බාල පණ්ඩිත සූත්‍රයෙහි දැක්වෙන පරිදි,
මේ මහා සාගරයට ම පාවෙන එකම වියසිදුරක් ඇත්නම්, එම වියසිදුර සියලු දිසාවන්ට හමන සුළඟ නිසා සියලු දිසාවන්ට පාවී යයි නම්,
අවුරුදු සියයකට වරක් සාගරය මතට පැමිණ අහස බලන එක ඇසක් පෙනෙන කැස්බෑවෙක් ඇත්නම්,
එම කණ කැස්බෑවා එම වියසිදුරෙන් ම අහස බැලීම සිදු විය හැකි වාර ගණන කොතරම් දුර්ලභද ?
( එය සිදුවිය නොහැකි යැයි කෙනෙකුට සිතන තරම් දුර්ලභ ය )
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ එම කණකැස්බෑවා එම වියසිදුරෙන්ම අහස බලන වාර ගණනටත් වඩා අඩු වාර ගණනකින්, සතර අපායට වැටුණ මනුෂ්‍යයෙකු නැවත මනුෂ්‍ය ලෝකයෙහි උප්පත්තිය ලබන බව ය.
නමුත් අපි සියලු දෙනා බොහෝ වර මනුෂ්‍යයව ඉපදී ඇති බව පිළිගනිමු.
මේ අනුව,
සිදු විය නොහැකි මට්ටමේ දෙයක් පවා, ඉතා දීර්ඝ කාලයක් තුළ ( 1 වරක් හෝ ) සිදුවිය හැකි බව බොහෝ දෙනෙකු පිළිගනී.
මේ අනුව,
යම් කාලයක් තුළ, යම් දෙයක් එකවරක් සිදු විය හැකි නම්,
ඊට වඩා දීර්ඝ කාලයක් තුළ,
අතිදීර්ඝ කාලයක් තුළ එම දෙයම නැවත නැවත සිදු විය හැකි බව පිළිගැනීමට සිදු වේ.
උබ්බරී කථා වස්තුවේ ද දක්වා ඇත්තේ සසරෙහි ඇති අතිදීර්ඝ බව ය.
එකම නමකින්,
එකම ස්ථානයක,
එකම ස්වාමියාට බිරිඳ ව,
86,000 වතාවක් ඉපදී,
එකම ආකාරයෙන් වැලපීමට සිදුවීම බොහෝ දෙනෙකුට විශ්මයජනක කරුණක් ලෙස වැටහෙනු ඇත.
සංසාරය අති දීර්ඝ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත. එය ( සසරෙහි ඇති දීර්ඝ බව ) සාමාන්‍ය ජනයාට පැහැදිලි කර දීම පහසු නොවන තරම් අති දීර්ඝ බවකි.
බොහෝ දෙනෙකු විශ්මයට පත් වන්නේ එකම දෙය නැවත නැවත එකම ලෙස සිදුවීම පිළිබඳ ව ය.
නමුත් එහි ගැබ්ව ඇති, අතිශය විශ්මයජනක කරුණ නම්,
මෙවැනි ප්‍රකාශයක් කරන්නා වූ සෘෂි වරයෙක්ගේ අභිඥාවෙන් දැකිය හැකි පරාසයෙහි ඇති අතිපුළුල් බවයි.
එක් සත්වයෙක් බ්‍රහ්ම ලොකයන්, දිව්‍ය ලෝකයන්, මනුෂ්‍ය ලෝකය හා සතර අපායන් අතර මැරි මැරී ඉපදෙමින් ගෙවන සංසාරයෙහි විවිධත්වය අචින්ත්‍යය ය. උදාහරණයක් ලෙස තිරිසන් ලෝකයෙහි පමණක් තිරිසනුන් වර්ග ගණනය කළ නොහැකි ප්‍රමාණයක් ඇත. එම හැම භවයකම අප ඉපදී ඇත. සසර එතරම් දිග ය. ඒ ඕනෑම භවයක් ගත් කල, එම එක භවයක අප බොහෝ වාර ගණනක් ඉපදී ඇත. සසර එතරම් අති දීර්ඝ ය.
පැහැදිලි කරණ ලද මෙම ප්‍රමාණය මදි යැයි සිතේ නම් උදාහරණ සහිතව පැහැදිලි කළ හැකිය.
උබ්බරී කථාවස්තුවෙන් අවබෝධ කරගත යුත්තේ සසරෙහි ඇති අති දීර්ඝ බව හා ඕනෑම සිදුවීමක් බොහෝ වාර ගණනක් එකම ලෙස සිදු වී ඇති බව ය.
මේ අනුව,
අප කරන බොහෝ දේ සිදු කරන්නේ ද, මුහුණපෑමට සිදුවන බොහෝ අවස්ථාවන්ට ද මුහුණ පාන්නේ ද, පළමු වතාවට නො වන බව ය.
