සියලු බුදුවරුන් අත් නොහරින තැන් සතර

සියලු බුදුවරුන් වහන්සේලාටම අත් නොහරින තැන් සතරෙක් වෙයි. 

සියලු බුදුවරුන්ට බෝධිපර්යංකය අතනොහැරම එකම ස්ථානයක වෙයි. ධම්සක් පැවැත්වීම, ඉසිපතන මිගදායෙහි නොවෙනස්වම වෙයි. දෙවොරෝහණ වෙලාවෙහි සකස්පුර දොර පළමු පාතබන තැන නොවෙනස්ව වෙයි. දෙව්රම ගඳකිළියෙහි ඇඳෙහි සතර පා තැන නොවෙනස්වම වෙයි. විහාරය වනාහි කුඩා හෝ ලොකු හෝ වෙයි. නගරය වෙනස් නොවන්නේමය.

සහජාත පරිච්ඡේදය හා නක්‍ෂත්‍ර පරිච්ඡේදය

සහජාත පරිච්ඡේදය

අපගේ සර්වඥ බෝසතුන් වහන්සේ සමග මහාබෝධිය, රාහුල මාතාව, ආනන්ද තෙරුන්, ඡන්න තෙරුන්කාළුදායී තෙරුන්. කන්‍ථක අශ්වයා, ධන නිධාන යන මේ සත එක්ව උපන්නේය. 

නක්‍ෂත්‍ර පරිච්ඡේදය

අපගේ සර්වඥ බෝසතුන් වහන්සේ උතුරුසළ නැකතින් මවුකුස පිළිසිඳ ගත්හ. මහබිනික්මන් නික්මුණහ. ධම්සක් පැවැත්වූහ. යමාමහ පෙළහර කළහ.
විසා නැකතින් උපන්හ. බුදුවූහ. පිරිනිවියහ.
මාඝ නැකතින් උන්වහන්ගේ ශ්‍රාවක සන්නිපාතයද ආයුසංස්කාර අතහැරීමද විය.
අස්විද නැකතින් දෙවාරෝහණය විය.

සියලු බුදුවරුන් වහන්සේලාගේ සමතිස් ධර්මතා

සියලු බුදුවරයන් වහන්සේලාගේ අසාධාරණ ධර්මතාව ප්‍රකාශ කරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේලාගේ ධර්මතාව සමතිස් වැදෑරුම් වෙයි.

ඒ මෙසේයි.

පශ්චිමභවික බෝසතාණන් වහන්සේගේ මනා සිහිනුවණින් මවුකුස පිළිසිඳ ගැනීම,

මවුකුස පර්යංකයෙන් පිටත බලා හිඳීම,

බෝසත් මව හිටගෙනම ප්‍රසූත කිරීම,

අරුණයෙහිම මවුකුසින් බිහිවීම,

රන්පටෙහි පිහිට වූ පාදයෙන් උතුරුදිග බලා සත්පියවරින් ගොස් සිවුදිග බලා සිංහනාද කිරීම,

සතර නිමිති දැක පුතුන් උපන් පසු මහාසත්ත්‍වයන්ගේ මහබිනික්මන කිරීම,

අරහත්ධජය පිළිගෙන පැවිදිව,

යටත් පිරිසෙයින් සතියක් ප්‍රධන් වැඩීම,

බුදුබවට පත්වන දින කිරිපිඬු භෝජනය,

තණ ඇතිරියෙහි වැඩහිඳ සර්වඥතාඥානය අවබෝධ කිරීම,

ආනාපාන කර්මස්ථාන පරිකර්මය,

මාරබල නැසීම,

බෝපලඟෙහිම ත්‍රිවිද්‍යාව ආදිකොට අසාධාරණඥානාදි ගුණ ප්‍රතිලාභය,

සත්සතිය බෝධිසමීපයෙහිම ගතකිරීම,

ධර්ම දේශනාව පිණිස බ්‍රහ්මයාගේ ආයාචනය,

ඉසිපතන මිගදායෙහි දම්සක් පැවැත්වීම,

නවම් පුර පසළොස්වක සිවුවනක් පිරිස් රැස්වීමෙහි පාමොක් දෙසීම,

ජේතවන ස්ථානයෙහි නිත්‍යවාසය,

සැවැත්නුවර දොර යමාමහ පෙළහර දැක්වීම,

තව්තිසා භවනයෙහි විජම්බණ දෙසීම,

සකස්පුර දොර දෙව්ලොවින් බැසීම,

නිරන්තර පලසමවතට සමවැදීම,

දැහැන් දෙක්හි විනෙයජනයන් දෙස බැලීම,

හේතුවක් උපන් කල ශික්‍ෂාපද පැනවීම,

හේතුවක් ඇතිව ජාතක දේශනාව,

ඤාතිසමාගමයෙහි බුද්ධවංසය දේශනා කිරීම,

ආගන්තුක භික්‍ෂූන් සමග පිළිසඳර කිරීම,

ආරාධිතයන්ට නොදන්වා වස් නිමවා නොවැඩීම,

දවසක් පාසා පෙරබත පසු බත පෙරයම මැදියම අලුයම කටයුතු කිරීම,

පිරිනිවන් දිනයෙහි මස්රස වැළඳීම,

සූවිසි කෙළදහසක් සමවත් සමවැද පිරිනිවීම

 

යන මේ සමතිස් සියලු බුදුවරුන් වහන්සේලාගේ ධර්මතායි.

