අපේ බුදුහාමුදුරුවෝ 53
අප මහා බුදුපියාණන් වහන්සේ විසින් දේශිත සත්ධර්මය අද දින දක්වා පිරිසිදුව අඛන්ඩව පැවත ඒමට මේ ආකාරයට පිළිවෙළට වර්ගීකරණය කොට සංරක්ෂණය කිරීමට පෙරමුණගත් මහ රහතන් වහන්සේ කෙනෙකු වැඩ සිටියා. ඒ ප්‍රථම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්මය විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය නොවීමට ඉඩ සැලසූ ඔබ අප කවුරුත් හොඳින් දන්නා මහාකාශ්‍යප මහරහතන් වහන්සේයි. පදුමුත්තර බුද්ධවංශ කතාවේ තව විශේෂ සිදුවීමක් තියනවා. ඒ මහා ශ්‍රාවකයන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙතින් ගෞතම සසුනේ තෘතීය ශ්‍රාවක ලෙස මෙන්ම ධූතාංගදාරී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය (අල්පේච්ඡ දිවියක් ගත කරන භික්ෂූන් අතර අග්‍රස්ථානය ) සඳහා විවරණ ලැබීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් හතක් උන්වහන්සේටද පිහිටා තිබුනා වගේම උන්වහන්සේ රූපයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට බෝහෝ සෙයින් සමාන වුනා. එබැවින් සමහර අවස්ථාවන්හි දී ජනයා බුදුරජාණන් වහන්සේ යැයි වරදවා වටහාගෙන උන්වහන්සේට දන් පිළිගැන්වූ අවස්ථා ඒමට තිබුණා. ඒ නිසාම මෙම අතිවිශේෂ මහා ශ්‍රාවකයන් වහන්සේගේ ප්‍රථම විවිරණය ගැනද මෙම ලිපි පෙලේ සඳහන් කිරීම අද දක්වා සත්ධර්මය පාරිශුද්ධව තබා ගැනීමට කල මග පෙන්වීමට කෘතගුණ දැක්වීමක් ලෙසද සිතුවා. මෙම කතාව ලිවීමට තවත් පහසුවක් වුනේ රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවන්ගේ “සුවිසි මහ ගුණය” පොතේ පිටු අංක පනහේ මෙලෙස සංග්‍රහ වෙනවා. මෙය යතුරුලියනය කල ජනකට ද www.pitaka.lk කාර්ය මණ්ඩලයට ද පුණ්‍යානුමෝදනා කරනවා.
පදුමුත්තර බුදුන්ගෙන් ආශීර්වාද ලබාගත් මහා කාශ්‍යප මහා ස්ථවිරයන් වහන්සේ.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී හංසවතී නම් නගරය උපනිඃශ්‍රය කොට වැඩ වෙසෙන කල්හි ඒ නගරයෙහි අසුකෝටියක් ධනය ඇති වේදේහ නම් කෙළඹියෙක් වාසය කළේ ය.
දිනක් හෙ තෙමේ සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරදුන් වැඳ පුදා එකත් පසෙක වාඩි විය.
එකෙනෙහි තථාගතයන් වහන්සේ ‘ එතදග්ගං හික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ධුතවාදනං යදිදං නිසභො’ යි ඒ බුදුසස්නෙහි තෘතීය ශ්‍රාවක මහානිසභ තෙරුන් වහන්සේ ධුතවාදීන් අතරින් අග්‍ර ස්ථානයෙහි තබා වදාළ සේක.
උපාසක තෙමේ එය අසා ඉතා ප්‍රසන්නව ධර්‍මදේශනාවසානයේ ජනයා නැගිට ගිය කල්හි පියුමතුරා බුදුරජාණන් වහන්සේ වැඳ හිමියනි, හෙට දින මාගේ භික්ෂාව ඉවසා වදාරන සේක්වා’ යි සැළ කළේ ය.
‘උපාසකය, භික්ඛුසංඝයා බොහෝ වෙති’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ස්වාමිනි, භික්ෂුන් වහන්සේලා කොපමණ වන්නාහූ ද? ‘උපාසකය, සැටඅටදහසක් ය’ යි වදාළසේක. ‘ස්වාමිනි, එක් සාමණේර නමකුදු විහාරයෙහි ඉතිරි නොකොට සැමදෙනා වහන්සේ සමඟ මාගේ භික්ෂාව පිළිගන්වා සේක්වා’ යි උපාසක කීය. ශාස්තෘන් වහන්සේ ඉවසා වදාළ සේක. වේදේහ උපාසක තෙමේ තමාගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත් බව දැන ගෙට ගොස් මහා දානයක් පිළියෙල කොට දෙවන දිනයෙහි තථාගතයන් වහන්සේට කාලය සැලකර යැවූයේ ය.