අති දීර්ඝ සසර තුල කවදාවත් සිදු නොවුන කරුණු කිහිපයක් ඇත.
1. සෝතාපන්න මාර්ග සිත, ඵල සිත අපගේ චිත්ත පරම්පරාවේ හි ඇති වී නොමැත.
2. සකදාගාමී මාර්ග සිත, ඵල සිත අප අත්දැක නැත.
3. අනාගාමී මාර්ග සිත, ඵල සිත අප අත්දැක නැත.
4. සුද්ධාවාස බ්‍රහ්ම තලයන්හි කිසි දා අප ඉපදී නැත.
5. අර්හත්වයෙහි සුවය අප අත්දැක නැත.
6. නිවනෙහි සුවය අප අත්විඳ නැත.
මහත් වූ පරාක්රමයකින්, මහත් වූ වීර්යයකින් පාරමී දම් පුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වන්නේ,
සියලු සත්වයන්හට කිසිදා නොලැබුන අතිශය සුව දායක නිවන් සුවය ලබා දෙනු පිණිස ය. සසරෙහි ඇති අති මහත් දුකෙන් ගලවා ගනු පිණිස ය.
මෙතරම් වෙහෙස වී භාග්‍යවතුන් වහන්සේ මනා කොට ධර්මය දේශනා කොට ඇති කල්හි ත් බොහෝ දෙනා ඉතා වැදගත් යැයි සිතා අතිශයින් වෙහෙස වන්නේ, පෙර සංසාරයේ බොහෝ වාර ගණනක් අත්විඳ ඇති සිදුවීම් ( අලුත් සිදුවීම් යැයි සිතා ) තව වරක් හෝ අත්විඳීමට ය.
අති දීර්ඝ සංසාරයේ තුළ නැවත නැවත කරන ලද කාර්යයන් ම,
මේ ජීවිතය තුළ ද නැවත නැවත කිරීමට වෙහෙස වීම පසෙක තබා,
කිසි දා අත් දැක නැති නිවන් සුවය සාක්ෂාත් කිරීම පිණිස සියල්ලෝ ම වෑයම් කරත් වා !
මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ මහාතණ්හාසඞ්ඛය සූත්‍ර අට්ඨකථාවෙහි සඳහන් වන්නේ මෙසේ ය.
තස්මා අයං භික්ඛු බුද්ධෙන අකථිතං කථෙති,
( එම නිසා මෙම භික්ෂුව බුදු රජුන් විසින් නොකියන ලද දෙයක් කියයි )
ජිනචක්කෙ පහාරං දෙති,
( { භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම චක්‍රය ට } ජිනචක්‍රයට ප්‍රහාරයක් දෙයි )
වෙසාරජ්ජඤාණං පටිබාහති,
( {භාග්‍යවතුන් වහන්සේගේ සතරක් වූ} විශාරද ඥානයන් සම්පූර්ණයෙන් බැහැර කරයි )
සොතුකාමං ජනං විසංවාදෙති,
( {භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය} අසන්නට කැමැති වූ ජනතාව බොරුවෙන් මුලා කරයි )
අරියපථෙ තිරියං නිපතිත්වා මහාජනස්ස අහිතාය දුක්ඛාය පටිපන්නො.
( ආර්ය මාර්ගයෙහි හරහට පතිත වී මහ ජනතාවට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ය )
යථා නාම රඤ්ඤො රජ්ජෙ මහාචොරො උප්පජ්ජමානො මහාජනස්ස අහිතාය දුක්ඛාය උප්පජ්ජති,
( යම්සේ රජුගේ රාජ්‍යයෙහි මහ සොරෙකු උපදින්නේ මහජනතාවට අහිත පිණිස දුක් පිණිස ඉපදෙයි ද )
එවං ජිනසාසනෙ චොරො හුත්වා මහාජනස්ස අහිතාය දුක්ඛාය උප්පන්නොති වෙදිතබ්බො
( මෙසේ ජිනශාසනයෙහි සොරෙක් වී ජනතාවට අහිත පිණිස දුක් පිණිස ඉපදුනා යැයි දැන ගත යුතුයි )
භාග්‍යවතුන් වහන්සේ විසින් අති දීර්ඝ කාලයක් පාරමිතා පූරණය කරන ලද්දේ ඉතා නිවැරදි ව අන්‍යයන්ට ධර්මය දේශනා කිරීම පිණිසය. මෙසේ, අප්‍රමාණ වූ ත් අච්න්ත්ය වූ ත් මහා කුසල් ප්‍රමාණයක් රැස් කිරීම මගින් ලබාගත් සර්වඥතා ඥානයට නො සලකමින්, අන්‍යාගමිකයන් සේ අගෞරව කරමින්, එම අතුල්‍ය වූ ඥානයෙන් දේශිත එක ධර්ම ස්කන්ධයකුදු බැහැර කරන්නේ නම්, එම කර්මය අතිශයින් බැරෑරුම් වූ කර්මයකි. අතිශය භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි. මෙම කර්මය රැස්කර ගන්නා පුද්ගලයා හට කවදා සෙතක් සුවයක් අත් වේද යන්න සිතා ගැනීමට ත් දුෂ්කර ය.
