දැඩි කැමැත්තෙන් වෙන්විය. තණ්හාව නැත්තේය. යම්හෙයකින් ඔහුගේ සිත තුළ ක්ලේශ මාත්‍ර වූද කැමැත්තක් නම් නැත්තේද. මොහු සියලු ආකාරයෙන් ප්‍රහීණ වූ තෘෂ්ණා ඇති රහතන් වහන්සේ කෙනෙක්මය.
තව ද මෙහි අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අප්පිච්ඡතා යන මේවායේ භේදය දතයුතුය.
අත්‍රිච්ඡතා
එහි ස්වකීය ලාභයෙහි සතුටු නැති වූවහුගේ පරලාභයෙහි ප්‍රාර්ථනාව වේ. එයින් යුක්ත වූවහට එකම බඳුනෙහි පිසින ලද ආප්පයක්, කැවුමක්, තමන්ගේ පාත්‍රයට වැටුණු කළ එය නො පිළිස්සුණු, මනාව නො ඉදුණු කුඩා කැවුමක් ආප්පයක් ලෙස හැඟේ. එයම වෙනත් කෙනෙකුගේ පාත්‍රයක වැටුණු කල එය හොඳින් පිළිස්සුණු ලොකු ආප්පයක් කැවුමක් සේ හැඟෙයි.
පාපිච්ඡතා
අවිද්‍යමාන ගුණ පහළ කරන බව ද, පිළිගැනීමෙහි පමණ නො දන්නා බව. ‘ඉධෙකච්චො අස්සද්ධො සමානො සද්ධොති මං ජනො ජනාතු’ ආදී ක්‍රමයෙන් අභිධර්මයේ පෙන්වයි. එයින් සමන්විත වූ පුද්ගලයා කපටි බැව්හි පිහිටයි.
මහිච්ඡතා
විද්‍යමාන ගුණ පහළ කරන බව ද, පිළිගැනීමෙහි පමණ නො දන්නා බවවේ. ‘ඉධෙකච්චො සද්ධො සමානො සද්ධොති මං ජනො ජානාතුති ඉච්ඡති – සීලවා සමානො සීලවාති මං ජනො ජානාතුති’ ආදී වශයෙන් අභිධර්මයෙහි ආයේය. එයින් සමන්විත වූ පුද්ගලයා සතුටු කිරීමට දුෂ්කර වූයේ වෙයි. වැදූ මවුද ඔහුගේ සිත් ගන්නට නොහැකි වෙයි.
ගිනි කඳ ද, සමුද්‍රය ද, මහේච්ඡ පුද්ගලයා ද යන මොහු තිදෙනා ගැලින් ප්‍රත්‍යය දුන්නත් සතුටු කළ නො හැකිමය.
අප්පිච්ඡතා
විද්‍යමාන ගුණ සඟවන බව ද, පිළිගැනීමෙහි පමණ දන්නා බව වේ. එයින් සමන්විත වූ පුද්ගලයා තමන් කෙරෙහි විද්‍යමාන වූ ගුණය සඟවනු කැමති බැවින් සැදැහැ ඇතියේ සැදැහැ ඇතියයි ජනයා දැනගනීවායි නො කැමති වෙයි. සිල් ඇත්තේ, විවේක ඇත්තේ, බහුශ්‍රැත වූයේ, ප්‍රඥාවන්ත වූයේ පටන්ගන්නා ලද වීර්යය ඇත්තේ, සමාධි සම්පන්න වූයේ, ප්‍රඥාවත් වූයේ, ක්‍ෂීණාශ්‍ර වූයේ, මා ක්‍ෂීණාශ්‍රවයෙකැයි ජනයා දැනගනීවායි නො කැමති වේ.
මජ්ඣන්තික ස්ථවිරයන් වහන්සේ මෙනි.
මජ්ඣන්තික තෙරුන් වහන්සේ මහා රහතන් වහන්සේ නමකි. එහෙත් උන්වහන්සේගේ පා සිවුරු පාදයක් (කහවනුවෙන් හතරෙන් එකක්) පමණ අගී. උන්වහන්සේ අශෝක රජුගේ විහාර පූජා දිනයෙහි සංඝ ස්ථවිර වූහ. උන්වහන්සේගේ රූක්‍ෂභාවය දැක මිනිස්සු ස්වාමීනි, මදක් බැහැර වුව මැනවැයි කීහ. රහතන් වහන්සේ මා වැනි රහත් කෙනෙකු රජුට සංග්‍රහ නො කරන කල්හි අන් කවරෙක් පිහිට වන්නේදැයි, පොළවෙහි කිමිද සංඝස්ථවිරයන්ට පුදන ලද පිණ්ඩය ගනිමින්ම නැගුනු සේක. මෙසේ මහ රහතන් වහන්සේ නමක් වූයේ ම ‘මේ රහත් කෙනෙකැ’යි මිනිසුන් දැනගන්නවාට නො කැමති විය. මෙසේ අල්පේච්ඡ භික්‍ෂුව නූපන් ලාභය උපදවයි. උපන් ලාභය තහවුරු කරයි. දායකයන්ගේ සිත ආරාධනය කරයි. හෙතෙම යම් විධියකින් තමාගේ අල්පේච්ඡ භාවයෙන් මදක් ගනී ද ඒ ඒ පරිද්දෙන් ඔහුගේ වතෙහි පැහැදුණු මිනිස්සු බොහෝකොට දෙන්නාහුය.
මීට වෙනස් වූ ද සතර වැදෑරුම් අල්පේච්ඡයක් වෙයි.
