අපේ බුදුහාමුදුරුවෝ 54
පියුමතරා බුදුරජාණන් වහන්සේ 05
මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේ .
විශේෂ හැකියාවන් විශේෂ ප්‍රාර්ථනාද පෙරදැරිව කල්ප කාලාන්තරයක් මහාණීය වූ පින්කම් කරමින් පැමිණි භික්ෂූන් වහන්සේලා ඒ ඒ බුද්ධ ශාසන වල අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් අනෙකුත් භික්‌ෂුන් වහන්සේලා අතුරින් අග තනතුරු ලබයි. එහෙත් එම අසූ මහ ශ්‍රාවක ගණයට අයත් නොවන, එක් බුද්ධ ශාසනයක් තුළ එක් භික්‌ෂුවකට පමණක් පූරණය කළ හැකි විශේෂ ප්‍රතිපදාවක් පූරණය කළ භික්‌ෂුවක් ගැන අනෙකුත් බුද්ධ ශාසන වල මෙන්ම ගෞතම බුද්ධ ශාසනයේත් සඳහන්. ඒ මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේයි. උන්වහන්සේත් පියුමතුරා බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මෝනෙය්‍ය ප්‍රතිපදාව පුරනු දැක පැහැදී තමාට ද අනාගත බුදුකෙනෙකුගේ සසුනෙහි ඒ උත්තම වත පිරිය හැකිවේවා’යි පදුමුත්තර බුදුන් හමුවේ ප්‍රාර්ථනය කොට ආශීර්වාද ලබාගත් බව සඳහන්. උන්වහන්සේගේ අරහත්වය දක්වා පැමිණි ගමන අති සුන්දර වූ කතා පුවතක් වූවත් මෙහි සඳහන් කිරීමට කාල වෙලාවක් නොමැත. ඒ සඳහා නාලක සුත්‍රය කියවන්න. (ඛුද්දකනිකාය » සුත්තනිපාතපාළි » මහාවග්ගො » නාලකසුත්තං )
එපමනක් නොව අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්, වප්ප තෙරුන්, නාලක තෙරුන්, උරුවෙල්කස්සප තෙරුන්, නදීකස්සප තෙරුන්, ගයාකස්සප තෙරුන්, මහාකස්සප තෙරුන්, මහාකච්චායන තෙරුන්, මහාකොට්ඨිත තෙරුන්, මහාකප්පින තෙරුන්, අනුරුද්ධ තෙරුන්, කංඛාරේවත තෙරුන්, ආනන්‍ද තෙරුන්, නන්‍දක තෙරුන්, භගු තෙරුන්, නන්‍ද තෙරුන්, කාළිගෝධාපුත්ත භද්දිය තෙරුන්, රාහුල තෙරුන්, සීවලි තෙරුන්, උපාලි තෙරුන්, දබ්බමල්ලපුත්ත තෙරුන්, උපසේන තෙරුන්, ඛදිරවනියරේවත තෙරුන්, පුණ්ණ මන්තාණිපුත්ත තෙරුන්, සෝණකූටිකණ්ණ තෙරුන්, සෝණකෝළිවිස තෙරුන්, රාධ තෙරුන්, සුභූති තෙරුන්, වක්කලී තෙරුන්, කාළුදායි තෙරුන්, පිලින්‍දවච්ඡ තෙරුන්, සෝභිත තෙරුන්, කුමාරකස්සප තෙරුන්, රට්ඨපාල තෙරුන්, වංගීස තෙරුන්, සේල තෙරුන්, උපවාන තෙරුන්, සාගත තෙරුන්, නාගිත තෙරුන්, ලකුණ්ඨකභද්දිය තෙරුන්, පිණ්ඩෝලභාරද්වාජ තෙරුන්, මහාපන්ථක තෙරුන්, චුල්ලපන්ථක තෙරුන්, බාහියදාරුචීරිය තෙරුන්, මෝඝරාජ තෙරුන්, නාගසමාල තෙරුන් ආදී තෙරවරුන් ද මහාපජාපතිගෝතමී තෙරණිය, ඛෙමා තෙරණිය, පටාචාරා තෙරණිය, කුණ්ඩලකේසා තෙරණිය, කිසාගෝතමී