Ape Budu Hamuduruwo 50

අපේ බුදුහාමුදුරුවෝ 50

 

නාරද බුදුන්ගේ ශාසනය අවුරුදු අනූ පන්දහසක් පැවතිලා අතුරුදහන් වුනා. එලෙස ඒ කල්පය ද විනාශ වුණා. ඉන් පසු ව අසංඛ්‍ය කල්පයක් බුදුවරු ලොව පහල උනේ නැහැ. එවැනි කල්ප බුද්ධ ශූන්‍ය කල්ප වශයෙන් හඳුන්වනවා. නැවතත් බුද්ධාලෝකයෙන් ලොව තොර වී අන්ධකාරය රජ කරන්න වුනා. සතර අපාය පිරී ඉතිරිමත් දිව්‍ය තල හිස් වීමත් එවැනි කල්ප වල තවත් ලක්ෂණයක්. එවැනි අසංඛ්‍ය කල්පයක් නිමා කරමින් තවත් මණ්ඩ කල්පයක ආලෝකය ලොවට උදා වන්නට වුනා. මණ්ඩ කල්පයක් කියන්නේ බුදුවරු දෙනමක් පමණක් පහළවන කල්පයකට. ඒ අවිදු ගනඳුර, නිමා කරමින් සකලලෝකෝත්තර වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුනා.

උන්වහන්සේද පාරමී පුරා තුසිතපුර ඉපිද එයින් චුතවී හංසවතී නුවර සකල ජන ආනන්දකර නන්දන නම් රජුගේ අගමෙහෙසි උත්තමකුල ජනිත සුජාතා දේවියගේ කුස පිළිසිද ගත්තා. දෙවියන් විසින් ඇති ආරක්ෂා ඇති එතුමිය දසමස් ඇවෑමෙන් හංසවතී උයනෙහි පියුමතුරා කුමරු ප්‍රසූත කළා. අනෙකුත් බෝධිසත්ත්වයන්ගේ වගේම උන්වහන්සේගේ උපතේදීත් මිට ඉහත විස්තර කල පරිදී දෙතිස් පෙළහර ලොවෙහි ඇති වුනා. උන්වහන්සේගේ උපතේදී ද පියුම් වර්ෂාවක් ඇද හැලුනා. ඒ නිසාම උන්වහන්සේට නම් තබන දිනයේ නෑයෝ පදුමුත්තර කියා නම් තැබුවා. උන්වහන්සේ මෙලෙස අනේක විද සැප සම්පත් මැද අවුරුදු දසදහසක් ගිහිගෙයි වාසය කළා.

Ape Budu Hamuduruwo 49

අපේ බුදුහාමුදුරුවෝ 49


නාරද බුදුහාමුදුරුවෝ 04

ඒ නාරද භාග්‍යයවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව 

බුද්ධවංසපාළියේ මෙහෙම සංෂිප්ත කොට සදහන් වෙනවා.

පදුම බුදුරජුන්ට පසුකාලයෙහි දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙක් නැති, නමින් ’’නාරද’’ නම්වූ සම්බුදු රජතෙම වී.

ඒ නාරද බුදුරජතෙම සක්විති රජුගේ ළයෙහි වැඩුණු ආදරණීය දෙටුපුත්ය. පළඳින ලද මාලාභරණ ඇත්තේ ධනඤ්ජය නම් උයනට එළඹියේය.

ඒ උයනෙහි ලෝකයෙහි ප්‍රසිද්‍ධවූ, දැකුම්කළු හොඳින් වැඩුණු මහත් පිවිතුරු රත්තොටිල ගසක් විය. ඒ ගස කරා පැමිණ මහ රත්තොටිල ගස යට හුන්නේය.

ඒ තොටිල ගස මුලදී වජ්‍රයකට බඳු හෙවත් තියුණුවූ පමණ කළ නොහැකි සර්‍වඥතාඥානය උපනි. ඒ ඥානයෙන් ඇතිවීම් වශයෙන් සියලු සංස්කාරයන් විමසීම කෙළේය.

ඒ තොටිල ගස මුලදී සියලු කෙලෙසුන් ඉතුරු නොකොට විනාශයට පැමිණවී. හුදෙක් තණි රහත් මග නුවණටද, තුදුස් බුදු නැණටද පැමිණි සේක.

