නාලාගිරි දමනය

දේවදත්ත විසින් තථාගත ජීවිතය විනාශ කිරීමට දුනුවායන් යොදවන කල්හි, සියල්ලට පළමුව යවන ලද්දා අවුත්, ස්වාමීනි; භාග්‍යවතුන්ගේ ජීවිතය විනාශ කිරීමට මට නො හැක්කේය. ඒ භාග්‍යවතුන් වහන්සේ, මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න යයි කී කල්හි, දේවදත්ත, නුඹ ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ නො කරව. මම ම ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ කරන්නෙමි යි කියා තථාගතයන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයේ සවස් කාලයේ සක්මන් කරන කල්හි තෙමේ ගිජ්ඣකූට පර්වතයට නැග යන්ත්‍ර වේගයෙන් මහත් වූ ගලක් යන්ත්‍රයකින් පෙරලීය. මේ ගලෙන් ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ කරන්නෙමියි යන න්‍යායෙනි. එකල ගල්කුළු දෙකක් සපැමිණ එ් පෙරළූ ගල වැළැක්වීය. එයින් ගැලවුණු ගල් පතුරක් විසි වී අවුත් භාග්‍යවතුන්ගේ පාදයක ගැටී ලේ ගලා ආවේය. බලවත් වේදනා හටගත්තේය. ජීවක තෙමේ තථාගතයන්ගේ පාදය සැත්කමකින් පලා නරක් වූ ලේ මුදා හැර නරක් වූ මස් ඉවත්කොට සෝදා බෙහෙත් ගල්වා නීරෝගී කෙළේය. ශාස්තෲන් වහන්සේ පෙර මෙන් ම මහත් භික්‍ෂු සංඝයා පිරිවරා ගෙන මහත් වූ බුද්ධ ලීලාවෙන් නගරයට පිවිසි සේක.

ඉක්බිති උන්වහන්සේ දැක, දේවදත්ත මෙසේ සිතුවේය. ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රූප ශෝභාවෙන් අගතැන්පත් සිරුර දැක කිසියම් මිනිසකු (බුදුන්) වෙත සමීපවීමට නොහැකි වෙයි. රජුගේ නාලාගිරි නම් ඇතා, චණ්ඩය. ඵරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. බුද්ධ ධම්ම සංඝ ගුණයන් නො දනියි. හෙතෙම මුන්වහන්සේට ජීවිතක්‍ෂයට පමුණුවන්නේය. උන්වහන්සේ ගොස් රජුට මේ පුවත දැනුම් දුන්හ. රජු යහපතැයි පිළිගෙන ඇත්ගොව්වා කැඳවා, මිත්‍රය; හෙට නාලාගිරිව මත්කොට උදෑසන ම ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිපන් මාර්ගයට පිටත්කර හරිව් යයි කීවේය. දේවදත්තද ඔහුගෙන් වෙනත් දිනවල ඇතා කොපමණ සුරා බොන්නේදැයි විචාරා ස්වාමීනි, කළ අටක් යයි කී කල්හි හෙට ඔහුට කළ දහසයක් පානය කරවා, ශ්‍රමණභවත් ගෞතමයන් පිළිපන් මාර්ගයට අභිමුඛ කරන්නැයි කීවේය. ඔහු යහපතැයි පිළිගත්තේය. රජු නගරයේ බෙරහඬ නංවා හෙට නාලාගිරි මත්කොට නගරයට පමුණුවන්නේය. නගරවැසියෝ උදෑසනම කළයුතු කටයුතු නිමවා, අතුරු වීථියට නොපැමිණේවායි කීවේය. දේවදත්ත ද රජමාළිගාවෙන් බැස, ඇත්හළට ගොස් ඇත්ගොව්වන් අමතා බොල; අපි උසස් තනතුරු පහත් කරන්නටත් පහත් තනතුරු උසස් කරන්නටත් දක්‍ෂයෝ වෙමු. ඉදින් තොප කීර්තිමත් වූයේ, හෙට උදෑසනම නාළාගිරිට පැසුණු රා කළ දහසයක් පානය කරවා, ශ්‍රමණ භවත් ගෞතමයන් පැමිණෙන වේලාවට හුල් තෝමරයෙන් (හෙණ්ඩුවෙන්) විදිමින්, කෝප කරවා, ඇත්හල බිඳවා ශ්‍රමණ භවත් ගෞතමයන් පිළිපන් වීථියට අභිමුඛ කොට, ශ්‍රමණ භවත් ගෞතමයන් ජීවිතක්‍ෂයට පමුණුවවු යයි කීවේය. ඔවුහු යහපතැයි පිළිගත්හ.

ඒ ප්‍රවෘත්තිය මුළු නගරයේම ප්‍රසිද්ධ විය. බුදුන් දහම් සඟුන් මාමක වූ උපාසකයෝ ඒ පුවත අසා ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, දෙව්දත් රජු සමග එකතු වී හෙට ඔබවහන්සේ පිළිපන් වීථියට නාලාගිරිව පමුණුවන්නේය. හෙට පිඬු පිණිස නොවැඩ මෙහි ම වැඩසිටින්න. අපි විහාරයේදී ම බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට භික්‍ෂාව දෙන්නෙමුයි කීවාහුය. ශාස්තෲන් වහන්සේ හෙට පිඬු පිණිස නොවඩින්නෙමි යි නොකියාම හෙට මම නාලාගිරි දමනය කර ප්‍රාතිහාර්ය පා, තීර්ථකයන් මැඩ රජගහනුවර පිඬු පිණිස නොහැසිර භික්‍ෂු සංඝයා පිරිවරා නගරයෙන් නික්ම වේළුවනයට ම යන්නෙමි. රජගහ නුවර වාසීහු බොහෝ බත් භාජන ගෙනවුත්, වේළුවනයටම පැමිණෙන්නාහ. හෙට විහාරයේම දන් වැළඳීම වන්නේය යන මේ කාරණයෙන් ඔවුන්ගේ ඉවසීම සිදුවිය. ඔවුහු තථාගතයන්ගේ ඉවසීම දැන, බත් භාජන රැගෙන විහාරයේ ම දානය දෙන්නෙමුයි පිටත් වූහ.

ශාස්තෲන් වහන්සේ පළමු යාමයේ දහම් දෙසා මධ්‍යම යාමයේ දේවතාවන්ගේ ප්‍රශ්න විසඳා පශ්චිම යාමයේ පළමු කොටසේ සිංහ සෙය්‍යාවෙන් කල්යවා දෙවෙනි කොටසේ ඵල සමාපත්තියෙන් කල්ගත කොනට තෙවෙනි කොටසේ මහාකරුණා සමාපත්තියට සමවැදී නැගිට අවබෝධ කළයුතු වෙනේය ජනයන් බලන්නේ, නාලාගිරි දමනයේදී අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වන බව දැක අළුයම් වේලාවේ කරන ලද ශරීර පිළිදැගුම් ඇත්තේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් අමතා රජගහ නුවර හාත්පස පිහිටි අටළොස් මහා විහාරවල සියලුම භික්‍ෂූන්ට මා සමග රජගහනුවරට පිවිසීමට ආරාධනා කෙරේවායි වදාළහ. තෙරුන් වහන්සේ එසේ කළහ. සියලු භික්‍ෂූන් වේළුවනයට රැස්වූහ. ශාස්තෲන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයා පිරිවරන ලද්දේ රජගහ නුවර පිඬු පිණිස පිවිසි සේක. ඉක්බිති ඇත්ගොව්වෝ කැමැති පරිදි පිළිපැද්දාහ. මහත් සේනාවක් විය. සැදැහැති මිනිස්සු අද වනාහි බුද්ධ නම් මහ ඇතෙක් තිරිසන්ගත ඇතකු සමග යුද්ධයක් වන්නේය. උපමා රහිත බුද්ධ ලීලාවෙන් නාලාගිරිගේ දමනය බලන්නෙමුයි, ප්‍රාසාද සෑදවීය. ගෙවල් පියසි ආදියට නැග සිටියහ. ශ්‍රද්ධා රහිත මිථ්‍යා දෘෂ්ටිකයෝ මේ නාලාගිරි චණ්ඩය. ඵරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. බුදුවරුන්ගේ ගුණ නො දනියි. හෙතෙම අද ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ රන්වන් ශරීරය විදා නැතිකොට ජීවිතක්‍ෂයට පමුණුවන්නේය. අදම පසමිතුරු පිටුදකින්නෙමුයි, ගස්, ගෙවල් ආදි තැන්වල සිටියහ.

