යම් පුද්ගලයෙක් සරණ යාමේ දී

යම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් සුපටිපන්න නම් එම පුද්ගලයා සරණ යාම වරදක් නැත.

නමුත් පුද්ගලයෙක් ඒකාන්තයෙන් ම සැම කල්හිම කල්‍යාණ දැයි නිශ්චය කරගැනීම අසීරුය. පසු කලෙක වෙනස් විය හැකි බැවිනි.

භාග්‍යවතුන් වහන්සේ ගේ අවවාදයෙහි පිහිටන අප විසින් කළ යුත්තේ ;

භාග්‍යවතුන් වහන්සේ සහ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය ඒකාන්තයෙන් ම සරණ ගොස්,

එම ධර්මය අනුව ම කල්‍යාණ මිත්‍රයා තෝරා ගැනීම ය.

කල්‍යාණ මිත්‍රයා ද අපට සරණ වෙයි.

එනමුදු යම් ආචාර්ය වරයෙක් ඒකාන්තයෙන්ම සුපටිපන්න නම් ඔහු සංඝයා හොබවන බව සඳහන් වේ.

‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌ති. කතමෙ චත්‌තාරො?

භික්‌ඛු, භික්‌ඛවෙ, වියත්‌තො විනීතො විසාරදො බහුස්‌සුතො ධම්‌මධරො ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො සඞ්‌ඝං සොභෙති.

භික්‌ඛුනී, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති.

උපාසකො, භික්‌ඛවෙ, වියත්‌තො විනීතො විසාරදො බහුස්‌සුතො ධම්‌මධරො ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො සඞ්‌ඝං සොභෙති.

උපාසිකා, භික්‌ඛවෙ, වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙති.

ඉමෙ ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො වියත්‌තා විනීතා විසාරදා බහුස්‌සුතා ධම්‌මධරා ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නා සඞ්‌ඝං සොභෙන්‌තී’ති

පුද්ගලයෙක් සරණ නොයන ලෙසට භාග්‍යවතුන් වහන්සේ අපට දෙන අවවාදය,

පුබ්බ නිමිත්ත සූත්‍රයෙහි සඳහන් වන්නේ,

දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට වෙනස් කළ නො හැකි සද්ධාවක් තථාගතයන් වහන්සේ කෙරෙහි ත් තථාගතයන් වහන්සේ ගේ ධර්මය කෙරෙහිත් ඇති කර ගන්නා ලෙසය

එම නිසා කල්‍යාණ මිත්‍රයා තෝරා ගැනීමේදී ත්,

තමාගේ ගමන නිවැරදි ද යන කාරණය පරීක්ෂා කිරීමේදී ත්

ධර්ම රත්නය ම නිර්නායකය වේ.

සැමකල්හි තමන්වද
තමන්ගේ ධර්ම දැනුම ද
තමන්ගේ භාවනා ප්‍රගතියද
තම ආචාර්ය වරයාද
තමන් ඉගෙන ගන්නා ධර්ම කාරණා ද

ධර්ම රත්නය අනුවම පරික්ෂා කර බැලීමෙන් නොමඟ නො යා නිවැරදි ලෙස නිවනට ලඟා වීමට පුළුවන.

සකලමෙවිදං, ආනන්‌ද, බ්‍රහ්‌මචරියං, යදිදං – කල්‍යාණමිත්‌තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්‌පවඞ්‌කතා

කල්‍යාණමිත්‌තතා – කල්‍යාණ මිත්‍රයන් ඇති බව

කල්‍යාණසහායතා – කල්‍යාණ මිත්‍රයන් අපට අනුකම්පා කරන බව ( අපගේ ශ්‍රද්ධාව ප්‍රමාණවත් ලෙස ඇත්නම් අපට කල්‍යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව ලැබේ )

කල්‍යාණසම්‌පවඞ්‌කතා – අප කල්‍යාණ මිත්‍රයන් දෙසට නැමී පවතින බව ( කල්‍යාණ මිත්‍රයන් අපට දෙන අවවාද ගෞරවයෙන් පිළිපදිමින් ශික්ෂාකාමී වීම )