මහර්ෂීවූ නාරද බුදුරදුන්ගේ උපන් නුවර ’’ධඤ්ඤවතී’’ නම්. පියතෙම ’’සුදෙව’’ නම් රජය. වැදූ මව්තොමෝ ’’අනොමා’’ නම් වූවාය.

ඒ නාරද බුදුරජතෙම බුදුවීමට පෙර අවුරුදු නව දහසක් ගිහිගෙයි විසී. ’’ජිත’’ ය, ’’විජිත’’ ය, ’’අභිරාම’’ ය යන උතුම් ප්‍රාසාද තුණක් වූහ.

මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් තුන් දහසකි. බිරින්ද ’’විජිත සේනා’’ නම් වූවාය. පුත් තෙම ’’නන්දුත්තර’’ නම් වී.

සතර පෙර නිමිති දැක, පා ගමණින් මහබිනික්මන් කෙළේය. නාරද ලෝනා හිමිඳ සත් දිනක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.

මහාවීරවූ නාරද ලෝනා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, ’’ධනඤ්ජය’’ නම් උතුම් උයනෙහිදී දම්සක් පැවැත්වූ සේක.

මහර්ෂීවූ නාරද බුදුරදුන්ට ’’භද්දසාල’’ ද, ’’ජිනම්ත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙමේ ’’වාසෙට්ඨ’’ නම් වී.

’’උත්තරා’’ ද, ’’ඵග්ගුණී’’ ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’තොටිල’’ ගසයයි කියනු ලැබේ.

’’උග්ගරින්‍ද’’ ද, ’’වසභ’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’ඉන්‍දවරී’’ ද, ’’ඉන්දී’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.

අසූඅට රියනක් උස්වූ, රන් ඇගෑවක් පහන් කණුවක් බඳු නාරද මහමුනිඳු තෙම දස දහසක් සක්වළවල් බබලවති.

ඒ නාරද බුදුරජුන්ගේ ශරීරයෙන් බඹයක් පමණවූ ආලෝකය හාත්පස නිතර දුවයි. පැතිරෙයි. දවල්ද, රෑද නිතර යොදුනක් තැන් පතුරුවයි.

ඒ කාලයෙහි නාරද බුදුරජුන්ගේ රශ්මියෙන් පැතුරුණු හාත්පස යොදුනක් පමණ තැන ඇතැම් ජනයෝ පන්දම්ද, පහන්ද නොදල්වත්.

ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂ පවතී. ඒ නාරද බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.

යම්සේ තරු සමූහයන් කරණකොටගෙන අහස විසිතුරුව හොබීද, එපරිද්දෙන්ම උන්වහන්සේගේ ශාසනය රහතුන් කරණකොටගෙණ ශෝභාවත් විය.

ඒ නරදෙටු නාරද බුදුරජතෙම රහතුන් හැර සෙසු පිළිවෙත් පිරූ සෙඛාදී පුද්ගලයන්ට සංසාර නමැති සැඩපහරින් එතර කිරීම පිණිස මාර්‍ග නැමැති හෙය ඒදණ්ඩ දැඩිකොට තබා පිරිනිවි සේක.

අසමසමවූ ඒ නාරද බුදුරජතෙමේද, අසමාන තෙද ඇති ඒ රහත්හුද යන සියල්ල අතුරුදන්වී. සියලු සංස්කාරයෝ සිස්වූවාහු නොවෙත්ද?

නාරද ජිනරාජයන් වහන්සේ සුදස්සන නම් නුවරෙහි පිරිනිවි සේක. ඒ නුවරෙහිම ජිනථූප දාගැබ තුන් යොදුනක් උසට බැන්දේය.

 

Ape Budu Hamuduruwo 48

අපේ බුදුහාමුදුරුවෝ 48

 

අසුකෙළකට අසපුවක් මැවූ අප මහා බෝසතාණෝ
නාරද බුදුහාමුදුරුවෝ 03

නිරන්තරයෙන් යොදුනක් බුදුරැස් විහිදුන නාරද බුදුහාමුදුරුවෝ.

