමු යැයි සිතා ඝන අඳුරක් මවනු ලැබුවා. සිව් අතකින් වුත් මහා ගණදුර මෙන් ගනාන්ධකාරය බෝසතාණන් වහන්සේ වෙත පැමිණ සූර්යයා ලෝකයක් මෙන් වී අතුරුදහන් වුනා .

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ජාතක අට්ඨකතා 01,

Ape Budu Hamuduruwo 199

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 199

 

බෝධි මණ්ඩලය වෙත පැමිණීම සහ අපරාජිත පර්යංකයෙන් වැඩ හිඳීම.

බෝධි මණ්ඩලය වෙත පැමිණීම.

මෙලෙස දෙවියන් විසින් සරසනු ලැබූ මග ඔස්සේ දෙවුන් බඹුන් පිරිවරා අප මහා බෝසතාණන් වහන්සේ වැඩමකලේ යුද්දෙකෙට යන මහා සෙන්පතියකු චතුරංග සේනාව පිරිවරා යන ආකාරයට මාර පරාජය කොට බුද්ධත්වය සඳහා නියමිත බෝධිමන්ඩලය සොයමින්. මෙසේ පැමිණි අප මහා බෝසතාණන් වහන්සේ අවසානයේ බොරුක වෙත එළැඹ තණ අට මිට ගෙන බෝමැඩ ට නැග දකුණු දිශාවෙහි උතුරට මුහුණ ලා වැඩ සිටියා.

බුද්ධත්වය සඳහා වැඩ සිටිය යුතු දිශාව සෙවීම.

මෙලෙස දකුණු දිශාවෙහි සිට උතුරට මුහුණ ලා වැඩ සිටිකෙණෙහි එ පෙදෙස නෙළුම් පතකැ රැඳී දිය බිඳක් මෙන් කම්පිත වන්නට වුනා . එකෙණෙහි සක්වළෙහි දකුණු පැත්ත ගිලී අවීචි නිරය පැමිණියාක් මෙන් වුනා . උතුරු සක්වල භවාශ්‍රයෙහි පිහිටියා මෙන් විය. එය දුටු බෝසතාණන් වහන්සේ මේ ප්‍රදේශයට සම්බෝධියට සුදුසු දිශාව නොවේ යැයි සලකා පැදකුණු කරමින් බටහිර දෙසට ගොස් පෙර දිගට මුහුණ ලා සිටගත්තා. ඒ පෙදෙසද පෙරසේම කම්පිතවන්නට වුනා . එහිදී ද පෙරමෙන් බටහිර පැත්ත ගිලී අවීචියෙහි පිහිටියා මෙන් වුනා . පෙරදිග උඩට නැගී භවාත්‍රයෙහි පිහිටියා ක් මෙන් වුනා . බෝසතාණන් වහන්සේ සිටි තැන නැබින් තිබූ චක්‍රයක් නේමියෙන් මඩනා කල මෙන් මහ පොළොව උස්පහත් වන්නට වුනා . එම දිශාව ද සම්බෝධි ස්ථාන නොවේ යැයි පැදකුණු කරමින් උතුරු දිශාවට ගොස් දකුණු දිසාවට මුහුණ ලා සිටියා. එහිදීද පෙර පරිදිම වුනා . ඒ දිශාවද සම්බෝධි ස්ථානය නොවේයැයි සිතූ බෝසතාණන් වහන්සේ පෙරදිගට ගොස් පැදුම් දෙස බලා සිටගත්තා. පූර්ව දිශාව වනාහි සියලු බුදුරජාණන් වහන්සේලාගේ සම්බෝධි අසුන පිහිටන තැන වේ.ඒ උස් පහත් නොවේ. නොසැලේ. බෝසතාණන් වහන්සේ මේ ස්ථානය සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහරින ලද නොසෙල්වන කෙලෙස් මැදිරි විනාශ කරන ස්ථානයයි දැන ඒ තණ අගින් ගෙන සොලවනු ලැබුවා. ඒ සමගම මුළු පරිසරයම ගිගුම් දෙමින් දෙවියන්ගේ සාදු කාර හඬ ඔස්සේ තුදුස් රියන් වජ්‍රාසනය පැන නැගුණ. ඒ තණ ඒ ආකාරයෙන්ම පිහිටිය. ඉතා දක්ෂ සිත් කරුවකු හෝ පෙත් කරුවකු මේ ආසනය සිතුවම් කිරීමට සමත් නැහැ කියලා අට්ට කතා ආචාර්යවරු කියනවා. මා සිත තුල ඇති වූ අපරිමිත ශ්‍රද්ධාව බුද්ධාලම්භන ප්‍රීතිය නිසා නෙතින් ගලා ගිය කඳුළු මුළු සටහනම බොඳ කර හැරියා.

