මෙම පස් වැදෑරුම් සංසර්ගයන්ගෙන් වෙන් වූයේ,
- ශ්‍රවණ සංසර්ගය (ශබ්දයෙහි ඇලීම),
- දර්ශන සංසර්ගය (දැකීමෙන් ඇලීම),
- සමුල්ලාප සංසර්ගය, (මිථ්‍යා විතර්කයන්හි ඇලීම)
- සම්හෝග සංසර්ගය (සම්භෝගයෙහි ඇලීම),
- කාය සංසර්ගය (ස්පර්ශයෙහි ඇලීම) යනු පස්වැදෑරුම් සංසර්ගයෝය.
ශ්‍රවණ සංසර්ගය
ඔවුන් අතුරෙහි මෙහි යම් භික්‍ෂුවක් අසවල් ගමේ හෝ නියම්ගමේ හෝ රූපශ්‍රීයෙන් යුත්, දැකුම්කළු, ප්‍රසාදය එළවන, ලස්සන පාටින් යුත් ස්ත්‍රියක් හෝ තරුණියක් ඉන්නේ යයි අසයි. අසා ඒ පිළිබඳ ඇල්මෙහි ගැලෙයි. විශේෂයෙන් ඇලෙයි. බ්‍රහ්මචරියාව ආරක්‍ෂා කරන්නට නො හැකි වෙයි. ශික්‍ෂාවන් දුර්වල වී එය ප්‍රකාශ නො කොට ගිහි බවට පත්වෙයි. මෙසේ අනුන් විසින් කියන ලද රූප සම්පත්තිය අසා හෝ තමන් විසින් සිනහසෙන, කථාකරන, ගී කියන හඬ අසන්නහුගේ ශ්‍රෝත විඤ්ඤාණයෙහි උපන්නා වූ රාග සිතිවිල්ල සවන සංසග්ග නම් වෙයි. මෙය අනිත්‍ථිගන්‍ධ පසේ බෝධි සත්ත්වයන්ගේ ද පංචග්ගල නම් ලෙන්වැසි තිස්ස සාමණේරයන්ගේ වශයෙන් ද දතයුතුයි.
සාමණේර තෙම අහසින් යන්නේ, ගිරිගම් වැසි කම්කරු දියණියන් වූ කුමරියන් පස්දෙනා පියුම් විලට ගොස් නා මල් පැළඳ මිහිරි හඬින් ගැයු ගී හඬ අසා කාම රාගයෙන් විඳින ලද්දේ විශේෂයෙන් පිරිහී අනතුරට පත් වූයේය.
දර්ශන සංසර්ගය
මේ ශාසනයෙහි කිසියම් භික්‍ෂුවක් තමන්ම නො අසයි. (එහෙත්) ලස්සන රූපයක් ඇති ප්‍රසාදය එළවන, උතුම් වූ ඡවි වර්ණයෙන් පැහැපත් වූ හොඳට වැඩුණු අඟපසඟ ඇති ස්ත්‍රියක් හෝ තරුණියක් තමන්ම දකී. හෙතෙම ඈ දැක ඒ රූපයෙහි ඇලෙයි. වශී වෙයි. බඹසර රකින්නට නො හැකි වෙයි. ශික්‍ෂාවන් දුබල බවට පැමිණෙයි. ශික්‍ෂාවන් දුබල නොකොට ගිහි බවට පැමිණෙයි. මෙසේ විසභාග රූපය බලන්නාට චක්ෂුර් විඥාන වීථි වශයෙන් උපන් රාගය දර්ශන සංසර්ගය නම් වෙයි. එය මෙසේ දතයුතුයි.
එක් තරුණ භික්‍ෂුවක් කාල දීඝවාපී විහාරයට පාමොක් උදෙසීම පිණිස ගියේ ගුරුවරයා ඔහුට වන අන්තරාය දැක අවසර නුදුන්නේ. හෙතෙම නැවත නැවත ඇවිටිලි කරන්නේ, ඉදින් ඔබ ඇතුලුගම නො හැසිරෙන්නෙහි නම් තොපට අවසර දෙන්නෙමි’යි කීය. භික්‍ෂුව එය පිළිගෙන අවසර ලබා, උද්දේසය නිමි කල්හි ආචාර්යයන් වැඳ යන්නේ, ගුරු හාමුදුරුවෝ මේ ගමෙහි හැසිරෙන්නට ඉඩ නො දෙයි. කවර කරුණක් නිසාදැයි සිවුරු පොරවා ගමට පිවිසියේය. එක් කුල දියණියක් කහ වස්ත්‍රයක් පොරවා ගෙදර සිටියේ, තරුණ භික්‍ෂුව දැක හටගත් රාග ඇත්තේ කෙණෙස්සෙන් කැඳ ගෙනැවිත් භික්‍ෂුවගේ පාත්‍රයෙහි බහා නැවතී ඇඳෙහි හොත්තීය. එකල්හි මව්පිය දෙදෙන මේ ඇයිද දරුවයි විචාළහ. (දැන) මෙතනින් ගියා වූ භික්‍ෂුව ලබන්නේ නම් ජීවත් වන්නෙමි. නැතිනම් මිය යන්නෙමියි ඇය කීවාය. මව්පිය දෙදෙන ඉක්මනින් ගොස් ගම්දොරදී තරුණ භික්‍ෂුව නවත්වා වැඳ ස්වාමීනි නවතිනු මැනැවි. දහවල් දානය ගතමැනැවැයි කීහ. භික්‍ෂුව කම් නැත යන්නෙමියි කීය. ඔව්හූ වහන්ස, කීමට කාරණයක් ඇතැයි ඉල්ලා සිටින්නේ, අපේ ගෙදර බොහෝ ධනය ඇත. එකම දියණියක් ද සිටී. ඔබ අපගේ එකම පුතා වනු මැනැවි. සුවසේ ජීවත් වන්නට හැකියයි කීහු. තරුණ භික්‍ෂුව මට මේ පළිබෝධයෙන් ප්‍රයෝජන නැතැයි නික්ම ගියේය.