තවත් මුලදි කියන්න බැරි විශේෂ කරුණක් තිබුණා. ඒ තමයි නාරද බුදුරජාණන් වහන්සේගේ තාත්තා ගැන. නාරද බුදුරජාණන් වහන්සේ ගේ පියා සක්විති රජ කෙනෙක්. සක්විති රජ කෙනෙකුගේ පුතෙකුට තිබිච්ච ලෞකික සැප ගැන හිතන්න. නාරද බෝසතාණන් වහන්සේ එවැනි අනේක වූ සැප සම්පත්ද සක්විති රජකම ද හැර දමා තමයි බුද්ධත්වය සඳහා පැමිනුනේ. 

නාරද බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහයනුත් බුද්ධ රශ්මි ධාරා යොදුනක් පමණ පැතිරුණා කියල තමයි අට්ඨකථාවේ කියන්නේ. ඒ නිසාම උන්වහන්සේ වැඩ සිටින තැන්වල ජනතාව පන්දම් පහන් දැල් වූයේ නැහැ . කාලය සෙමින් ගත වෙද්දි උන් වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් වුණා .

ප්‍රථම සන්නිපාතය

පළවෙනි සන්නිපාතය ඇතිවුණේ ථුල්ලකොට්ඨිත නුවරයි. භද්දසාල විජිතමිත්ත කියන්නේ උන් වහන්සේගේ අගසව් දෙදෙනා. දිවි ජීවිතේ ඒ දෙන්නා හොඳම යාලුවෝ .ඔවුන් දෙදෙනා නිවන් මග සොයමින් එනකොට තමයි දැක්කෙ බුදුරජාණන් වහන්සේ මහා පිරිසක් මැද වැඩ සිටිනවා . ඒ අතිශයින් ප්‍රභාස්වර වූ නාරද බුදු පියාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දැකීමෙන් මේ කෙලෙසුන් නැසූ සම්මා සම්බුදුවරයෙකු යයි නිෂ්ඨාවට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් බණ අසා පැවිදි බව ලබා ගත්තා. ඒ පැමිණීම ඒ බුදු රජාණන් වහන්සේත් බලාපොරොත්තු වෙන්න ඇති. ඔවුන් පැවිදි ව රහත් වූ පසු භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්ෂයක් භික්ෂූන් මැද පාමොක් දේශනා කළා. එයප්‍රථම සන්නිපාතයයි.

දෙවැනි සන්නිපාතය

යම් කාලෙක නාරද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥාති සමූහයා අරභයා විශේෂ ධර්ම දේශනයක් පැවැත්වූවා. ඒ තමයි උන්වහන්සේ ගේ පළමු බුද්ධත්ව ප්‍රාර්ථනය සිට බුද්ධත්වය දක්වා ආ මග මඟ පිළිබඳව සවිස්තර ව දේශනා කළ අති මිහිරි බුද්ධ වංශ කතාවයි . එදා අනූ කෙළ දහසක් භික්ෂූන්ගේ දෙවැනි සමාගමය වුණා.

 තෙවැනි සන්නිපාතය

ඒ වගේම මීට ඉහත සදහන් කළ දොණ නාගරජ දමනය දැකබලා පැහැදුණු වෙරෝචන නම් නාරජ ගංගා නදියෙහි තෙගවුවක් පමණ වූ සත් රුවන් මණ්ඩපයක් මවා සපිරිවරින් සිය දානයෙහි අග්‍ර බව දැක්වීම පිණිස ආරාධනය කොට නාග නළු නිළියන් ද විවිධ වේශලංකාරධර තාලාවචරයන්ද රැස් කොට මහා සත්කාරයෙන් සපිරිවර භාග්‍යවතුන් වහන්සේට මහ දන් පූජා කළා. ඒ මහජන මහා දානමය පිංකම අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ මහා පුණ්‍ය ගංගාවක් ගලන්නා විලසින් පුණ්‍යානුමෝදනාවක් කලා. ඒ පුණ්‍යානුමෝදනාව අසා පැහැද ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වූ අසූ ලක්ෂයක් භික්ෂූන් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශනා කළා . ඒ තෙවැනි මහා සන්නිපාතය වුණා

