ගන්ධබ්බ යනු

ගන්ධබ්බ යනුවෙන් ගුරුළන්ටත්, නටන ගයන නළුවන්ටත්, ගන්ධබ්බ කායික දෙවියන්ටත්, ප්‍රතිසන්ධි චිත්තක්ෂණය හි සිටින සත්වයා ටත්, ඇතැම් තැනක ගස් වැල් ගෙඩි ආදියෙහි සුවඳ ආග්‍රහණය කොට ජීවත් වන අමනුෂ්‍යයන්ට ත් භාවිතා වේ.

ථේරවාදී බුදු දහමෙහි කිසි තැනක ගන්ධබ්බ යනුවෙනි අන්තරා භවයක් ගැන සඳහන් නොවේ.

අන්තරා භවයක් ඇති බව හෝ අන්තරාභවිකයෙක් ඇති බව හෝ ථේරවාද බුදු දහමෙහි සඳහන් නොවේ. අන්තරා භවයක් නොමැති බව විශේෂයෙන් සඳහන් වේ.

අන්තරා භවය යන දෘෂ්ටිගතය තුල ආත්ම ලක්ෂණය ඇත. ථේරවාදී බුදු දහමෙහි ඇත්තේ අනාත්ම ලක්ෂණය යි.

ප්‍රාර්ථනා කළයුතු බව

අපායෙහි උපදින්නට පතන කෙනෙක් නැත. එහෙත් පව්කම් කළෝ මරණින් මතු අපායවල උපදිති. අකුශල කර්ම විපාක දීමට ප්‍රාර්ථනාවක් වුවමනා නො වන්නාක් මෙන් කුශල කර්මවලට විපාක දීමටත් ප්‍රාර්ථනාවක් වුවමනා නැත. ප්‍රාර්ථනාවක් ඇතත් නැතත් පින් කළ අය සුගතියෙහි උපදනාහ. එහෙත් පිනක් කළ කල්හි ප්‍රාර්ථනාවක් කිරීමෙහි ප්‍රයෝජනයක් ඇත්තේ ය. එනම් විපාකය තමා කැමති සැටියට ලබා ගැනීම ය. දන්දීම් ආදි වශයෙන් කාමාවචර කුශලයක් කළාම එයින් ඒ තැනැත්තාට මිනිස් ලොවත් ඉපදිය හැකි ය. වෘක්ෂ පර්වතාදියක දෙවියෙක් ද විය හැකි ය. චාතුර්‍මහාරාජිකාදි දිව්‍යලෝක සයෙන් යම්කිසිවක ද ඉපදිය හැකි ය. රූප සම්පත් ධන සම්පත් ආදි නොයෙක් සම්පත් ද ලැබිය හැකි ය. ප්‍රාර්ථනාවක් කළාම ඒ කුශලයෙන් ඉපදිය හැකි තැන්වලින් තමාට කැමති තැනක ඉපදී කැමති සම්පත්තියක් ලබා ගත හැකි ය.

ප්‍රාර්ථනාවක් නැති තැනැත්තාට උපදින තැන නියම නැත. මිනිස් ලොව උපදින කෙනකුට වුව ද ප්‍රාර්ථනා කළා ම සුදුසු පෙදෙසක සුදුසු කුලයක ඉපදිය හැකි ය. ප්‍රාර්ථනාවක් නැතිව මිනිස් ලොව උපදින තැනැත්තා හට සමහර විට පව්කම් නොකොට ජීවත් විය නොහෙන පෙදෙස්වල ද ඉපදිය හැකි ය. බොහෝ පව්කම් කරන මිසදිටු කුලවල ද ඉපදිය හැකි ය. එසේ උපන හොත් ඔහුට බොහෝ පව්කම් කරන්නට සිදු වන්නේ ය. එයින් අපාගත වීමෙන් ඔහුට සසර දික් වන්නේ ය. පව් නො කොට ජීවත් විය හැකි තුණුරුවන් පවතින සත්පුරුෂයන් වෙසෙන සත්පුරුෂ සේවනය ලැබිය හැකි පෙදෙසක, සම්‍යග්දෘෂ්ටික කුලයක උපන හොත් ඔහුට එහි ද බොහෝ පින් කොට සසර කෙටි කර ගත හැකි ය. ඉක්මනින් නිවන් දැකිය හැකි ය. එබැවින් පිනක් කළ කල්හි යම් කිසි සුදුසු ප්‍රාර්ථනාවක් කළ යුතු බව –

“ආකාසෙ ඛිත්තදණ්ඩො අග්ගෙන වා මජ්ඣෙන වා මූලෙන වා පතිස්සතීති නියමො නත්ථි. සත්තානං පටිසන්ධිගහණං අනියතං, තස්මා කුසලං කම්මං කත්වා එකස්මිං ඨානෙ පත්ථනං කාතුං වට්ටති.”

