අපේ බුදුහාමුදුරුවෝ 392 (සන්තිකේ නිදානය)

 

සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් බුදුගුණ පැවසෙන

බුද්ධවංශ දේශනාව සඳහා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කිරීම. 01

අපේ ශාස්තෘවරයාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නා අවස්ථාවේත්, අභිනිෂ්ක්‍රමණයෙහිදීත්, බුද්ධත්වයේදීත්, දම්සක් පැවතුම් දේශනාව කරන අවස්ථාවේත්, යමා මහ පෙළහර, දේවාරොහන, ආයුසංස්කාර හරණ, යන අවස්ථාවන්හිත් පිරිනිවන් පානා කල්හිත් දසදහසක් ලෝකධාතුව කම්පාවූවා කියා පෙළෙහි සඳහන්. (අච්ඡරාසඞ්ඝාත වර්ගය අඞ්ගුත්තර නිකාය) ඉතින් එදිනත් ඉහත කියූ පරිදී එම ලෝක දර්මතාවය අනුව ලෝකධාතුන් කම්පා වෙන්නට ඇති.

“දසසහස්සී ලෝකධාතු ඡප්පකාරං එකම්පථ” යනුවෙන් දසදහසක් සක්වළ මහපොළව ෂඩාකාරයකින් කම්පාවීම යන අර්ථය ” බුද්ධවංශ අටුවාවේ රතනචංකමන කාණ්ඩයේ ” දී මෙලෙස විස්තර කෙරෙනවා. “සැලිණ. කෙසේද? නැගෙනහිරින් එසවෙයි. බටහිරින් පහත් වෙයි. බටහිරින් උස්වෙයි. නැගෙනහිරින් පහත් වෙයි. උතුරෙන් උස්වෙයි. දකුණින් පහත්වෙයි. දකුණින් උස්වෙයි. උතුරෙන් පහත්වෙයි. මැදින් උස්වෙයි. කෙළවරින් පහත් වෙයි. කෙළවරින් උස්වෙයි. මැදින් පහත් වෙයි. මෙසේ සයාකාරයකින් අනිල බලයෙන් සැලුණ ජලරල බිඳීමෙන් ගැටුණ නැවක් මෙන් යොදුන් ලක්‍ෂයක් බොල් පොළොව දරා සිටි ජල කෙළවර කොට සිටි සිත් නැත්තා වූ මේ මහපොළොව සිත් ඇත්තාක් මෙන් ප්‍රීතියෙන් නටන්නාක් මෙන් කම්පා විය” යන්න එහි අර්ථයයි,