මේ පාඨය අනුව අද බොහෝ දෙනෙක් ව්‍යවහාර කරන කාරණයක් වන
කල්‍යාණමිත්‍රයන් නිසා මේ සාසනය පවතින්නේය” යන කරුණ අසම්පූර්ණ ය. සුනක්ඛත්ත භික්ෂුව වැනි අවාසනාවන්තයන් භාග්‍යවතුන් වහන්සේ ළඟින්ම ආශ්‍රය කල ද ප්‍රයෝජනයක් ගැනීමට නො හැකි ව ඇත.

එම නිසා නිවැරදිව එම ධර්ම කාරණය සඳහන් කළ යුත්තේ

කල්‍යාණ මිත්‍ර සේවනය සහිත බව නිසා ත්,

කල්‍යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව ( ලැබීමට තරම් ම සුදුසු සද්ධාවක් ) සහිත බව නිසා ත්,

කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට ගෞරව සහිත ව දැඩි ඕනෑකමකින් ඒ දෙසට යොමුවී සිටින බව නිසා ත්,

මේ සියලු සාසනය පවතින්නේ ය” ලෙස ය.

ස්ත්‍රී භාවයට පත් වීම

පිරිමියෙකු ස්ත්‍රී භාවයට පත් වීමට හේතු බොහෝ ගණනක් ඇත. නමුත් ඒ සියල්ල ම අකුසල් නොවේ.

යම් කෙනෙක් බොහෝ කුසල් කළත් ස්ත්‍රියක වීමට කැමති නම් ස්ත්‍රී ජීවිතයක ඉපදීමට හැකිය.

බොහෝ දෙනෙකු සිතන්නේ ස්ත්‍රියක් බවට පත් වන්නේ අකුසලයක් නිසා කියාය.

“යදා පන ලිඞ්‌ගපරිවත්‌තනං හොති, තදා බලවතා අකුසලෙන පුරිසලිඞ්‌ගං අන්‌තරධායති, දුබ්‌බලෙන කුසලෙන ඉත්‌ථිලිඞ්‌ගං පාතුභවති. දුබ්‌බලෙන ච අකුසලෙන ඉත්‌ථිලිඞ්‌ගං අන්‌තරධායති, බලවතා කුසලෙන පුරිසලිඞ්‌ගං පාතුභවතීති “

යම් කලක ලිංග පරිවර්තනයක් වේද, එකල බලවත් වූ අකුසලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වෙයි, දුර්වල වූ කුසලයෙන් ස්ත්‍රී ලිංගය පහළ වෙයි, දුර්වල අකුසලයෙන් ස්ත්‍රී ලිංගය අතුරුදන් වෙයි, බලවත් වූ කුසලයෙන් පුරුෂ ලිංගය පහළ වෙයි’ යනුයි.

එම නිසා පුරුෂ ලිංගය හෝ ස්ත්‍රී ලිංගය බලවත් හෝ දුර්වල කුසලයක් නිසා පහළ වෙයි. පුරුෂ ලිංගය හෝ ස්ත්‍රී ලිංගය බලවත් හෝ දුර්වල අකුසලයක් නිසා අතුරුදහන් වෙයි.

කාමමිථ්‍යාචාර අකුසලය නිසා සිදු වන්නේ නිරයෙ හි ඉපදීම, නපුංසක වීම, පණ්ඩක වීම ආදී දේවල්ය.

කර්මය ගෙවා අවසාන වූ විට ස්ත්‍රියක් බවට පත් වෙයි. වැඩි විස්තර සඳහා මහා නාරද කාශ්‍යප ජාතකය බලන්න.

අසූමහා ශ්‍රාවිකාවන් වැනි පින් අධික බොහෝ ස්ත්‍රීන්, කොතරම් පින් රැස් කලත්, ස්ත්‍රීන් ලෙසම ශාසනික සේවාවන් කළ යුතු නිසා, ස්ත්‍රීත්වය අත් නොහරී. 