අසුකෙළකට අසපුවක් මැවූ අප මහා බෝසතාණෝ

ඒ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ පැවිදි තවුසෙක් ව හිමවත්හි අසපුවක් තනා පංචාභිඥා ද අෂ්ටසමාපත්ති ලාභීව ද වැඩ වාසය කළා. ඒ කාලේ ඒ මහා බෝසතාණන් වහන්සේට මහත් වූ අනුකම්පාවෙන් නාරද බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අසූකෙළක් ද දසදහසක් අනාගාමී ඵලයට පත් උපාසකයන් ද පිරිවරා ඒ අසපුවට වැඩිය. අප මහ බෝසතාණන් වහන්සේත් මහත් සෘද්ධි බල සම්පන්න තවුසෙක් . නැතිනම් එකවර අනපේක්ෂිත ලෙස පැමිණි මේසා විශාල බුද්ධ ශ්‍රාවකයන් පිරිසකට ඇප උපස්ථාන කරන්නේ කෙලෙස ද. බුදුරජාණන් වහන්සේ ඔහුගේ අසපුවට වඩින විට හවස් වෙලා. අදුර වැටෙන්නට ආසන්නයි. බෝසතාණන් වහන්සේ ප්‍රථමයෙන් ම කළේ ඒ අසූ කෙළක් පමණ වූ පිරිසට රාත්‍රියේ වැඩ වාසය කිරීමට විශාල අසපුවක් මැවීමයි. ඉර්ධියෙන් මවන අසපු දෙව්ලොව මාලිගා තරම් ලස්සනයි . ගස් වැල් මල් පලවැල විතරක් නෙමෙයි රාත්‍රී කාලේ එළිය දෙන මල් වලිනුත් මුළු පරිසරයම පිරිලා. එහි පිහිටවූ විශේෂ මණ්ඩපයක බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නට වුණා .

දින හතක්ම බුදුගුණ ඇසූ අප මහා බෝසතාණෝ

අප බෝසතාණන් වහන්සේ අහන්නට කැමති වුනේ බුදු ගුණ. ඒ ඔහුත් මතු බුදුවරයෙක් නිසා. ඒ නිසා නාරද බුදුහාමුදුරුවෝ මුළු සර්ව රාත්‍රිය පුරාම දේශනා කළේ ඒ අනන්ත වූ බුදුගුණමයි. අප මහා බෝසතාණෝ පසුදින උදෑසනම උතුරුකුරු දිවයිනට ගොස් දන් ගෙනවිත් බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ පිරිවරට පූජා කළා. ඒ ඉර්ධි බලය ආශ්චර්යයි . තමාගේ පාත්‍රයන්ට කොතරම් දම් බෙදුවත් ඒ ඒ ආහාරය ඉවර වුණේ නැහැ. උන්වහන්සේ පෙර මා ඇසූ අනන්ත වූ බුදු ගුණ දේශනාව ට කොතරම් වසඟ වුනාද කියතොත් දින හතක් පුරා ම නාරද බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිවර රඳවාගෙන බුදුගුණම ඇසුවා. අවසානයේ සත්වෙනි දින මහත්වූ ප්‍රීතිය ට පැමිණි අප මහා බෝසතාණෝ වතින් අනගි රත්සදුන් ගෙනවිත් එයින් බුදුන් පුදනු ලැබුවා.

නියත විවරණ ලැබීම.

භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන් පිරවරා පුණ්‍යානුමෝදනා කොට උන්වහන්සේට මතු ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දෙනු ලැබුවා. දෙවිවරුන්ගේ සාධුකාර නදත් අත්පොළසන් නදත් දසදහසක් සක්වල පුරාම පැතිරුණා. මදාරා මල් දසත විසිරී ගියා. අප බුදුහාමුදුරුවන්ගේ අපම වෙනුවෙන් පැතූ තවත් නියත විවරණයක් එලෙස සනිටුහන් වුනා.

 

Ape Budu Hamuduruwo 47

අපේ බුදුහාමුදුරුවෝ 47

 

දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත්වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු
නාරද බුදුහාමුදුරුවෝ 02