මෙලෙස දසදහසක් ලෝකධාතු වසා සිටි ඒ රුවන් සක්මනෙහි සක්මන් කරමින්ම ශාස්තෘන් වහන්සේ මනොසීලාතලයක සිංහනාද කරන සිංහයකු මෙන්, ගර්ජනා කරමින් වසන මේඝයක් මෙන්, අහස්ගඟ ගලා බසින්නාක් මෙන්, අටඟින් යුත් ස්වකීය කමණීය බඹගොසින් තන්නය විසිතුරු සිවුසත් මුසු තිලකුණු ගෙන දෙන මිහිරි බණක් දේශනා කරනු ලැබුවා. මෙහි ශාස්තෘන් වහන්සේ විසින් මවන ලද සක්මනෙහි එක් කෙළවරක් නැගෙනහිර සක්වළ මුවවිටෙහිත්, එකක් බටහිර සක්වළ මුවවිටෙත්, යාවුණා. මෙසේ පිහිටි රුවන් සක්මනෙහි සක්මන් කරන බුදුපියාණන් වහන්සේ වරෙක එහි දෙකෙළවර පැමිණ හැරුණා. හරියටම සතර රියන් සක්මනක සක්මන් කරමින් මග කෙළවරට පැමිණ හැරෙන අතර මග නොනවතින යන අර්ථයෙන්. මෙහිදී අපට ප්‍රශ්ණයක් එනවා භාග්‍යවතුන් වහන්සේ දසදහසක් දික් වූ මෙම සක්මන කෙටි කරනු ලැබුවාද යන අර්ථයෙන්. එසේත් නැත්නම් නරඹන්නන් හට මෙම විශාල දර්ශණ පථය දැකීම සඳහා මහත් ආත්මභාවයක් මැවූවා ද අර්ථයෙන්.. නැහැ බුදුවරු එසේ මායාවල් කරන්නේ නැහැ. ඒ නිසාම කියනවා බුදුවරුන්ගේ බුද්ධානුභාවය අචින්තනීයයි කියලා. උන්වහන්සේලා හට අකනිටා භවනය පටන් අවීචිය තෙක් එකම මිදුලක් වුනා. සරසින්ද දසදහසක් සක්වළ එකාංගණ වුණා. එමනිසාම සියලු දෙව් මිනිසුනට සක්මන් කරන බුදුපියාණන් වහන්සේ ව දර්ශනය වුනා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ සක්මන් කරමින් භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරමින් ඉතාමත් සුමිහිරි දහමක් දේශනා කරනු ලැබුවා. ඒ සියල්ලම සියලු දෙනාට ශ්‍රවණය වුණා පමණක් නෙවෙයි සමහර අයගේ දිවි ගමනද වෙනස් වුණා. ඒ පිළිබඳව ඔබට පසුවට කියවන්නට ලැබේවි. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ ඒ අතර සමවතටත් සමවැදුනා.

මේ අවස්ථාවේ ගෞතම බුද්ධ රාජ්‍යයේ මහා දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ නිල්මේකුළු සමූහයෙන් සිපගන්නා ලද නන් සුවඳ කුසුම්තුරු සුවඳින් සුවඳවත් වූ පරම සුන්දර ගිජුකුළු පව්වෙහි තවත් තමන්ගේ පිරිවර වූ පන්සීයයක් සංඝ පිරිවර සමග වැඩ සිටිය. අපරිමිත කාලයක් රැස් කරන ලද කුසල බලයෙන් හටගත් දෙතිසක් උතුම් ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූ අසූවක් අනු ලකුණින් විරාජිත වූ, උතුම් දේහය සරාකල්හි පුන්සඳ මෙන්, මුළුමනින් සපිරි සියයක් යොදුන් උසැති පරසතු රුක මෙන්, අටළොස් රියන් උස ව්‍යාමප්‍රභා පරික්‍ෂෙපයෙන් සශ්‍රීක ජංගම රන්ගිරක් මෙන්, අනූපම බුද්ධ ලීලායෙන් සක්මන් කරන ලද දසසහස්‍රී දෙව්ගණ පිරිවැරූ භාග්‍යවතුන් වහන්සේ දැක “මේ දසසහස්‍රී සකල ලෝකයා රැස් වූහ. මෙහි මහාධර්ම දේශනාවක් විය යුතුය. බුද්ධවංස දේශනාව වනාහි බහූපකාරය. භාග්‍යවතුන් වහන්සේ විෂයෙහි ප්‍රසාදය එළවන සුලුය. මම දසබලයන් වහන්සේගේ අභිනීහාරයෙහි පටන් බුද්ධ වංසය විමසන්නෙම් නම් මැනවැයි” සිතා සිවුර එකාංග කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ජලජ නිමල අවිකල කමල කැකුළක් බඳු ඇඳිලි හිස තබා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් මෙසේ සම්මා සම්බුදුවරයෙකුගේ නිමක් නැති මහා ගුණ සාගරය වර්ණනා කරන්නට වුණා.

උපකාර වූ මුලාශ්‍ර –

රතනචංකමන කාණ්ඩ වර්ණනාව කුදුගත් සඟිය අටුවාවබුද්ධවංශ අටුවාව

අච්ඡරාසඞ්ඝාත වර්ගය අඞ්ගුත්තර නිකාය අටුවාව ඒකක නිපාත අටුවාව එකධම්ම පාළිය