අපරාජිත පර්යංකයෙන් වැඩ හිඳීම.

“මේ ශරීරයේ සම් මස් ලේ ඇට නහර වියැලි සුණු විසුණු වන කල්හි ද පුරුෂස්ථාමයෙන් පුරුෂ විර්යයයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබියැ යුතු වූ සම්‍යක් සම්බෝධිය ලැබ මිස මා උත්සාහය අත් නොහරිමි” යි චතුරංග වීර්යයය ඉටා බෝ කඳට පිට දී පෙර දිග බලා වජ්‍රාසනයෙන් (අජේය පර්යංකයෙන්) වැඩ සිටියා.

චතුරංග වීර්යයය.

  1. සම ගැලවී විසිරැ ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.
  2. නහර ගැලැවී විසිරැ ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.
  3. ඇට ගැලැවී විසිරැ ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.
  4. මස් ලේ වියැලී ගියත් බුදු වී මිස මින් නො නැඟිටිමි.

 මෙසේ අංග සතරින් යුත් වීර්යයය චතුරංග වීර්යය නම් වනවා.

ආසන සහ වජ්‍රාසන

ආසන වනාහි ගණනින් අසූසාර ලක්ෂයකැ යි ද එයින් සුවාසූවක් මැනැවැ යි ද ඉනුත් දෙ තිසක් ම වඩා යෝග්‍ය යැ යි දක්වා ඒ ආසන දෙ තිසේ නම් ඝෙරණ්ඩසංහිතායෙහි මෙසේ දක්වන බව බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමිපාණන් බුද්ධචරිතය පොතේ උප ග්‍රන්ථයෙහි මෙලෙස සඳහන් වනවා.

යෝගීනට සිද්ධිදානය කරන ආසන දෙ තිස.

1සිද්ධාසන 2. පද්මාසන 3. භද්‍රාසන 4. මුක්තාසන 5. වජ්‍රාසන 6. ස්වස්තිකාසන 7. සිංහසන 8. ගෝමුඛාසන 9. විරාසන 10. ධනුරාසන 11. මෘතාසන12. ගුප්තාසන 13. මත්ස්‍යාසන 14. මත්ස්‍යෙන්ද්‍රාසන 15. ගෝරක්ෂාසන16. පශ්චිමෝත්තනාසන 17. උත්කටාසන18. සංකටාසන 19. මයූරාසන 20. කුක්කුටාසන 21. කුර්මාසන 22. උත්තාන මණ්ඩුකාසන 23. උත්තාන කුර්මකාසන 24. වෘක්ෂායන 25. මණ්ඩුකාසන 26. ගරුඬාසන 27. වෘෂාසන 28. සලහාසන 29. මකරාසන 30. උෂට්‍රාසන 31. භුජඞ්ගාසන 32.යෝගාසන


මෙයින් වජ්‍රාසන නම් :

ජඞ්ඝාභ්‍යඃ වජ්‍රවත් කෘත්වා ගුදපාර්ශවෙ පදාවුභෞ

වජ්‍රාසනං භවෙදෙතත් යොගිනාම් සිද්ධිදායකම්

කෙංඩා දෙක වජ්‍ර (දියමන්ති) මෙන් දැඩිකොට දෙපතුල් පසුපස තට්ටම දෙ පස තැබීමෙන් මේ යෝගීනට සිද්ධි දායි වූ වජ්‍රාසනය වන්නේ යැ යි දක්වනවා. වජ්‍රාසනය යනු සිද්ධාසනයට නමෙකැ යි ද හඨයෝග‍ප්‍රදීපිකායෙහි කියන බව සඳහන්. සිද්ධාසනය මෙහි දැක්වූ වජ්‍රාසනයට සමාන යි. ලක්දිව ඔත් පිළිමවල පෙනෙන බද්ධපර්යංකය යෝගශාස්ත්‍රයෙහි සුඛාසන නමින් දක්වා සිටිනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ජාතක අට්ඨකතා 01,

බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත” සිද්ධර්තගෞතම බුද්ධ චරිතය” ග්‍රන්ථය සහ එහි උපග්‍රන්ත.