නාග දමනය

ඒ නාරද බුදුරජාණන් වහන්සේ ගේ කාලේ මහාදොණ කියලා නුවරක් තිබුණා. සමහරවිට ඒ නුවරට මහාදොණ කියලා නම් කරන්න ඇත්තේ දොණ කියලා මහා නාගරාජයෙක් ඒ නුවර හිටපු නිසා වෙන්න ඇති. ඒ නාග රාජයා මහත් ඍධි ඇති මහානුභාව සම්පන්න නාගරාජයෙක්. ඔහු හිටියේ ඒ ගමෙහි තිබුණු මහා විලක් අසලයි. ඒ නාගරාජයාට මේ ගම්දනවු වැසියන් මහත් භීතියෙන් බිලිපූජා පවත්වමින් ඇප උපස්ථාන කරමින් සිටියා. යම් හෙයකින් ඔහුට පවත්වනු ලබන බිලි පූජාවන්හි යම් අඩුපාඩුවක් වුවහොත් ඔහු තදින් කිපුණා. කිපි නිහඬව සිටියේත් නෑ. ඒ මුළු දේශයේම මහා නියඟයකින් හෝ මහවැස්සකින් හෝ බොරලු වරුසාවකින් විනාශ කරලා දැම්මා. ඒ නිසා මිනිස්සු හිටියේ හැමදාමත් භීතියෙන්. ඒ වගේම නිරන්තරයෙන්ම ඔහුට මිනිසුන්ව බිලිදීමත් සිදු වුණා. ඒ ජනපදවාසීන් විඳින්නා වූ ඒ මහත් චිත්ත පීඩාව භීතිය ඒ මහා කාරුණිකයාණන් වහන්සේ දිවසින් දැක්කා. ඒ වගේම ඔහු දමනයෙන් ඒ නගරවාසීන්ට ලැබෙන්නා වූ මහත් වූ සැනසීම ද ඒ සඳහා ඔවුනට හේතු සම්පත් ද ඇති බව දැක මහත් වූ බික්සඟන පිරිවරා ඒ ස්ථානයට වැඩම කරනු ලැබුවා.

ඒ නාග භවනට වැඩම කරන බුදු රජාණන් වහන්සේ දුටු මිනිසුන් උන් වහන්සේව නවතා ගැනීමට බොහෝ උත්සහ දරමින් මෙසේ කියන්නට වුනා.

“භාග්‍යවතුන් වහන්ස මෙහි ඝෝර විසැති උග්‍ර තේජස් ඇති මහා ඉර්ධි මහානුභාව ඇති නාරජෙක් වාසය කරනවා. ඔහු මිනිස්සුන්ව පෙළනවා. ඔබවහන්සේ එහි නොයා යුතුයි.”

 භාග්‍යවතුන් වහන්සේ එය නොඇසුනාක් මෙන් ඉදිරියටම වඩින්නට වුණා. වැඩම කොට ඒ නා රජු හට සත්කාර සඳහා සකසන ලද අතිසුවඳැති මල් ඇතිරිල්ලේ වැඩවුන්නා. එවිට සියලු ම ගම්වැසියන් බුදුරජාණන් වහන්සේගේත් නා රජුගේත් යුද්ධය බලන්නෙමු යැයි කියා ඒ අවට රැස් වූනා. එවිට ඒ සර්ප නාගයා එසේ වැඩහුන් බුදුරජාණන් වහන්සේ දැක මකුබව නො ඉවසමින් දෘශ්‍යමාන කයින් පෙනීසිටිමින් දුම් දමන්නට වුණා. ඔහුට ඒ විසඳුමෙන් ගම්මානයක් වුවත් වනසා දැමිය හැකියි. බුදුරජාණන් වහන්සේත් එලෙස ඔහු වෙත දුමාරයක් නිකුත් කළා. ඒ ඔහු විනාශ කිරීමට නොවේ. දමනය කිරීමට. ඒ දුම් දහරාවෙන් නාගරාජයාගේ මුළුමහත් ශරීරයේම ඉමහත් වූ දාහයක් හටගෙන දැවී ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැල් වී ගියත් කිසිම අනතුරක් වුණේ නැහැ. ඔහු නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ වෙත විෂ දුමාරය එල්ල කරන්නට වුණා. බුදුරජාණන් වහන්සේත් ඔහු වෙත දුම් ජාලාවන් එල්ල කළා. දසබලයන් වහන්සේගේ ශරීරයෙන් එල්ල වූ දුම් දහරාවෙන් බොහෝ පීඩාවට පත් හෙතෙම තව දුරටත් සිරුරෙන් දුක් ඉවසිය නොහැකිව ඔහු මරන්නෙමි යයි සිතා විෂ ධාරාවන් බුදුරජාණන් වහන්සේ වෙතට එල්ල කරනු ලැබුවා. ඒ වේගයෙන් විඳින විසෙන් මුළු දඹදිවම වුනත් වැනසිය හැකියි. එහෙත් එබඳු විසකට වත් භාග්‍යවතුන් වහන්සේගේ රෝමයක් හෝ සොලවන්නට නොහැකි වුණා. බොහෝ වෙහෙසට පත් නාගරාජයා අවසානයේ ඇත්තෙන්ම මේ කවුරුන් දැයි විමසන්නට වුණා. දහවලදී සරා හිරුමෙන් ද රාත්‍රියේදී සඳු මෙන් ද පිරිපුන්ව නිරන්තරයෙන්ම බඹයක් පමණ සවණක් රසින් බබළන පහන් වදනින් යුත් ඒ භාග්‍යවතුන් වහන්සේ දැක පුදුමයි මේ මහා ශ්‍රමණයන් මහාර්ධිමත්‍ ය. මම ඔහුගේ බල නොදැන වරදවා ගත්තෙමි. දැන් ඇති එකම විසදුම ඔහු සරණ යාමයි කියා භාග්‍යවතුන් වහන්සේගේ සරණ සෙවිය. එවිට නාරද මුනිරාජාණෝ ඒ නා රජු දමනය කොට එහි රැස්වූ රැස්වූ මහජනයාගේ සිත් පැහැද වීම සදහා යමක ප්‍රාතිහාර්ය කළ සේක. එදින නව කෙළක් ප්‍රාණීහු අරහත්වයේ පිහිටියා. එය දෙවන මහා ධර්මාවබෝධය ද වුණා.

