අපේ බුදුහාමුදුරුවෝ 390 (සන්තිකේ නිදානය)
ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 05
රුවන් සක්මන සහ නිර්මිත බුදුරුවක් මැවීම. 01
ඉතින් මේ විදිහට දෙවියන් මිනිසුන් බඹුන් විසින් ඔවුනොවුන් නොදුටු මිනිසුන් දෙවි බඹුන් වගේම නිරි සතුන් එකිනෙකා බුද්ධ ආනුභාවයෙන් දුටුවා. මිනිසුන්ට වගේම දෙවියන්ටත් සතර අපා බිය උපදින්නට ඇති. ඒ වගේම මිනිසුන්ට දෙව් තලයන්හි අසිරියත් දෙවියන්ට තමන්ට ඉහළ දෙවුතලවල අසිරියත්, බ්‍රහ්ම ලෝකවල දෙවු තලයන්ට වඩා ඇති ශාන්තමය ගුණයනුත්, සහ ප්‍රභාශ්වර රශ්මිනුත් දකින්නට ඇති. එහෙත් ඒ මහේශාඛ්‍ය දෙවිවරුන්ට නරෝත්තම වූ මේ සර්‍වඥයෝ මෙ බඳු කෙනෙකුන්ය, ලොවට හිත වූ සර්‍වඥයන් වහන්සේගේ ඍද්ධිබලයත් ප්‍රඥාබලයත් මෙ බඳුවේය, බුද්ධබලය මෙබඳු යැයි මේ අයට අසීමිත බුද්ධ බලය ගැන වැටහීමක් නැති බව බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඒ වගේම මාගේ ඥාති ආදිකොටගත් සදේවමනුෂ්‍යයෝ ද නරෝත්තම වූ මේ සර්‍වඥයෝ මෙ බඳු කෙනෙකුන්ය, ලොවට හිත වූ සර්‍වඥයන් වහන්සේගේ ඍද්ධිබලයත් ප්‍රඥාබලයත් මෙ බඳුවේය, බුද්ධබලය මෙබඳු යැයි මේ අයටද අසීමිත බුද්ධ බලය ගැන වැටහීමක් නැති බව බුදුරජුනට පෙනුණා. ඊට හේතුවක් තිබුණා. තවත් ඍද්ධි වර්ග දහයක් තිබුණා. එනම්
1.අධිෂ්ඨාන ඍද්ධි
2.විකුර්වණ ඍද්ධි
3.මනෝමය ඍද්ධි
4.ඤාණවිප්ඵාර ඍද්ධි
5.සමාධි විප්ඵාර ඍද්ධි
6.ආර්ය සෘද්ධි
7.කර්මවිපාකජ ඍද්ධි
8. පුඤ්ඤවතො ඍද්ධි
9.විජ්ජාමය ඍද්ධි
10.භාවනාමය ඍද්ධිය කියායි.
ඒ ඒ අවස්ථාවන්හි යහපත් ප්‍රයෝග හේතුවෙන් සද්ධර්ම අර්ථයෙන් කරන ලැබූ මෙවැනි ප්‍රයෝගත් සෘද්ධි නමින් හැඳින්වුණා. මේවා වෙන් වෙන් වශයෙන් විස්තර කිරීමට ඉඩ පහසුකම් නොලදත් මේ සියලු සෘද්ධින් අභිබවා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ෂඩ් අසාධාරණ බුද්ධ ඥාන මෙහයවිමෙන් කරනු ලැබූ සෘද්ධින් වෙනත් අයට කල හැකිවූයේත් ප්‍රකට වුයේත් නැහැ. ඒ නිසාම “ලෝක විවරණ” නමැති මහා ප්‍රතිහාර්යෙන් පසු මේ මහා දේව සහ බ්‍රහ්ම සන්නිපාතය හමුවේ පෙන්වීම සඳහා තවත් දැවැන්ත බුදුරජාණන් වහන්සේ නමකටම පමණක් කල හැකි ආශ්චර්යක් කිරීමට ඒ මහා කරුණිකයාණන් වහන්සේ මුලපිරුවා.