ඇත්රජ ද, වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දැක, මිනිසුන් තැති ගන්වමින්, ගෙවල් සුණුවිසුණු කරමින් කරත්ත කුඩු කරමින් සොඬවැල ඔසවා ඉතා සතුටුව කන් තල හා වාලධිය ඔසවා, පර්වතයක් මෙන් මාර්ගයට පිළිපන්නේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනක ද, එතැනට දිව්වේය. භික්‍ෂූහු ඇතා දැක බුදුරදුන්ට මෙසේ කීහ. ස්වාමීනි, මේ නාලාගිරි සැඩපරුෂය. මනුෂ්‍ය ඝාතකයෙකි. මේ වීථියට පිළිපන්නේ, මෙතෙම බුදුවරුන්ගේ ගුණ නොදනියි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඉවත්වේවා! සුගතයන් වහන්සේ “මහණෙනි, බිය නොවෙව්. තැති නොගනිව්. නාලාගිරි දමනය වේවා” යනුවෙනි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර මහතෙරණුවෝ තථාගතයන්ගෙන් මෙසේ අයැද සිටියහ. ස්වාමීනි, පියාට උපන් කටයුත්ත නම් වැඩිමහල් පුතුගේ ම බරයි. මම ම ඌ දමනය කරමි. ඉක්බිති ශාස්තෲන් වහන්සේ, සාරිපුත්‍රය බුද්ධ බලය නම් අනෙකකි. ශ්‍රාවක බලය තව එකකි. නුඹ නිශ්ශබ්දව සිටින්න. බොහෝ සෙයින් අසූමහා ශ්‍රාවකයෝ ආයාචනා කළ ද ශාස්තෲන් වහන්සේ සියල්ල ප්‍රතික්‍ෂේප කළහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් බුදුරදුන් කෙරෙහි උපන් බලවත් සෙනෙහසින් ඉවසා සිටීමට නොහැකි වන්නේ, මේ ඇතා පළමුව මා මරාවායි තථාගතයන්ගේ අර්ථ සිද්ධිය පිණිස ජීවිතය අත්හැර ශාස්තෲන් පෙරටුව සිටියේය. ඉක්බිති බුදුරදුන් ආනන්දය, ඉවත්වන්න. මා ඉදිරියේ නොසිටින්නැයි වදාළ සේක. ස්වාමීනි, මේ ඇතා චණ්ඩය. පරුෂය. මිනිස් ඝාතකයෙකි. කල්පාන්තයේ නගින ගින්නක් සමානය. කපුරු පහනින් දිළිසෙන ගින්න (කණාමැදිරි) මෙන් පළමුව මා මරා පසුව ඔබවහන්සේ සමීපයට පැමිණේවායි තෙරුන් වහන්සේ වදාළ සේක. තෙවෙනි වරද කියනු ලබන්නේ එසේම සිටියේය. ඉවත්ව නො ගියේය.

එකෙණෙහි එක් ස්ත්‍රියක් නාලාගිරි දැක මරණ බියෙන් පලායන්නී ඇකයෙන් වැටුණු දරුවා බුදුරදුන් ද, ඇතා ද අතර බිම දමා පලා ගියාය. ඇතා ඇය ලුහුබැඳ දරුවා සමීපයට ආවේය. දරුවා මහහඬින් ශබ්ද කෙළේය. ශාස්තෲන් වහන්සේ නාලාගිරි වෙතම නියමකොට මෛත්‍රිය පතුරුවා සුමිහිරි බ්‍රහ්මනාදය පතුරුවා පින්වත් නාලාගිරිය, ඔබට සොළොස් කළයක් පිරුණු සුරා පොවා මත්කරවූයේ අනෙකකු ගැන්වීමට නොවේ. නිකරුණේ කෙණ්ඩා වෙහෙසට පත්කරමින් නොහැසිර මෙහි එන්නැයි කැඳවූහ. ඌ ශාස්තෲන් වහන්සේගේ වචන අසා, ඇස් කුඩා කොට භාග්‍යවතුන්ගේ රූප ස්වභාවය බලා ලබන ලද සංවේග ඇත්තේ බුදුරදුන්ගේ සමීපයේ පැසවන ලද සුරා මදය ඇත්තේ සොඬවැල එල්ලාගෙන කන් සොලවමින් ගොස් තථාගතයන් වහන්සේගේ පා අතර වැටුණේය. ඉක්බිති ඔහුට ශාස්තෲන් වහන්සේ “නාලාගිරි, නුඹ තිරිසන්ගත හස්තියෙකි. මම බුද්ධ නමැති ඇතාය. මෙතැන් පටන් චණ්ඩ නොවෙව. ඵරුෂ නොවෙව. මනුෂ්‍ය ඝාතකයෙකු නොවෙව. මෛත්‍රී සිත් ලබාවායි” කියා දකුණු අත දිගහැර කුම්භස්ථලය පිරිමැද;

 

මා කුඤ‍්ජර නාගමාසදො, දුක‍්ඛං හි කුඤ‍්ජර නාගමාසදො,

න හි නාගහතස‍්ස කුඤ‍්ජර සුගති හොති ඉතො පරං යතො.

 

‘හස්තිය, යම් හෙයෙකින් බුද්ධනාගයා පෙළන්නහුට
මෙයින් මතු සුගතියෙක් නො වන්නේ ද

එහෙයින් හිංසක සිතින් බුද්ධ නාගයාට ළං නොවෙව.
බුද්ධනාගයාට හිංසක සිතින් ළං වීම ඒකාන්තයෙන් දුකට කරුණු වේ.

 

“මා ච මදො මා ච පමාදො න හි පමත‍්තා සුගතිං වජන‍්ති

තෙන ත්‍වඤ‍්ඤෙව තථා කරිස‍්සසි යෙන ත්‍වං සුගතිං ගමිස‍්සසී”ති.

 

මත් නොවෙව, පමා නොවෙව, පමා වූවෝ සුගතියට නො යෙත්.

එබැවින් යමෙකින් තෝ සුගතියට යන්නෙහි ද තෝ ම එසේ කරව.” යි.

දහම් දෙසු සේක.