සතර අන්තරාය නොකළ හැකි ධර්ම

සියලු බුදුවරුන් වහන්සේලා උදෙසා එළවන ලද සිවුපසයට අන්තරාය කිරීම කිසිවෙකු විසිනුත් නොකළ හැකිය. කිසිවෙකු විසිනුත් ආයුෂයට අනතුරු කළ නොහැකිය. එහෙයින් අනුන්ගේ උපා ක්‍රමයෙන් තථාගතයන් වහන්සේගේ දිවි තොර කරන්නේය යන යමක් ඇත්ද මෙය නොවන්නකි. අවකාශ නැත්තේයයි කියන ලදි. බුදුවරුන්ගේ දෙතිස් මහපුරිස් ලකුණුවලට අසීති අනුව්‍යඤ්ජනවලට කිසිවකු විසිනුත් අන්තරාය කළ නොහැක්කේය. බුදුරැස්වලට අනතුරු කිරීම කිසිවකු විසිනුත් කළ නොහැක්කේය. මේ සතර අන්තරාය නොකළ හැකි ධර්ම නම් වෙයි.

සමහර කාලවල බුදුන් වහන්සේ සහ සක්විති රජතුමා එකවර වැඩ සිටිනවා

කොණ්ඩඤ්ඤ බුද්ධවංශය

කොණ්ඩඤ්ඤ ශාස්තෘන් වහන්සේ බුදුබවට පත්ව පළමු වස සඳවතී නුවර ළඟ චන්‍ද්‍රරාමයෙහි විසූහ. එහි සුචින්‍ධර නම් මහසල් බමුණාගේ පුත් චන්‍දමානව නම් කීර්තිධර බමුණු පුත් සුභද්ද නම් තරුණයා ද කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ වෙතින් බණ අසා පහන් සිතින් තරුණයන් දසදහසක් සමග උන්වහන්සේ වෙත පැවිදිව රහත් විය.
ඉක්බිති කොණ්ඩඤ්ඤ බුදුහු පොසොන් පුර පසළොස්වක දින සුභද්ද තෙරුන් ප්‍රමුඛ කෙළ ලක්‍ෂයක් පිරිවරා පාමොක් උදෙසූහ. එය පළමු සන්නිපාතයයි. ඉන් මෙපිට කොණ්ඩඤ්ඤ බුදුපුත් විජිත තෙරුන් රහත් වූ කල උන්වහන්සේ ප්‍රමුඛ කෙළ ලක්‍ෂයක් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය දෙවන සන්නිපාතයයි. පසුකලෙක දසබලයන් වහන්සේ ජනපද චාරිකා කරන සේක් අනූකෙළක් පිරිවර ඇති උදේන නම් රජු පැවිදි කරවූහ. ඒ පිරිස සමග ඔහු ප්‍රධානකොට ඇති අනූ කෙළක් සමග සමග භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවන සන්නිපාතයයි එයින් කියන ලදි-

එකල් අප බෝසතාණෝ විජිතාවී නම් සක්විති රජව චන්‍දවතී නුවර වසන්නාහ. උන්වහන්සේ වනාහි නොයෙක් උතුම් මිනිසුන් පිරිවරා සයුර හිම්කොට මේරුයුගඳුරු සහිත අපමණ රුවන් දරන මහපොළව අදණ්ඩනයෙන් අශසත්‍රයෙන් දැහැමෙන් සෙමෙන් පාලනය කරන්නාහ. එකල්හි කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්‍ෂයක් රහතන් පිරිවරා ජනපද චාරිකාවෙහි යෙදෙන සේක් පිළිවෙලින් චන්‍දවතී නුවරට වැඩි සේක.
ඒ විජිතාවී රජ බුදුහු අපගේ නුවරට වැඩිසේකැයි අසා පෙරගමන් කොට වසන තැන් නිලකොට බික්සඟුන් සහිතව සෙට දිනට ආරාධනා කොට පසුදා මනාව දන් සරහා කෙළ ලක්‍ෂයක් පමණ බුද්ධ ප්‍රමුඛ බික්සඟනට මහදන් පිදීය. බෝසත්හු බුදුන් වළඳවා අනුමෝදනාවසානයෙහි ස්වාමීනි, තෙමසක් මහජන අනුග්‍රහ කරමින් මෙහිම වසන සේක්වායි අයැද තෙමස නිතොර බුදුපාමොක් මහසඟනට අසදෘශ මහදන් පිදූහ.
ඉක්බිති ශාස්තෘන් වහන්සේ බෝසතුන්ට මතු ගෝතම නම් බුදුවන්නේ යයි ප්‍රකාශකොට දම් දෙසූහ. උන්වහන්සේ බණ අසා රාජ්‍යය පුදා මහණව තුන්පිටකය ඉගෙන අටසමවත් පසභිඥා උපදවා නොපිරිහුණු දැහැනින් බඹලොව උපන්හ.