දස්සනභූමිය යනු සොතාපත්ති (ප්‍රථම) මාර්ග ඵල ධර්මයන් ය.

දස්‌සනභූමි පඨමමග්‌ගඵලධම්‌මා. භාවනාභූමි අවසිට්‌ඨමග්‌ගඵලධම්‌මා.

දස්සනභූමිය යනු සොතාපත්ති (ප්‍රථම) මාර්ග ඵල ධර්මයන් ය.

භාවනා භූමිය යනු අවශේෂ මාර්ග ඵල ධර්මයන් ය. එනම් සකදාගාමී අනාගාමී අර්හත් මාර්ග ඵල ධර්මයන් ය.

මෙයින් කියවෙන්නේ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයන් අතර ප්‍රථම මාර්ගයට “දස්සන” යන නාමයත් ඉතුරු මාර්ගයන්ට “භාවනා” යන නාමයත් යෙදෙන බවයි.

අද කාලයේ මිත්‍යා දෘෂ්ටිකයන් පැහැදිලි කරන ආකාරයට “දස්සන” යනු ඇසෙන් බැලීමක් වත්,

“භාවනා” යනු ඇස් දෙක පියාගෙන කරන ක්‍රියාවක් වත් නො වන බව ය.

‘කස්‌මා පන සොතාපත්‌තිමග්‌ගො දස්‌සනං නාම ජාතො’ති? ‘පඨමං නිබ්‌බානදස්‌සනතො’

කුමන කරුණකින් සෝතාපත්ති මාර්ගය ට “දස්සන” යන නාමය ඉපදුනේ ද (පහළ වී ද ) ? ප්‍රථමයෙන් නිවන දකින ලද හෙයිනි.

සබ්බාසව සූත්‍රයේ සඳහන් වන අයුරින්
“අත්ථි ආසවා දස්‌සනා පහතබ්බා” යනුවෙන් සීලබ්බත පරාමාස, විචිකිච්ඡා, සක්කාය දිට්ඨි යන සංයෝජනයන් ප්‍රහාණය කරන්නේ චක්ඛු ද්වාරයෙහි (ඇසෙහි) ඇති වන දැකීමකින් නො ව,

මනස නම් වූ ඉන්ද්‍රියෙහි පහළ වන (පටිපදා ඤාණ දස්සන විසුද්ධියේදී ඇතිවන) විදර්ශනා ඥාණ යන්ටත් වඩා ප්‍රබල ව, ඉතා තියුණුව විපස්සනා ව පිහිටන සෝතාපන්න මාර්ග සිතෙනි.

එය ඇසින් දැකීමක් නොවේ.

සුළු මොහොතක කෝටි ප්‍රකෝටි වාර ගණනක් ඉපිද බිඳෙන නාම රූප ඇසින් දැකිය නොහැකි ය. තමා ගේ ඇසට මේ තරම් වේගවත් රූපයන් වෙන්කර හඳුනා ගත හැකියැයි යමකු තර්ක කළ හොත් ඔහු ට පැවසිය යුත්තේ ;

ඒ තරම් වේගවත් දෙයක් වෙන් කර හදුනා ගැනීමට ප්‍රථමයෙන්, තත්පරයකට රූප රාමු 30 ක් පමණ පෙන්වන චිත්‍රපටයක රුප රාමු ඇසින් වෙන් කර හඳුනාගත හැකි විය යුතු බවයි.

ඇසින් නාම රූප වෙන් කර හඳුනා ගත නොහැක. නිවන ද දැකිය නො හැකිය.

මනස නම් වූ ඉන්ද්‍රිය දියුණු කර ගැනීමෙන් පමණක් විදර්ශනා ඥාණ ලැබීමත් මාර්ග ඵල අවබෝධ කර ගැනීමත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමත් ඉෂ්ට සිද්ධ කර ගැනීමට පුළුවන.