ඇතාගේ මුළු සිරුරම සතුටින් පිනා ගියේ නිරතුරුව පැතිරුණේ විය. ඉදින් තිරිසනකු නොවූයේ නම් සෝවාන් ඵලයෙහි පිහිටන්නේය. මිනිස්සු ඒ ප්‍රාතිහාර්යය දැක මහහඬින් නාද කළහ. අත්පොළසන් ගැසූහ. හටගත් සොම්නසින් නොයෙක් ආභරණවලින් දමා ගැසූහ. ඒවා ඇතාගේ ශරීරයේ වැදී ගියේය. එතැන් පටන් නාලාගිරි, ධනපාලක නම් විය. එසමයෙහි ධනපාලක සමාගමේ අසූහාරදහසක් ප්‍රාණීහු අමා පානය කළහ. ශාස්තෲන් වහන්සේ ධනපාලක පංචසීලයෙහි පිහිටවූ සේක. හෙතෙම සොඬවැලෙන් භාග්‍යවතුන්ගේ පා, පස්ගෙන මත්තෙහි මුදුන්කොට විසුරුවා එතැනින් ඉවත්ව, දක්වන ලද උපචාර ඇත්තේ දසබලයන් වහන්සේ වැඳ ඇත්හලට පිවිසියේ එතැන් පටන් ශාන්තදාන්තව සිට කිසිවෙකුට හිරිහැරයක් නොකළේය. ශාස්තෲන් වහන්සේ පිරිපුන් මනෝරථ ඇත්තේ, යමකු විසින් යම් ධනයක් විසිකරන ලදද, ඒවා ඔවුන්ටම වේවා!යි අධිෂ්ඨාන කොට අද, මා විසින් මහත් ප්‍රාතිහාර්ය කරන ලදි. මේ නගරයෙහි පිඬු පිණිස හැසිරීම නුසුදුසුයයි තීර්ථකයන් මර්දනය කොට භික්‍ෂූන් පිරිවරා ජයගත් ක්‍ෂත්‍රියෙකු මෙන් නගරයෙන් නික්ම වේළුවනයට ම වැඩම කළ සේක. නගරවාසීහු බොහෝ ආහාරපාන ආදිය ගෙන විහාරයට ගොස් මහාදානයක් පැවැත්වූහ

ආර්‍ය්‍යයන්ට හා බඹසර ඇත්තවුන්ට ආක්‍රෝෂ පරිභව කරන්නාට.

බුද්ධ, ප්‍රත්‍යෙකබුද්ධ බුද්ධශ්‍රාවක වූ ආර්‍ය්‍යයන්ට. යටත්පිරිසෙයින් ගිහි ස්‍රොතාපන්නයන්හටද අනර්‍ත්‍ථ කැමතිව අන්තිම වස්තුවෙන් හෝ විද්‍යමාන ගුණ නැසීමෙන් දොස් නගන්නෝය. ආක්‍රෝශ කරන්නෝය. ගරහන්නෝ යයි වදාරණ ලද්දේ වේ. එහි ‘මොවුන්හට මහණදමක් නැත, මොවුහු අශ්‍රමණයෝ’යි කියනුයේ අන්තිම වස්තුවෙන් දොස් නැගීමම කරයි. ‘මොවුන්හට ධ්‍යානයක්, විමොක්‍ෂයක්, මාර්‍ගයක්, ඵලයක් හෝ නැතැ’යි කියනුයේ ගුණ නැසීමෙන් දොස් නැගීම කෙරේයයි දතයුතුය. ඒ දොස් නැගීම කරනුයේද දන්නේ හෝ නොදන්නේ දොස් නැගීම කරන්නේය. දෙපරිද්දෙන්ම දොස් නැගීම ආර්‍ය්‍යාපවාදයම වේ. මේ කය ඉතා බැරෑරුම්ය. ස්වර්‍ගාවරණද මාර්‍ගාවරණද වේ. එය ප්‍රකට කරණු පිණිස මේ කථාවස්තුව ගෙනහැර දක්වත්:

එක්තරා ගමක එක් ස්ථවිර නමක්ද තරුණ භික්‍ෂු නමක්ද පිඩුසිඟා හැසිරෙති. ඔවුහු පළමු ගෙයිදීම කෙණෙස්සක් පමණ උණු කැඳක් ලැබූහ. තෙරුන්ගේ උදරයෙහි වාතයක් ඇත්තේය. එහෙයින් ස්ථවිරතෙමේ ‘මේ කැඳ මට හිතවේ. සිහිල් වන්නට පෙරාතුව එය වළඳිමි’යි සිතුයේය. සිතා මිනිසුන් විසින් එලිපතක් සඳහා ගෙනැවිත් තුබූ දැවකඩක හිඳ එය වැළඳුයේය. තරුණ භික්‍ෂුතෙමේ ‘මේ මහල්ලා තද බඩගිනි ඇත්තේ ඒකාන්තයෙන් අපට ලජ්ජා විය යුත්තක් කෙළේය’යි එය පිළිකුල් කෙළේය. ස්ථවිරතෙමේ ගමෙහි පිඩුසිඟා හැසිර වෙහෙරට ගොස් ‘ඇවැත! ඔබට මේ ශාසනයෙහි පිහිටක් ඇත්තේදැ’යි ඒ තරුණ භික්‍ෂු නමගෙන් ඇසීය. ‘ස්වාමීනි! එසේය, ඇත්තේය, මම සෝවාන්මි’යි කීය. ‘ඇවැත! එසේනම් මතු මාර්‍ග පිණිස උත්සාහ නොකරව, යුෂ්මත්හු විසින් දොස් නගන ලද්දේ ක්‍ෂීණාස්‍රවයෙකැ’යි කීවිට ඒ භික්‍ෂුනම මහතෙරහු කමාකරවීය. එහෙයින් ඔහුගේ එය පියවිබවට ගියේය. එහෙයින් අනෙකෙක්ද ආර්‍ය්‍යන් හට දොස් නගානම්, ඔහු විසින් ඔහු වෙත ගොස් ඔහු තමාට වඩා වෘද්ධතර වේ නම්, ‘මම ආයුෂ්මත්හට මේ මේ වචන කීමි, මට එයට කමාවනු මැනවැ’යි කමාකරවිය යුතුය. ඉදින් නවකතරයෙක් වේනම්, වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘වහන්ස! මම ඔබවහන්සේට මේ මේ වචන කීමි, එයට මට කමාවනු මැනවැ’යි කමා කරවිය යුතුය. ඉදින් ඔහු කමානොකෙරේ නම්, දිග් බලා ගියේ හෝ වේනම්, එකල ඒ විහාරයෙහි යම් භික්‍ෂූහු වසත්නම්, ඔවුන් වෙතට ගොස් ඉදින් තමාට වඩා වෘද්ධතර වේනම්, සිටියහු විසින්ම කමාකරවිය යුතුය. ඉදින් නවකතර වේනම්, උක්කුටිකයෙන් හිඳ ඇඳිලිබැඳ ‘වහන්ස! මම අසුවල් ආයුෂ්මත් හට මේ මේ වචන කීමි, ඒ ආයුෂ්මත්තෙමේ මට කමාවා’යි මෙසේ කියන්නහු විසින් කමා කරවිය යුතුය. ඉදින් හෙතෙමේ පිරිනිවියේ වේනම්, පිරිනිවි ඇඳ තුබූතැනට ගොස්, සොහොනට හෝ ගොස් කමා කරවිය යුතුය. මෙසේකළ කල්හි සර්‍ගාවරණද මාර්‍ගාවරණද නොවේ. පියවි සැහැවි ඇත්තේම වේ.

මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම අරියූපවාද ඇත්තේ, සමාන බඹසර ඇත්තවුන්ට ආක්‍රොෂ පරිශව කරන්නේ වේද, හෙතෙම මේ එකොළොස් වැදෑරුම් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකට පැමිණෙන්නේය.
 