Ape Budu Hamuduruwo 198

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 198

 

සියලු බෝධි සත්වයන් බුදුබව ලබන බෝධි මණ්ඩලයේ අනුහස්.

සියලු මහා බෝධි සත්ත්වයන්වහන්සේලා බුදුබව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේ ය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැ යි ද ඒ බිමට කිසිවකුට ඇතුළු විය නොහැකි යැයි ඉහතින් සඳහන් කල පරිදී “කාලිංග බෝධි ජාතකයේ” දේශණා කොට ඇත. ඒ පිළිබඳව ඊලග ලිපියේ ලියන්නට සිතුවේ එහි අනුහස් හා ආශ්චර්ය අද්භූත බව පෙන්වනවීමට.

කාලිංගබෝධි ජාතකය

පසුගිය ලිපියේ ලියවෙන්නේ බුදුවරුන් පිළිබඳව අචල ශ්‍රද්ධාව ඇති කිරීමටයි. ඒ නිසා මහා බෝධි සත්ත්වයන්වහන්සේලා බුදුබව ලබන භුමිය නොහොත් බෝධි මණ්ඩලයේ අනුහස් ගැන දැනුවත් කිරීම බුදුවරයෙකුගේ තේජාන්විත භාවය ගැන කියාදෙන්න කරන්න වූ තවත් මෙහෙවරක් ලෙසයි මා දුටුවේ. ඒ නිසා ඒ ගැන සඳහන් “කාලිංගබෝධි ජාතකය” මෙතැන් සිට කෙටියෙන් ලිවීමට උත්සාහ කරනවා.

මෙම ජාතක කතාව දේශණා කරන්න නිධාන වුනේ ආනන්ද බෝධියට ආනන්ද මහා තෙරුන්වහන්සේ දැක්වූ පූජෝපහාර. එහෙත් එය නොකියා මෙම මාතෘකාවට අවශ්‍ය කොටස පමණක් ලියන්නට හිතුනේ මෙම ලිපිය එක් කොටසකින් ඉවරකරන්න.

යටගිය දවස කලිඟු රට දන්ත නුවර රාජ්‍ය කළ කලිඟු රජ්ජුරුවන්ට මහා කාලිංඝ, චුල්ල කාලිංඝ නමින් පුත්‍රයෝ දෙදෙනෙක් සිටියා. පියාගේ ඇවෑමෙන් මහා කාලිංඝ කුමාරයා රාජ්‍ය කරන බවත් චුල්ල කාලිංඝ කුමාරයා සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවැදිව භික්ෂාටනයෙන් කල් යවන අතර ඔහුට දාව උපදින පුතණුවෝ අනාගතයේ දී කාලිංග චක්‍රවර්තීව රාජ්‍ය කෙරෙතියි නිමිති පාඨකයෝ අනාවැකි කිවා. මෑත භාගයෙහි පියාගේ ඇවෑමෙන් මහා කාලිංඝ කුමාරයෝ රාජ්‍යයට ද මළනුවෝ යුව රජ තනතුරටද පැමිණියා. යුව රජ්ජුරුවෝ තමාගේ පුත්‍රයා චක්‍රවර්තී රාජ්‍යයට පැමිණියේ යැයි ඉතා ප්‍රීතියෙන් පුත්‍රයා නිසා ආඩම්බරව පසුවන දුටු රජතුමා එය ඉවසා ගත නොහී යුව රජ්ජුරුවන්ව අල්ලා ගෙන එවයි වැඩෙහි හැසිරෙන එක් ඇමතියෙකුට නියෝග කළා. ඒ ඇමති ගොස් යුව රජ්ජුරුවන්ට මේ බව දන්වා ඔබතුමා මේ නුවරින් නික්ම ගොස් ජීවිතය රැකගත මැනැවැයි කියා සිටියා. යුව රජ්ජුරුවෝ පේරැස් මුද්දත් සියුම් වූ පලසත් මඟුල් කඩුවත් තුනම ඒ ඇමති හට පෙන්වා මතු දවසක පුතු පැමිණි කල මේ සංඥාවෙන් මාගේ පුතණුවන්ට රාජ්‍යය පාවා දෙවයි කියා පවසා වනගත වුනා . ඉන්පසු ඔහු තනිව මහා වනයේ මිනිස් වාසයෙන් තොර ගංතෙරක පන්සලක් කොට ගෙන පැවිදිව වාසය කළා.