යම් පුද්ගලයකුට රහත් වන තෙක්ම අකුසල් සිදු විය හැකියි

යම් පුද්ගලයකුට රහත් වන තෙක්ම අකුසල් සිදු විය හැකියි. එම නිසා යම් පව් ප්‍රමාණයක් සිදු වන බව පිළිගත යුතු ය .

නමුත් සෝතාපන්න වූ පුද්ගලයා ගේ පටන් අපායගාමී අකුසල කර්ම සිදු නො කරයි.

සෝතාපන්න පුද්ගලයා කාමයන් සේවනය කරයි යනු ;

විවාහ වෙයි, දරුවන් බිහි කරයි යනාදී කර්ම සාමාන්‍ය පුද්ගලයන් ගේ වශයෙන් විශේෂ අකුසලයක් නොවුනත් රාගය සහිත බැවින් අකුසල්ය.

සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අවම වශයෙන් තිසරණ සහිත පංච ශීලය දිවි හිමියෙන් රකියි. කුරා කූහුඹියෙකුවත් නො මරයි. තණකොළයක් හෝ සොරකම් නො කරයි. කාමයෙහි වරදවා නොහැසිරෙයි, විහිළුවකටවත් බොරුවක් නො කියයි , අතපසු වීමකින් හෝ මත්පැන් නො බොයි.

පැවිදි වූ ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේ උපසම්පදා සීලය ම රකී.

මෙකල බොහෝ දෙනෙක් සෝතාපන්න ආර්යයන් වහන්සේ පස් පව් කරන බවට ප්‍රකාශ කරමින් බොහෝ අකුසල් රැස් කර ගනියි. මෙකල පෙනී සිටින ව්‍යාජ ආර්යයන් වහන්සේලා සියලු පව් කරන බැවින් එම කර්ම වසා ගැනීමට සියලු ආර්යයන් වහන්සේලාට නිකරුණෙ දොස් නගයි. ඔවුන්ට අවීචියේ දොර විවෘත ව ඇත.

රතන සුත්‍රයේ තියෙන මෙම ධර්ම කරුණු ඉතා හොඳින් මජ්ඣිම නිකායේ පලවෙනි පොතේ කෝසම්බිය සූත්‍රයෙහි පෙන්වා දී ඇත.

කිඤ්චාපි සො කම්මං කරෝති පාපකං
( ඔහු යම් පාප කර්මයක් කරයි නම් )

කායේන වාචා උද චෙතසා වා
( කයින් හෝ වචනයෙන් හෝ හෝ නැවත සිතින් හෝ )

අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
( ඔහු එය වැසීම අභව්‍යයි {සිදුනොවේ})

අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
( සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේගේ අභව්‍ය බව {භාග්‍යවතුන් වහන්සේ විසින්} කියන ලදී )

රතන සූත්‍රයෙහි ඇති මෙම ධර්ම කරුණ, මජ්ඣිම නිකායෙහි මූල පඤ්ඤාසකයෙහි ( පළමු පොතේ )
කොසම්බිය සූත්‍රයෙහි ( 760 වෙනි පිටුවෙහි ) මෙසේ සඳහන් වේ.

ධම්‌මතා එසා, භික්‌ඛවෙ, දිට්‌ඨිසම්‌පන්‌නස්‌ස පුග්‌ගලස්‌ස –
( සෝතාපන්න පුද්ගලයාගේ මෙබඳු ධර්මතාවයක් වේ )

‘කිඤ්‌චාපි තථාරූපිං ආපත්‌තිං ආපජ්‌ජති, යථාරූපාය ආපත්‌තියා වුට්‌ඨානං පඤ්‌ඤායති,
( කිසියම් හෝ වරදකට පැමිණෙයි, යම් වරදකින් නැගිටීමක් පෙනෙන්නේ ද )

{ ඉන් කියැවෙන්නේ නිවැරදි කරගත හැකි වරදක් පමණක් කරන බව ය – අපායගාමී කර්ම නො කරන බව ය }