ඒ තමයි මේ මහා සක්වලවල් අතර අහසෙහි මුක්තාමණි ආදි රත්නයෙන් අලඞ්කෘත වු චඞ්ක්‍රමණයක් නොහොත් රුවන් සක්මනක් මැවීම සහ නිර්මිත බුදුරුවක් මැවීම. උන්වහන්සේ බොහෝ අවස්ථාවල මෙම නිර්මිත බුදුරුව මැවීමෙන් දෙවිවරුන්ගේ සිතේ හටගත් එහෙත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා හෝ බුද්ධ ගෞරවය නිසා හෝ බුදුන් හමුවේ ප්‍රකාශයට පත් නොකළ ගැටළු සහ ප්‍රශ්න වලට නිරිමිත බුදුරුව අනුසාරයෙන් අස්සවා පිළිතුරු දුන්නා. මෙයත් එවැන්නක්.
දසදහසක් සක්වළ අතර ස්වර්ණමය ස්ථම්භ මත මැවුනු රුවන් සක්මන.
එවිට බුදුරජාණන් වහන්සේ “මම අනුත්තර වූ බුද්ධානුභාවය දක්වමි. අහස්හි මුක්තාමණි ආදි රත්නයෙන් අලඞ්කෘත වු චඞ්ක්‍රමණයක් මවාලමි” . සිතූ සැනින්ම ප්‍රාසාද පර්‍වත වන වෘක්‍ෂාදියෙහි සිටි බූමාටු දෙවියෝ ද සිව්මහරජයෙහි දෙවියෝ ද තව්තිසායෙහි දෙවියෝ ද යාම දෙවියෝ ද තුසිත දෙවියෝ ද නිර්‍මාණරතී නම් දෙව්ලොවැ දෙවියෝ ද පරනිර්මිත වශවර්තී නම් දෙවියෝ ද සොළොස් බඹතල වැසි දෙවියෝ ද සතුටු සිත් ඇතිව මහත් වූ ඔල්වරසන් දෙන්නට වුණා.ඒ එක්කම බුදුරජාණන් වහන්සේ ඕදාත කසිනයට සමවැද දහසක් සක්වළ ආලෝක වේවා’යි අධිෂ්ඨාන කරනු ලැබුවා.
දේවලෝක සහිත වූ පෘථිවිය ද අසංවෘත වූ බොහෝ ලෝකාන්තරිකයෝ ද ඒකාලෝක වුණා. එසැනින්ම එහි පැවති ඝණ අඳුරද නැසුනා. ඒ අසිරිමත් පෙළහර දැක දේවමනුෂ්‍යයයෝ සතුටු වුණා. එපමණක් නෙවෙයි. දෙව් ගඳඹ මිනිස් රකුස් යන මොවුන් සහිත මේ ලොව ද අන් දෙව්ලෝ ද යන උභයලෝකයෙහි ද යට අවීචිය ආදි නරකයන්හි ද උඩ අජටාකාශයෙහි ද සරසමින් දසදහසක් සක්වළ ද පැතිර පැවති මහත් වූ අප්‍රමාණ වූ ආලෝකයක් උපන්නා.
ඒ සමඟම මිනිසුන් අතර උතුම් වූ පසැස් ඇති ලෝනාහිමි වූ අපේ බුදුරජාණන් වහන්සේ සහම්පති නම් මහබඹහු විසින් අයදනා ලද පරිදී දෙවිමිනිසුන්ට වන වැඩ සලකා එහි මනාව නිමවූ සියලු රුවනින් නිමවන ලද සක්මනක් මවනු ලැබුවා. එම සක්මන දසදහසක් සක්වළෙහි පිළිවෙළින් සිටි ස්වර්ණ ස්ථම්භ මත ප්‍රපාතවත් ලෙස විද්‍යාමාන වුණා. ඒ වගේම රුවන්මය වූ සක්මනෙහි රන් පැහැති දීප්තිමත් ආලෝකයෙන් ඒ දෙපස සර්‍වස්වර්‍ණමයභූමියක් සේ බබලවන්නට වුණා.
උපකාර වූ මුලාශ්‍ර
රතනචංකමන කාණ්ඩ වර්ණනාව කුදුගත් සඟිය අටුවාව බුද්ධවංශ අටුවාව
රතනචඞ‍්කමනකණ‍්ඩො ඛුද‍්දකනිකායො බුද‍්ධවංසපාළි
කුදුගත් සඟිය මහානිර්දේශය තුවට්‌ටක සූත්‍ර නිර්දේශය