එකල මධු රට සාගල නුවර මධුරජ්ජුරුවන්ගේ දියණියගේ දේහ ලක්‍ෂණ බැලු නිමිති පාඨකයෝ “මේ කුමාරිකාව මතු දිනක පැවිදිව පිඬු සිඟා ජීවත් වන්නීය. මුන්ගේ බඩ උපන් කුමාරයෝ චක්‍රවර්තී රාජ්‍යයට පැමිණෙන්නේය” යනුවෙන් කියා සිටියා. ඒ සියළු දඹදිව රජ දරුවෝ එපවත් අසා ඈ ලබා ගැනීමේ අදහසින් එකවිට අවුත් නුවර වටකර ගත්තා. මධුරජ්ජුරුවෝ සිතන්නේ” ඉදින් මම දියණිය එක කුමාරයෙකුට පාවා දුනහොත් සෙසු අය කිපෙන්නාහ. එබැවින් ඈ රකිමියි” සිතා දියණිය සහ බිසව අප්‍රසිද්ධ වේසයකින් නුවරින් ගෙන ගොස් වනයට වැද කාලිංග කුමාරයන්ගේ අසපුවටම නුදුරින් උඩුගඟ පන්සලක් කොට ගෙන පැවිදිව තිදෙනම එහි කල් යැවූවා. දෛවය කියන්නේ මහා පුදුම දෙයක්. වාසනාව තමා වෙත ගෙනෙන්නේ සමහරවිට කිසිම උත්සහයකින් තොරව. දෙමව්පියෝ දියණිය පන්සලෙහි රඳවා පලාඵල පිණිස දිනපතා යනවා. ඈ දෙමව්පියන් ගිය කල නොයෙක් මල් ගෙන මාලා ගොතා ගං තෙරවූ අඹ රුකට නැඟී දියට දැමීම පුරුද්දක් කොටගෙන සිටියා. දවසක් ඇය විසින් ගඟට හෙලනු ලැබූ මල් මාලයක් පාවී ගොස් ගඟට බැස නාන්නා වූ කලිඟු කුමාරයන්ගේ හිසෙහි දැවටුණා. කුමාරයත් ඒ මල් පට දෙස බලා මෙය තරුණ ස්ත්‍රියකගේ කර්මාන්තයෙකැයි නිශ්චය කොට පරීක්‍ෂා කෙරෙමියි සිතා ක්ලේශ වසඟයෙන් උඩු ගං බලා යන්නන්ට වුනා . ඒ යනවිටත් ඇය සිටියේ ඒ අඹ ගහ මත නැගී මියුරු හඬින් ගීත ගායනා කරමින්. ඒ හඩ ඔස්සේ ගොස් ඈ දුටු තාපස තුමා ඇයව දැක “සොඳුර තෙපි කවුරුදැයි විචාරනු ලැබුවා. ස්වාමීනී මම මිනිස් ලියක්මියි ඈ කීවා. මෙසේ ඔවු නොවුන්ගේ සියළු තොරතුරු අසා දැන දෙදෙනාම ක්‍ෂසත්‍රීය වංශයට අයත් බැව් දැන ගසින් බැස එකතු වී දෙමව්පියන් ආකළ සියළු විස්තර පවසා සිටියා. ඔවුන්ද ඉතා සතුටුව කුමාරිකාව රාජ කුමාරයන්ට පාවා දෙනු ලැබුවා. ඈ ටික කලකින් මහ පින් ඇති පුත් රුවණක් වැදුවා. ඒ කුමාරයා වැඩිවිය පැමිණ පියාගෙන් සහ මුත්තණුවන් සමීපයෙහි සියළු ශිල්ප ඉගෙන නිමා කළා. ඉන්පසු ඔහුගේ පියා නැකත් යෝග අනුව තම වැඩිමල් සොහොයුරු මළ බව දැන පුතු අමතා තම පේරැස් මුද්ද පළස හා මඟුල් කඩුව අතට දී “පුත දන්තපුර නුවර අසවල් වීදියේ අපට හිතවත් එක් ඇමතියෙක් ඇත. ඔහු ලඟට ගොස් මේ ලකුණු පෙන්වා මාගේ පුත්‍ර නියාව කියව. ඔහු තොපව රාජ්‍යයෙහි පිහිට වන්නේය.” යනුවෙන් කියා සිටියා. කුමාරයෝ වැඩිහිටියන් වැද අවසර ගෙන කුසලමය වූ සෘඬියෙන් අහසින් ගොස් අමාත්‍යාගේ සමීපයට පැමිණ සියළු පුවත් දන්වා ලකුණු පෙන්වා සිටියා. ඇමති තෙමේ එපවත් රජ පිරිසට දන්වා ඔහුට කිරුළු පැලන්දුවා.

