පෘථග්ජනයා යනු

හෙතෙම බොහෝ නානාප්‍රකාර ක්ලේශාදීන්ගේ ඉපදවීම් ආදී කරුණුවලින් පෘථග්ජන නමැ.

බොහෝ කෙලෙස් උපදවත්නුයි පෘථග්ජනයි.
පහ නොකළ බොහෝ සක්කාය දෘෂ්ටි ඇත්තේනුයි, පෘථග්ජනයි.
බොහෝ ශාස්තෲවරුන්ගේ මුහුණු බලන්නේනුයි පෘථග්ජනයි.
බොහෝ සියලු ගතිවලින් නැගී නොසිටියේනුයි පෘථග්ජනයි.
බොහෝ නොයෙක් අභිසංස්කාරයන් රැස් කෙරෙත්නුයි පෘථග්ජනයි.
බොහෝ නොයෙක් දියපහරවලින් පාවී යෙත්නුයි පෘථග්ජනයි.
බොහෝ නොයෙක් සන්තාපයන්ගෙන් තැවෙත්නුයි පෘථග්ජනයි.
බොහෝ නොයෙක් දාහයන්ගෙන් දැවෙත්නුයි පෘථග්ජනයි.
බොහෝ පඤ්ච කාම ගුණයන්හි ඇලී, ගිජුවී, ගැලී, මූර්ච්ඡාවට පත්ව, එහි බැස, ඇලී, තදින් ඇලී, කරදරයට පත්වූවාහුය යන අර්ථයෙන් පෘථග්ජනයි.
බොහෝ පඤ්ච නීවරණයන්ගෙන් ඇමිණුනාහු, වටකරන ලද්දාහු බාධාකරන ලද්දාහු වසන ලද්දාහු වැසුනාහු යටිකුරු කළාහුනුයි පෘථග්ජනයි.
බොහෝ සංඛ්‍යාතික්‍රාන්ත, ආර්ය ධර්මයන්හි ඉවතට හරවාගත් මුහුණු සහිත වූයේ පහත් හැසිරීම්වලින් යුත් ජනයන්ට ඇතුළත් වූ හෙයින්ද පෘථග්ජනයි.
බොහෝසෙයින් මේ තෙමේ වෙන්වූයේමයැයි යන සංඛ්‍යාවට ගියේය. සීල ශ්‍රැත ආදී ගුණයුත් ආර්ය ජනයාගෙන් වෙන්වූයේනුයි පෘථග්ජනයි.

 

ආනන්තරිය කර්ම යනු

එත්‌ථ හි මනුස්‌සභූතස්‌සෙව මනුස්‌සභූතං මාතරං වා පිතරං වා අපි පරිවත්‌තලිඞ්‌ගං ජීවිතා වොරොපෙන්‌තස්‌ස කම්‌මං ආනන්‌තරියං හොති, තස්‌ස විපාකං පටිබාහිස්‌සාමීති සකලචක්‌කවාළං මහාචෙතියප්‌පමාණෙහි කඤ්‌චනථූපෙහි පූරෙත්‌වාපි සකලචක්‌කවාළං පූරෙත්‌වා නිසින්‌නභික්‌ඛුසඞ්‌ඝස්‌ස මහාදානං දත්‌වාපි බුද්‌ධස්‌ස භගවතො සඞ්‌ඝාටිකණ්‌ණං අමුඤ්‌චන්‌තො විචරිත්‌වාපි කායස්‌ස භෙදා නිරයමෙව උපපජ්‌ජති. යො පන සයං මනුස්‌සභූතො තිරච්‌ඡානභූතං මාතරං වා පිතරං වා, සයං වා තිරච්‌ඡානභූතො මනුස්‌සභූතං, තිරච්‌ඡානොයෙව වා තිරච්‌ඡානභූතං ජීවිතා වොරොපෙති, තස්‌ස කම්‌මං ආනන්‌තරියං න හොති, භාරියං පන හොති, ආනන්‌තරියං ආහච්‌චෙව තිට්‌ඨති.

