අපේ බුදුහාමුදුරුවෝ 373 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 09

පසේ බුදුවරු පන්සියයක් එකවර පිරිනිවීම.

 පසේබුදුවරයන් පන්සීයයක් තම රාජකීය උද්‍යානයේ වැඩමකොට තබාගෙන දිනපතාම උන්වහන්සේලාට ඇප උපස්ථාන කරමින් සියලු කටයුතු සොයා බලමින් මෙසේ සෙමින් සෙමින් කාලය ගතකලා. කොතරම් පිංකම් කරත් මේ සංසාර සාගරය තුල අනේකවිදි කරදර කම්කටොලු නොසිතූ ප්‍රශ්ණ වලට මහුණ දෙන්න වෙනවා. මෙසේ කාලය ගෙවෙන විට රජුගේ පසල් දනව්වක හදිසියේ කැරැල්ලක් ඇතිවුණා. ඔහු ‘මම පසල් දනව්ව සංසිඳවීමට යමි. නුඹ පසේබුදුන්වහන්සේලා කෙරෙහි නොපමාවූව’යි දේවියට අවවාද කොට ඒ කැරැල්ල සංසිදවීම සඳහා පිටව ගියා. කාලය ගෙවී ගියා. ඒ කාලය ගෙවීයන අතරතුරම පසේබුදුන් වහන්සේලාගේ ආයුසංස්කාරයත් ගෙවිගියා. උන්වහන්සේලා මෙලොවින් සමුගතයුතු දිනයත් පැමිණියා. මහාපදුම පසේබුදුන්වහන්සේ තුන්යම් රැය ධ්‍යානක්‍රීඩා කොට අරුණැඟීමෙහිදී අරමුණු පුවරුව අරමුණු කොට සිටිසේක්ම අනුපාදිශේෂ පරිනිර්‍වාණ ධාතුවෙන්ම පිරිනිවන්පෑව. මේ ක්‍රමයෙන්ම අනෙකුත් සියලුම පසේබුදුරජාණන් වහන්සේලා පිරිනිවන්පෑව.

දෙවැනි දිනයෙහි දේවිය පසේබුදුන්වහන්සේලා වැඩ සිටින තැන බිම පිරිසුදු කරවා මල් විසුරුවා දුම් අල්ලා උන්වහන්සේලාගේ වැඩමවීම බලාපොරොත්තු වෙමින් සුපුරුදු පරිදි රැඳී සිටියා. එහෙත් කිසිම බුදුවරයන් වහන්සේ නමක් තවමත් නැහැ. ඇයට හිතේ යම් බියක් ඇතිවෙන්නත් ඇති. රජතුමා විශාල වගකීමක් ඇයට පවරලා ඇය කෙරෙහි විශාල විශ්වාෂයකින් තමයි ඒ ගමන ගියේ. ‘යව දරුව, කිම ආර්‍ය්‍යයන්වහන්සේලාට කිසි අපහසුවක් දැයි දනුව’යි ඇය ඉක්මනින්ම පුරුෂයකු උන්වහන්සේලා වැඩ සිටි අසපුව වෙත යවනු ලැබුවා. ඔහු ගොස් මහාපදුම පසේබුදුන්වහන්සේගේ පන්සලෙහි සෙමින් විවර කළා. එහෙත් උන්වහන්සේ එහි වැඩ සිටියේ නැහැ. ඔහු ඉන් පස්සේ ගියේ සක්මන් මළුව වෙත. උන්වහන්සේ සක්මන්මළුවේ අරමුණු පුවරුව ඇසුරු කොට සිටි උන්වන්සේ දැක වැඳ ‘ස්වාමීනි සුදුසු කාලය’යි සැළකකොට සිටියත් උන්වහන්සේ නිහඬයි. පිරිනිවන් පෑ සිරුරක් කුමක් කියන්නද? ඔහුට හිතුන උනවහන්සේ සැතපිලා වෙන්න ඇති කියලා. කොතරම් කතා කලත් උන්වහන්සේ නිහඬයි. ඔහු කලේ සෙමින් පිටිපතුල අතින් පිරිමැඳීමයි. ඒ අවස්ථාවේ පැවති පාවල සිසිල් බවින්ද තද බවින්ද උන්වහන්සේ පිරිනිවන් පෑ බව දැන දෙවැන්නා වෙතට ගියා. මෙසේ තැන්වැන්නා වෙත යනුවෙන් සියල්ලන්ම වෙත ගොස් ඒ සියලු දෙනා පිරිනිවන් පෑබව දැන රජගෙට ගියේ ඉතාම ඉක්මනින්. දේවිය ඒවනවිටත් පෙරමගට වී බලා සිටිය. ‘දරුව පසේබුදුවරු කොහිදැ’යි ඇය විමසුවේ නොවසිල්ලෙන්. ‘දේවිය, උන්වහන්සේලා පිරිනිවන් පාලා. දේවිය හඬන්නටත් වැලපෙන්නටත් පටන්ගත්තා. අවසානයේ ඒ නුවර වැසියන් සමඟ එහි ගොස් ආගමික උත්සව පවත්වා පසේබුදුවරුන් ආදාහනය කොට ධාතුන් ගෙන චෛත්‍යයක් පිහිටවනු ලැබුවා

රජතුමාද ප්‍රත්‍යන්තයෙහි කැරැල්ල මැඩපවත්වා නැවතත් නුවරට පැමිණිය. දේවියත් ඒ වනවිට රජතුමාව පිළිගැනීමට පරිවාර පිරිසත් සමග පෙරගමන් පැමිණලයි සිටියේ. රජතුමාගේ ප්‍රථම විමසීම වුනේද පසේබුදුවරයන් පිළිබඳවයි. ‘සොඳුර, කිම පසේබුදුරුන් කෙරෙහි මම පමා නොවූවාද? ආර්‍ය්‍යවරු සුවයෙන්දැ’යි ඔහු ඇසුවා. ‘දේවයිනි, ඔවුන් සියලු දෙනාම පිරිනවන් පෑව. ඇය කියා සිටියා. මෙබඳුවූ පඬිවරුනටත් මරණය එළඹෙයි. අපට කොයින් නිදහසෙක්දැයි රජතුමා සිතුවා. සංසාර පුරුද්දට ඔවුනට දුකට වඩා සිතට ප්‍රකට වන්නේ අනිත්‍ය ස්වභාවයයි. සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරිමමයි. හෙතෙම නගරයට ගොස් උයනටම පිවිස දෙටුපුතු කැඳවා ඔහුට රාජ්‍යය පවරා ඔහු ශ්‍රමණප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිවුණා. දේවියද, ‘මොහු පැවිදිවූ කල්හි මම කුමක් කරන්නෙම්දැ’යි සිතා ඒ උයනෙහිම පැවිදි වූවනා. දෙදෙනාම ධ්‍යාන වඩා මරණින් පසු බඹලොව උපන්නා.

උපකාර වූ මුලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය

මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවෙහි ථේරගාථා අටුවාව චත්තාලීසනිපාතය