සුජාත බුද්ධවංශය

එ මැ මණ්ඩ නම් කල්පයෙහි සිංහයකුට බඳු පරිපූර්‍ණ හනු ඇති වෘෂභයකුට බඳු සම වට කඳට ඇති ප්‍රමාණ නො කටහැකි වූ නො ගැටිය හැකි වූ සුජාත නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූහ. විගත මල ඇති එහෙයින් මැ ශුද්ධ වූ චන්‍ද්‍රයා යම් සේ ද ප්‍රතාපවත් සූර්‍ය්‍යයා යම් සේ ද, එසෙයින් මැ හැම කල්හි සිරියෙන් බබළන සම්බුදුහු බබළති. සම්බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුමඞ්ගල නම් නගරයෙහි දී දම්සක් පැවැත් වූහ. සුජාත නම් ලෝකනායකයන් වහන්සේ උතුම් වූ දහම් දෙසන කල්හි ප්‍රථම ධර්‍මදේශනායෙහි අසූ කෙළක් ප්‍රාණීහු ධර්‍මභාවබෝධය කළහ. යම් කලෙකැ අප්‍රමාණ යසස් ඇති සුජාත නම් සම්බුදුහු දෙව්ලොවැ වස් එළැඹි සේක් ද, එකල්හි සත්තිස් දහසක් සත්නට ද්විතීය ධර්‍මාභිසමය වී. යම් කලෙකැ අසමසම වූ සුජාත නම් බුදුහු පියරජහු සමීපයට වැඩිසේක් ද, එකල්හි සැටලක්‍ෂයක් ප්‍රාණීන්ට තුන් වැනි ධර්‍මාවබෝධය වී. මහර්ෂි වූ සුජාත සර්‍වඥයන් වහන්සේට විගතරාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී. අභිඥාබලයට පැමිණි කුදු මහත් භවයට නො පැමිණියවුන් අතුරින් ඒ සැටලක්‍ෂයක් රහත්හු පළමු වැ රැස් වූහ. යළි පස්මරුන් දිනූ බුදුන් ගේ දෙව්ලොවින් බස්නා සන්නිපාතයෙහි පනස් ලක්‍ෂයක් රහතුන් ගේ ද්විතීය සමාගමය වී. ඒ සුජාත නම් බුදුනට යම් අගසවු කෙනෙක් වූවාහු ද, සුදර්‍ශන නම් වූ උන් වහන්සේ නරශ්‍රේෂ්ඨ බුදුන් කරා පැමිණෙන්නාහු සාර ලක්‍ෂයක් පිරිවර හා සමග පැමිණියාහ. එසමයෙහි මම් කොදිව් සහිත සතර දිවයිනෙහි අධිපති වූ අහස්හි හැසිරෙන මහබල ඇති සක්විති රජ වීමිඒ මම් ලෝකයෙහි අද්භූත වූ ලොමුදහගන්වන ආශ්චර්‍ය්‍යය දැක සුජාත ලෝකනායකයන් වහන්සේ කරා එළැඹ වැන්දෙමි. සිව්මහදිවයින්හි මහරජය උතුම් වූ සත් රුවන බුදුන් විෂයයෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.

මෛත්‍රෙය බුදුරදුන් පහළවන කාලය

මහණෙනි, මිනිසුන් හවුරුදු අසූදහසක් ආයු ඇතියන් වූ කල්හි මේ දඹදිව සමෘද්ධ (ධාන්‍යාදියෙන් සම්පන්න) ද, ස්ථිත (වස්ත්‍රාදියෙන් පරිපූර්‍ණ) ද වන්නේ ය. ගම් නියම්ගම් දනවු රජදහන්හු වහළ මතුයෙන් ගමෙකින් ගමකට කුකුළකු විසින් යෑ හැකි වන් සේ ඒකාබද්ධ වැ පිහිටි දහස්ගණන් ගෙවලින් යුක්ත වන්නාහ. මහණෙනි, අසූ දහසක් හවුරුදු ආයු ඇති මිනිසුන් ඇති වන කල්හි මේ දඹදිව උනවනයක් බටවනයක් සේ, අවීචිය මෙන් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැති සේ ගැවැසුණේ වන්නේ ය.

