අපේ බුදුහාමුදුරුවෝ 46

 

දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත් වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු
නාරද බුදුහාමුදුරුවෝ
01

නාරද බෝසතාණන් වහන්සේ ලොව පහල වීම.

පදුම සර්වඥයන් වහන්සේ පිරිනිවි කල උන් වහන්සේගේ සසුනද අතුරුදහන් වී ලක්ෂයක ආයුෂ ඇති මිනිසුන් අනුක්‍රමයෙන් අවුරුදු දහය දක්වා පිරිහෙන්නට වුණා. නැවත ආයුෂ ක්‍රමයෙන් ක්‍රමය වැඩීමෙන් ආයුෂ අසංඛය දක්වා පැමිණ නැවතත් අවුරුදු අනූ දහසක් දක්වා පිරිහුණා. එකල දසබලධාරී ත්‍රිවිද්‍යා ඇති චතුර්වෛශාරද්‍යය විශාරද විමුක්ති සාර දෙන්නා වූ නාරද නම් නරසත්වෝත්තම ශාස්තෘන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා තුසිත භවනෙහි ඉපිද එතනින් චුත ව ධඤ්ඤවතී නුවර ස්වකීය වීර්යයෙන් දිනන ලද වාසුදේවයන් බඳු සුදේව නම් රාජ කුලයෙහි අග මෙහෙසිය වූ නිරූපම අනෝම දේවියගේ කුසේ පිළිසිද ගත්තා.

නම් තැබීම සහ අලංකාර ආභරණ අහසින් පතිතවීම

උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහිදීද දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදිම දෙතිස් පෙළහර ඇතිවුනා. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ධනඤ්ජය උයනෙහි මව් කුසින් බිහි වුණා . උත්පත්තියෙන් දින කිහිපයකට පසු නම් තබන දිනයද පැමිණුනා. එදා විශේෂ සිදුවීමක් වුණා. එදා දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත් වන පරිදි ඉතා අලංකාර ආභරණ අහසින් සහ කල්පරුක්ශාදියෙන් පතිත වන්නට වුණා . එනිසාම උන්වහන්සේට මිනිසුන්ට සුදුසු ආභරණ දුන්නේ යයි කියා නාරද යනුවෙන් නම් තැබුවා. උන්වහන්සේ නව දහසක් අවුරුදු ගිහිගෙයි වාසය කළා. විජිත විජිතාවි විජිතාභිරාම නම් ඉමහත් වූ කම්සැපයෙන් අගතැන්පත් තුන් සෘතුවට යෝග්‍ය මහා ප්‍රසාද තුනක් වුණා . නාරද කුමාරයාහට කුල සීල ආචාර රූප සම්පන්න මනෝකූල වූ විජිත සේනා නම් අතිශයින් රූමත් පින්වත් කැත් කුමරිය අගමෙහෙසිය වුණා .ඒ කුමරිය ප්‍රධාන විසිදහසකට අධික ස්ත්‍රීන් උන් වහන්සේ වෙනුවෙන් සේවයේ යොදවා සිටයේ ඔහුව ගිහිගෙයිම රඳවා ගැනීමට.

විවිධ වර්ණයෙන් සැරසී ලක්ෂසංඛ්‍යාත පිරිවර සමග පාගමනින්ම ගිහිගෙයින් නික්මීම.

ඒ විජිතසේනා දේවියට සකල ලෝකනන්දකර නන්‍දුත්තර කුමරු උපන් කල්හි සතර පෙර නිමිති දැක සිවුරඟසෙන් පිරිවරා නන්පැහැ වතින් සැරසූ සිරුරු ඇතිව පැලඳගත් මුතුහර මිණිකොඬොල් ඇතිව උතුම් කේයූර මකුට කටකධාරී ව පරම සුගන්ධවත් ගඳමලින් සැරසී පා ගමනින් ම උයනට අභිනික්මන් කොට උයනට පිවිසියා. එහි ගොස් සියලු අබරණ මුදා භාණ්ඩාගාරික අතට දී තමන් ම නිල් මානෙල් පතක් හා සමාන අසිපතින් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූ කල්හි සක්දෙව් රජ එය රන් කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනට ගෙන ගොස් සිනේරුව මුදුනෙහි තුන් යොදුන් උස සත්රුවන්මුවා සෑයක් කරනු ලැබුවා. මහපුරිස්‍හු දෙවියන් දුන් කසාවත් හැද පැවිදි වූනා. උන්වහන්සේ අනුව දහස්ගණන් දෙනා පැවිදි වූනා. දින හතක් ප්‍රධන් වීර්‍යය කොට නිමවුණා. එදා තවත් එක් වෙසක් පොහෝදිනක්. උන්වහන්සේගේ ආදරණිය බිරිඳ විජිතසේනා කුමරිය සංසාරේ පැතූ තවත් පාරමිතාවක වගේ බුදුවෙන්නට පෙර තමාගේ දෑතින්ම තැනු මිහිරි මි කිරිබත් රැගෙන ඒ උයන වෙත උදෑසනම පැමිණියා. උන්වහන්සේ අගමෙහෙසිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා එම උයන්හි ම දිවා විහරණය කොට සවස් කාලයෙහි සුදස්සන නම් උයන්පල්ලා දුන් අටතණමිට ගෙන තොටිල (මහාසෝණ) රුකමුල වෙත පිය මැන්නා. ඒ රුක්‍ෂය පිළිබන්දවත් ලස්සන වර්ණනාවක් බුද්ධවංශ අට්ඨකතාවේ තියනවා. ඒ මෙලෙසයි.

රත්තසොණ නම වෘක්ෂය

රත්තසොණ නම් ඒ වෘක්ෂය අනු රියනක් උසයි. එක සමාන වටයකින් යුතු කදකින් යුක්තය. නොයෙක් ශාකයන් පිරිවරා ගෙන සිටියේ. නිල්වන් පත්‍රයන්ගෙන් පිරිලා. ඒ නිසාම ඒ ගහ යට ඝන සෙවනකින් යුක්තයි. දේවතාධිගෘහිතයි. විහඟ ඝන සේවනයෙන් තොරයි. පොලෝ තලයට තිලකයක් බඳු යි. තැන් රාශියක් කරගන්නාක් මෙන් පරම රමණීය දැකුම්කලුයි. මුතු කුසුමින් සමලංකෘත සකල ශාකයෙන් මිනිසුන් මෙන් ම දෙවියන්ගෙන් නෙත් පැහැර ගත්තා. හරියටම දෙව්ලොව ඇති පරසතු මල් ගස වගේ.

බුද්ධත්වයට පැමිණීම.

උන්වහන්සේ ඒ උතුම් බෝධියට තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්හත් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යා උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන්වහන්සේ සමඟ පැවිදි වූ ලක්‍ෂයක් දෙනා දැක ධනඤ්ජය උයනෙහි දම්සක් දෙසූමදේශණා කරනු ලැබුවා. එහිදී කෙළ ලක්‍ෂයකට ධාර්මාවබෝධය වුනා.