අපේ බුදුහාමුදුරුවෝ 419 (සන්තිකේ නිදානය)

 

රාහුල කුමාරයා 02

 සසර පුරා ලැබූ මවු පුතු උණුහුමේ අවසන් නිමේෂය

එදා භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩිය පසු ගතවෙන සත්වෙනි දවස. ශුද්ධෝදන රජතුමාගේ ආරාධනය පරිදි එදිනත් භාග්‍යවතුන් වහන්සේ ඇතුළු විසිදහසක් වූ මහා සංඝරත්නය දානය සඳහා රජමාළිගයට වැඩමකරලා. දාන කටයුතු අවසානයේ සඟ පිරිවර සමග රජමාලිගයෙන් පිටතට වඩින දර්ශනය යසෝදරාවත් බලාගෙන සිටියේ හැඟීම්බරව. ඇයගේ උණුසුමේ රාහුල පුතුද සිටිනවා. මේ සංසාරයේ සෙවනැල්ල මෙන් පැමිණි දීර්ඝ ගමනෙහි එකිනෙකාගේ ආදරය ලබන අන්තිම මොහොත. ඇය ආදරයෙන් තව තවත් ඔහුව තුරුල් කරගත්තා. ඔවුන් දෙදෙනාම දැන සිටියේ නැහැ ඒ මවු පුතු සෙනෙහස එකිනෙකා විඳිනු ලබන ඒ අවසාන මොහොත කියලා. එසේ තමනට තුරුළු වී බුදුරජුන් ඇතුළු පිරිස වඩින දර්ශණය බලමින් සිටි රාහුල කුමරාට එතුමිය මෙලෙස කියනු ලැබුවා.

 ‘පුත’ විසිදහසක් ශ්‍රමණයන් විසින් පිරිවරණ ලද රන්වන් වූ බ්‍රහ්ම රූපයට සමාන වූ රූපයක් ඇති මේ ශ්‍රමණයා බලව, මෙතෙමේ තාගේ පියාය, මොහුට මහත් නිධාන ඇත්තේය, ඒ නිධාන මොහු ගිහිගෙයින් නික්මීමෙහි පටන් නොදැක්කෙමි, යව, ඔහුගෙන් දායාද ඉල්ලව, පියතුමනි ‘කුමර වූ මම සක්විති වන්නෙමි’ මට ධනයෙන් ප්‍රයෝජන ඇත්තේය. මට ධනය දුන මැනැව, පියසතු ධනයට පුත්‍රතෙමේ ස්වාමියාමය’යි කියා ‘භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට යවනු ලැබුවා. කුමාරයාද භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට ගොස් පිතෘ ස්නෙහය ලබා තුටු සිත් ඇතුව, ‘පියතුමනි, ඔබගේ සෙවන සැපය, මට හිමිවිය යුතු ඔබගේ දායාදය දෙනු මැනව” කියා අනිකුදු බොහෝ තමාට අනුරූප වූ වචන කියමින් පසුපසින් ගිය මනරම් දර්ශනය දෙස යසෝදරාව බලා සිටියේ ඉන්පසුව වන්නට යනදේ නොදැන මහත් වූ සොම්නසින්. භාග්‍යවතුන් වහන්සේ කුමරු නොනැවැත්වනු ලැබුවා. පිරිවර ජනතෙමේද භාග්‍යවතුන් වහන්සේ සමග යන්නා වූ රාහුල කුමරුන්ව නවතාලන්නට අසමර්‍ත්‍ථ වුනා. එවිට භාග්‍යවතුන් වහන්සේ පියවරින් පියවර තබමින් ලැසිගමනින් පෙරටුව වඩින්නට වුණා. පුත් රාහුල උන්වහන්සේ පසුපසින් සුරතල් කතා කියමින් පානගන්නට වුණා.