තෙරණිය, ධම්මදින්නා තෙරණිය, සකුලා තෙරණිය, නන්‍දා තෙරණිය, සෝණා තෙරණිය, භද්දකාපිලානී තෙරණිය, සිංගාලමාතා තෙරණිය, උබ්බිරි තෙරණිය, සුන්‍දරීනන්දා තෙරණිය, උප්පලවණ්ණා තෙරණිය ආදී තෙරණිවරුන් ද පෙර කරන ලද පින් ඇතිව මහර්ෂි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉපිද නොයෙක් පිංකම් කොට නොයෙක් තනතුරු ප්‍රාර්‍ථනා කළ බව සඳහන් වෙනවා.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ තවත් විශේෂත්වයක් තිබුණා. එනම් තීර්ථකයන් ගෙන් ශුන්‍ය වීමයි. එයට හේතුව අන්‍ය තීර්ථකයන් හට කිසිම කෙනෙක් සංග්‍රහ නොකිරීමයි. සික්ෂා නොදීමයි. සත්කාර නොකිරීමයි, ගරුකටයුතු නොකිරීමයි, අස්නෙන් නොනැගිටීම්යි, ඇඳිලි බැඳීම් නොකිරීමයි, නිවාස නොදීමයි, පිටමං කිරීමයි. මෙලෙස රටවැසි මිනිසුන් විසින් නෙරපන ලද බැහැර කරන ලද සියලූ අන්‍ය තීර්ථකයෝ රැස්ව පියුමතුරා දසබලයන් වහන්සේම සරණ ගියා. එම නිසා ගම් දනව් ජනපද සියලු රාජ්‍යයන් අන්‍ය තීර්ථකයන් ගෙන් ශූන්‍ය වූ ප්‍රදේශ බවට පත් වුනා.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේටත් මහා ශ්‍රාවක සන්නිපාත තුනක් වුනා
එක් දිනක් ශාස්තෘන් වහන්සේ මිථිලා නුවර මිථිලා උයන්හි කෙළ ලක්ෂයක් භික්ෂූන් මැද නවම් පුන් පොහෝ දින පුන් සද වන් මුහුනින් පාමොක් දේශනා කරනු ලැබුවා. එය ප්‍රථම මහා සන්නිපාතයද වුනා.
තව දිනක් භාග්‍යවතුන් වහන්සේ විහාර කඳුමුදුනෙහි වස් වැස කන්ද බැලීමට හා මහජනයාට දහම් දෙසා අනූකෙළක් ඒහිභික්ෂුභාවයෙන් පැවිදි කරවා උන් වහන්සේලා පිරිවරා පාමොක් දේශනා කරනු ලැබුවා. එය දෙවැනි සන්නිපාතය ද වුනා.
නැවත භාග්‍යවතුන් වහන්සේ ගුණවත් ලෝකනාථයන් වහන්සේ මහජනයා සසර බැම්මෙන් මුදුවමින් ජනපද චාරිකාවේ හැසිරෙන කල අසූකෙළක් භික්ෂූන්ගෙ සමාගමයක් වුනා. ඒ තුන්වෙනි සන්නිපාතයයි.
ඒ කාලේ අප මහා බෝසතාණන් වහන්සේ නොයෙක් කෙළ ගණන් ධනය ඇති ජටික නම් මහරැටිව බුදු පාමොක් සඟනට සචීවර මහදන් පුදනු ලැබුවා. උන්වහන්සේ ද අප මහා බෝසතාණන් වහන්සේට මතු කල්ප ලක්ෂයකින් ගෞතම නම්න් බුදු වන්නේ යැයි නියත විවරණ දී වදාළා.
ඒ මොහොතේදීත් දෙතිස් පෙළහර ද දෙවියන්ගේ සාධු නද ද මීට පෙර කී බුද්ධවංශ කථාවල මෙන්ම සිදුවුනා. පෙර සේම නැවතත් නියත විවරණයන් ලැබූ අප මහා බෝසතාණෝ සම්මා සම්බුදු වරයෙක් හමුවීත් සසරෙන් එතර උනේ නැහැ. මතුභව වලදී අත්විඳිය යුතු කල්ප ගණනක දුක් දැක දැකත් අප වෙනුවෙන්ම මේ දුක්ඛිත සසර තුළම රැදී සිටියා.