අපේ බුදුහාමුදුරුවෝ 99
පෙර භවයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතකයට නැගී හසිතුප්පාද සිතින් සිනහා නැගූ අවසන් නියත විවිරණය ලබාදුන් කස්සප බුදුහාමුදුරුවෝ 03
මෙතැන සිට ලියවෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ කස්සප බුදුරජාණන් වහන්සේ වෙතින් ලබාගත් අවසන් නියත විවරණයයි. එය කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ ඇති ආශ්චර්ය පිළිබඳව කියවෙන හොඳම කතාව ලෙසයි මට දැනෙන්නේ. ඒ විතරක් නෙවෙයි. බියකරු සසරේ ප්‍රයෝගකාරී ස්වභාවයද එයින් කියවෙනවා. මේ
සඳහා මම තෝරාගත්තේ මෙතෙක් මේ කතාපෙල පෙළ ගැස්වූ බුද්ධවංශ ආපදානේ වෙනුවට මජ්ඣිම නිකායෙහි එන ඝටීකාර සූත්‍රයයි.
එක් සමයෙක අපගේ භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සමූහයක් සමග කෝසල ජනපදයෙහි චාරිකාවෙහි වඩින්නට වුනා. ඒ වඩිනා අතරතුර මාර්ගයෙන් ඉවත් වූ අප බුදුපියාණන් වහන්සේ එකවරම සිනහ පහල කරන්නට වුණා. ඒ සිනහවට හසිතුප්පාද සිනහව කියලා කියනවා.
සිනහවේ ප්‍රභේද සහ හසිතුප්පාද සිනහව.
සිනාව සයාකාර වන බව අලඞ්කාර ශාස්ත්‍රයෙහි දක්වා තිබෙනවා.
1.සිතය, 2.හසිතය, 3.විහසිතය, 4.උපහසිතය, 5.අපහසිතය, 6.අතිහසිතය යනුවෙන් සයාකාර වූ සිනාව ඒ ඒ නාමයන්ගෙන් හඳුන්වනවා.
1.සිතය,
මුහුණ බලා ඉන්නා කෙනකුට ප්‍රීතිමත් වූ බව හැඟෙන පරිදි ඇස් දෙක පමණක් මඳක් විවෘත වන සිනාව “සිත” නම් වනවා.
2.හසිතය
ධර්මයේ හසිතුප්පාද චිත්තය යනුවෙන් හඳුන්වන්නේ සිනා උපදවන සිතක්. සිනා උපදවන තවත් සිත් තිබෙනවා. මේ අහේතුක ක්‍රියා චිත්තය ද ඉන් එකක්. සිනා උපදවන අන් සිත්වලින් සිනාව පමණක් නොව තවත් දේ ද සිදු කරනු ලබනවා. මේ සිතින් කරන්නේ සිනාව පමණෙකි. එබැවින් මෙයට හසිතුප්පාද යන නම තබා ඇත්තේ ය. (මෙය පසුව අභිධර්මනුකුලව විස්තර කෙරෙනවා.)
දත්වල අග පෙනෙන හඬ නොනැගෙන සිනාව හසිත නම් වනවා. ඒ සිනහවේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ කර්ම විපාකයක් නිසා හටගත් හෝ කර්ම පතයකට අවතීර්ණ වන සිනහවක් නොව හුදෙක් ඒ මොහොතේ සිදුවන ක්‍රියා මාත්‍රයක් පමණක්ම වීමය. ඒ තුල අකුසළ මූල වන ලෝභ, ද්වේශ, මෝහ, හෝ කුසල මූල වන අලෝභ, අද්වේශ, අමෝහ, අඩංගු නොවන නිසා අභිධර්මයේ චිත්ත විග්‍රහයේ දී මෙය අහේතුක ( ලෝභ, ද්වේශ, මෝහ, හෝ අලෝභ, අද්වේශ, අමෝහ, අඩංගු නොවන) ක්‍රියා සිත් තුනේ එකක් වන “සෝමනස්ස සහගත හසිතුප්පාදය” යනුවෙන්ද හඳුන්වනවා. බුද්ධ ප්‍රත්‍යේක බුද්ධාදි උත්තම පුද්ගලයෝ ඉහත දෙයාකාරයෙන්ම සිනාසෙනමුත් හඬ නගා සිනාසීම නොකරනවා.