කවර නම් එකොළසකටද යත්?
  1. නොලබන ලද්ද නොලබයි.
  2. ලබන ලද්දෙන් පිරිහෙයි.
  3. සද්ධර්මය පැහැදිළි නොවෙයි.
  4. සද්ධර්මයන්හි හෝ අධික මාන ඇත්තේ වෙයි.
  5. අකමැතිව බඹසර හැසිරෙයි.
  6. එක්තරා කිලිටු ඇවතකට හෝ පැමිණෙයි.
  7. ශික්‍ෂාව හැර දමා ගිහිබවට පැමිණෙයි.
  8. දැඩිවූ රෝගාබාධයක් හෝ ස්පර්‍ශ කරයි.
  9. චිත්ත වික්‍ෂෙප ඇත්තාවූ උමතුබවට හෝ පැමිණෙයි.
  10. අතිශයින් මුළාවූයේ කළුරිය කරයි.
  11. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකම පිහිටියා වූ නරකයෙහි උපදියි.

 
කොකාලික සූත්‍රය.
 
ඉක්බිති කොකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කොකාලික මහණතෙම, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.
“කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය” යි වදාළ සේක
දෙවනුවත්, කොකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, කිමෙක්ද, භාග්‍යවතුන් වහන්සේ මා අදහන්නේය. විශ්වාස කරන්නේය. ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.
“කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය” යි වදාළ සේක
“තුන්වෙනුවත් මෙසේ කීය.
 
ඉක්බිති කොකාලික මහණතෙම ආසනයෙන් නැගිට බුදුන් වැඳ, පැදකුණුකොට ගියේය. ගිය නොබෝ වේලාවකින් කොකාලික මහණහුගේ අබ ඇට පමණ පිළිකාවලින් මුළු සිරුර වැසුණේ වේ. අබ ඇට පමණ වී, මුං ඇට පමණවිය. මුං ඇට පමණ වී, කොල්ලු ඇට පමණ විය. කොල්ලු ඇට පමණ වී, ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණ වී, ඩෙබර ගෙඩි පමණ විය. ඩෙබර ගෙඩි පමණ වී, නෙල්ලි ගෙඩි පමණ විය. නෙල්ලි ගෙඩි පමණ වී, බෙලි ගැට පමණ විය. බෙලි ගැට පමණ වී, බෙලි පමණ විය. බෙලි පමණ වී, බිඳුණේය. සැරවද, ලෙයද වැගුරුණේය. විෂ ගිලින ලද මසෙකු මෙන් මේ තෙමේ කෙසෙල් කොළවල සයනය කරයි.
 
ඉක්බිති තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මතෙමේ කොකාලික මහණ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, අහසෙහි සිට, කොකාලික මහණහට, “කොකාලිකය, සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත පහදින්න. සැරියුත්, මුගලන් දෙනම සිල්වත්ය” යි කීයේය. – “ඇවැත්නි, ඔබ කවරෙක්ද?” “මම තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මයෙක්මි.” “ඇවැත්නි, ඔබ අනාගාමීයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දේ නොවේද?”
“මෙහි පැමිණ කොහි හැසිරෙහිද?”
 
“තොපගේ මේ අපරාධය පළමුකොට බලව.” ඉක්බිති කොකාලික මහණහට තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මතෙම මේ ගාථාවන් කීයේය.
 
නපුරු වචන කියන්නාවු බාලතෙම තමන් යමකින් සිඳීද, උපන් මනුෂ්‍යයාගේ කටේ එබඳු කෙටේරියක් ඇත.
යමෙක් නින්දා කළ යුත්තෙකුට ප්‍රශංසා කෙරේද? යමෙක් ප්‍රශංසාර්හද, ඔහුට හෝ නින්දා කරයිද, හෙතෙම මුවින් පාපයක් රැස්කරයි. ඒ පාපයෙන් සැපක් නොවිඳී.
“දූ කෙළියෙන් යම් ධන පිරිහීමක් ඇද්ද, මේ වරද ස්වල්පමාත්‍රය. යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, තමා සමග සියල්ලන්ට මෙය මහත් පාපයකි. ලාමක සිතද, වචනයද පිහිටුවා ආර්‍ය්‍යයන්ට ගරහා අබ්බුද ලක්‍ෂ ගණන්ද, නිරබ්බුද තිසක්ද පසක්ද නරකයට යයි.
 
ඉක්බිති කොකාලික මහණතෙම ඒ අසනීපයෙන්ම කළුරිය කෙළේය. කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි ඉපදුනේය.
ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම රාත්‍රිය පැමිණි කල්හි, මනහර ප්‍රභා ඇතිව, මුළු ජේතවනාරාමය ආලෝකකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සහම්පතී බ්‍රහ්මතෙම, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කොකාලික මහණතෙම කළුරිය කෙළේය. ස්වාමීනි, කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නිරයෙහි උපන්නේය” යි කීයේය. සහම්පතී බ්‍රහ්මතෙම මෙය කීයේය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණුකොට, එහිම අතුරුදහන් වූයේය.
 
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, සහම්පති බ්‍රහ්මතෙම රාත්‍රිය පැමිණි කල්හි, මනහර වර්‍ණයෙන් යුක්තව, මුළු ජේතවනය ආලෝකකර මම යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. මහණෙනි, එකත්පසෙක සිටි සහම්පතී බ්‍රහ්මතෙම, “ස්වාමීනි, කොකාලික මහණතෙම කළුරිය කෙළේය. ස්වාමීනි, කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි උපන්නේය” යි කීයේය. මහණෙනි, සහම්පතී බ්‍රහ්මතෙම මෙය කීයේය. මෙය කියා මා වැඳ, පැදකුණුකොට, ගියේය” යි වදාළ සේක.
 
“මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක්තෙම භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, පදුම නරකයෙහි ආයුෂ ප්‍රමාණය කොපමණ දිගදැ” යි ඇසිය. “මහණ, පදුම නරකයෙහි ආයුෂ ප්‍රමාණය, මෙතෙක් වර්‍ෂයයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ සියයකැයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ, ගණන් කරන්නට පහසු නොවේ.” – “ස්වාමීනි, උපමාවක් කරන්නට හැක්කේදැ” යි ඇසීය. “මහණ, හැකිය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
 
“මහණ, විසි කිරියක් ඇති, (කිරිය කුරුණි 16) කොසොල් රට තල ගැලක් පුරුෂයෙක් තෙම ඉන් වර්‍ෂ සියයකට, වර්‍ෂ සියයකට වරක් එක තල ඇටක් ගන්නේය. මහණ, ඒ විසිකිරියක් ඇති, ඒ කොසොල්රට තල ගැල මේ උපක්‍රමයෙන් ගෙවීමට, ඉතිරි නොවීමට යන්නේ යම් සේද, එක් අබ්බුද නරකයක් (ආයුෂ) ගෙවීමට නොයයි. මහණ, යම් සේ අබ්බුද නරක විස්සක් එක් නිරබ්බුද නරකයක් වේද, මහණ යම් සේ නිරබ්බුද නරක විස්සක් එක් අබබ නරකයක් වේද, මහණ යම් සේ අබබ නරක විස්සක් එක් අහහ නිරයක් වේද, මහණ යම් සේ අහහ නිරය විස්සක් එක් අටට නිරයක් වේද, මහණ යම් සේ අටට නරක විස්සක් එක් කුමුද නරකයක් වේද, මහණ යම් සේ කුමුද නරක විස්සක් එක් සොගන්‍ධික නරකයක් වේද, මහණ යම් සේ සොගන්‍ධික නරක විස්සක් එක් උත්පලක නරකයක් වේද, මහණ යම් සේ උත්පලක නරක විස්සක් මෙසේ එක් පුණ්ඩරීක නරකයක් වේද, මහණෙනි, විසි පුණ්ඩරීක නරකයක් එක් පදුම නිරයකි. මහණ, කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි උපන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
 

දස පාරමිතා

සම්බෝධියට පමුණුවන කුශලයෝ පාරමිතා නම් වෙති. ලෞකික සම්පත් පතා කරන කුශලයෙන් ලෞකික සම්පත් ම ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ. එ බැවින් ඒ කුශලයෝ පාරමී සංඛ්‍යාවට නො ගැනෙති. සම්බෝධිය හෝ නිවන හෝ පතා කරන කුශලයෝ පාරමී සංඛ්‍යාවට යෙති.