 

Ape Budu Hamuduruwo 46

අපේ බුදුහාමුදුරුවෝ 46

 

දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත් වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු
නාරද බුදුහාමුදුරුවෝ
01

නාරද බෝසතාණන් වහන්සේ ලොව පහල වීම.

පදුම සර්වඥයන් වහන්සේ පිරිනිවි කල උන් වහන්සේගේ සසුනද අතුරුදහන් වී ලක්ෂයක ආයුෂ ඇති මිනිසුන් අනුක්‍රමයෙන් අවුරුදු දහය දක්වා පිරිහෙන්නට වුණා. නැවත ආයුෂ ක්‍රමයෙන් ක්‍රමය වැඩීමෙන් ආයුෂ අසංඛය දක්වා පැමිණ නැවතත් අවුරුදු අනූ දහසක් දක්වා පිරිහුණා. එකල දසබලධාරී ත්‍රිවිද්‍යා ඇති චතුර්වෛශාරද්‍යය විශාරද විමුක්ති සාර දෙන්නා වූ නාරද නම් නරසත්වෝත්තම ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා තුසිත භවනෙහි ඉපිද එතනින් චුත ව ධඤ්ඤවතී නුවර ස්වකීය වීර්යයෙන් දිනන ලද වාසුදේවයන් බඳු සුදේව නම් රාජ කුලයෙහි අග මෙහෙසිය වූ නිරූපම අනෝම දේවියගේ කුසේ පිළිසිද ගත්තා.

නම් තැබීම සහ අලංකාර ආභරණ අහසින් පතිතවීම

උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහිදීද දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදිම දෙතිස් පෙළහර ඇතිවුනා. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ධනඤ්ජය උයනෙහි මව් කුසින් බිහි වුණා . උත්පත්තියෙන් දින කිහිපයකට පසු නම් තබන දිනයද පැමිණුනා. එදා විශේෂ සිදුවීමක් වුණා. එදා දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත් වන පරිදි ඉතා අලංකාර ආභරණ අහසින් සහ කල්පරුක්ශාදියෙන් පතිත වන්නට වුණා . එනිසාම උන්වහන්සේට මිනිසුන්ට සුදුසු ආභරණ දුන්නේ යයි කියා නාරද යනුවෙන් නම් තැබුවා. උන්වහන්සේ නව දහසක් අවුරුදු ගිහිගෙයි වාසය කළා. විජිත විජිතාවි විජිතාභිරාම නම් ඉමහත් වූ කම්සැපයෙන් අගතැන්පත් තුන් සෘතුවට යෝග්‍ය මහා ප්‍රසාද තුනක් වුණා . නාරද කුමාරයාහට කුල සීල ආචාර රූප සම්පන්න මනෝකූල වූ විජිත සේනා නම් අතිශයින් රූමත් පින්වත් කැත් කුමරිය අගමෙහෙසිය වුණා .ඒ කුමරිය ප්‍රධාන විසිදහසකට අධික ස්ත්‍රීන් උන් වහන්සේ වෙනුවෙන් සේවයේ යොදවා සිටයේ ඔහුව ගිහිගෙයිම රඳවා ගැනීමට.

