අපේ බුදුහාමුදුරුවෝ 83
විපස්සී බුදුහාමුදුරුවෝ 02
මංගල ධර්ම දේශණය
විපස්සි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණුනායින් පස්සේ උදන් අනා බෝ සමීපයෙහිම සත් සතිය ගෙවා මහා බ්‍රහ්මයාගේ ආරාධනය පිළිගෙන දිවැසින් ලොව දෙස බලන්නට වුනා. ඒ අවස්ථාවේ තම සුළු මවගේ පුත් ඛණ්ඩ කුමරුගේ ද, පුරෝහිතගේ පුත් තිස්ස කුමරුගේද හේතුසම්පත් දකින්නට වුනා. ඒ මොහොතේම ඛේම මිගදායෙන් අහසෙන් බැස උයන් පාලක ලවා ඔවුන් දෙදෙනා කැඳවා පිරිවර මැද ඔවුනට දම්සක් පවත්වන්නට වුණා. ඒ අවස්ථාවේ ධර්මාවබෝධයට පැමිණි දෙවියන්ගේ ප්‍රමාණය සීමාවක් නැහැ කියලයි අට්ඨ කතාවේ සඳහන් වෙන්නේ.
ඒකාලේ අප මහා බෝසතාණෝ මහර්ධිමත් මහානුභාව ඇති අතුල නම් නාරජව සිටියේ. උන්වහන්සේ නොයෙක් කෙළගණන් නාපිරිවර සහිත අසම සිල්බල ඇති, කරුණාවෙන් බරිත වූ සිහිල් සිත් ඇති අතිශය බලපරාක්රමයක් යුතුව වැඩ සිටින අතරේ තමයි විපස්සි බුදුරජාණන් වහන්සේ ලොව පහල වී ඇති බව දැනගන්නට ලැබුනේ. උන්වහන්සේ මුලින්ම කරන්නේ ඒ දසබලයන් වහන්සේට සත්කාර කරනු පිණිස සඳමඩල වන් රුවන්මුවා දර්ශණීය මණ්ඩපයක් කරවීමයි. ඉන් අනතුරුව එහි වඩාහිඳුවා සතියක් දෙවුසැපතට අනුරූප මහදන් පුදන්නට වුනා. අවසානයේ සත්රුවනින් සැරසූ මාහැඟි රන්මුවා නන් මිනිරැස්දහරින් බබළන පුටුවක් පුජා කරමින් මහත් වූ ශ්‍රද්ධාවෙන් වන්දනා කරමින් නොසැලී සිටියා. එකල්හි ඒ මහාකරුණිකයාණෝ ඔහුට පීඨාදානානුමෝදනා වශයෙන් මෙතෙම මෙයින් එකානුවන කප්හි ගෝතම නමින් බුදුවන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා. නැවතත් දිව්‍යමය සාදුකාරය අත්පොලසන් හඬ සක්වලෙන් සක්වලට පතුරුණා. අප මහා බෝසතාණෝ තවත් නියත විවරණයක් අපව සතර අපායෙන් ගලවන්න ලබාගෙන සසර නතර වුනේ එලෙසයි.