ඒ කාලිංග රජතුමා භාරචාඡ නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් පිළිපැදිය යුතු දසවිධ චක්‍රවර්තිවන් දැන ඒවා පුරන්නට පටන් ගත්තා. ඒ වත් පිළිබඳව මිට පෙර මෙම ලිපි පෙලේ ලියා තිබෙනවා. ඊට අනතුරුව පැමිණ පසළොස්වක් පොහෝ දිනයෙහි චක්‍රවර්ති රජ කෙනෙකුට නියමිත සප්තවිධ රත්න පහළ වුනා . ඒ රජජුරුවේ සියළු සක්වළ ගැබ රාජ්‍යය ගෙන මහ පිරිස පිරිවරන ලදුව අති ධවල වූ හස්ති රත්නය මතින් ප්‍රථමයෙන්ම දෙමව්පියන් බැලීමට යන්නට පිටත් වුනා . ඒ උපෝසථ කුලයේ ධවල හස්තිරාජයා මුළුනනින්ම සුදු වූ කෛලාස පර්වතය මෙන් සුදුම සුදුපාටයි. ගමන් කරන්නේ අහසින්. ඔවුන් යන මාර්ගය වැටී තිබුණේ මහ පොලවේ නැඹ වූ සියලු බුදුවරුන්ට මාර පරාජය කොට බුදුබවට පත්වීමට රාජාසනයක් බඳු වූ ඒ බෝධි මණ්ඩලය උඩින්. එම හස්ති රාජයා සියළු බුදුවරුන්ට ජය භූමිය වූ බෝ මැඩට මතු භාගයෙන් යන්ට අසමත් වුනා . රජතුමා කොතෙක් උත්සාහ කළත් ඇත් රජ යන්ට මැළිවුනා . මැළි වුනාම නෙවෙයි යන්නට බැරි වුනා . එවිට රජතුමා තම පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් ඊට හේතුව විමසා සිටියා. අහසින් බිමට බැස පරීක්‍ෂා කරන ඔහු හට එක පැලෑටියක් වත් නොමැති ධවල වූ රිදී පටක් බඳු වැල්ලෙන් ශෝභාමත් වූ විටින් එදෙසට නැමූන තෘණතලාදියෙන් හෙඹි බෝමැඩ දැක රජ්ජුරුවන් අමතා “මහ රජතුමනි සියළු බුදුවරු සකල කෙලශයන් නසන්නා වූ ස්ථානය මෙය වන්නේය. මෙහි මතු පිටින් ශක්‍රයකුට පවා යා නොහැක. දස ලක්‍ෂ සතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළවට නාභියක් හා සමාන වූ අචල ස්ථානයක් වූ මෙය කප මුලහටගත්තේය. නස්නා කල්හි පසුව නැසෙන්නේය. මේ ස්ථානයට නමස්කාර කට යුත්තේ ය. මේ උතුම් හස්ති රාජයා වජ්‍රාකුසයෙන් කොටා මෙහෙයතත් මේ බෝධි මංඩලය මත්තෙන් නොයන්නේය. මාගේ කීම සැබෑදැයි බලනු සඳහා මේ උතුම් හස්ති රාජයා විදුරු එබූ අකුස්සෙන් කොටා මෙහෙයා බලනු මැනවයි කියා සිටියා. චක්‍රවර්තී රජ්ජුරුවෝ එබස් අසා පරීක්‍ෂා කර බලනු සඳහා ඇතු මෙහෙයාලූවා. එවිට ඇත් රජ අහස දෙදරවමින් කොස්වා ලිහිණියෙකු මෙන් කුඤ්චනාද කොට පසු බැස අහසෙහිම උක්කුටකයෙන් නිසොල්මන් වුනා . චක්‍රවර්තී රජ්ජුරුවෝ වීදුරු එබූ අකුස්ස්සෙන් නැවත නැවතත් අනින්ට වන් කල්හි වේදනාව ඉවසා ගත නොහී ඇතු අහසෙහිම කළුරිය කළා. රජතුමා ඇතු මළ නියාව නොදැන ඔහු පිටම සිටියා. පුරෝහිත බ්‍රාහ්මණයා “රජතුමනි ඔබේ ඇත්රජ මිය ගිහින්. ඔබ කෙතෙක් උත්සාහ කළත් මේ බෝ මැඩ මතුයෙන් යාමට නොහැක. වෙන ඇතෙකු එනසේ සිතුව මැනවයි” පවසා සිටියේ ශෝකයෙන්. රජ්ජුරුවන්ගේ ආනුභාවයෙන් කුසල ශක්තියෙන් වෙනත් ඇත් රජෙක් පැමිණෙන්නට වැඩි වෙලාවක් ගතවුනේ නැහැ. රජතුමා ඒ ඇතු පිට නැග්ග සැණින්ම මළ ඇත් රජ බිම පතිත වුනා .