මජ්ඣිම නිකාය උපරිපණ්‌ණාස-අට්‌ඨකථා

මෙහි මනුෂ්‍ය වූ පුද්ගලයකුගේම, මනුෂ්‍ය වූ මව හෝ පියාගේ, තවද ( මව හෝ පියාගේ ) ලිංග පරිවර්තනයක් වූ පසුව ( හෝ ) ජීවිතයන්ට හානි කරන්නහුට කර්මය ආනන්තරිය වෙයි.

එහි විපාකය වළක්වමි’යි සියලු සක්වළ මහා චෛත්‍ය ප්‍රමාණයෙහි රත්රන් පුරවා හෝ සියලු සක්වළ පුරා හිඳගෙන වැඩ සිටී භික්ෂු සංඝ රත්නයට මහා දානයක් දී හෝ භාග්‍යවතුන් වහන්සේ ගේ දෙපට සිවුරෙහි කොන ⁣අත් නො හරිමින් හැසිරුණ ද කය බිඳීමෙන් පසු ව නිරයටම විශේෂයෙන් එළඹෙයි ( නිරයෙහි ම උපදියි ).

යමෙක් තමන් මනුෂ්‍ය ව, තිරිසන් වූ ම මව හෝ පියා හෝ ( මරණයට පත් කරයි ද ),

තමන් තිරිසන් ව මනුෂ්‍ය ( මව හෝ පියා හෝ මරණයට පත් කරයි ද ),

තමන් තිරිසන් ව, තිරිසන් වූ ( මව හෝ පියා හෝ ) මරණයට පත් කරයි ද

ඔහුගේ කර්මය ආනන්තර්ය නොවේ. බලවත් කර්මයක් වෙයි. ආනන්තර්ය කර්ම යට බොහෝ සෙයින් ආසන්න වූ කර්මයක් ව සිටියි.

මෙම පාඨය අනුව යම් මනුෂ්‍යයකු, තමන්ගේ මේ ජීවිතයේ ම මව හෝ පියා ගේ ( තිරිසන් වූ ) ජීවිතය නැති කලත් ආනන්තරිය නොවේ.

තමන් ගේ මව හෝ පියා හෝ මරණයට පත් ව ඊළඟ ජීවිතක ඉපදුන පසු ව ඥාතිත්වය අහෝසි වේ. මිය ගිය ඥාතීන්ට පින් දීමේදී එම පුද්ගලයාගේ ප්‍රාණකාරයාට පින් ලැබේවා යයි වෙනත් ව්‍යවහාරයකින් පින් දෙන්නේ මරණයෙන් පසු ඥාතිත්වය බිඳෙන නිසාය

 

අටපිරිකර යනු

භික්‍ෂුවට තුන්සිවුරු, පාත්‍රය, දැහැටිදඬු කැපීමාදිය සඳහා පිහිය, හිඳිකටුව, කාබහන, පෙරහන යන අටපිරිකර වටින්නේ යයි කියන තුන්සිවුර, පාත්‍රය, දැහැටිදඬු කපන පිහිය, ඉඳිකටුව, පටිය, පෙරහන යන පිරිකර අට භික්‍ෂුව හට වටින්නේ ය. සුදුසු වන්නේ ය.
 
තිචීවරං ච පත්තො ච – වාසි සූචීච බන්‍ධනං
පරිස්සාවනෙන අට්ඨෙ තෙ – යුත්ත යොගස්ස හික්ඛුනො
 

මේ සියල්ල කය පරිහරණයට ද කුස පරිහරණයට ද, ප්‍රමාණ වෙති. කෙසේද? 

පළමුකොට තුන් සිවුර හැඳ පෙරවා, හැසිරෙන කල කය පරිහරණය කෙරෙයි. පෝෂණය කෙරෙයි යන අදහසින් ‘කාය පරිහාරිය’ වෙයි. සිවුරු කොණින් දිය පෙරා බොන කල ද, කෑ යුතු පලවැල ගන්නා කලද කුස පරිහරණය කෙරෙයි. පෝෂණය කෙරෙයි යන අදහසින් ‘කුච්ඡ පරිභාරිය වෙයි. 

