අපේ බුදුහාමුදුරුවෝ 48

 

අසුකෙළකට අසපුවක් මැවූ අප මහා බෝසතාණෝ
නාරද බුදුහාමුදුරුවෝ 03

නිරන්තරයෙන් යොදුනක් බුදුරැස් විහිදුන නාරද බුදුහාමුදුරුවෝ.

තවත් මුලදි කියන්න බැරි විශේෂ කරුණක් තිබුණා. ඒ තමයි නාරද බුදුරජාණන් වහන්සේගේ තාත්තා ගැන. නාරද බුදුරජාණන් වහන්සේ ගේ පියා සක්විති රජ කෙනෙක්. සක්විති රජ කෙනෙකුගේ පුතෙකුට තිබිච්ච ලෞකික සැප ගැන හිතන්න. නාරද බෝසතාණන් වහන්සේ එවැනි අනේක වූ සැප සම්පත්ද සක්විති රජකම ද හැර දමා තමයි බුද්ධත්වය සඳහා පැමිනුනේ. 

නාරද බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහයනුත් බුද්ධ රශ්මි ධාරා යොදුනක් පමණ පැතිරුණා කියල තමයි අට්ඨකථාවේ කියන්නේ. ඒ නිසාම උන්වහන්සේ වැඩ සිටින තැන්වල ජනතාව පන්දම් පහන් දැල් වූයේ නැහැ . කාලය සෙමින් ගත වෙද්දි උන් වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් වුණා .

ප්‍රථම සන්නිපාතය

පළවෙනි සන්නිපාතය ඇතිවුණේ ථුල්ලකොට්ඨිත නුවරයි. භද්දසාල විජිතමිත්ත කියන්නේ උන් වහන්සේගේ අගසව් දෙදෙනා. දිවි ජීවිතේ ඒ දෙන්නා හොඳම යාලුවෝ .ඔවුන් දෙදෙනා නිවන් මග සොයමින් එනකොට තමයි දැක්කෙ බුදුරජාණන් වහන්සේ මහා පිරිසක් මැද වැඩ සිටිනවා . ඒ අතිශයින් ප්‍රභාස්වර වූ නාරද බුදු පියාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දැකීමෙන් මේ කෙලෙසුන් නැසූ සම්මා සම්බුදුවරයෙකු යයි නිෂ්ඨාවට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් බණ අසා පැවිදි බව ලබා ගත්තා. ඒ පැමිණීම ඒ බුදු රජාණන් වහන්සේත් බලාපොරොත්තු වෙන්න ඇති. ඔවුන් පැවිදි ව රහත් වූ පසු භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්ෂයක් භික්ෂූන් මැද පාමොක් දේශනා කළා. එයප්‍රථම සන්නිපාතයයි.

දෙවැනි සන්නිපාතය

යම් කාලෙක නාරද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥාති සමූහයා අරභයා විශේෂ ධර්ම දේශනයක් පැවැත්වූවා. ඒ තමයි උන්වහන්සේ ගේ පළමු බුද්ධත්ව ප්‍රාර්ථනය සිට බුද්ධත්වය දක්වා ආ මග මඟ පිළිබඳව සවිස්තර ව දේශනා කළ අති මිහිරි බුද්ධ වංශ කතාවයි . එදා අනූ කෙළ දහසක් භික්ෂූන්ගේ දෙවැනි සමාගමය වුණා.

 තෙවැනි සන්නිපාතය

ඒ වගේම මීට ඉහත සදහන් කළ දොණ නාගරජ දමනය දැකබලා පැහැදුණු වෙරෝචන නම් නාරජ ගංගා නදියෙහි තෙගවුවක් පමණ වූ සත් රුවන් මණ්ඩපයක් මවා සපිරිවරින් සිය දානයෙහි අග්‍ර බව දැක්වීම පිණිස ආරාධනය කොට නාග නළු නිළියන් ද විවිධ වේශලංකාරධර තාලාවචරයන්ද රැස් කොට මහා සත්කාරයෙන් සපිරිවර භාග්‍යවතුන් වහන්සේට මහ දන් පූජා කළා. ඒ මහජන මහා දානමය පිංකම අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ මහා පුණ්‍ය ගංගාවක් ගලන්නා විලසින් පුණ්‍යානුමෝදනාවක් කලා. ඒ පුණ්‍යානුමෝදනාව අසා පැහැද ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වූ අසූ ලක්ෂයක් භික්ෂූන් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දේශනා කළා . ඒ තෙවැනි මහා සන්නිපාතය වුණා