ඊට පස්සේ රජතුමා වහා බිමට බැස බෝධි මණ්ඩලයේ වූ ප්‍රාතිහාර්යය දැක බ්‍රාහ්මණයාට බොහෝ ප්‍රශංසා කොට බමුණානෙනි තෙපි නම් සියල්ල දත්තා වූ සම්‍යක් සම්බුදු වරයෙක්මයයි ස්තුති කරනු ලැබුවා. එවිට බ්‍රාහ්මණයා “රජතුමනි අපි ශාස්ත්‍රයෙන් දැන කියන හෙයින් ශ්‍රුත බුද්ධ නම් වම්හ. බුදුවරු තුන් කල්හි වූ සියළු පදර්ථයන් දක්නාහු වෙති. සර්වඥ ඥාණයෙන් සියල්ල දන්න හු වෙති. පඤ්චවිධඥෙය්‍ය මණ්ඩලය කරතලා මලක ආකාරයෙන් දනිතියි” බුදුගුණ වර්ණනා කරන්නට වුනා . චක්‍රවර්තී රජතුමා බුදු ගුණයෙහි පැහැද සොම්නස් වී සියලු සක්වල වාසීන් ලවා ගඳ දුම් මල් පහන් ගෙන්වා ගෙන මහ බෝමැඩ සතියක් මුළුල්ලෙහි බෝධිපූජා කරවූවා. සත්රුවන්මය වූ පහන් කනු ප්‍රාකාර කරවූවා. මෙසේ පූජා පවත්වා ගොස් දෙමාපියන් කැඳවා ගෙන තම රාජ්‍යයට ගොස් දානාදී පින්කම් කොට ආයු කෙළවර තව්තිසා දෙව්ලොව උපන්නා.