දානං සීලඤ්ච නෙක්ඛම්මං – පඤ්ඤා විරියෙන පඤ්චමං

ඛන්ති සච්චමධිට්ඨානං – මෙත්තුපෙක්ඛාතිමා දස


යනුවෙන් දැක්වෙන පරිදි දාන පාරමිතාවය, ශීල පාරමිතාවය, නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාවය, ප්‍ර‍ඥා පාරමිතාවය, වීර්‍ය්‍ය පාරමිතාවය, ක්ෂාන්ති පාරමිතාවය, සත්‍ය පාරමිතාවය, අධිෂ්ඨාන පාරමිතාවය, මෛත්‍රී පාරමිතාවය, උපේක්ෂා පාරමිතාවය යි පාරමිතා දසයෙකි.

1. දාන පාරමිතාව

සම්බෝධිය පතා තමා අයත් වස්තුව දන්දීම දාන පාරමිතාව ය. දන් දීම ගැන විස්තර ඉහත දානය විස්තර කිරීමේදී දක්වා ඇත. ලොවුතුරා බුදු බව සඳහා දාන පාරමිතාව පුරන්නවුන් බාහිර වස්තුව දන්දීම ම ප්‍ර‍මාණ නො වේ. එය ලබනු කැමතියන් විසින් අඹුදරුවන් ද, ලේ මස් ආදී ශරීරාවයවයන් ද, ජීවිතය ද පරිත්‍යාග කළ යුතු ය. අප මහා බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව වර්ණනා කරන ගාථාවක් මෙසේ ය.

“සෝ සාගරෙ ජලධිකං රුධිරං අදාසි

භූමිං පරාජිය මංසමදාසි දානං

මේරුප්පමාණ මධිකඤ්ච සමොලි සීසං

ඛෙ තාරකාදිකතරං නයනං අදාසි.”


“උන් වහන්සේ සාගරයේ ජලයට ද වඩා ලේ දන් දුන් සේක. මහ පොළොව පරදවා මස් දන් දුන් සේක. ගොඩ ගැසුව හොත් මහ මෙරට ද අධික ව ඔටුනු සහිත හිස් දන් දුන් සේක. අහසේ තරුවලට වඩා ඇස් දන් දුන් සේක” යනු එහි තේරුම ය.

2. ශීල පාරමිතාව

සම්බෝධිය පතා පුරන චාරිත්‍ර‍ වාරිත්‍ර‍ ශීලයෝ ශීල පාරමිතාව ය. ශීලයන් පිළිබඳ විස්තරය ද ඉහත දක්වා ඇත.

3. නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව

සම්බෝධිය පතා වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් බැහැර වීම නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව ය. කාමයන්ගේ ආදීනවය බලා ගිහිගෙය හැර පැවිදි වීම වස්තු කාමයෙන් බැහැර වීම ය. පැවිදි ව මහණ දම් පුරා ලෝභය දුරු කිරීම ක්ලේශ කාමයෙන් බැහැර වීම ය.

4. ප්‍ර‍ඥා පාරමිතාව‍

නාම රූපයන්ගේ හෙවත් ස්කන්ධාදි ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ හා විශේෂ ලක්ෂණ දක්නා ඥානය ප්‍ර‍ඥා පාරමිතාව ය. අනිත්‍ය ලක්ෂණය දුඃඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය යන තුන නාම රූප සියල්ලේ ම ලක්ෂණ බැවින් ඒවා සාමාන්‍ය ලක්ෂණයෝ ය. එක් එක් ධර්මයකට පමණක් අයත් ලක්ෂණයෝ විශේෂ ලක්ෂණයෝ ය. අභිධර්මය උගෙනීමෙන් නාම රූප ධර්මයන්ගේ ලක්ෂණ දන්නා ඥානය ඇති කර ගත හැකි ය. සත්පුරුෂ සේවන, සද්ධර්ම ශ්‍ර‍වණාදිය ද ප්‍ර‍ඥාව ලැබීමේ හේතු ය. ප්‍ර‍ඥාව ඇති කර ගත යුතු අයුරු මෙසේ දක්වා තිබේ.

“සෙවෙථ වුද්ධෙ නිපුණෙ බහුස්සුතේ

උග්ගාහකො ච පරිපුච්ඡකො සියා

සුණෙය්‍ය සක්කච්ච සුභාසිතානි

එවං කරො පඤ්ඤවා හොති මච්චො.”


“මහලු උගත් සියුම් නුවණැතියන් සේවනය කරව්. ධර්මය උගන්නා වූ ද නො දත් අර්ථය දන්නවුන්ගෙන් නැවත නැවත විචාරන්නා වූ ද කෙනෙක් වන්නේ ය. සුභාෂිතයෙන් මනා කොට අසන්නේ ය. මෙසේ කරන මිනිස් තෙම නුවණැතියෙක් වන්නේ ය” යනු එහි තේරුම ය.

5. වීර්‍ය්‍ය පාරමිතාව

සම්බෝධිය පිණිස ආත්මාර්ථ පරාර්ථ සාධනයේ නො පසු බස්නා ස්වභාවය වීර්‍ය්‍ය පාරමිතාව ය. කරගෙන යන්නා වූ ආත්මාර්ථ පරාර්ථ සාධක ක්‍රියා නැවැත්වීමට හේතු පැමිණීමෙන් නො නවත්වා ඉදිරියට කරගෙන යෑමෙන් වීර්‍ය්‍ය පාරමිතාව පිරෙන්නේ ය.

6. ක්ෂාන්ති පාරමිතාව

අව් වැසි සුළං ආදියෙන් වන පීඩා ද, ආහාරපානාදි වුවමනා දේ නො ලැබීමෙන් වන පීඩා ද, මැසි මදුරු ආදි සතුන්ගෙන් වන පීඩා ද, සතුරන්ගෙන් වන පීඩා ද, ඉවසන ස්වභාවය ක්ෂාන්ති පාරමිතාව ය. පීඩා පැමිණි කල්හි ඒවා ඉවසීමට නො සමත් තැනැත්තේ පළිගැනීම පිණිස හෝ ආත්මාරක්ෂාව පිණිස හෝ අනුන්ට පීඩා කරයි. පීඩා නිසා කරගෙන යන්නා වූ ද, මතු කරන්නට බලාපොරොත්තු වන්නා වූ ද ආත්මාර්ථ පරාර්ථ සාධක පුණ්‍ය ක්‍රියා හැර දමයි. එය පීඩනය නිසා වෙනසකට පැමිණීම ය. එබඳු වෙනසකට නො පැමිණීම ඉවසීම ය. එසේ ඉවසීමෙන් ක්ෂාන්ති පාරමිතාව පිරෙන්නේ ය.