තථාගතයන් වහන්සේ මහත්වූ බික්සඟන හා ඔහුගේ නිවසට වැඩම කොට පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. බික්සඟන ද වැඩ සිටි සේක. උපාසක ද බුදුරදුන් සමිපයෙහි හුන්නේ ය.
ඒ අතර මහානිසභ තෙරුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නාහු ඒ විදියට පැමිණිය හ. උපාසක තෙමේ උන්වහන්සේ දැක නැගිට ගොස් තෙරුන් වහන්සේ වැඳ ‘ස්වාමිනි, ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති. නුඹ වහන්සේ ද මේ ගෙට වඩිනු මැනව’ යි කීය. ‘උපාසක, නොවටනේ ය’ යි තෙරුන් වහන්සේ කීහ. එකල්හි උපාසක තෙමේ තෙරුන්වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වී ය. ඉක්බිති උපාසකතුමා ගෙට පිවිස බුදුරදුන් සමිපයෙහි හිඳ ‘ස්වාමිනි, මහානිසභ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිතියි කිව ද මේ ගෙට පිවිසෙන්නට නො කැමති වූහ. ස්වාමිනි, කිමෙක් ද? ඒ තෙරුන් වහන්සේ නුඹ වහන්සේට ද වැඩි ගුණ ඇත්තෝ දැ’ යි විචාළේ ය.
බුදුවරුන්ට ගුණමසුරුබවක් නැත. උන්වහන්සේ ගුණැතියන්ගේ ගුණ නො අඩු කොට පවසන්නාහ. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක්, ‘එසේය උපාසක, අපි වනාහි භික්ෂාව බලාපොරොත්තුවෙන් අනුන්ගේ ගෙවල හිඳින්නෙමු. ඒ භික්ෂුව එසේ නො හිඳින්නේ ය. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වෙසෙමුය, ඒ මහණ ආරණ්‍යයෙහි ම වෙසෙන්නේය, අපි පියැසි යට වෙසෙන්නමුය, ඒ මහණ අවකාශයෙහි ම වෙසෙන්නේය’ යි උන්වහන්සේ ගේ ගුණ නො අඩු කොට වදාල සේක.
මහානිසභ තෙරුන් වහන්සේගේ ගුණයෙහි පැහැදී සිටි උපාසකතුමා තථාගතයන් වහන්සේගේ වචනය අසා වඩාත් පැහැදී ‘මට අන් සැපතක් කුමටද? මමද අනාගතයෙහි එක් බුදුසස්නක ධුතවාදීන්ගෙන් අග්‍රවෙමි’ යි සිතා නැවතත් බුදුන් වහන්සේට ආරාධනා කොට සත් දිනක්ම මහදන් දී සත්වන දිනයෙහි බුදුපාමොක් මහසඟනට තුන්සිවුරු ද පුදා ශෘස්තෘන් වහන්සේගේ පාමුල වැදහෙව ‘ස්වාමිනි, සත්දිනක් දන්දුන් මම ඒ පිනෙන් අන් දිව්‍යසම්පත්තියක් හෝ ශක්‍ර – බ්‍රහ්ම සම්පත්තියක් හෝ නො පතමි. මගේ මේ පුණ්‍යකර්මය අනාගතයේ එක් බුදු කෙනෙකුන් ගේ ශාසනයෙහි මහානිසභ ස්ථවිරයන් වහන්සේ විසින් පත් තැනට පැමිණීමට හේතු වෙවා’ යි පැතී ය.
එකල්හි තථාගතයන් වහන්සේ ‘මේ උපාසක මහත් තනතුරක් පතයි, ඔහුගේ ඒ පැතුම මුදුන් පත් වන්නේ දෝ’ යි අනාගතය බලා වදාරනසේක් සිද්ධ වන බව දැක, උපාසක ඔබ අගනා තනතුරක් පැතුයෙහි ය. අනාගතයෙහි කල්ප අසංඛයකින් ගෞතම නමි බුදු කෙනෙක් පහළ වන්නේ ය. ඔබ මහාකාශ්‍යප යන නමින් ඒ බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවකයා වන්නේ ය’ යි වඳාල සේක. එය අසා උපාසකතෙමේ බුදුරදුන්ගේ ප්‍රකාශනයක් නොවරදින බැවින් කල්පලක්ෂයකින් ලැබෙන තනතුර ගැන සෙට ලැබෙන දෙයක් ගැන සේ ප්‍රිතියට පැමිණියේ ය. හෙතෙම ඉන් පසුව ද දානාදී බොහෝ පින්කම්කොට මරණින් පසු දෙව්ලොව උපන.