අපේ බුදුහාමුදුරුවෝ 50
නාරද බුදුන්ගේ ශාසනය අවුරුදු අනූ පන්දහසක් පැවතිලා අතුරුදහන් වුනා. එලෙස ඒ කල්පය ද විනාශ වුණා. ඉන් පසු ව අසංඛ්‍ය කල්පයක් බුදුවරු ලොව පහල උනේ නැහැ. එවැනි කල්ප බුද්ධ ශූන්‍ය කල්ප වශයෙන් හඳුන්වනවා. නැවතත් බුද්ධාලෝකයෙන් ලොව තොර වී අන්ධකාරය රජ කරන්න වුනා. සතර අපාය පිරී ඉතිරිමත් දිව්‍ය තල හිස් වීමත් එවැනි කල්ප වල තවත් ලක්ෂණයක්. එවැනි අසංඛ්‍ය කල්පයක් නිමා කරමින් තවත් මණ්ඩ කල්පයක ආලෝකය ලොවට උදා වන්නට වුනා. මණ්ඩ කල්පයක් කියන්නේ බුදුවරු දෙනමක් පමණක් පහළවන කල්පයකට. ඒ අවිදු ගනඳුර, නිමා කරමින් සකලලෝකෝත්තර වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුනා.
උන්වහන්සේද පාරමී පුරා තුසිතපුර ඉපිද එයින් චුතවී හංසවතී නුවර සකල ජන ආනන්දකර නන්දන නම් රජුගේ අගමෙහෙසි උත්තමකුල ජනිත සුජාතා දේවියගේ කුස පිළිසිද ගත්තා. දෙවියන් විසින් ඇති ආරක්ෂා ඇති එතුමිය දසමස් ඇවෑමෙන් හංසවතී උයනෙහි පියුමතුරා කුමරු ප්‍රසූත කළා. අනෙකුත් බෝධිසත්ත්වයන්ගේ වගේම උන්වහන්සේගේ උපතේදීත් මිට ඉහත විස්තර කල පරිදී දෙතිස් පෙළහර ලොවෙහි ඇති වුනා. උන්වහන්සේගේ උපතේදී ද පියුම් වර්ෂාවක් ඇද හැලුනා. ඒ නිසාම උන්වහන්සේට නම් තබන දිනයේ නෑයෝ පදුමුත්තර කියා නම් තැබුවා. උන්වහන්සේ මෙලෙස අනේක විද සැප සම්පත් මැද අවුරුදු දසදහසක් ගිහිගෙයි වාසය කළා.