මහණෙනි, මිනිසුන් වස් අසූදහසක් ආයු ඇත්තන් වන කල්හි, මේ බරණැස් නුවර සමෘද්ධ වූ ද ආඪ්‍ය වූ ද බොහෝ ජනයා ඇත්තා වූ ද මිනිසුන්ගෙන් ආකීර්‍ණ වූ ද සුලභ ආහාර ඇත්තාවූ ද කේතුමති නම් රජ දහනෙක් වන්නේ ය. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇත්තවුන් වූ කල්හි මෙ දඹදිව්හි කේතුමතී රාජධානිය පාමොක් කොටැති සුවාසූ දහසක් නගරයෝ වන්නාහ. මහණෙනි, මිනිසුන් අසූදහසක් හවුරුදු ආයු ඇතියන් වූ කල්හි කේතුමති රාජධානියෙහි ධාර්මික වූ ධර්‍මරාජ වූ සිවු සයුරු හිම් කොට සතර මහාද්වීපයට අධිපති වූ, සියලු සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් යුත් ශංඛ නම් සක්විති රජෙක් පහළ වන්නේ ය. ඔහුට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වන පරිනායක රත්නයැ යි මේ සප්ත රත්න කෙනෙක් වන්නාහ. ඔහුට බාන සුලු නොවූ මූර්තිමත් වීර්‍ය්‍යය බඳු ශරීර ඇති, පර සෙන් මඩිනු සමත් වූ, දහසකට වැඩි දරු කෙනෙක් වන්නාහ. හෙ තෙම සයුරුහිම් මෙ මහ පොළොව දඬුවමින් තොර වැ, අවියෙන් තොර වැ, දැහැමෙන් සෙමෙන් ජය ගෙන අධිපති වැ වසන්නේ ය.

මහණෙනි, මිනිසුන් හවුරුදු අසූදහසකට පරමායුෂ ඇත්තවුන් වූ කල්හි, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණ සම්පන්න වූ, සුගත වූ, ලොව දන්නා, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිස්නට ශාස්තෘ වූ, සිවුසස් අවබෝධ කළ, සියලු භාග්‍යගුණ ඇති, මෛත්‍රෙය නම් භාග්‍යවත් තෙම ලොවැ උපදින්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්‍වප්‍රජාව ද තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට පළ කෙරෙම් ද, එසේ ම ඒ මෛත්‍රෙය බුදුරජ ද දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්‍වප්‍රජාව ද තෙමේ ම වෙසෙසි නුවණින් දැන, පසක් කොට දන්වන්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසම් ද, හැම ලෙසින් පිරිපුන් වූ, පිරිසිදු බඹසර ප්‍රකාශ කරම් ද, එසේ ම ඒ බුදුරජ තෙමේ ද ආදිකල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ, අර්‍ත්‍ථ සහිත ව්‍යංජන සහිත වූ දහම් දෙසන්නේ ය. හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කරන්නේ ය. යම්සේ මම් මෙ සමයෙහි නොයෙක් සිය ගණන් භික්‍ෂු සඞ්ඝයා පරිහරණය කෙරෙම් ද, එසේ ම ඒ බුදුරජ නොයෙක් සියදහස් ගණන් භික්‍ෂු සඞ්ඝයා පරිහරණය කරන්නේ ය.

මහණෙනි, එ කල්හි ශඞ්ඛ නම් ඒ සක්විති රජ තෙම, පෙරැ මහාපනාද රජහු විසින් කරවන ලද යම් ප්‍රාසාදයෙක් වේ ද, ඒ පහය මත්තට නංවා, කලක් එහි වැස, මහණ බමුණු දුගී මගී පුලනු යදි ආදීනට එය පරිත්‍යාග කොට හැර දමා කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙයින් නික්මැ භගවත් අර්‍හත් මෛත්‍රෙය සම්මාසම්බුදු රජුහු වෙතැ, පැවිදි වන්නේ ය. හෙ තෙම මෙසේ පැවිදි වූයේ ම, හුදෙකලා වූයේ, කයින් සිතින් විවික්ත වූයේ, නොපමා වූයේ, කෙලෙස් තවන වැර ඇතියේ, නිවන් කරා මෙහෙයූ සිතැත්තේ, මඳ කලෙකින් ම යමක් පිණිස කුල දරුවෝ ගිහි ගෙන් නික්ම මනා කොට ම සසුන් වදිත් නම්, ඒ නිරුත්තර වූ සසුන් බඹසරැ අවසන වූ රහත්පලය වත්මනු බෙවෙහි ම තමා ම දැන පසක් කො සපයා වසන්නේ ය.