පාත්‍රය ද එයින් දිය ගෙන නාන කල ද, කුටිය පිරිබඩන කල ද, කාය පරිභාරිය’ වෙයි. ආහාර ගෙන වළඳන කල ‘කුචඡි පරිභාරිය’ වෙයි. 

පිහිය එයින් දැහැටි දඬු කපන කල ද, ඇඳපුටුවලට වියලි, පා සිවුරු දඬු, කිළිදඬු සකස් කරන කල ‘කාය පරිහාරිය’ වෙයි. උක්දඬු කපන, පොල් ආදිය සසින කල ‘කාය පරිහාරිය’ වෙයි. 

ඉඳිකටුව සිවුර ආදිය මහන කල ‘කාය පරිහාර’ වෙයි. කැවුම් හෝ ගෙඩි හෝ සිඳ විඳ අනුභව කරනවිට ‘කුච්ඡිපරිහාර’ වෙයි. 

කාබහන (පටිය) බැඳ හැසිරෙන කල ‘කාය පරිභාරිය’ වෙයි. උක් ආදිය බැඳගන්නා කල ‘කුච්ඡි පරිහාරිය වෙයි. 

පෙරහන් මගින් දිය පෙරා නාන කල සෙනසුන් පිරිබඩන කල ‘කාය පරිභාර’ වෙයි. බීම සඳහා පැන් පෙරන කල ද, එයින් තල සහල් හබලපෙති ආදිය පොඟවා ආහාර වශයෙන් ගන්නා විට ‘කුච්ඡි පරිහාරිය’ වෙයි. 

මේ වූ කලී අටපිරිකර හිමි භික්‍ෂුවගේ පරිෂ්කාර මාත්‍රයෝය.

නැවත ශයනයට පිවිසෙන නව පරිෂ්කාරකයා හට එහි පිහිටි පසතුරණ හෝ පැන් කෙණ්ඩිය සුදුසුය. වටනේය. දස පිරිකරට හිඳිනා සම්කඩ පත්කඩය ද ඇතුළත් වේ. එකොළොස් පිරිකරවලට සැරයටිය හෝ තෙල් නැළිය ඇතුළත් වෙයි. දොළොස් පිරිකරවලට කුඩය හෝ වහන්සඟල ඇතුළත් වේ. තව ද මොවුන් අතුරෙහි අෂ්ටපරිෂ්කාර තෙමේ එයින්මැ සතුටු වෙයි. අන්‍යයෝ අසතුටු වෙති. වැඩිපුර ආශා ඇත්තවුන් මහා තණ්හාධිකයෝ යැයි නො කිවයුතුය. මොවුහු ද අපිස් බවින් සතුටු වූවාහු මැ සුහර වූවාහු මැ සැහැල්ලු පැවැතුම් ඇත්තාහු මැ වෙති. භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ සූත්‍රය ඔවුන් සඳහා නො වදාළහ. එය එසේමය. හෙතෙම කුඩා පිහිය ද, ඉඳිකටුව ද, පෙරහන ද, පාත්‍රය ඇතුළත තබා, පාත්‍රය උරහිස එල්වා, තුන්සිවුර ශරීරයෙහි පොරවා තමන් කැමති වූ යම්තැනකට සුවසේ නික්ම යයි. පෙරළා අවුත් ගතයුත්තක් ඔහුට නොවේ. මෙසේ මේ භික්‍ෂූන්ගේ සැහැල්ලු පැවැතුම් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ සන්තුට්ඨො හොති කාය පරිභාරිකෙන චීවරෙන ආදිය වදාළහ.