අථ ඛො නං ඛිප්‌පමෙව සත්‌ථරි වා විඤ්‌ඤූසු වා සබ්‍රහ්‌මචාරීසු දෙසෙති විවරති උත්‌තානීකරොති;
( ඉන් පසු වහ වහා භාග්‍යවතුන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් හට දෙසා විවෘත කර ඔසවා පෙන්වයි )

දෙසෙත්‌වා විවරිත්‌වා උත්‌තානීකත්‌වා ආයතිං සංවරං ආපජ්‌ජති’.
( දේශනා කර විවෘත කර ඔසවා පෙන්වා නැවත සංවරයට පැමිණෙයි )

සෙය්‍යථාපි, භික්‌ඛවෙ, දහරො කුමාරො මන්‌දො උත්‌තානසෙය්‍යකො හත්‌ථෙන වා පාදෙන වා අඞ්‌ගාරං අක්‌කමිත්‌වා ඛිප්‌පමෙව පටිසංහරති;
( යම් සේ මහණෙනි, ඉතා ලදරු වූ උඩුකුරු ව සයනය කරන්නා වූ කුමාරයෙකු
අතින් හෝ පයින් හෝ ගිණි අඟුරක් පාගා { ස්පර්ශ කර } වහ වහා { තම අත හෝ පය } ආපස්සට ගන්නේ ද )

මෙයින් කියැවෙන්නේ සෝතාපන්න පුද්ගලයා දවස් ගණන් වැරදි නොකරන බව ය. ඉතා සුළු වරදක් කළත් වහ වහා එය හෙළි කර නිවැරදි කර ගන්නා බව ය.

මෙම සූත්‍රයෙහි ඇති අනෙකුත් කරුණු වලින් පැහැදිලි වන්නේ – සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා –

1. මොන යම් කටයුත්තක යෙදුනත් තමාගේ අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හානියක් නොකර ගන්නා බව ය.
2. ත්‍රිපිටක ධර්මය දේශනා කරන කල්හි හොඳින් කන් යොමු කරමින් සිත එකඟ කර ගනිමින් හොඳින් මතක තබා ගනිමින් ශ්‍රවණය කරන බව ය.
3. ත්‍රිපිටක ධර්මය දේශනා කරන කල්හි අර්ථය සහ ධර්මය හොඳින් තේරුම් ගනිමින් සතුටින් අවබෝධ කර ගන්නා බව ය.

අද කාලයේ සිටින මං මුළා වූ ( ව්‍යාජ මාර්ග ඵල ඇත්තවුන් යැයි කියාගන්නා ) පුද්ගලයන් ට මෙම හැකියාවන් නැත. 

 

භාග්‍යවතුන් වහන්සේට සිතිවිලි මාත්‍රයකින් අගෞරව කරන ලද මිත්‍යා දෘෂ්ටිකයන් අවීචියෙහි ඉපදුන බව

මෙකල විශේෂත්වය නම් සතර අපායෙන් මුදවා ගැනීම පිණිස ලෝ වැසියන්ට අනුකම්පාවෙන් , නිවැරදි ත්‍රිපිටකය අනුව ධර්මය දේශනා කරන විට පිළිගන්නා පිරිස, අනුගමනය කරන පිරිස අඩු බව ය.

සද්ධාවෙන් තොරව තමනුත් පැටලී, අතරමංවී අනුන්ට අනුකම්පා නො කර තමන් අපායට යන ගමනේ අනුන්වත් අපායට කැදවා ගෙන යන, ධර්මයට විරුද්ධ කරුණු පවා තමන්ට සිතෙන සිතෙන පරිදි විසිතුරු කර දේශනා කරන විට පිළිගන්නා පිරිස, අනුගමනය කරන පිරිස බොහෝ සෙයින් වැඩි ය.

වැරදි බණ අසන පිරිස, තිසරණ නැති අසරණයන් වන බවට කදිම උදාහරණ දැන් දැන් දක්නා ලැබේ.