“යො හවෙ බලවා සන්තො – දුබ්බලස්ස තිතික්ඛති

තමාහු පරමං ඛන්තිං – නිච්චං ඛමති දුබ්බලො.”


යමෙක් තමා බලවත් ව සිට දුබලයාගේ වරද ඉවසත් නම් එය උතුම් ඉවසීම ය. දුබලයා නිතර ම ඉවසන්නේ ය යනු එහි අදහසයි.

7. සත්‍ය පාරමිතාව

බොරු පොරොන්දු වීම්, නැති ගුණ පැවසීම්, වරද සැඟවීම් ආදිය සඳහා බොරු කීමෙන් වැළකීම සත්‍ය පාරමිතාව ය. සත්‍යය ශීලයට ම ඇතුළත් වතුදු බෝසතුනගේ විශේෂ ගුණයක් වන බැවින් එය වෙන් වූ පාරමිතාවක් සැටියට ගනු ලැබේ. මහාබෝධි සත්ත්වයෝ සත්‍යය සැම කල්හි ම රක්ෂා කරති.

8. අධිෂ්ඨාන පාරමිතාව

කළ යුතු දෙයක් කරමි කියා ද, නො කළ යුතු දෙයක් නො කරමි කියා ද, මතු වෙනස් නො කරන ලෙස සිතා ගැනීම අධිෂ්ඨාන පාරමිතාව ය. අධිෂ්ඨාන පාරමිතාව පුරන තැනැත්තා කරන්නට සිතා ගත් දෙය හැර දමා අනිකක් පටන් නො ගත යුතු ය. නො කරමියි කියා හළ දෙය ද නැවත කිනම් කරුණක් නිසාවත් නො කළ යුතු ය.

9. මෛත්‍රී පාරමිතාව

අන්‍යයන්ගේ යහපතට සැපයට කැමති බව වූ මෛත්‍රිය, මෛත්‍රී පාරමිතාව ය. මෙත් වැඩීමෙන් හා අන්‍යයන්ට හිත වූ ක්‍රියා කිරීමෙන් ද මෛත්‍රී පාරමිතාව පිරේ. මෛත්‍රී පාරමිතාව කළ යුතු සැටි ඉහත දක්වා ඇත.

10. උපේක්ෂා පාරමිතාව

නො මනා වස්තූන්ට හා පුද්ගලයන්ට විරුද්ධ නො වීම් වශයෙන් ද ඇලුම් කළ යුතු වස්තූන්ට හා පුද්ගලයන්ට ඇලුම් නො කිරීම් වශයෙන් ද පවත්වන මධ්‍යස්ථතාව උපේක්‍ෂා පාරමිතාව ය.


 

සමතිස් පාරමිතාව.

 

කියන ලද පාරමිතා දශය අතුරෙන් එක එකක් පාරමිතාය, උප පාරමිතාය, පරමත්ථ පාරමිතාය යි තුන් තුන් ආකාර වේ. පුත්‍ර‍දාරාවන් හා බාහිර වස්තූන් පරිත්‍යාග කිරීම දාන පාරමිතා නමි. තමාගේ ලේ මස් ඇස් ඉස් ආදි ශරීරාවයවයන් පරිත්‍යාග කිරීම දාන උප පාරමිතා නමි. ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමත්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය කෙරෙහි ආලය හැර ගිහි ගෙයින් නික්මීම පැවිදිවීම නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතා නමි. ශරීරාවයවයන් කෙරෙහි ආලය හැර ගිහි ගෙයින් නික්මීම නෛෂ්ක්‍ර‍ම්‍යෝපපාරමිතා නමි. ජීවිතාශාව හැර ගිහි ගෙයින් නික්මීම නෛෂ්ක්‍ර‍ම්‍ය පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය කෙරෙහි ආලය හැර අනුන්ගේ යහපත ගැන නුවණ මෙහෙයා ක්‍රියා කිරීම ප්‍ර‍ඥා පාරමිතා නමි. ශරීරාවයවයන් කෙරෙහි ආලය හැර අන්‍යයන්ගේ යහපත පිණිස නුවණ මෙහෙයා ක්‍රියා කිරීම ප්‍රඥෝපපාරමිතා නමි. තමාගේ ජීවිතය ගැන අපේක්ෂා නොකොට අන්‍යයන්ගේ යහපත ගැන නුවණ මෙහෙයා ක්‍රියා කිරීම ප්‍ර‍ඥා පරමාර්ථ පාරමිතා නමි.

“පුත්‍ර‍දාර ධනාදිය පරිත්‍යාග කිරීමෙහි හා ඒවා කෙරෙහි ආලය හැර ශීල පූරණාදියෙහි ද වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය පාරමිතාවය. ස්වකීය ශරීරාවයව පරිත්‍යාග කිරීමෙහි හා ඒවා කෙරෙහි ආලය හැර ශීල පූරණාදියෙහි ද වීර්‍ය්‍යය, වීය්‍යෝපපාරමිතා නමි. ජීවිත පරිත්‍යාගයෙන් හා ජීවිතාශාව හැර ශීලාදිය පිරීමෙහි ද වීර්‍ය්‍යය, වීර්‍ය්‍ය පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදියට කරන හානි ඉවසීම ක්ෂාන්ති පාරමිතා නමි. තමාගේ ශරීරාවයවයන්ට හානි කරනු ඉවසීම ක්ෂාන්ත්‍යෝපපාරමිතා නමි. ජීවිතයට හානි කරනු ඉවසීම ක්ෂාන්ති පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය නිසා බොරු නො කියා සත්‍යය කීම සත්‍ය පාරමිතා නමි. ශරීරාවයවයන් ආරක්ෂා කර ගැනීම පිණිස ද බොරු නො කියා සත්‍යය ම කීම සත්‍යෝපපාරමිතා නමි. ජීවිතාරක්ෂාව නිසා ද බොරු නො කියා සත්‍යය ම කීම සත්‍ය පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය නිසා ද නො හරනා අධිෂ්ඨානය, අධිෂ්ඨාන පාරමිතා නමි. තමාගේ ශරීරාවයවයන් ආරක්ෂා කර ගැනීම සඳහා ද නො හරනා අධිෂ්ඨානය, අධිෂ්ඨානෝපපාරමිතා නමි. ජීවිතය රැකීම පිණිස ද නො හරනා අධිෂ්ඨානය, අධිෂ්ඨාන පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදියට අහිතයන් කෙරෙහි ද මෛත්‍රිය පැවැත්වීම මෛත්‍රී පාරමිතා නමි. ශරීරාවයවයන්ට අහිතයන් කෙරෙහි ද මෛත්‍රිය පැවැත්වීම මෛත්‍රී උප පාරමිතා නමි. තමාගේ ජීවිතයට අහිතයන් කෙරෙහි මෛත්‍රිය පැවැත්වීම මෛත්‍රී පරමාර්ථ පාරමිතා නමි.

පුත්‍ර‍දාර ධනාදිය කෙරෙහි හා ඒවාට හිතාහිතයන් කෙරෙහි මධ්‍යස්ථතාව උපේක්ෂා පාරමිතා නමි. තමාගේ ශරීරාවයවයන් කෙරෙහි හා ඒවාට හිතාහිතයන් කෙරෙහි මධ්‍යස්ථතාව උපේක්ෂෝපපාරමිතා නමි. ජීවිතය කෙරෙහි හා එයට හිතාහිතයන් කෙරෙහි මධ්‍යස්ථතාව උපේක්ෂා පරමාර්ථ පාරමිතා නමි.

