අපේ බුදුහාමුදුරුවෝ 71

 

ධම්මදස්සී බුදුහාමුදුරුවෝ 02
සක්දෙවූ රජ ලෙසින් පැමිණ නියත විවරණ ලැබූ අප මහා බෝසතාණෝ.

එදා ධම්මදස්සි බෝසතුන් වහන්සේත් සමග පිරිවර ස්ත්‍රී හැර  කෙළ ලක්ෂයක් පිරිවර පැවිදි වුනා. උන් වහන්සේ දුෂ්කරක් ක්‍රියා කලේ සතියක් පමණයි. උන් වහන්සේගේ බුද්ධත්වයට පෙර වළඳන අවසාන දානය වන මිකිරිබත්  පුජා කරනු ලබන්නේ සංසාරය පුරා පසු පස පැමිණි උන්වහන්සේගේම බිරිඳ විචිකොලි දේවියමයි. ඉන් අනතුරුව ඩෙබර වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සිරිවඩ්ඪ නම් ගවපාලකයා දුන් අටතණමිට ගෙන බිම්බිජාල බෝධිය වෙත පැමිණ  තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තෙපනස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් සමග පැවිදි වූ කෙළ ලක්‍ෂයක් පිරිසගේ හේතු සම්පත් දැක අටළොස් යොදුනක් එක් දවසකින් ම ගෙවා ඉසිපතන මිගදායට පැමිණ ධර්මචක්‍රය ප්‍රථම වරට කරකවනු ලැබුවා. එහිදී කෙළ ලක්‍ෂයක් භික්ෂුන් වහන්සේලාහට  ප්‍රථම ධර්මාවබෝධය වුනා.

පසු කලෙක “නගර” නම් නුවර සංජය නම් රජ කාමයන්හි ආදීනව ද නෛෂ්කර්මයන්හි ක්ෂේම බව දැන සෘෂි පැවිද්දෙන් පැවිදි වුණා. ඒ සමගම ඔහුගේ පිරිවර ද නව කෙළක් ඔහු සමග පැවිදි වුණා. ඒ සියලුම දෙනා පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභීන් බවට පත්වුණා. ඉන් පස්සේ ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ උපනිශ්‍ර සම්පත් හඳුනාගෙන අහසින් වැඩ  සංජය තාපසයාගේ ආශ්‍රමයට ගොස් අහසේ සිට ඒ තාපස වරුන්ගේ අදහස් පරිදි  බණ දේශණා කොට දහම් ඇස උපදවනු ලැබුවා. ඒ උන් වහන්සේ විසින් කරන ලද දෙවන ධර්මාවබෝධය වුණා.

තවත් දිනක  සක්දෙවිදු දස දසබලයන් වහන්සේ ගෙන්  බණ අසනු රිසිව උන්වහන්සේ වෙත ගියේ ද එකල අසූ කෙලකට තෙවන  ධර්මාවබෝධය වුණා.

ඒ කාලේ අප මහා බෝසතාණන් වහන්සේ සක් දෙව්  රජව දෙව්ලොව  දෙවියන් පිරිවරා අවුත් දිව්‍යමය ගඳින් මලින් දිව්‍ය තූර්ය වාදනයෙන් ද  තථාගතයන් වහන්සේට පුද පූජා කරනු ලැබුවා. ඒ ශාස්තෲන් වහන්සේ ඔහුට මතු ගෞතම නම්න් බුදු වන්නේ යැයි නියත විවරණ දී වදාරනු ලැබුවා. ඒ තූර්ය නාදය  දස දහසක් සක්වළ දක්වා විහිදුනා. තමන් බුදුවන බවට නියත විවරණ දුන් පසුව ඇතිවන ප්‍රීතිය වැනි  ප්‍රීතියක් මොන යම් දිව්‍ය තලයක සිටියත් ලබන්නට බැරැව ඇති.  යම් විදියකින් ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ වෙතින්  ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි වුනොත් මතුකල්හී ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අවබෝධ කළ හැකි යැයි සිතා දෙවිවරු උදම් ඇනුවා.   සැනසුම් සුසුම් හෙළුවා සාධුකාර දුන්නා.