කෝකාලික භික්ෂූන් වහන්සේ වැනි සීලය සම්පූර්ණ කරණ ලද උතුමන් පවා තිසරණ බිඳ ගෙන සසර අතරමන් වූ බව සඳහන් කල්හි, දේවදත්ත භික්ෂූන් වහන්සේ වැනි සීලය, සමාධිය, අභිඥා ආදී උත්තරමනුෂ්‍ය ධර්ම සපුරන ලද උතුමන් පවා තිසරණ බිඳ ගෙන සසර අතරමන් වූ බව සඳහන් කල්හි මෙකල සිටින අල්පමාත්‍රගුණ සහිත පුද්ගලයන් අපායට යොමු වී රැස් කරගන්නා අකුසල් පිළිබඳ විශ්මයට පත්විය යුතු නැත.

ඔවුන් සිතන්නේ අකුසල් සිදු වන්නේ ශික්ෂා පද සමාදන් වුවහොත් පමණ බව ය. එය එසේ නම් ශික්ෂා පද සමාදන් වීම ම අනතුරු දායක ය. එය එසේ නම් ශික්ෂා පද අන්‍යන්ට දේශනා කරන ලද භාග්‍යවතුන් වහන්සේ අපට අවැඩ පිණිස, අහිත පිණිස එම දේශනා කරන ලද විය යුතු ය.

ඇතැම් මිථ්‍යා දෘෂ්ටිකයන්ට සිතෙන්නේ බුද්ධ රත්නයට චෛත්‍යය බෝමළු ආදී පූජා ස්ථාන මුල් කරගෙන හෝ අන් අයුරකින් හෝ අගෞරව කළ විට, ධර්ම රත්නයට අගෞරව කළ විට අකුසල් සිදුවන්නේ භික්ෂූන් වහන්සේලාට බවය. අගෞරව කළත් ගිහියන්ට ඒ අකුසල් සිදු වන්නේ නැති බව ය. එසේ ගත් කළ මිථ්‍යා දෘෂ්ටිකයන්ට නම් මොන දේ කලත් අකුසල් සිදු නොවන බව කෙනෙකුට සිතෙන්නට පුළුවන.

මෙසේ සිතිවිලි පහළ වීමට මූලික හේතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ක්‍රමයෙන් බැහැරව හොර පාරෙන් නිවන් දකින්නට තිබෙන තණ්හාවයි.

භාග්‍යවතුන් වහන්සේ කොතෙක් දේශනා කළත් භාග්‍යවතුන් වහන්සේට හෝ ධර්ම රත්නයට ගරු කරන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ය.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි අනුගමනය කිරීමෙන් පමණක් නිවන් දැකිය හැකි බව ඔවුනට අවබෝධයක් නැත.

තමන්ගේ කායික වාචසික ක්‍රියා සිතෙහි පවතින තන්හා වේ පිළිබිඹුවක් බව ඔවුන් නොදනී. තමා තුල පවතින කෙලෙස් පිළිබඳ අවබෝධයක් නොමැති බැවිනි. ධර්ම ශ්‍රවණය කරන විට තමන් ඉන්න ඉරියව්ව තමන්ගේ ක්ලේශයන් ට අනුකූල බව ඔවුන් නොදනී. ධර්මයට අගෞරව කරන්න වූ පුද්ගලයාට විශාල අකුසල් ප්‍රමාණයක් රැස් වන බවද ඔවුන් නොදනී.

භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ දී පමණක් නොව විහාර සීමාවට ඇතුළු වන විට පවා තම හිස වසාගෙන ඇතුළු වීම භික්ෂූන් වහන්සේලාට ද තහනම් කර ඇත. භික්ෂූන් වහන්සේලාට එසේනමි ගිහියන්ට කෙසේ විය යුතුද.

භාග්‍යවතුන් වහන්සේට සිතිවිලි මාත්‍රයකින් අගෞරව කරන ලද මිත්‍යා දෘෂ්ටිකයන් අවීචියෙහි ඉපදුන බව ධර්මයෙහි සඳහන් ය.

( අන්ධයන් අනුගමනය කරමින් ) අන්ධානුකරණයෙන් නිරයට යන මොවුන් බේරා ගැනීමේ ක්‍රමයක් සොයාගැනීම අපහසුය.