යනුවෙන් මජ්ඣිම නිකායේ සංඛාරුප්පත්ති සූත්‍ර‍ අටුවාවෙහි “අහසට විසි කළ දණ්ඩ අගින් බිම වැටෙනවාය කියා හෝ මැදින් බිම වැටෙනවාය කියා හෝ මුලින් බිම වැටෙනවාය කියා හෝ නියමයක් නැත. එමෙන් සත්ත්වයන් ගේ ප්‍ර‍තිසන්ධි ග්‍ර‍හණය අනියත ය. එබැවින් කුශල කර්මයක් කොට යම් කිසි එක් තැනක් පැතිය යුතුය” යි දක්වා ඇත්තේ ය. ප්‍රාර්ථනාවක් වුවමනා නැත, ප්‍රාර්ථනා කළත් නොකළත් කුශලයේ විපාක ලැබෙනවා ය, නිවන පමණක් ප්‍රාර්ථනා කළා ම ඇතය කියා ඇතමුන් කරන අනුශාසනය ඉහත දැක් වූ සංඛාරුප්පත්ති සූත්‍ර‍ අටුවාවට විරුද්ධ බව දත යුතු ය.

පින් කොට ප්‍රාර්ථනාවක් කරන්නහු විසින් නුවණින් එය කළ යුතු ය. සමහර විට නො මනා ප්‍රාර්ථනාවලින් තමාට පමණක් නොව අනුන්ට ද විපත් වේ. පෙර ලක්දිව අනුරාධපුරයේ විසූ ඒක දැරියක් චෛත්‍යයෙහි මල් පුදා “මේ පිනින් මම රූ ඇත්තියන්ගෙන් අග්‍ර‍ වෙම්වා, ළහිරු මඩලෙන් මෙන් මාගේ ශරීරයෙන් රැස් විහිදේවා, මා දක්නා හැම පුරුෂයෝ ම කාමයෙන් මත් වෙත්වා, කිඳුරන් ගේ නාදය බඳු මිහිරි කට හඬ මට ඇති වේවා” යි ප්‍රාර්ථනා කළා ය. මේ ප්‍රාර්ථනාවෙන් ඇය ලැබූ රූප සම්පත්තිය නිසා රටවල් පසක රජවරුන් පස් දෙනකුන්ට සිය දිවි නසා ගන්නට සිදු විය. තරුණයන් පන්සිය දෙනකුන්ට උගැන්වීම කරමින් විසූ උද්දාල නම් බ්‍රාහ්මණ පණ්ඩිතයාට ද සිය දිවි නසා ගන්නට සිදු විය. උද්දාල බ්‍රාහ්මණයා ගේ ශිෂ්‍යයන් විසින් ඈ ද මරවනු ලැබුවා ය. මෙහි විස්තරය රසවාහිණියේ ස්වර්ණ තිලකා වස්තුවෙන් බලා ගත යුතු. බොහෝ භවභෝග සම්පත් පතන්නවුන්ට ද සංසාරය දික් වේ. සසර කොට කර ගැනීමට නම් පිනක් කළ කල්හි මේ පින් බලයෙන් ඉක්මනින් නිවනට පැමිණෙන්නට ලැබේවා යි පැතිය යුතු.