3. විහසිතය
මිහිරි හඬක් නැගෙන සිනාව විහසිත නම් වෙනවා.
4. උපහසිත
හිස හා උරහිස් සැලෙන සිනාව උපහසිත නම් වනවා. කල්‍යාණ පෘථග්ජනයෝ ද ශෛක්ෂයෝ ද ඒ දෙයාකාරයෙන් සිනාසෙනවා. මහ හඬ නගා සිනා සෙන්නේ නැහැ.
5. අපහසිත
ඇස්වලින් කඳුළු ගලන සිනාව අපහසිත නමින් හැඳින්වෙනවා
6. අතිහසිත
ශරීරාවයව සියල්ල ම සොලවමින් දඟලමින් කරන සිනාව අතිහසිත නමි. ගුණධර්ම දියුණු කර නොගත් ලාමක අදහස් ඇත්තෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති. හසිතෝත්පාද සිතින් ඇති කරන්නේ සිත – හසිත දෙක පමණෙකි.
ලෞකික, සේඛ සහ අසේඛ යන පුද්ගල සිනහවන්හි අභිධර්ම විග්‍රහය.
මේ කොටස එකතු කිරීමට මා හට කැමැත්ත ඇතිවුනේ අභිධර්මය හදාරණ සහ හැදෑරු ඔබට සිතට සතුටක් ඇතිකිරීමට සහ අභිධර්මය මෙතෙක් නොහැදෑරූ අයට ඒ පිළිබඳව යම් උනන්දුවක් කුහුලක් ඇතිකිරීමටය.
මෙම කොටස මා විසින් උපුටාගනු ලැබුවේ මජ්ඣිමනිකායේ මජ්ඣිමපණ්ණාසකපාළි කොටසේ රාජවග්ගයේ ඝටීකාර සුත්‍ර අට්ඨකතා වර්ණනාවෙනි. එය ඒ ආකාරයෙන්ම පිටපත් කලෙමි.
බුදුවරුන්ගේ සිනහව තුටු පහටු මාත්‍රයක්ම වෙයි. මෙය හසිත නම්වේ. මෙය සෝමනස්ස සහගත සිත් තේරසකින් (13 කින්) වෙයි. එහි ලෞකික මහජනයා අකුසල වශයෙන් සතරකින්ද, කාමාවචර කුසල් වශයෙන් සතරකින්ද සිත් අටකින් සිනාසෙයි.
සේඛයෝ අකුසල වශයෙන් දිට්ඨි සම්පයුත්ත දෙකක් ඉවත්කොට සිත් සයකින් සිනාසෙත්.
ක්ෂීණාශ්‍රවයෝ සහේතුක ක්‍රියා සිත් සතරින් සහ (පොතේ මුද්‍රණ දෝෂයක් නිසා “සහ” යනුවෙන් නොතිබුණි. එය නිවැරදි කළෙමු.) එක් අහේතුක ක්‍රියා සිතකින්ද යනුවෙන් සිත් පසෙකින් සිනාසෙත්. ඒ අතරද බලවත් අරමුණක් පහළවූ කල්හි ඤාණ සම්පයුත්ත සිත් දෙකකින් සිනාසෙත්. දුර්වල අරමුණෙහි ද්විහේතුක සිත් දෙකකින්ද, අහේතුක සිතින්ද යන සිත් තුනෙන් සිනාසෙත්.
මෙතැන ක්‍රියා අහේතුක ( මුද්‍රණ දෝෂය නිවැරදි කළෙමු) මනෝවිඤ්ඤාණ ධාතු සෝමනස්ස සහගත සිත භාග්‍යවතුන් වහන්සේට උපස්ථාකාර මාත්‍රවූ සිනාව ඉපදවිය. ඒ මේ හසිතයයි මෙසේ අල්ප මාත්‍රයක් තෙරුන්ට ප්‍රකට විය.
සම්මාසම්බුදුවරයෙකු හට හසිතුප්පාද සිනහව නැගෙන අවස්ථාවේ දී ශ්‍රී මුඛයෙන් නික්මෙන රශ්මිධාරව පළිබඳව විස්තර බලාපොරොත්තුවන්න