ලොවුතුරා බුදු බවට පැමිණෙනු පිණිස පාරමිතා සමතිස ම පිරිය යුතුය. පසේ බුදු බව පතනුවන් විසින් පාරමිතා දශය හා උපපාරමිතා දශය ද පිරිය යුතුය. ශ්‍රාවක බෝධිය පතනුවන්ට පාරමිතා දශය පිරීම ම ප්‍ර‍මාණ වේ. (පාරමිතා ප්‍ර‍කරණය කියවීමෙන් වැඩි විස්තර දත හැකිය.)

කල්ප විභංගය

තුරිත චාරිකා – අතුරිත චාරිකා

භාග්‍යවතුන් වහන්සේගේ චාරිකාව දෙවැදෑරුම් වෙයි.

තුරිත චාරිකා, අතුරිත චාරිකා

එහි අවබෝධ කළයුතු පුද්ගලයකු දැක ඔහුට අවබෝධ කරනු පිණිස වහා ගමන තුරිත චාරිකා නම් වේ.

එය මහා කාශ්‍යප තෙරුන්ගේ පෙරගමන් ආදියෙහිදී දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ මහකසුප් තෙරුන් පෙරගමන් කරද්දී මොහොතින් ගවු තුනක මගක් වැඩි සේක. ආලවක සඳහා තිස්යොදුනක් වැඩි සේක. අංගුලිමාල සඳහාද එසේය. පුක්කුසාති සඳහා යොදුන් හතළිස්පහක්ද, මහා කප්පින සඳහා යොදුන් දෙදහසක්ද, ධනය සඳහා යොදුන් සත්සියයක්ද වැඩි සේක. ධර්ම සේනාපතිගේ සද්ධිවිහාරික වනවාසි තිස්ස සාමණේරයන් සඳහා ගවු තුනක් සහ යොදුන් දෙදහසක් වැඩි සේක.

එක් දවසක් සැරියුත් තෙරණුවෝ ස්වාමීනි, තිස්ස සාමණේරයන් සමීපයට යමියි කීහ. භාග්‍යවතුන් වහන්සේ මම ද එන්නෙමියි කියා ආයුෂ්මත් ආනන්ද ඇමතූ සේක. ‘ආනන්ද විසිදහසක් ෂට් අභිඥාලාභීන්ට දන්වන්න. භාග්‍යවතුන් වහන්සේ තිස්ස සාමණේරයන් සමීපයට වඩින සේකැ’යි ඉන්පසු දෙවැනි දවසෙහි විසිදහසක් රහතුන් පිරිවරා අහසට නැගී යොදුන් දෙදහසක් එපිට ඔහුගේ ගොදුරුගම්දොර බැස සිවුර පෙරවූ සේක. කර්මාන්ත සඳහා යන මිනිස්සු දැක ‘අපගේ ශාස්තෲන් වහන්සේ පැමිණි සේක. කර්මාන්ත සඳහා නොයන්නැයි කියා අසුන් පනවා කැඳ දී පාවත් කරන්නාහු ‘භාග්‍යවතුන් වහන්සේ කොහි වඩනා සේක්දැයි තරුණ භික්ෂූන්ගෙන් විමසූහ. ‘උපාසකවරුනි, භාග්‍යවතුන් වහන්සේ අන් තැනක නොවඩනා සේක. මෙහිම තිස්ස සාමණේරයන් දකිනු පිණිස වැඩි සේක. ඔවුහු අපගේ කුලුපග තෙරුන් දක්නට ශාස්තෲන් වහන්සේ වැඩිසේකැ, අපගේ තෙරණුවෝ සුළුපටු කෙනෙක් නොවෙති යි සොම්නස් ඇත්තෝ වූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බත්කිස කෙළවර සාමණේරයන් වහන්සේ ගමෙහි පිඬු පිණිස හැසිර උපාසකවරු ‘භික්ෂු සංඝයා මහත්දැයි ඇසූහ. ඉක්බිති ඔවුහු උන්වහන්සේට ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි දැන්වූහ. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ පිණ්ඩපාතයෙන් පිළිවිසූහ. ශාස්තෲන් වහන්සේ තිස්සගේ පාත්‍රය අතින් ගෙන ‘අවශ්‍ය නැත තිස්ස, බත්කිස නිමියේ යැයි කියූ සේක. ඉන්පසු උපාධ්‍යයන් වහන්සේ විමසා තමාට පැමිණි අසුනෙහි හිඳ බත්කිස කළහ. ඉක්බිති ඔහුගේ බත්කිස අවසන ශාස්තෲන් වහන්සේ යහපත් දෙයක් කියා නික්ම ගම්දොර සිට ‘තිස්ස ඔබගේ වසන තැනට යන මග කුමක්දැයි ඇසූ සේක. ‘භාග්‍යවතුන් වහන්ස, මෙය යැයි මග කියනවිට ‘තිස්ස පෙරටුව යන්න’යැයි කී සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි සදේවක ලෝකයට මාර්ගය පෙන්වන්නකු වුවද සියලු තුන්ගවු මග සාමණේරෙයන් දක්නට ලබමියි ඔහු මාර්ග දේශකයා කළ සේක.

හේ තමාගේ වසන තැනට ගොස් උන්වහස්ට වත් කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘තිස්ස ඔබගේ සක්මන කුමක්දැයි අසා එහි ගොස් සාමණේරයන් හිඳින පහණෙහි හිඳ ‘තිස්ස මෙතැන සුවසේ විසීදැයි ඇසූ සේක. ‘එසේය ස්වවාමීනි, මෙතැන වසන මට සිංහයන්ගේ ව්‍යාඝ්‍රයන්ගේ හස්තීන්ගේ මෘගයන්ගේ සොරුන්ගේ හඬ අසනවිට අරණ්‍ය සංඥාව උපදී. එයින් සැපසේ වෙසෙමි.’ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘තිස්ස මහා සංඝයා රැස්කරවන්න. බුද්ධ දායාදය ඔවුන්ට පෙන්වමියි කියා භික්ෂු සංඝයා රැස් වූ කල්හි උන්වහන්සේ උපසම්පදා කොට තමා වසන තැනට වැඩි සේක. මෙය තුරිත චාරිකාවයි.

ගම් නියම්ගම් පිළිවෙළින් දිනපතා යොදුනක් අඩයොදුනක් වශයෙන් පිඬු පිණිස හැසිරීම් ආදියෙන් ලෝකයාට අනුග්‍රහ කරන ගමන. මෙය අතුරිත චාරිකා නමි.

මේ චාරිකාවෙහි හැසිරෙන භාග්‍යවතුන් වහන්සේ මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය අන්තො මණ්ඩලය යන මේ මණ්ඩල තුනෙන් එකක හැසිරෙන සේක. එහි මහා මණ්ඩලය නවසියයක් යොදුන්ය. මධ්‍යම මණ්ඩලය හයසියයක් යොදුන්ය. අන්තො මණ්ඩලය තුන්සියයක් යොදුන්ය. යම්කලෙක මහා මණ්ඩලයෙහි චාරිකා කරන්ට කැමති සේක්ද මහා පවාරණයෙන් පවරා ශුක්ල පක්ෂයෙහි පළමුවන දිනයෙහි මහා භික්ෂු සංඝයා පිරිවරා නික්මෙන සේක. හාත්පස යොදුන් සියයක් එකම කෝලාහලයක් වෙයි. කලින් කලින් ආවාහු ආරාධනා කරන්ට ලබති. ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මහා මණ්ඩලයට ගලා එයි. එහි භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ගම් නියම්ගම්හි දවසක් දෙකක් වසන සේක් මහජනයාට ආමිෂ පිළිගැනීමෙන් අනුග්‍රහය දක්වමින් ධර්මදානයෙන් ඔවුන්ට නිර්වාණයට උපනිශ්‍රය වූ කුසල් වඩමින් නව මසකින් චාරිකාව අවසන් කරන සේක.