දෙමාපියෝ ආපසු ගොස් දරුව, භික්‍ෂුව නවත්වා ගැනීමට නො හැකි විය. අපි වෙනත් කැමැති කෙනෙකු බලමුයි කීහ. නැගිට කන්න බොන්නැයි කීහ. ඕ නො කැමති වන්නී සතියක් නිරාහාරව සිට කලුරිය කළාය. දෙමාපියෝ, ඇගේ සිරුර පිළිබඳව අවසන් කටයුතු කර ඒ කහ වස්ත්‍රය ළඟ පන්සලේ භික්‍ෂු සංඝයාට පූජා කළහ. භික්‍ෂූහු වස්ත්‍රය කෑලි කෑලි කපා බෙදූහ. එක් මහළු භික්‍ෂුවක් තමන් ලත් කොටස ගෙන, කැළණි විහාරයට පැමිණියේය. (යට කී) තරුණ භික්‍ෂුව ද කැළණි සෑය වැඳීම සඳහා දවල් කාලයෙහි ම එහි ගොස් සිටියේය. මහළු භික්‍ෂුව ඒ රෙදිකඩ ගෙන, මේ රෙද්දෙන් මට පෙරහනක් මසා දෙන්නැයි තරුණ භික්‍ෂුවට කීය. තරුණ භික්‍ෂුව මේ රෙදිකඩ කොහෙන් ලැබුනේදැයි මහළු භික්‍ෂුවගෙන් ඇසීය. මහළු භික්‍ෂුව සියළු ප්‍රවෘත්ති කථාව කීය. හෙතෙමේ එය අසාම මෙබඳු තැනැත්තිය සමග සංවාසය නො ලදිමියි රාග ගින්නෙන් දැවන්නේ එහිම කළුරිය කළේය.
සමුල්ලාප සංසර්ග
ඔවුනොවුන් අල්ලාප සල්ලාප වශයෙන් උපන් රාගය වෙයි.
සම්භෝග සංසර්ග
භික්‍ෂුවක් භික්‍ෂුණියක සතු හෝ භික්‍ෂුණියක් භික්‍ෂුවක සතු හෝ යම් භාණ්ඩයක් ගෙන පරිභෝග කිරීම, වශයෙන් උපන් රාගය වෙයි.
එය මෙසේ දතයුතුය. මිරිසවැටි විහාර පූජාවෙහි භික්‍ෂූන් ලක්‍ෂයක්ද භික්‍ෂුණීන් අනූදහසක් ද සහභාගි වූහ. එක් සාමණේර නමක් උණුකැඳ බඳුනක් ගෙන යන්නේ වරක් සිවුරු කොණෙහි ද වරක් බිම ද තැබීය. එක් සාමණේරියක් එය දැක පාත්‍රය මෙහි තබාගෙන යවයි තැටියක් දුන්නීය. ඉන් මෑත කාලයෙහි කිසියම් බියක් උපන් නිසා විදේශගත වූහ. ඔවුන් අතුරෙන් සාමණේරිය පළමුව ගියා ය. පසුව ඕ තොමෝ සිංහල භික්‍ෂුවක් ආයේ යයි අසා තෙරුන් සමීපයට ගොස් පිළිසඳර කතා කරන්නී වහන්ස, මිරිසවැටි විහාර පූජා අවධියේ නුඹවහන්සේ කෙතෙක් වස් ඇත්තේදැයි ඇය විචාළාය. එකල මම අවුරුදු සතක් වයසැති හෙරණක් වීමි. ඔබ වනාහි කෙතෙක් වස් ඇත්තීදැයි හෙරණ විචාළේය. එකල මම ද සත් වයස් ඇති හෙරණියක් වීමි. එහිදී උණුකැඳ ගෙන යන්නා වූ එක් හෙරණකට මම තැටියක් දුනිමි’යි ඇය කීවාය. ස්ථවිර තෙමේ ද ඒ මම යැයි තැටිය ගෙනහැර දැක්වීය. ඔව්හූ මෙපමණ වූ මැ සංසර්ගයෙන් බඹසර රක්නට නො හැකි වූවෝ දෙදෙනම හැටවැනි වියේ දී උපැවිදි වූහ.