අසුකෙළකට අසපුවක් මැවූ අප මහා බෝසතාණෝ

ඒ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ පැවිදි තවුසෙක් ව හිමවත්හි අසපුවක් තනා පංචාභිඥා ද අෂ්ටසමාපත්ති ලාභීව ද වැඩ වාසය කළා. ඒ කාලේ ඒ මහා බෝසතාණන් වහන්සේට මහත් වූ අනුකම්පාවෙන් නාරද බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අසූකෙළක් ද දසදහසක් අනාගාමී ඵලයට පත් උපාසකයන් ද පිරිවරා ඒ අසපුවට වැඩිය. අප මහ බෝසතාණන් වහන්සේත් මහත් සෘද්ධි බල සම්පන්න තවුසෙක් . නැතිනම් එකවර අනපේක්ෂිත ලෙස පැමිණි මේසා විශාල බුද්ධ ශ්‍රාවකයන් පිරිසකට ඇප උපස්ථාන කරන්නේ කෙලෙස ද. බුදුරජාණන් වහන්සේ ඔහුගේ අසපුවට වඩින විට හවස් වෙලා. අදුර වැටෙන්නට ආසන්නයි. බෝසතාණන් වහන්සේ ප්‍රථමයෙන් ම කළේ ඒ අසූ කෙළක් පමණ වූ පිරිසට රාත්‍රියේ වැඩ වාසය කිරීමට විශාල අසපුවක් මැවීමයි. ඉර්ධියෙන් මවන අසපු දෙව්ලොව මාලිගා තරම් ලස්සනයි . ගස් වැල් මල් පලවැල විතරක් නෙමෙයි රාත්‍රී කාලේ එළිය දෙන මල් වලිනුත් මුළු පරිසරයම පිරිලා. එහි පිහිටවූ විශේෂ මණ්ඩපයක බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නට වුණා .

දින හතක්ම බුදුගුණ ඇසූ අප මහා බෝසතාණෝ

අප බෝසතාණන් වහන්සේ අහන්නට කැමති වුනේ බුදු ගුණ. ඒ ඔහුත් මතු බුදුවරයෙක් නිසා. ඒ නිසා නාරද බුදුහාමුදුරුවෝ මුළු සර්ව රාත්‍රිය පුරාම දේශනා කළේ ඒ අනන්ත වූ බුදුගුණමයි. අප මහා බෝසතාණෝ පසුදින උදෑසනම උතුරුකුරු දිවයිනට ගොස් දන් ගෙනවිත් බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ පිරිවරට පූජා කළා. ඒ ඉර්ධි බලය ආශ්චර්යයි . තමාගේ පාත්‍රයන්ට කොතරම් දම් බෙදුවත් ඒ ඒ ආහාරය ඉවර වුණේ නැහැ. උන්වහන්සේ පෙර මා ඇසූ අනන්ත වූ බුදු ගුණ දේශනාව ට කොතරම් වසඟ වුනාද කියතොත් දින හතක් පුරා ම නාරද බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිවර රඳවාගෙන බුදුගුණම ඇසුවා. අවසානයේ සත්වෙනි දින මහත්වූ ප්‍රීතිය ට පැමිණි අප මහා බෝසතාණෝ වතින් අනගි රත්සදුන් ගෙනවිත් එයින් බුදුන් පුදනු ලැබුවා.

නියත විවරණ ලැබීම.

භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන් පිරවරා පුණ්‍යානුමෝදනා කොට උන්වහන්සේට මතු ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දෙනු ලැබුවා. දෙවිවරුන්ගේ සාධුකාර නදත් අත්පොළසන් නදත් දසදහසක් සක්වල පුරාම පැතිරුණා. මදාරා මල් දසත විසිරී ගියා. අප බුදුහාමුදුරුවන්ගේ අපම වෙනුවෙන් පැතූ තවත් නියත විවරණයක් එලෙස සනිටුහන් වුනා.