 

විවටචක්ඛු – පිරිසිදු ඇස යනු

භාග්‍යවත්හුගේ මසැස්හි නිල්පැහැය ද රන්වන් පැහැය ද රත්පැහැය ද කළුපැහැය ද සුදුපැහැය ද යන පඤ්චවර්‍ණයෝ විද්‍යමාන වෙති. තවද බුදුන්ගේ අක්‍ෂිරොම යම් තැනෙක්හි පිහිටියේ ද එතැන දියමෙරළියමල් සිදිසි සුනිල් පිරිසුදු දැකුම්කලු නිල්පැහැ වෙයි. එ ඉක්බිති කිණිහිරිමල් සදිසි සුකසාවන් රන්වන් පිරිසුදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිඳුගොව් සදිසි සුරත් පිරිසිදු දැකුම්කලු රත්පැහැ වෙයි. මැද රුකපෙණල ඇට සදිසි ඉතා කළු මොළොක් සිනිඳු පිරිසිදු දැකුම්කලු කළුපැහැ වෙයි. ඉනික්බිති දවහත්තරු සදිසි ඉතා සුදු සිත පඬෙර පිරිසිදු දැකුම්කලු සුදුපැහැ වේ. බුදුහු අත්බැව ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පියවි මසැසින් දහවල්හි දු රැයි දු හාත්පසින් යොදුනක් දකිති. යම් කලෙක චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරය වේ ද; හිරු අස්තයට ගියේ වේ ද, කෘෂ්ණපක්‍ෂයෙහි පොහොයත් වේ ද, ගහන වූ වනලැහැබත් වේ ද, මහත් කළු වලාකුළු නැඟුණේත් වේ ද, මෙබඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහි පවා හාත්පස යොදුනක් දකිති, එහි ඒ බිත්තියක් හෝ දොරක් පවුරක් ගලක් ගසක් වැලක් හෝ රූපදර්‍ශනයට ආවරණයෙක් නොවේ. ඉදින් එක් තලඇටයෙක් ලකුණු කොට තලගැලෙක බහාලන්නේ නම්, ඒ තලඇටය මැ නඟාගන්නා සේක. බුදුන්ගේ පියවි මැසැස මෙසේ පිරිසිදු වේ. මෙසේ බුදුහු මසැසිනුදු විවටචක්ඛු වන සේක.

 

නිරෝධසමාපත්ති පුර්වකෘතිය යනු

නානාබද්ධ – අවිකෝපනය, සඞ්ඝපතිමානනය, සත්‍ථු පක්කෝසනය, අද්ධාන පරිච්ඡේදය යන චතුර්විධ පූර්වකෘත්‍යයන් කරයි.
 
එහි ‘නානාබද්ධ-අවිකෝපන’ යනු, යම් (පිරිකර ආදියක්) මේ භික්‍ෂුව හා සමග එක්ව බැඳී නොපවතී නම්, එනම් (හඳනා, පොරෝනා ආදී වශයෙන් පරිභෝග නොකැරෙමින්) වෙන්ව පවතින යම් පා-සිවුරු, ඇඳපුටු හෝ නිවාස ගෘහ හෝ අන්කිසි පිරිකර ආදියක් හෝ වේ නම්, එයට හානි නොවන සේ – එනම්, ගිනි, දිය, සුළං, ආදියෙන් හෝ, සොරුන්, මීයන් ආදීන්ගෙන් විනාශ නොවන සේ – අධිෂ්ඨාන කළයුතුය.
 
එහිලා අධිෂ්ඨාන කළ යුතු ආකාරය මෙසේය:- “මේ මේ මේ දැය මෙම සතිය තුළ ගින්නෙන් නොදැවේවා, ජලයෙන් පාවී නොයේවා, සුළඟින් නොවිසිරේවා, සොරුන් විසින් පැහැරගනු නොලැබේවා, මීයන් විසින් කා-දමනු නොලැබේවා” ආදී වශයෙනි. මෙසේ අධිෂ්ඨාන කළ කල එම සතිය තුළ එයට කිසි හානියක් නොවන්නේය.
 
