අපේ බුදුහාමුදුරුවෝ 84
විපස්සී බුදුහාමුදුරුවෝ 03
විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.
මහර්ෂීවූ විපස්සී බුදුරදුන්ගේ (උපන්) නුවර’’බන්ධුමතී’’ නම් වී. පිය තෙම’’බන්ධුමන්තු’’ නම් රජය. වැදූ මව්’’බන්ධුමතී’’ දේවිය වූවාය.
ඒ විපස්සී බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු අට දහසක් ගිහිගෙයි වාසය කෙළේය. ’’නන්‍ද’’ ය’’සුනන්‍ද’’ ය,’’සිරිමන්තු’’ යන උතුම් තුන් පහයක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. ප්‍රසිද්‍ධවූ බිරින්ද’’සුතනා’’ නම් වූවාය. පුත් තෙම’’සමවත්තක්ඛන්‍ධ’’ නම්.
(විපස්සී) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, රථ යානයෙන් (රියකින්) මහබිනික්මන් කෙළේය. නොඅඩු අට මසක් මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
බඹහු විසින් අයදනා ලද්දේ, මහා වීරවූ, නර දෙටු විපස්සී ලෝනා හිමිඳු’’මිගදාය’’ නම් නගරයෙහිදී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂීවූ විපස්සී බුදුරදුන්ට,’’ඛණ්ඩ’’ ද,’’තිස්සනාම’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම’’අසෝක’’ නම් වී.
’’චන්‍දා’’ ද,’’චන්‍දමිත්තා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක’’පළොල්’’ ගස යයි කියනු ලැබේ.
’’පුනබ්බසුමිත්ත’’ ද,’’නාග’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සිරිමා’’ ද,’’උත්තරා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
විපස්සී ලෝනාහිමිඳු අසූ රියනක් උස්විය. උන් වහන්සේගේ පැහැය සත් යොදුනක් තැන් දුවයි.
ඒ කාලයෙහි (විපස්සී) බුදුරජුන්ට අවුරුදු අසූ දහසක් ආයුෂ වී. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.
බොහෝ දෙවි මිනිසුන් සසර බැඳුමෙන් මිදෙව් සේක. මග හා නොමග සෙසු පුහුදුන්ට වදාළ සේක.
ඒ (විපස්සී) බුදුරජතෙම ආලෝකය දක්වා, අමාපදයයි කියන ලද නිවන් තැබීමට කරුණුවූ දහම් දෙසා, ගිනි කඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතව පිරිනිවි සේක.
උතුම් ඍද්‍ධියද, උතුම් පිනද, (සක්) ලකුණු ආදිය කරණ කොට මල් පිපුණු ගසක් මෙන් අලංකාර ශරීරයද, සියල්ල අතුරුදන් විය. සියළු සංස්කාරයෝ හිස් වූවාහු නොවෙත්ද?
නුවණ (නොහොත් වීර්‍ය්‍යය) ඇති විපස්සී ජිනරාජ තෙම සුමිත්තාරාමයෙහිදී පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය (දාගැබ) සත් යොදුනක් උස්වී. (හෙවත් සත් යොදුනක් උසට බඳින ලද්දේය.)