එසමයෙහි කලිඟු රජ්ජුරුවෝ නම් දැන් මේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ. කාලිංග භාරචාජ පුරෝහිත බ්‍රාහ්මණයා නම් තිලෝගුරු බුදුරජාණනන් වහන්සේයි.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ජාතක අට්ඨකතා 04,

Ape Budu Hamuduruwo 197

අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 197

 

නා, යක්, ගුරුළු ආදීන්ගේ දිව්‍යමය සුවඳ මල් වරුසා මත ඇසතු බෝ රුක වෙත වැඩම කිරීම.

භද්‍ර වනයෙහි දිවා විහරණය සහ චිත්තවිසුද්ධි ලාභ

ඉන්පසු මහා පුරුෂයාණන් වහන්සේ ගං තෙරැ පිහිටි පරම සුරභි කුසුම සමලංකෘත වූ, පත්‍රයන් ගේ නීලාවභාෂයෙන් ශෝභිත, මනෝරම්‍ය උත්තුංග ශාල වෘක්ෂ පංක්තීන් ගෙන් සුසජ්ජිත භද්‍ර වනය දෙසට වැඩම කරනු. එහි දිවා විහරණය කරන සේක්, පෙර ආළාර උද්‍රකයන් හමුවේ උපදවන ලද, පසු කලැ දුෂ්කර ක්‍රියා සමයෙහි නොවැඩූ හෙයින් මල බැදුණවුන් මෙන් වූ අෂ්ටසමාපත්තීන් හා පංචාභිඥාවන් පිරිසිදු කරනු ලැබුවේ මහා සංග්‍රාමයකට රාජකීය අසිපත මුවහත් කරන විලසින්. මේ වනාහි අප මහා බෝසතාණන් වහන්සේ ගේ “චිත්තවිසුද්ධි ලාභ” යනුවෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ බුද්ධ චරිතය පොතේ සඳහන් කරනවා. එනම් උපචාර සමාධි, අපර්ණා සමාධි, යන දෙකින් සිත භාවනා අරමුණෙහි පිහිටුවා නීවරණයන් කෙරෙන් ශුද්ධ කැරැ ගැනීම යනුවෙන් උන්වහන්සේ විසින් තව දුරටත් එය උපග්‍රන්තයන්හි විස්තර කරනවා.

දෙවියන් විසින් සරසනු ලැබූ මග ඔස්සේ බෝධි මණ්ඩලය කරා වැඩම කිරීම.

මෙලෙස භද්‍ර වනයෙහි නොයෙක් සමවත්වලට සමවදිමින් සමවත් සුවයෙන් කල් ගෙවූ අප මහා බෝසතාණෝ සවස් කාලයේ දෙවියන් විසින් පිළියෙළ කරන ලද මාර්ගය ඔස්සේ බෝධි මණ්ඩලය දෙසට වැඩම කරනු ලැබුවා. නා, යක්, ගුරුළු ආදීහු දිව්‍යමය සුවඳ මල් ආදිය දසත විසිරවන්න වුනා . ඒ සමගම දිව්‍යමය සංගීත රාවයද දසත පැතිරෙන්නට වුනා . දස දහසක් ලෝක සුවඳ මල් මාලාවක් මෙන් සුවඳවත් වුනා . සාධුකාර හඬ ද ඒ හා සමානව දසත පතුරුනා. ඒ මිනිසුන්ගේ නෙවෙයි. දෙවියන්ගේ. අප මහා බෝසතාණන් වහන්සේ ඒ සියලු පුද පූජා සත්කාර මැද බුද්ධත්වය සඳහා සුදුසු භුමිය සොයමින් ඉදිරියටම වඩින්නට වුනා .

සොත්ථිය තණ වෙළෙන්දා සහ අට තණ මිට.