“තත්ථ එකානුසන්ධිකං සුත්තං එකො ධම්මක්ඛන්ධො. යං අනෙකානුසන්ධිකං, තත්ථ අනුසන්ධිවසෙන ධම්මක්ඛන්ධගණනා. ගාථාබන්ධෙසු පඤ්හාපුච්ඡනං එකො ධම්මක්ඛන්ධො, විස්සජ්ජනං එකො. අභිධම්මෙ එකමෙකං තිකදුකභාජනං, එකමෙකඤ්ච චිත්තවාරභාජනං, එකමෙකො ධම්මක්ඛන්ධො. විනයෙ අත්ථි වත්ථු, අත්ථි මාතිකා, අත්ථි පදභාජනීයං, අත්ථි අන්තරාපත්ති, අත්ථි ආපත්ති, අත්ථි අනාපත්ති, අත්ථි තිකච්ඡෙදො. තත්ථ එකමෙකො කොට්ඨාසො එකමෙකො ධම්මක්ඛන්ධොති වෙදිතබ්බො. එවං ධම්මක්ඛන්ධවසෙන චතුරාසීතිසහස්සවිධං.”
” එහි එක් සූත්‍රයක් අනු සන්ධියක් ඇති සූත්‍රයක් එක ධර්මස්කන්ධය කි. අනුසන්ධි ගණනාවක් ඇති සූත්‍රයක අනුසන්ධි ගණනට ධර්මස්කන්ධ වේ. ගාථා බන්ධනයක ප්‍රශ්න ඇසීම එක ධර්මස්කන්ධය කි, විසඳීම එක ධර්මස්කන්ධය කි.
අභිධර්මයෙ හි එක තිකදුක කොටසක්, එක චිත්ත වාර කොටසක්, එක එක ධර්මස්කන්ධය කි.
විනෙයහි වාස්තු, මාතිකා, පදභාජනීය, අන්තරාපත්ති, ආපත්ති, අනාපත්ති, තිකච්ඡේද ඇත. එහි එක එක කොටසක් එක එක ධර්ම ස්කන්ධයක් වේ. මෙසේ ධර්මස්කන්ධ වශයෙන් අසූ සාර දහසෙකි “
විනය පිටකයෙහි ධර්මස්කන්ධ 21,000
සූත්‍ර පිටකයෙහි ධර්මස්කන්ධ 21,000
අභිධර්ම පිටකයෙහි ධර්මස්කන්ධ 42,000
මජ්ඣිම නිකාය අට්ඨ කථා :-
“තත්ථ මජ්ඣිමසඞ්ගීති නාම පණ්ණාසතො මූලපණ්ණාසා මජ්ඣිමපණ්ණාසා උපරිපණ්ණාසාති පණ්ණාසත්තයසඞ්ගහා. වග්ගතො එකෙකාය පණ්ණාසාය පඤ්ච පඤ්ච වග්ගෙ කත්වා පන්නරසවග්ගසමායොගා. සුත්තතො දියඩ්ඪසුත්තසතං ද්වෙ ච සුත්තන්තා. පදතො තෙවීසුත්තරපඤ්චසතාධිකානි අසීතිපදසහස්සානි. තෙනාහු පොරාණා –
‘‘අසීතිපදසහස්සානි, භිය්යො පඤ්චසතානි ච;
පුන තෙවීසති වුත්තා, පදමෙවං වවත්ථිත’’න්ති.
අක්ඛරතො සත්ත අක්ඛරසතසහස්සානි චත්තාලීසඤ්ච සහස්සානි තෙපඤ්ඤාසඤ්ච අක්ඛරානි. භාණවාරතො අසීති භාණවාරා තෙවීසපදාධිකො ච උපඩ්ඪභාණවාරො. අනුසන්ධිතො පුච්ඡානුසන්ධි-අජ්ඣාසයානුසන්ධි-යථානුසන්ධිවසෙන සඞ්ඛෙපතො තිවිධො අනුසන්ධි. විත්ථාරතො පනෙත්ථ තීණි අනුසන්ධිසහස්සානි නව ච සතානි හොන්ති.”
ඉහත සඳහන් වන පරිදි මජ්ඣිම නිකායෙහි ;
පණ්ණාස 3 කි
වර්ග 15 කි
සූත්‍ර 152 කි
පද 80,523 කි
අකුරු 7,40,053 කි
බණවර 80.5 ට පද 23 ක් අධිකය
අනුසන්ධි වර්ග 3 කි
අනුසන්ධි ගණන 3900 කි.
මෙසේ ධර්මස්කන්ධ වශයෙන් 3900 කි වේ.