ධර්මචක්‍ර‍ය යනු

ධර්ම චක්‍ර‍ය වනාහි ධර්මය පිළිබඳ උසස් දැනුමක් නැති සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට දුෂ්කර ඔවුනට තේරුම් ගත හැකි පරිදි කීමට – ලිවීමට දුෂ්කර ගැඹුරු කරුණෙකි. එය තේරුම් ගත හැකි වීමට නම් ධර්ම යන වචනයෙන් කියැවෙන්නේ කුමක් ද? චක්‍ර‍ යන වචනයෙන් කියැවෙන්නේ කුමක් ද? ධර්මය ම චක්‍ර‍යක් ද? ධර්මයත් චක්‍ර‍යත් දෙකක් ද? ධර්ම යන වචනයට චක්‍ර‍ යන වචනය සම්බන්ධ කර ඇත්තේ කිනම් ප්‍රයෝජනයක් සඳහා ද? යන කරුණු ගැන සලකා බැලිය යුතු ය.
දැනට ලෝකයෙහි අනේකාකාර ධර්ම චක්‍ර‍ සටහන් ඇත්තේ ධර්මය නොදත් ශිල්පීන් විසින් ධර්මචක්‍ර‍ය යන නම අසා ඇති පමණින් තමාට සිතෙන සැටියෙන් ධර්ම චක්‍ර‍ය කියා නොයෙක් ආකාර චක්‍ර‍ සටහන් ඇඳ තැබීම නිසා ය. මුලින් කෙනකු ඇඳ තැබූ චක්‍ර‍ සටහන් අනුව තවත් අයත් චක්‍ර‍ සටහන් අඳින්නට වීමෙන් ඒවා ව්‍යාප්ත වී ඇත්තේ ය.
ධර්ම චක්‍ර‍ය යන මෙහි ධර්මය, චක්‍ර‍ය කියා වචන දෙකකි. එහි ධර්ම යන වචනයෙන් චතුස්සත්‍යය ප්‍ර‍තිවේධ කරන ලෝකෝත්තර මාර්ගඥානය, චතුස්සත්‍යය පිළිබඳ දේශනාඥානය, චතුස්සත්‍යය දේශනය වූ වචන මාලාව යන අර්ථ තුන ගනු ලැබේ. චක්‍ර‍ යන වචනයෙන් පුරාණ ලෝකයේ යුද්ධයට පාවිච්චි කළ කඩු කිණිසි ආදියට වඩා නපුරු ආයුධයක් වන රෝදයක් කියැවේ. එය පිට වාටිය හෙවත් පට්ටම දැළි පිහියක් සේ කැපෙන්නා වූ හෝ පට්ටමෙහි දැළිපිහිය සේ කැපන දැති ඇත්තා වූ හෝ රෝදයකි. ඒ චක්‍ර‍ය ක්‍රියා කරවා යුදවල දී සැණෙකින් බොහෝ ජනයා කපා සුණු විසුණු කරනු ලැබේ. ඒ චක්‍ර‍ය ගැන සාමඤ්ඤඵල සූත්‍රයෙහි මෙසේ දැක්වේ.

“ඛුරපරියන්තේන චේපි චක්කේන යෝ ඉමිස්සා පඨවියා පාණේ ඒකමංසඛලං ඒකමංසපුඤ්ජං කරෙය්‍ය”

මේ පූරණකාශ්‍යප යන ශාස්තෘවරයාගේ ප්‍ර‍කාශනයෙකි. එයින් කියැවෙන්නේ දැළිපිහිය සේ කෙළවර ඇති චක්‍රයෙන් මේ පොළොවෙහි සතුන් එක ම මස් ගොඩක් කළත් යනු යි. චක්‍රයේ දරුණුකම ඒ පාඨයෙන් පෙනේ. බෝධිමූලයේ දී මහ බෝසතාණන් හා යුදයට පැමිණි වසවත් මරු ද චක්‍ර‍ නම් වූ ඒ අවිය පාවිච්චි කළ බව කියා තිබේ.
ධර්ම යන වචනයෙන් කියැවෙන ලෝකෝත්තර මාර්ගඥානය ද අන් කිසි අවියකින් නැසිය නොහෙන කෙලෙස් සතරන් මතු නැගී නො සිටින සේ නැසීමට සමත් අවියකි. ලෝකෝත්තර මාර්ගඥානය හැර අන් කිසිවකින් මතු නැඟී නො එන ලෙස කෙලෙස් සතුරන් නො නැසිය හැකි ය. ලෝකෝත්තර මාර්ගඥානයේ බලය විසුද්ධිමග්ගයේ මෙසේ දැක්වේ.

භීම වේගානුපතිතා අසනීව සිලුච්චයේ,
වායුවේග සමුට්ඨිතො අරඤ්ඤමිව පාවකෝ.
අන්ධකාරං විය රවි සතේජුජ්ජල මණ්ඩලෝ,
දීඝරත්නානුපතිතං සබ්බානත්ථවිධායකං,
කිලේසජාලං පඤ්ඤාහි විද්ධංසේති භාවිතා.

භයානක වේගයෙන් වැටුණා වූ හෙනය පර්වතයෙන් සුණු කරන්නාක් මෙන් වායු වේගයෙන් හටගත් ගින්න මහා වනයන් දවා විනාශ කරන්නාක් මෙන් ස්වකීය තේජසින් දිලිසෙන මණ්ඩලයක් වූ හිරු අඳුර දුරු කරන්නාක් මෙන් සත්ත්ව සන්තානයෙහි දීර්ඝ කාලයක් පැවතියා වූ සකලානර්ථයන් ඇති කරන්නා වූ කෙලෙස් සමූහය වඩන ලද ප්‍ර‍ඥාව විනාශ කෙරේය යනු එහි තේරුම ය.