ඒ වේලාවෙහි සොත්ථිය නම් තණ වෙළෙන්දා තණ ගෙනයමින් ඒ මාර්ගයේම ඉදිරියට එමින් සිටියා. එයත් ඉබේ සිදුනොවුවක් ලෙස ඔබ තරයේ සිත තබා ගත යුතයි. එයත් පාරමී දම් පුරමින් ලබාගත හැකි මිනිස් ජීවිතයක විරළ අවස්ථාවක්. ඔහුද බෝසතාණන් වහන්සේගේ ආකාරය දැන කුඩා තණ තණ මිටි අටක් බුදුන් වහන්සේට පිළිගන්වනු ලැබුවා. ඒවා ගවයන්ට කැවීමට ගෙන යන තණ නොව මෙට්ටයක් වශයෙන් ගුදිරියක් වශයේ බිම අතුරා හිඳීමට හා සැතපීමට පාවිච්චි කරන වියළි තණයි. සොත්ථිය බමුණා බෝසතාණන් වහන්සේට ඒවා පිළිගැන්වූයේ ද බිම අතුරා ඒවා මත වැඩ සිටීම සඳහායි. දඹදිව තවුසන් බොහෝ සෙයින් පාවිච්චි කරන්නේ තණ ඇතිරිය. බෝසතාණන් වහන්සේ ඒ තණ අට මීටත් රැගෙන බොරුක කරා වැඩියා.

බෝධි වෘක්‍ෂය

ශ්‍රාවක බෝධිසත්ත්වයන්ට හා ප්‍ර‍ත්‍යෙක බෝධිසත්ත්වයන්ට කොතැනකදී වුව ද ඒ තත්වයට පැමිණිය හැකි ය. රහත් වීමට පසේ බුදු වීමට නියම තැනක් නැත්තේ ය. මහා බෝධි සත්ත්වයනට එසේ නො හෙන පරිදි එය වටා ප්‍රාකාරයක් මෙන් ගස් වැල් වැඩී ඇති තැනකැයි ද දෙවියකුට බ්‍ර‍හ්මයකුට වුව ද එයට උඩින් යා නොහෙන අනුහසක් ඇති තැනකැයි ද කාලිංග බෝධි ජාතකයේ කියා ඇත. එය අචල භූමියකැ යි ද එහි කියා තිබේ. එය දඹදිව මධ්‍යදේශයේ නේරඤ්ජරා නම් ගඟට නුදුරු තැනකි.

සියලු ම බෝධි සත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබව ලබන්නේ යම්කිසි ගසක් මුලදී ය. සිද්ධාර්ථ කුමාරයන් මවුකුසින් බිහි වූ දිනයේ ම ඉහත කී ජය භූමියෙහි ඇසටු ගසක් පැන නැඟිණ. එය පැන නැඟුණේ උන්වහන්සේට ලොවුතුරා බුදුවීමට ආධාර වීම සඳහා ය. ඒ අනුව සියලු ම මහා බෝධිසත්ත්වයන්ට උපදින දිනයේ ම බෝධිය පැන නඟින බව සිතිය යුතු ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇසටු ගස ය. ඇසටු ගස මුල බුදු වූ අන් බුදුවරයකු ගැන සඳහන් වී නැත. ඒ ඒ බුදුවරුන්ට බෝධි වනු පිණිස නොයෙක් වර්ගවල ගස් පැන නඟී.

කොතැනක දී හෝ බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. මිනිස් ලොවෙහි ම මිස දිව්‍ය‍ලෝක බ්‍ර‍හ්මලෝක නාගලෝකාදියෙහි ලොවුතුරා බුදුබව නො ලැබිය හැකි ය. එය ලැබිය හැක්කේ මිනිස් ලොවෙහි ම ය. එහි ද සෑම තැනකදී ම බුද්ධත්වයට නො පැමිණිය හැකි ය. සියලු මහා බෝධි සත්ත්වයන් බුදුබව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේ ය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැ යි ද ඒ බිමට කිසිවකුට ඇතුළු විය නොහැකි යැයි ඉහතින් සඳහන් කල පරිදී “කාලිංග බෝධි ජාතකයේ” දේශණා කොට ඇත. ඒ පිළිබඳව ඊලග ලිපියේ ලියන්නට සිතුවේ එහි අනුහස් හා ආශ්චර්ය අද්භූත බව පෙන්වනවීමට.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ජාතක අට්ඨකතා 01,

මහාචාර්‍යය රේරුකානේ චන්දවිමල මහනායක ස්ථවිරයන් වහන්සේ විසින් රචිත “බෝධි පූජාව” නමැති ග්‍රන්ථය.

බලංගොඩ ආනන්දමෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ විසින් රචිත” සිද්ධර්තගෞතම බුද්ධ චරිතය” ග්‍රන්ථය.