එසේ අධිෂ්ඨාන නොකළහොත්, ගිනි ආදියෙන් හානි සිදුවිය හැකිය, මහානාග ස්ථවියන්හට සෙයිනි; උන්වහන්සේ මව් උවැසියගේ ගමට පිඬු පිණිස පිවියහ; උවැසි තොමෝ උන්වහන්සේට කැඳ පිළිගන්වා ආසනශාලායෙහි හිඳවූය; උන්වහන්සේ නිරෝධයට සමවැද වැඩහුන්හ; උන්වහන්සේ වැඩහිඳියදී ආසනශාලාවට ගිනි ඇවිලිණි; සෙසු භික්‍ෂූහු තමතමන් හුන් අසුන් ගෙන ඉවත ගියහ. ගම්වැසියෝ රැස්වී තෙරුන් දැක, ‘අලස මහණෙක, අලස මහණෙකැ’යි කීහ; ගින්න තණ, හුණ, දැව දවාගෙන තෙරුන් වට කොට සිටියේය; මිනිස්සු කළවලින් දිය ගෙනවුත්, ගිනි නිවා, අලු ඉවත් කොට, පිරිසිදු කොට, මල් විසුරුවා වඳිමින් සිටියහ. තෙරුන් වහන්සේ පිරිසිඳින ලද කාලය අවසන් වූ කල ඔවුන් දැක, “ප්‍රකට වීමි”යි (නිරෝධ සමාපත්තියට සමවැද හුන් රහතකු බව හෙළි වීය’යි) අහසට නැඟ පුවඟු දිවයිනට වැඩියහ. ‘නානාබද්ධ – අවිකෝපන’ යනු මේය.
 
 
යමක් (පිරිකර ආදියක්) එක්ව බැඳී පවතීද, (දරා සිටි) එවන් හඳනාපොරෝනා හෝ හුන’සුන හෝ පිළිබඳව වෙන්කොට අධිෂ්ඨාන කිරීමක් අවශ්‍ය නොවේ. සමවත මගින්ම එය රැකේ, ආයුෂ්මත් සංජීව තෙරුන්හට සෙයිනි. කියන ලදමැයි, “ආයස්මතො සඤ්ජීවස්ස සමාධිවිප්ඵාරා, ඉද්ධි, ආයමතො සාරිපුත්තස්ස සමාධිවිප්ඵාර ඉද්ධි’’ (ආයුෂ්මත් සංජීව තෙරුන්ගේ සමාධිබලයෙන් පතළ ඍද්ධියයි, ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ගේ සමාධිබලයෙන් පතළ ඍද්ධියයි) යනුවෙනි.
 
සඞ්ඝස්ස පතිමානනං’ යනු, එම භික්‍ෂුව කෙරෙහි සංඝයාගේ බහුමානයයි, එම හේතුවෙන්ම සංඝකර්මයෙකදී එම භික්‍ෂුවගේ පැමිණ සිටීම අපේක්‍ෂා කරන බවයි. එම භික්‍ෂුව පැමිණෙන තුරු සංඝකර්මය ආරම්භ නොකොට (පොරොත්තුව) සිටීමය යන අර්ත්‍ථයි. මෙහිලා භික්‍ෂුවගේ පූර්වකෘත්‍යය වනුයේ පතිමානනය නොව පතිමානනය ගැන සැලකිලිමත් වීමයි. එහෙයින් මෙසේ ආවර්ජනය කළයුතුය:- “ඉදින් මා සතියක් නිරෝධ සමාපත්තියට සමවැද හුන් කල ‘ඤත්ති’ ආදී වූ කිසියම් (විනය) කර්මයක් කළයුතු වේද, එකල යම්තාක් කිසි භික්‍ෂුවක් පැමිණ මා කැඳවත්ද ඒ තාක් නොනැගිටින්නෙමැ’යි (කැඳවූ කෙණෙහි නැඟිටින්නෙමැ’යි) මෙසේ ඉටා ගෙන සමවැදුණහොත් එකල (තමාගේ පැමිණීම අවශ්‍ය වූ කල) නැඟිටිනුයේමය.
 
