අපේ බුදුහාමුදුරුවෝ 75
සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව
බුද්ධවංසපාළියේ මෙලෙස සංෂිප්ත කොට සදහන් වෙනවා.
ධම්මදස්සී බුදුරදුන්ට පසු කාලයෙහි ’’සිද්ධත්ථ’’ නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර පහකොට අහසට නැගී හිරු යම්සේද, එසේ විය.
උන්වහන්සේද බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එතර කරවන සේක්, දහම් නමැති වැස්සෙන් දෙවියන් සහිත ලෝකයා නිවමින් දහම් වැසි වැස්වූ සේක.
මහර්ෂීවූ සිදුහත් බුදුරදුන්ගේ (උපන්) නුවර ’’වේභාර’’ නම් වී. පියරජ තෙම ’’උදෙන’’ නම් වී. වැදූ මව් ’’පුස්සා’’ නම් වූවාය.
බුදුරජතෙම අවුරුදු දස දහසක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි විසීය. ’’කෝකාස’’ ය, ’’උත්පල’’ ය, ’’කෝකනද’’ ය යයි උතුම් ප්‍රාසාද තුණක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් අට දහසකි. ප්රසිද්ධවූ බිරින්ද ’’සුමනා’’ නම් වූවාය. පුත් තෙම ’’අනූපම’’ නම් වී.
(සිද්ධත්ථ) ජිනරාජතෙම සතර පෙර නිමිති දැක, සිවිකා (දෝලා විශේෂයක් වන) යානයකින් මහබිනික්මන් කෙළේය. නොඅඩු දසමසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
මහාවීරවූ, සිදුහත් ලෝනාහිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, ’’මිගදාය’’ නම් උතුම් නුවරෙහිදී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂීවූ සිදුහත් බුදුරදුන්ට, ’’සම්බල’’ ද, ’’සුමිත්ත’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම ’’රේවත’’ නම්.
’’සීවලා’’ ද, ’’සුරාමා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක ’’කිණිහිරි’’ ගස යයි කියනු ලැබේ.
’’සුප්පිය’’ ද, ’’සමුද්ද’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’රම්මා’’ ද, ’’සුරම්මා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
ඒ සිදුහත් බුදුරජ සැට රියනක් අහසට උස්වූයේ විය. රන් ඇගෑවක් (පහන් ගසක්) මෙන් දසදහසක් යොදුන් තැන් බබලවයි.
දීපඞ්කර ආදී බුදුවරයන් හා සමවූ, අසමානවූ, තමහට සමාන පුද්ගලයෙකු නැති, පසැස් ඇති ඒ බුදුරජද, අවුරුදු ලක්ෂයක් ලෝකයෙහි වැඩ සිටි සේක.
පිරිසිදු ආලෝකයක් දක්වා, සව්වන් පුබුදු කරවා, සමවතින් බබුලුවා, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.
මුනිවරවූ සිදුහත් බුදුරජතෙම අනෝමාරාමයේදී පිරිනිවි සේක. එහිම උතුම් සෑය සිව් යොදුනක් උස්වී. (උස්ව බැන්දේය.)