- ප්‍රත්‍ය අල්පේච්ඡය,
- ධුතංග අල්පේච්ඡය,
- පරියත්ති අල්පේච්ඡය,
- අධිගම අල්පේච්ඡය යනුවෙනි.
ප්‍රත්‍ය අල්පේච්ඡයයි
ඔවුන් අතරෙන් සිවුපසයෙහි අල්පේච්ඡ වූයේ ප්‍රත්‍ය අල්පේච්ඡයයි. ඔහු දායකයාගේ කැමැත්ත, ශක්තිය දනී. දාන වස්තුවේ ප්‍රමාණය දනී. තමාගේ තරාතිරම ශක්තිය දනී. ඉදින් දාන වස්තුව බොහෝ වේද? දායකයා මදක් දෙනු කැමති වේද, දායකයාගේ වශයෙන් ස්වල්පයක් ගනී. දාන වස්තුව ස්වල්ප වූයේ දායකයා බොහෝ දෙනු කැමති වේද, තමාගේ ශක්තිය දැන ප්‍රමාණයෙන් ගනී. දාන වස්තුවත් බොහෝ වේද, දායකයා බොහෝ දෙනු කැමතිත් වේද, එකල තමාගේ ශක්තිය ගැන ප්‍රමාණයෙන් ගන්නේ ය.
ධුතංග අල්පේච්ඡය
පිළිවෙත් තමා සන්තකව ඇති බැව් නො දන්වනු කැමැත්තේ, ප්‍රචාරය නො කරනු කැමැත්තේ ධුතංග අල්පේච්ඡයයි. එය ප්‍රකෘති කිරීම පිණිස මේ වස්තූහු වෙති. සෝසානික මහා කුමාර ස්ථවිරයෝ අවුරුදු හැටක් සුසාන භූමියෙහි විසීය. වෙනත් එකම භික්‍ෂුවක් වත් එය නො දත්තේය.
මම හැමවසක් සොහොනෙහි විසුවෙමි. වෙනත් කෙනෙකු හා සම්බන්ධ නොවී විසූවෙමි. දෙවැන්නෙක් මා පිළිබඳව නො දන්නේය. සෝසානික ධුතංගයාගේ උතුම් බව පුදුම සහගතය.
සෑගිරි පර්වතයෙහි සහෝදරවරු දෙනමක් විසූහ. බාල තැනැත්තා උපස්ථායකයා විසින් එවන ලද උක්දඬු කීපයක් ගෙන වැඩිමහල්ලා වෙත ගියේය. ස්වාමීනි, පරිභෝග කළ මැනවැයි ඉල්ලීය. තෙරුන්ගේද දන් වළඳා අවසන මුව සෝදන වෙලාව විය. හෙතෙම කම් නැතැයි කීය. ඇයිද ස්වාමීනි, ඒකසනිකංග වූයේදැයි විමසීය. ඇවැත්නි, උක්දඬු ගෙනෙව කීය. පනස්වසක් ආරක්‍ෂා කළ ඒකාසනිකංගය සඟවා උක්දඬු පරිභෝග කොට මුව සෝදා දමා නැවත ඒකාසනිකංග ධුතංගය අධිෂ්ඨාන කළේය.
පර්යාප්ති අල්පේච්ඡතාව
යමෙක් වනාහි සාකෙතකතිස්ස තෙරුන් මෙන් බහුශ්‍රැත භාවය දන්වන්නට නො කැමැති වීම මේ පර්යාප්ති අල්පේච්ඡතාවයයි. ස්ථවිරයන් වහන්සේ වනාහි, උදෙසීම් පිළිවිසීම් ආදිය නො කරන්නේ මොහොතක් (වෙලාවක්) නැතැයි කියයි. එහිදී මරණ ඇසිල්ල ලබන්නෙහිදැයි සමහරු චෝදනා කළහ. එසේ චෝදනා කරන ලද සඟ පිරිස අත්හැර කිහිරිවැල මුහුදු විහාරයට වැඩියහ. එහිදී වස් කාලය තුළ ස්ථවිර නවක මජ්ඣිම භික්‍ෂූන්ට උපකාරව සිට මහා පවාරණ පොහෝ දිනයෙහි ධර්ම කථාවෙන් මුළු ජනපදය (තම බහුශ්‍රැත) බවින් එකලු කොට ගියේය.
අධිගම අල්පේච්ඡභාව
යමෙක් වනාහී සෝවාන් ආදි මාර්ගඵල ලබාත්, නය දන්වන්නට අකැමැති වේද, එය අධිගම අල්පේච්ඡභාවය වේ. කුලපුත්‍රයන් තුන්දෙනා මෙන් ද, ඝටීකාර කුඹල්කරු මෙන් ද වේ.
අත්‍රිච්ඡතාව (අධික ආශා ඇති බව) පාපිච්ඡතාව (පව් කිරීමට ආශාව) මහිච්ඡතාව (බොහෝ දේ අවශ්‍ය බව) යන සියල්ල හැර හැම අයුරකින්ම ඉච්ඡාවන් දුරුකොට තෘෂ්ණාරහිත වූ පිරිසිදු වූ බැවින් සමන්විත වූයේ අල්පේච්ඡ නම් වේ. භික්‍ෂූන්ට ද ඇවැත්නි, මේ සියලු ධර්මයන් පහකළ යුතුයයි ඒ ධර්මයන්හි ආදීනව දක්වා මෙබඳු වූ බවම සමාදන්ව පැවැතිය යුතුයයි අල්පේච්ඡ කථාව වදාළේය.