අපේ බුදුහාමුදුරුවෝ 82
විපස්සී බුදුහාමුදුරුවෝ 01
ඵුස්ස බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ නැවතත් අන්තර් කල්ප සහිත වූ කල්පයක් ගෙවිලා ගියා. නිකම්ම නිකම් කල්පයක් වශයෙන් හැඳුන්වුවාට ගණනය කල නොහැකි කාලයක් තමයි අපි එලෙස අද ඊයේ වගේ හඳුන්වන්නේ. පසුව කල්ප ගැන වෙනම විස්තරයක් ලියන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බුද්ධශුන්‍ය කාල වල අපිත් සතර අපායේ සැරිසරන්නට ඇති. කෙසේ හෝ ඒ අවාසනාවන්ත අවිද්‍යා අඳුර මකාලමින් විපස්සි නම් ශාස්තෘන් වහන්සේ ලොව පහලවුණා. ඒ නානාමාදිලියේ රුවන් කාන්ති සමූහයෙන් දිදුලන තුසිත දෙවුලොවින් චුතවී.
උන්වහන්සේ මෙළොව එලිය දුටුවේ බන්ධුමතී නුවර බන්ධුමතී අගමෙහෙසියගේ කුසේ. දෙවියන්ගේ සියලු ආරක්ෂාවන් මැද දසමස් ඇවෑමෙන් ඛේම මිගදායෙහි වලාරොදින් මිදි පුන්සඳ සේ මෙලොවට බිහිවුණා. උන්වහන්සේට නම් තබන දිනයේදී ලක්ෂණ පාඨකයෝද නෑයෝද දිවා රෑ අතර තුර මොහොතුකුදු අන්ධකාරයක් නොමැතිව පිරිසිදුව දක්නේය, වීවෘත ඇසින් දක්නේය යයි කියා විපස්සි යනුවෙන් නම් කරනු ලැබුවා. තවත් විමසා විමසා දකින්නේ යන නමින් විපස්සි වශයෙන් නම් කළා කියලත් කියනවා.
උන්වහන්සේ අවුරුදු අටදහසක් ගිහිගෙයි ගතකලා. ඒ සඳහා ඉතාමත් දැකුම්කලු ප්‍රාසාද තුනක් උන්වහන්සේටත් හිමිවුණා. ඒවා නමින් නන්ද සුනන්ද සිරිමා නම් වුණා. සුදස්සනා දේවිය ප්‍රමුඛ කොට ස්ත්‍රීන් එක්ලක්ෂ විසිදහසක් උන්වහන්සේ වෙනුවෙන් සේවයේ නිරතවුණා. සුදස්සනා දේවියට” සුතනු” යනුවෙන්ද හඳුන්වනවා. අනේක වූ රජ සැප සම්පත් විඳිමින් එලෙස අවුරුදු අටදහසක් ගතවුණා. අවසානයේ උන්වහන්සේටද දෙවියන් විසින් සතර පෙරනිමිති පෙන්නුවේ සුදස්සනා දේවිය සමවත්තකඛන්ධ පුතු මෙලොවට බිහිකළ දිනයෙමයි.
එදින රාත්‍රියේම උන්වහන්සේ මහභිනික්මන් කලේ ආජඤ්ඤ රථයකින් අසුහාරදහසක් පිරිවර සමග. ඒ සියලුම දෙනා උන්වහන්සේ සමග තපස් මහණ දිවියට අතුලුවුණා. ඒ මහා පුරුෂයාණන් වහන්සේ ඔවුන් සමගින් පුර අටමසක් ප්‍රධාන විර්යය වැඩුවා. අවසානයේ මෝහ අන්ධකාරය දුරලා ලොවට තවත් අලුත් ඉරක් උදාකරන තවත් වෙසක් දිනක් එළඹුණා. එදින උදෙන්ම සුදස්සන සිටුදියණිය ගෙනවිත් දුන් මීකිරිබත් වළඳා කුසුමින් සමලංකෘත සාලවනයෙහි දිවාවිහාර ගෙවා සුජාත නම් යුවලක දුන් අටතනමිට ගෙන සමලංකෘත පළොල් බෝධිය දැක දකුණු දිගින් ඒ වෙත එළඹුනා.
විශේෂිත පළොල් බෝධිය.
ඒ පළොල් බෝධිය ගැන විශේෂ වර්ණාවක් තියෙනවා. එය මෙහෙමයි. ඒ පළොල් බෝධිය සමවටකඳ ඇත්තේය. එදින පනස්රියන්ව උඩට නැගුනේය. ශාඛාව පනස්රියන්ය. උසින් රියන් සියයක් විය. එදිනම පළොල් රුක කර්නිකබද්ධ වුවක් මෙන් සුවඳ මලින් මුල පටන් හැමලෙසින්ම ගැවසී ගත්තේය. ඒ මල් වලින් දිවසුවන්ද දසත හමයි. එකල්හි මෙම රුක පමණක් නොවිය. දසදහසක් සක්වළ අභ්‍යන්තරයෙහි ධජමාලයෙන් අකූල විය. ඒ ඒ තැන්වල මලාගුල විසිරී නන් සුවඳ කුසුමින් පොළෝතලය සුවඳ දුමින් අඳුරු විය.
ඒ ආශ්චර්යමත් රුක වෙත පැමිණි විපස්සි බෝසතාණෝ තෙපනස් රියන් පුළුදෙති තණ ඇතිරි අතුරා බුදුබව ලබනතුරු නොනැගිටිමි යන ප්‍රතිඥා කොට වැඩ සිටින්නට වුණා. එසේ වැඩහිඳ මාරු සහිත මැරබල නසා බුද්ධත්වයට පැමිණ තවත් අඳුරෙන් වැසි තිබු කල්පයක් ඒකාලෝක කරන්නට වුනා.