යමෙක් එසේ නොකෙරෙත්ද, සංඝයාද රැස්වී ඒ භික්‍ෂුව නොදැක, “අසුවල් භික්‍ෂුව කොහිදැ”යි විමසා, “නිරෝධසමාපත්තියට සමවන්හ”යි කී කල, ‘සංඝයාගේ වචනයෙන් එම භික්‍ෂුව කැඳවනු යැ’යි කිසි භික්‍ෂුවක් යවත්ද, එවිට එම භික්‍ෂුව විසින් (සමවතට සමවන්නහුට) ඇසෙන තෙක් මානයේ සිට, “ඇවැත්නි, සංඝයා ඔබගේ පැමිණීම හරසරින් අපේක්‍ෂා කෙරෙති”යි කී කෙණෙහිම නැඟිටීම සිදුවේ. මෙසේ සංඝාඥාව වූකලී ඉතා ගරු (සුලු පටු නොවූ) දෙයකි; එහෙයින් එය ගැන සැලකිලිමත්ව, යම්සේ තමාම නැඟිටිත්ද, එසේ අදිටන් කොට සමවැදීම මැනවි.
 
සත්‍ථූපක්කොසන’ යන මෙහිද සමවදින්නාගේ පූර්ව කෘත්‍යය වනුයේ ශාස්තෘන් වහන්සේ විසින් කැඳවනු ලැබීමේ භව්‍යතාව ආවර්ජනය කිරීමයි; එහෙයින් එයද මෙසේ ආවර්ජන කළයුතුය:- “ඉදින් මා සතියක් නිරෝධයට සමවැද හුන් කල, යම්කිසි සිද්ධියක් පැන නැඟී, ශාස්තෘන් වහන්සේ ශික්‍ෂාපදයක් පණවත්ද, එවැනි කරුණක් සිදුවී ධර්මයක් හෝ දෙසත්ද, කිසිවක් පැමිණ මා නැඟිටුවන්නට පෙර නැඟිටිමි’යි මෙසේ අදිටන් කොට හුන්නේ එකල නැඟිටිනුයේමය.
 
යමෙක් වනාහි එසේ අදිටන් නොකෙරෙත්ද, ශාස්තෘන් වහන්සේද සංඝයා රැස්වූ කල ඒ භික්‍ෂුව නොදැක, “අසුවල් භික්‍ෂුව කොයිදැ’යි විමසා නිරෝධයට සමවැඳුනහ’යි කීකල, “ගොස් මාගේ වචනයෙන් ඒ භික්‍ෂුව කැඳවන්නැ”යි කිසියම් භික්‍ෂුවක් යවත්ද, එවිට ඒ භික්‍ෂුව විසින් (සමවැඳ හුන්) භික්‍ෂුවට ඇසෙන තෙක් මානයේ සිට “ශාස්තෘන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේකැ’යි කී කෙණෙහිම නැඟිටීම සිදුවේ. මෙසේ ශාස්තෘන් වහන්සේ විසින් කැඳවනු ලැබීම ගරුක වූ (සුලුපටු නොවු) දෙයකි. එහෙයින් එය ආවර්ජනය කොට, යම්සේ තමාම නැඟිටිත්ද, එසේ අදිටන් කොට සමවැදීම මැනවි.
 
අද්ධාන පරිච්ඡේද’ යනු තමාගේ ජීවිත කාලය පිරිසිඳීමයි. මේ භික්‍ෂුව කාලය පිරිසිඳීමෙහි ඉතා දක්‍ෂ විය යුතුය. තමාගේ ආයුසංස්කාරය සත්දවසක් පවතීද නොපවතීදැ’යි ආවර්ජන කොටම සමවැදිය යුතුය. ඉදින් සත් දිනක් ඇතුළත ඉකුත් වීමට ඇති ආයුසංස්කාරය ඇති කල, ආවර්ජන නොකොටම සමවැදුණහොත්, එම භික්‍ෂුවගේ නිරෝධ සමාපත්තිය මරණය වලකනු නොසමත්වන හෙයින්ද, නිරෝධ සමාපත්ති කාලය තුළ මරණය නොවිය හැකි හෙයින්ද සත්දවස අතරතුරදීම සමවතින් නවතින්නට සිදුවේ. එහෙයින් මෙය ආවර්ජන කොටම සමවැදිය යුතුය. සෙසු පූර්වකෘත්‍යයන් ආවර්ජන නොකළද මෙය ආවර්ජනය කළයුතුමය’යි කියන ලදි.