එහිදී භාග්‍යවතුන් වහන්සේ සුපිපි සල්වනයක් මැද සිට යහපත් බිමකට බැසීමට නික්මුණු උතුම් මත් ඇතකු මෙන් බැබලුණා. රාහුලභද්‍ර උතුම් හස්තියාගේ පසුපසින් නික්මුණු ඇත්පැටවකු මෙන් වුණා. භාග්‍යවතුන් වහන්සේ සවස්යාමයෙහි මැණික් ගුහාවකින් නික්මී ගොදුරට පිළිපන් කේශර සිංහයකු මෙන් වුණා. රාහුලභද්‍ර සිංහරාජයා ලුහුබඳිමින් නික්මුණු සිංහ පෝතකයකු මෙන් දිස්වුණා. භාග්‍යවතුන් වහන්සේ මැණික් පව්වක් වැනි වන ලැහැබින් එන මහ දත්ඇති මහා ව්‍යාඝ්‍රයෙකු මෙන් වුණා. රාහුලභද්‍ර ව්‍යාඝ්‍රරාජයා අනුව යන ව්‍යාඝ්‍ර පෝතකයකු මෙන් දිස්වුණා. භාග්‍යවතුන් වහන්සේ සිම්බලි පොකුණින් නික්මුණු ගුරුළු රජුවැනි වුණා. රාහුලභද්‍ර ගුරුළුරජු පසු පසින් නික්මුණු ගුරුළු පොව්වකු මෙන් වුණා. භාග්‍යවතුන් වහන්සේ චිත්‍ර කූට පර්වතයෙන් ගුවන්තලයට පියෑඹු ස්වර්ණහංස රාජයකු වැනි වුණා. රාහුලභද්‍ර හංසරාජයා අනුව පියාඹන ස්වර්ණ හංස පෝතකයකු සේ වුණා. භාග්‍යවතුන් වහන්සේ මහ සයුරෙහි පාවෙන මහරන් නැවක් වැනි වුණා. රාහුලභද්‍ර රන් නැවට සම්බන්ධව පසුපසින් බැඳි පහුරක් වැනි වුණා. භාග්‍යවතුන් වහන්සේ චක්‍ර රත්න ආනුභාවයෙන් ගුවන් තලයට සැපත් සක්විති රජුසේ වුනා. රාහුලභද්‍ර රජු අනුව සැපත් පුත්‍රරත්නය වැනි වුනා. භාග්‍යවතුන් වහන්සේ වලාකුළු නැති අහස්තලයට පිළිපන් චන්ද්‍රයා වැනි වුණා. රාහුලභද්‍ර චන්ද්‍රයාගේ මගට පිළිපන් පරිශුද්ධ ඕසධී තාරකාව සේ දිස් වුණා.

භාග්‍යවතුන් වහන්සේද මහාසම්මත ප්‍රවේණියෙහි ඔක්කාක රාජවංශයෙහි උපන්නා. රාහුලභද්‍රද මහාසම්මත ප්‍රවේණියෙහි ඔක්කාක රාජවංශයෙහි උපන්නා. . භාග්‍යවතුන් වහන්සේද රාහුල භද්‍රද සක්ගෙඩියක දැමු කිරක් සේ සුපරිශුද්ධ ජාති ඇති ක්ෂත්‍රිය කුලයෙහි උපන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙන් රාහුල භද්‍රද පසුව රාජ්‍යය අත්හැර පැවිදිවුවා. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය දෙතිස් මහා පුරිස් ලකුණින් ප්‍රතිමණ්ඩිත වුවා. දෙවිනුවර නැගු රුවන් තොරණක් වැනියි. සැමතැන මල් පිපුණු පරසතු රුකක් මෙන් අතිමනෝහරයි. රාහුලභද්‍රගේ ශරීරයද එසේමයි. මෙසේ දෙදෙනාම අහිනීහාර සම්පන්නයි. දෙදෙනාම රජකුලයෙන් පැවිදිවුවා. දෙදෙනම ක්ෂත්‍රිය සුකුමාලයි. දෙදෙනම රන්වන්. දෙදෙනම උපලක්ෂණ සම්පන්නයි. දෙදෙනාම එක් මගකට පිළිපන්නෝ වුණා. පිළිවෙළින් යන්නාවූ චන්ද්‍රමණ්ඩල දෙකෙහි, සුර්ය මණ්ඩල දෙකෙහි, ශක්‍ර සුයාම සන්තුසිත පරනිර්මිත වසවර්ති දිව්‍යරාජ වරුන්ගේද, මහා බ්‍රහ්මයන් දෙදෙනාගේ ශ්‍රීය ද අභිබවන්නාක් මෙන් බැබලුණා.

සම්මා සම්බුද්ධත්වයට පැමිණි තම ආදරණීය සැමියාගේත්, සක්විති රජකමට අයත් ධන නිධාන සොයාගිය තම ආදරණීය පුතාගේත් අවසන් දසුන් සිත්තමක් සේ යසෝදරාවගේ සිතෙහි එලෙස සටහන් වුනේ ඉන්පසු කිසිදිනක කුමරා නැවතත් කුමාර වේශයෙන් ඇයට මුණ නොගැසුන නිසා. එපමණක් නොව එය අපගේ සිතෙහිත් සිත්තමක් මෙන් වසර දෙදහස් පන්සිය හැටහයකට පසුවත් මැවී මැවී පවතින්නේ අන්ත දෙකක වූ මවු පිය ප්‍රේමයේ මධ්‍ය ලක්ෂයක් ලෙසයි. එනම් ලෝකෝත්තර දිවියට පිවිසි තම පියා දීමට බලාපොරොත්තු වූ ඉහළම ලෝකෝත්තර දායාදයත්, ලෞකික ජීවිතයක දිවි ගෙවූ තම මව විසින් බලාපොරොත්තු වූ ලෞකික දායදයේත් අවසන් ඡේදන ලක්ෂණය වූ ලෞකික ලෝකෝත්තර දෙලොවක කුමරා ගතකල මධ්‍ය ලක්ෂය ලෙසයි.

 

උපකාර වූ මුලාශ්‍ර

රාහුලවත්ථුකථා මහවග්ග අටුවාව මහාඛන්‍ධක වර්‍ණනාව

මහාරාහුලෝවාද සූත්‍ර වර්ණනාව