විවිධ වර්ණයෙන් සැරසී ලක්ෂසංඛ්‍යාත පිරිවර සමග පාගමනින්ම ගිහිගෙයින් නික්මීම.

ඒ විජිතසේනා දේවියට සකල ලෝකනන්දකර නන්‍දුත්තර කුමරු උපන් කල්හි සතර පෙර නිමිති දැක සිවුරඟසෙන් පිරිවරා නන්පැහැ වතින් සැරසූ සිරුරු ඇතිව පැලඳගත් මුතුහර මිණිකොඬොල් ඇතිව උතුම් කේයූර මකුට කටකධාරී ව පරම සුගන්ධවත් ගඳමලින් සැරසී පා ගමනින් ම උයනට අභිනික්මන් කොට උයනට පිවිසියා. එහි ගොස් සියලු අබරණ මුදා භාණ්ඩාගාරික අතට දී තමන් ම නිල් මානෙල් පතක් හා සමාන අසිපතින් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූ කල්හි සක්දෙව් රජ එය රන් කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනට ගෙන ගොස් සිනේරුව මුදුනෙහි තුන් යොදුන් උස සත්රුවන්මුවා සෑයක් කරනු ලැබුවා. මහපුරිස්‍හු දෙවියන් දුන් කසාවත් හැද පැවිදි වූනා. උන්වහන්සේ අනුව දහස්ගණන් දෙනා පැවිදි වූනා. දින හතක් ප්‍රධන් වීර්‍යය කොට නිමවුණා. එදා තවත් එක් වෙසක් පොහෝදිනක්. උන්වහන්සේගේ ආදරණිය බිරිඳ විජිතසේනා කුමරිය සංසාරේ පැතූ තවත් පාරමිතාවක වගේ බුදුවෙන්නට පෙර තමාගේ දෑතින්ම තැනු මිහිරි මි කිරිබත් රැගෙන ඒ උයන වෙත උදෑසනම පැමිණියා. උන්වහන්සේ අගමෙහෙසිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා එම උයන්හි ම දිවා විහරණය කොට සවස් කාලයෙහි සුදස්සන නම් උයන්පල්ලා දුන් අටතණමිට ගෙන තොටිල (මහාසෝණ) රුකමුල වෙත පිය මැන්නා. ඒ රුක්‍ෂය පිළිබන්දවත් ලස්සන වර්ණනාවක් බුද්ධවංශ අට්ඨකතාවේ තියනවා. ඒ මෙලෙසයි.

රත්තසොණ නම වෘක්ෂය

රත්තසොණ නම් ඒ වෘක්ෂය අනු රියනක් උසයි. එක සමාන වටයකින් යුතු කදකින් යුක්තය. නොයෙක් ශාකයන් පිරිවරා ගෙන සිටියේ. නිල්වන් පත්‍රයන්ගෙන් පිරිලා. ඒ නිසාම ඒ ගහ යට ඝන සෙවනකින් යුක්තයි. දේවතාධිගෘහිතයි. විහඟ ඝන සේවනයෙන් තොරයි. පොලෝ තලයට තිලකයක් බඳු යි. තැන් රාශියක් කරගන්නාක් මෙන් පරම රමණීය දැකුම්කලුයි. මුතු කුසුමින් සමලංකෘත සකල ශාකයෙන් මිනිසුන් මෙන් ම දෙවියන්ගෙන් නෙත් පැහැර ගත්තා. හරියටම දෙව්ලොව ඇති පරසතු මල් ගස වගේ.

බුද්ධත්වයට පැමිණීම.

උන්වහන්සේ ඒ උතුම් බෝධියට තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්හත් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යා උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන්වහන්සේ සමඟ පැවිදි වූ ලක්‍ෂයක් දෙනා දැක ධනඤ්ජය උයනෙහි දම්සක් දෙසූමදේශණා කරනු ලැබුවා. එහිදී කෙළ ලක්‍ෂයකට ධාර්මාවබෝධය වුනා.