කාය සංසර්ග
අත් ගැනීම් ආදිය නිසා උපන් රාගය නම් වෙයි.
මේ කතාව මෙසේ දැක්වේ. මහසෑ මළුවෙහි තරුණ භික්‍ෂූහු පාඩම් කරති. ඔවුන් පිටුපස තරුණ භික්‍ෂුණීහු බණ අසති. එහි එක් තරුණ භික්‍ෂුවක් අත් දික්කරන විට එක් තරුණ භික්‍ෂුණියකගේ ඇඟෙහි ගැටිණ. ඕ ඒ අත ගෙන තම පපුවෙහි තබා ගත්තාය. මෙම සංසර්ගයෙන් දෙදෙනම ගිහි බවට පැමිණියාහුය.
මේ පස්වදෑරුම් සංසර්ගයන් අතුරෙන් භික්‍ෂූන් සමග භික්‍ෂුවගේ ශ්‍රවණ, දර්ශන, සමුල්ලාප සම්භෝග, කාය සංසර්ග නිරතුරුව සිදුවන්නේය. භික්‍ෂුණීන් සමග කාය සංසර්ගය තබා සෙසු සංසර්ගයෝ කලින් කල වෙති. උපාසිකාවන් සමග ද එසේයි. උපාසකයන් සමග සියල්ලෝම කලින් කල වෙති. ඔවුන් ක්ලේශ වසඟ නොවී සිත රැකිය යුතුය.
ගාහගාහකාදිවණ්ණනා
එක් භික්‍ෂුවක් ග්‍රහ ග්‍රාහක වෙයි. එක් භික්‍ෂුවක් ග්‍රාහ වුත්තක වෙයි. එක් භික්‍ෂුවක් මුක්ත මුක්තක වෙයි.
ඔවුන් අතරෙහි යම් භික්‍ෂුවක් කරා මිනිස්සු ආමිසයෙන් සංග්‍රහ කිරීම් වශයෙන් පැමිණෙත් ද, භික්‍ෂුවද මල් ගෙඩි ආදියෙන් සංග්‍රහ කෙරේ ද, මේ තෙමේ ගාහ ගාහක නම් වේ. යම්කිසි මිනිසුන් පිරිසක් යම්කිසි භික්‍ෂුවක් කරා කී පරිද්දෙන් පැමිණේද, භික්‍ෂුව ද දක්‍ෂිණෙය්‍ය (දීමට සුදුස්සා වශයෙන්) පැමිණේද, මේ තැනැත්තේ ග්‍රාහ මුත්තක නම් වේ. යම් භික්‍ෂුවකට මිනිස්සු සිව්පසය දෙත්. භික්‍ෂූහු මල් ගෙඩි ආදිය දී සංග්‍රහ කෙරේද, මෙ තෙමේ මුත්තගාහක නම් වේ. යම් භික්‍ෂුවකට මිනිස්සු දීමට සුදුස්සන් වශයෙන් සළකා සිව්පසය දෙත් ද, භික්‍ෂුව ද චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් මෙන් දක්ඛිණෙය්‍ය වශයෙන් වළඳීද? මේ තෙමේ මුක්ත මුත්තක නම් වේ.
එක් උපාසිකාවක් චුල්ල පිණ්ඩපාතිකතිස්ස තෙරුන්ට දොළොස් වසරක් පිණ්ඩපාතයෙන් උපස්ථාන කළේය. එක් දවසක් ගමේ ගින්නක් ඇති වී උපාසිකාවගේ ගෙය දැවිණ. අනෙක් කුලුපග භික්‍ෂූන් පැමිණ කිමෙක්ද, උපාසිකාවෙනි, යම්කිසි දෙයක් රැක ගන්නට පුළුවන් වීද යනුවෙන් පිළිසඳර කථා කළහ. මිනිස්සු අපගේ මවගේ කුලුපග තෙරුන් වහන්සේ වළඳන වේලාවටම එන්නේ යයි කීහු. තෙරුන් වහන්සේ ද පිඬු පිණිස හැසිරෙන වේලාවටම වැඩියහ. උපාසිකාවද බිත්ති සෙවනෙහි හිඳුවා භික්‍ෂාව සකස්කොට දුන්නීය. තෙරුන්වහන්සේ බත්කිස නිමවා නික්ම ගිය කල්හි මිනිස්සු අපේ මවගේ කුලුපග භික්‍ෂුව වළඳන වේලෙහිම පැමිණියාහු යයි කීහ. උපාසිකා තොමෝ ඔබලාගේ කුලුපග භික්‍ෂූහු ඔබලාටම සුදුසුය. මගේ කුලුපග භික්‍ෂුව මටම සුදුසුයයි කීවාය.