ලෝකෝත්තර මාර්ගඥානය කෙලෙස් නැසීමට සමත් බලවත් ආයුධය ය. චක්‍ර‍ය මිනී මැරීමට සතුන් මැරීමට සමත් බලවත් ආයුධය ය. එහෙත් අරූපී ධර්‍මයක් වන ලෝකෝත්තර මාර්ගඥානය ඇසට පෙනෙන දෙයක් නොවන බැවින් අප්‍ර‍කට ය. චක්‍ර‍ය ඇසට පෙනෙන දෙයක් බැවින් ප්‍ර‍කට ය. වඩා ශක්තිය ඇති මිනිසාට ඔහුගේ ශක්තිය ප්‍ර‍කට කිරීම සඳහා අලියා ය කියන්නාක් මෙන් ද, වේගයෙන් යා හැකි මිනිසාට ඒ බව ප්‍ර‍කට කිරීම පිණිස අශ්වයා ය කියන්නාක් මෙන් ද, මෝඩ මිනිසාට ඒ බව ප්‍ර‍කට කිරීම පිණිස ගොනා ය කියන්නාක් මෙන් ද ලෝකෝත්තර මාර්ග ඥානය ප්‍ර‍කට කරනු පිණිස එයට ධර්ම චක්‍ර‍ය යි කියනු ලැබේ. ශක්තිය නිසා අලියා ය කියන මිනිසා මිනිසකු මිස අලියකු නො වන්නාක් මෙන් ද, අශ්වයා ය කියන මිනිසා අශ්වයකු නො වන්නාක් මෙන් ද, ගොනා ය කියන මිනිසා ගොනකු නො වන්නාක් මෙන් ද ධර්මචක්‍ර‍ය යි කියනු ලබන ලෝකෝත්තර මාර්ග ඥානය වූ ධර්මයත් ධර්මයක් මිස සත්‍ය වශයෙන් ඇති චක්‍ර‍යක් නො වන බව දත යුතු ය.
ලෝකෝත්තර මාර්ග ඥානය යනු චතුස්සත්‍යය ප්‍ර‍තිවේධ කරන ඥානය ය. යම් කිසි වස්තුවක් ඇසින් බලා දැන ගන්නා වූ තැනැත්තාට දත හැකි වන්නේ ඒ වස්තුවේ පිට පැත්ත පමණෙකි. පිට පැත්තෙන් ද එක් කොටසක් පමණෙකි. එබැවින් ඒ දැනුම සර්වාකාර පරිපූර්ණ දැනුමක් නොවේ. ප්‍ර‍තිවේධ ය යි කියනුයේ ඒ ඒ දෙයෙහි ඇතුළත පිටත දෙක ම සම්පූර්ණයෙන් පිරිසිදු ලෙස දැනීමට ය. ලෝකෝත්තර මාර්ග ඥානය, චතුස්සත්‍යය එසේ සම්පූර්ණ ලෙස පිරිසිදු ලෙස දකී. ප්‍ර‍තිවේධ ය යි කියනුයේ ඒ දැනුමට ය. කෙලෙස් නැසීමට සමත් ව්නනේ ඒ දැනුම ය.
ඒ ලෝකෝත්තර මාර්ග ඥානය ප්‍ර‍තිවේධ ධර්ම චක්‍ර‍ය ය. ඒ ලෝකෝත්තර මාර්ග ඥානය වචන අනුව වචනානුසාරයෙන් ධර්මයන් දැන ගන්නා වූ ඥානයක් නොව වචන නැති ව ධර්ම ශරීරය දක්නා වූ ඥානයෙකි. ප්‍ර‍තිවේධ කරන ලද චතුස්සත්‍ය ධර්මය ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා යනාදීන් වචනවලට නඟා කරන දේශනය වූ වචන මාලාව දේශනා ධර්ම චක්‍ර‍ය ය. එයින් කෙරෙන්නේ ශ්‍රාවකයන්ගේ කෙලෙස් නැසීම ය. එයින් කෙළින් ම ශ්‍රාවකයන්ගේ කෙලෙස් නැසීමක් නො කරනු ලැබේ. එය ඇසූ ශ්‍රාවකයන්ගේ සන්තානයෙහි ඒ ධර්මය ඇසීම නිසා චතුස්සත්‍යය ප්‍ර‍තිවේධ කරන ලෝකෝත්තර මාර්ග ඥානය ඇති වේ. එයින් ඔවුන්ගේ සන්තානයන්හි කෙලෙස් දුරු වේ. සත්‍ය දේශනය ශ්‍රාවක සන්තානයෙහි ලෝකෝත්තර මාර්ග ඥාන සංඛ්‍යත ධර්ම චක්‍ර‍ය ඇති කරන්නක් බැවින් එයට ද දේශනා ධර්මචක්‍ර‍ය යි කියනු ලැබේ.

තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී පවත්වන ලද ධම්මචක්කප්පවත්තන සුත්ත නම් වූ චතුස්සත්‍ය දේශනය අසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ඇතුළු අටළොස් කෝටියක් බ්‍ර‍හ්මයෝ සෝවාන් ඵලයට පැමිණියහ. ඒ ඔවුන්ගේ සන්තානවල ලෝකෝත්තර මාර්ග ඥානය පහළ වී බොහෝ කෙලෙස් දුරු වී යෑම ය.
චතුස්සත්‍ය ප්‍ර‍කාශ කරන දේශනය වූ වචන මාලාව ධර්ම චක්‍ර‍යක් බව තථාගතයන් වහන්සේ විසින් සච්චවිභඞ්ග සූත්‍රයෙහි මෙසේ වදාරා ඇත්තේ ය.
“තථාගතේන භික්ඛවේ, අරහතා සම්මා සම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං, අප්පටිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍ර‍හ්මුණා වා කේනචි වා ලෝකස්මිං; යදිදං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම්මං”

“තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේදී සතරක් වූ ආර්‍ය්‍ය සත්‍යයන් ප්‍ර‍කාශ කිරීම් වශයෙන් ශ්‍ර‍මණ බ්‍රාහ්මණාදි කිසිවකුට ආපසු පෙරළිය නොහෙන අනුත්තර ධර්ම චක්‍ර‍ය පවත්වන ලද්දේ ය” යනු එහි අදහස ය. එයින් දැක්වෙන්නේ චතුරාර්‍ය්‍ය සත්‍යය දක්වන ප්‍ර‍කාශ කරන වචන මාලාව ධර්ම චක්‍ර‍ය කියා ය.


ධර්මචක්‍ර‍ සටහන

ප්‍ර‍තිවේධ ධර්ම චක්‍ර‍ය වන ලෝකෝත්තර මාර්ග ඥානය අරූපී ධර්මයක් බැවින් එහි සටහනක් නැත. වචන මාලාවක් වන දේශනා ධර්ම චක්‍රයේ ද දෑසින් දැකිය හැකි සටහනක් නැත. එබැවින් ධර්ම චක්‍ර‍ සටහනක් පිළියෙළ කිරීමේ දී ධර්ම චක්‍ර‍ය ප්‍ර‍කට කිරීමට උපමාවක් වශයෙන් යොදා ගන්නා ලද චක්‍රායුධය අනුව රෝද සටහනක් ගත යුතු ය. එය කරත්ත රෝදයක් සේ මොට්ට රෝද සටහනක් නොවී මෝල්වල ලී ඉරන රෝදය බඳු කැපෙන රෝදයක සටහන විය යුත ය. පිටතට නෙරා ගිය ගැට ඇති සටහනකින් පෙනේනේ එය කැපෙන රෝදයක් නොව මොට්ට රෝදයක් බව ය. මොට්ට රෝදය අවියක් නොවේ. පිටතට නෙරා ගිය ගැටවලින් එහි ආයුධ භාවය අවලංගු වේ. එබැවින් පිටතට නෙරූ ගැට සහිත චක්‍ර‍ය ධර්ම චක්‍ර‍ය වශයෙන් ගැනීමට නුසුදුසු ය. ධර්ම චක්‍ර‍ය චතුස්සත්‍යය පිළිබඳ වූවක් බැවින් ඒ රෝදයෙහි චතුස්සත්‍යය දක්වන ලකුණු පිහිට විය යුතු ය. ගරාදි අට ඇති රෝදයේ ඒ ගරාදිවලින් දක්වන්නේ සම්මා දිට්ඨි ආදි මාර්ග සත්‍යයේ අංග අට ය. ඒ අංග අට ධර්ම චක්‍රයෙන් සතරින් පංගුවකි. සතරින් පංගුව ද ධර්මචක්‍ර‍ය නොවේ. වෙන් වෙන් වශයෙන් එක් එක් සත්‍යය දක්නා ඥානයන්ට ක්ලේශප්‍ර‍හාණ ශක්තියක් නැත. ක්ලේශප්‍ර‍හාණ ශක්තිය ඇත්තේ එක්විට ම චතුස්සත්‍යය දක්නා ලෝකෝත්තර මාර්ග ඥානයට පමණෙකි.