අපේ බුදුහාමුදුරුවෝ 61

 

 

පියදස්සි බුදුහාමුදුරුවෝ 01

සුජාත බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසුව කල්ප සීයකට අධික කාලයක් මේ ලෝකයේ බුදුවරු පහළ වුණේ නැහැ. අවිද්‍යා අන්ධකාරයේ අඳුර මුළු ලෝකයම ගිල ගත්තා. ඊට පස්සේ ඒ අඳුර පහවෙන්නට වුනේ ලොවට යළිත් වර කල්පයක හිරු උදා වීමත් සමඟ. වර කල්පයක් කියන්නේ බුදුවරු තුන්නමක් ම ලෝකයේ පහලවන කල්පයක්. ඒ වර කල්පයේ පියදස්සී, අත්ථදස්සි, ධම්මදස්සී, කියලා බුදුරජාණන්වහන්සේලා තුන්නමක් ලොව පහල වන්නට නියමිතව තිබුණා. මේ කියන්නට යන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා තුන්නම අතරින්  පළවෙනි බුදුරජාණන් වහන්සේ වන පියදස්සී බුදුරජාණන් වහන්සේ ගැන.

පියදස්සි බුදුන් වහන්සේත් පෙරුම්පුරා අවසානයේ  තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් කල් වැඩසිට තුසීපුරෙන් චුතව සුධඤ්ඤවතී නුවර රජ කුලයෙහි සුදත්ත ක්‍ෂත්‍රීය රජතුමාට දාව පුර්ණ චන්ද්‍රයා මෙන් පැහැපත්  චන්‍දා දේවියගේ කුසයේ පිළිසිඳ ගත්තා. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි ම දෙතිස් පෙළහර ඇතිවුනා. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිවම දස මස් ඇවෑමෙන් වරුණ උයන්හි දී මව් කුසින් මෙලොවට බිහිවුණා. කුමාරයාට නම් තබන දිනයෙහි  ලොවට ප්‍රිය පෙළහර වෙසෙස් දැක්වූ හෙයින් නම් කරන්නාහු පියදස්සී යැයි නම් තැබුවා.

උන්වහන්සේත් අවුරුදු නම දහසක්ම ගිහිගෙයි වාසය කළා. උන්වහන්සේටත් සුනිම්මල, විමලා, ගිරිබුහා, නමින් සෘතු තුනට  ප්‍රාසාද තුනක් තිබුණා. උන්වහන්සේ ගේ අග මෙහෙසිය උනේ වුනේ විමලා දේවියයි. විමලා දේවිය ඇතුළුව තිස්තුන් දහසක් ස්ත්‍රීන් උන්වහන්සේට දිවා රාත්‍රී උවටැන් කළා. උන්වහන්සේත් අනෙකුත් බුදුවරු මෙන්ම සතර පෙර නිමිති දැක සසර කලකිරුණා. අගමෙහෙසිය වූ විමලා දේවියට කඤ්චන කුමරු උපන් දිනම ඒ මහා බෝසතාණෝ අභිණික්මන් කරනු ලැබුවා. ඒ තනියම නෙවෙයි කෝටියක් පිරිවර සමග. ඒ මහා පුරුෂයාණෝ ඔවුන් පිරිවරා සය මසක් ප්‍රධාන වීර්ය කොට වෙසක් පුන් පොහෝ දිනක වරුණ නම් බමුණුගම වසභ බමුණාගේ දියණිය විසින් පිදූ මී කිරිබත් වළඳා සල් වනයේ දී දිවාවිහාර කොට  සුජාත ආජීවක දුන් අට තණමිට ගෙන කුඹුක් බෝධිය වෙත පැමිණ තෙපනස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය  වැළඳ සර්වඥතා ඥානය ප්‍රතිවේධ කොට ලොවුතුරා බුද්ධත්වයට පැමිණුනා. ඉන් අනතුරුව උදන් අනා  එහි ම සත්සතිය ගෙවා  තමන් වහන්සේ අනුව පැවිදි වූවන්ගේ සිව් සස්  අවබෝධයට සමර්ථතා  දැන අහසින් වැඩ උසභවතී නුවර අසල උසභවන උයනෙහි බැස කෙලක් භික්ෂූන් පිරිවරා දම්සක් දේශනා කරනු ලැබුවා. කෙළ ලක්ෂයක් දෙනාට එදා ධර්මාවබෝධ වුනා. ඒ උන්වහන්සේගේ ප්‍රථම අභිසමයයි.