ඉදින් ඇතුළු වස භික්ෂූන්ගේ සමථ විදර්ශනා තරුණ වේනම් මහා පවාරණයෙන් නොපවරා පවාරණ සංග්‍රහ දී ඇසල පුන් පොහෝදින පවාරණය කොට නිකිණිමස පළමුවන දින මහා භික්ෂු සංඝයා පිරිවරා නික්ම මධ්‍ය මණ්ඩලයට බසින සේක. තවත් කරුණකින්ද මධ්‍ය මණ්ඩලයෙහි චාරිකා කරන්ට කැමති සේක්. සිමසක් වැස ම නික්මෙන සේක. කියන ලද පරිද්දෙන්ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය මධ්‍ය මණ්ඩලයට ගලා එයි. භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන්ම ලෝකයට අනුග්‍රහය දක්වමින් අටමසකින් චාරිකාව නිමකරන සේක.

ඉදින් සිව්මසක් විසූ වස් ඇති වුවත් භාග්‍යවතුන් වහන්සේ හික්මවිය යුතු සත්ත්වයෝ මුහුකුරා නොගිය ඉඳුරන් ඇත්තෝ නම්, ඔවුන්ගේ ඉඳුරන් මුහුකුරා යාම අපේක්ෂාවෙන් තවත් එක්මසක්, දෙමසක් තුන්මසක් සිව්මසක් වුවද එහිම වැස මහා භික්ෂු සංඝයා පිරිවරා නික්මෙන සේක. කියන ලද පරිද්දෙන්ම ඉතිරි මණ්ඩල දෙකෙහි සත්කාරය අන්තො මණ්ඩලයව ගලා එයි. භාග්‍යවතුන් වහන්සේ පෙර ක්‍රමයෙන්ම ලෝකයාට අනුග්‍රහ දක්වමින්, සත් මසකින් හෝ සමසකින් හෝ පස් මසකින් හෝ සිව් මසකින් හෝ චාරිකාව අවසන් කරන සේක.

මෙසේ මේ මණ්ඩල තුනෙහි යම්තැනෙක චාරිකා කරනුයේ චීවර ආදී හේතුවකින් නොවේ. ඉක්බිති දුප්පත්, බාල දිරූ රෝගී වූවෝ කවදා තථාගතයන් වහන්සේ වෙත පැමිණ බලන්නෝද, මා චාරිකාවෙහි හැසිරෙනවිට මහජනයා තථාගත දර්ශනය ලබන්ය. එහිදී කිසිවෙක් සිත් පහන් කරත්. කෙනෙක් මල්දම් ආදියෙන් පුදන්නෝය. සමහරු හැන්දෙන් භික්ෂාව දෙති. ඇතමෙක් මිථ්‍යා දර්ශනය අත්හැර සම්‍යක් දෘෂ්ටිකයෝ වන්නෝය. එය ඔවුන්ට බොහෝකලක් හිතපිණිස සුඛ පිණිස පවතී යැයි මෙසේ ලෝකයාට අනුකම්පාවෙන් චාරිකා කරන සේක.

තවද කරුණු හතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ජංඝා විහාර වශයෙන්, ශරීර පහසුව පිණිස, අර්ථ උත්පත්ති කාලයක් කැමති බැවින්, භික්ෂූන්ට සිකපද පනවනු පිණිස ඒ ඒ තැන මුහුකුරා ගිය ඉන්ද්‍රිය ඇති අවබෝධ කළයුතු සතුන්ට අවබෝධය ලබාදෙනු පිණිස යනුවෙනි.

තවත් කරුණු සතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘බුදුන් සරණ යන්නාහුය කියා හෝ’ දහම් සරණ යන්නාහුය කියා හෝ ‘සඟ සරණ යන්නාහුය කියා හෝ ‘මහත් වූ දහම් වැස්සෙන් පිරිස සන්තර්පණය කරන්නෙමුයි. තවත් කරුණු පසකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘පාණාතිපාතයෙන් වෙන් වන්නාහුය. අදින්නාදානයෙන්, කාමේසු මිච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාමෙරය මජ්ජපමාදට්ඨානයෙන් වෙන් වෙන්නාහුය කියා හෝ.

තවත් කරුණු අටකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘ප්‍රථමධ්‍යානය ලබන්නාහුය කියා හෝ ද්විතීය -පෙ- නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය ලබන්නාහුය කියා හෝ.

තවත් අට කරුණකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ‘සෝවාන් මාර්ගය අවබෝධ කරන්නාහුය. සෝවාන් ඵලය -පෙ- අරහත්ත ඵලය සාක්ෂාත් කරන්නාහුය කියා හෝ.

මේ අතුරිත චාරිකාව මෙහි චාරිකායැයි අදහස්කරන ලදී. එය දෙවැදෑරුම් වෙයි. ‘අනිබද්ධ චාරිකා නිබද්ධ චාරිකා යනුවෙන්. එහි ගම් නියම්ගම් නගර පිළිවෙළ වශයෙන්ම හැසිරේ. මෙය අනිබද්ධ චාරිකා නමි. එකම අවබෝධ කළයුතු සත්ත්වයකු පිණිස හැසිරේ. මෙය අනිබද්ධ චාරිකා නමි. මෙහි මෙය අදහස් කරන ලදී.

එකල්හි පැසුළුයම්කිස අවසන්හි දසදහසක් ලෝකධාතුවෙහි ඤාණ මණ්ඩලය පතුරුවා අවබෝධ කළයුතු බන්ධුවරයකු බලන්නා වූ උන්වහන්සේ සර්වඥතා ඥාන ජාලයට පොක්ඛරසාතී බමුණා පිවිසියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ බමුණා මාගේ ඥාන ජාලයෙහි පෙනේ. මොහුට උපනිශ්‍රයක් ඇත්දෝයි විමර්ශනය කරන සේක් සෝවාන් මගට උපනිශ්‍රය ඇති බව දැක ‘මොහු මා ඒ ජනපදයට ගිය කල්හි ලකුණු සොයා බලන්ට අම්බට්ඨ නමැති අතවැසියා එවන්නේය. ඔහු මා සමග වාද ප්‍රතිවාද කොට නානාප්‍රකාර අසභ්‍ය වාක්‍ය කියයි. මම ඔහු දමනය කොට හීලෑ කරන්නෙමි. හේ ගුරුවරයාට කියන්නේය. ඉක්බිති ඔහුගේ ගුරුවරයා ඒ කථාව අසා පැමිණ මාගේ ලකුණු සොයා බලන්නේය. මම ඔහුට ධර්මය දේශනා කරන්නෙමි. හේ දේශනාව කෙළවර සෝවාන්පෙලෙහි පිහිටන්නේය. දේශනාව මහජනයාට සඵල වන්නේ යයි පන්සියයක් භික්ෂූන් පිරිවරා ඒ ජනපදයට පිළිපන් සේක.