අපේ බුදුහාමුදුරුවෝ 367 (සන්තිකේ නිධානය)

 

ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබදව ඔබ නොදත් කරුණු. 03

එකසාටක බමුණා 01

ඔබට මේ වනවිට මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ විසින් ප්‍රාර්ථනය කරන ලද එම තනතුරෙහි ඇති වගකීම ගාම්බීරභාවය වැටහෙන්නට ඕනේ. පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ සාසනයේ එලෙස විවරණ ලබාගත් උන්වහන්සේ මේ අනන්ත වූ සසරෙහි යලිත් සැරිසරන්නට වුණා. බොහෝ කලක් දෙවුලොද මිනිස් ලොවද සැරිසරමින් ඉන්නා අතරතුර මෙයින් අනූඑක් කල්පයකට පෙර විපස්සී සම්මා සම්බුදුන්වහන්සේ බන්‍ධුමතී නගරය ඇසුරුකොට ඛෙම නම්වූ මිගාදායෙහි වාසයකරන කාලයේ දෙව්ලොවින් චුතවී එක්තරා පිරිහීගිය බමුණු කුලයෙක උපන්න. පියුමතුරා බුදුන්ගේ කාලයේ සිටුවරයෙකු ව හැටදහසක් පමණ වූ මහා සංඝරත්නයට දින හතක පුරාවට දන්පැන් දීමට හැකියාවක් ලැබූ ඔහු මෙම අත්මභාවයේ කුලයෙන් උසස් උනත් ඉතාමත් දුගී පවුලකයි උපත ලැබුවේ. සංසාරයේ හැටි එහෙම තමයි. එදා සිටුවරයා අද දුගියා. කරනු ලැබූ ඒ විශාල පුණ්‍යමය ක්‍රියා නිසා ලද පුණ්‍යමය දායාද පවා ක්‍රම ක්‍රමයෙන් හීන වී යන බවත් යලි එය උරුම කරගන්නා අයුරුත් ඔබට මෙම කතාව තුලින් ඔබට දැනගන්නට පුළුවන්.

 දීර්ඝායුෂ එනම් මිනිසුන් වර්ෂ හැට දහසක් ලක්ෂයක් පමණ මිනිස් ආයුෂ ගෙවන කාලවල පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා නිතර ධර්මය දේශනා කරන්නේ නැහැ. බොහෝවිට පොහොය දිනක හෝ සුවිශේෂී අවස්ථාවක තමයි ධර්මය දේශනා කරනවා කියන්නේ. උන්වහන්සේලා දීර්ඝ වශයෙන් ධර්මය දේශනා කරන්නෙත් නැහැ. හේතුව එවැනි කාලයක ඉපදෙන මිනිසුන්ගේ කෙලෙස් බොහෝ අඩුකමයි. ඒ නිසාම ඔවුන් කෙටි දර්ම දේශනාවක් තුලින් මගඵල නිවන් අවබෝධ කර ගැනීමට පවා මහා පින්වත්. ඒ නිසාම එවැනි ධර්ම දේශනයකට පෙර මිනිසුන් දෙවියන් බබුන් අතර මහත් වූ කොළාහලයක් කැළඹීමක් හටගන්නවා. ඒ කාලයේ විස්සකි භාගයවතුන්වහන්සේත් අවුරුදු හයක් පසුවෙනතෙක්ම ධර්මය දේශනාකොට තිබුනේ නැහැ. මේ වනවිට සත් වෙනි අවුරුද්දෙහි ධර්මය දේශනා කිරීමට සැරසෙන බවට මහත් කෝලාහලයක් (කැලඹීමක්) ඇතිවුනා. මිනිසුන් විතරක් නෙවෙයි දෙවියන් බමුන් පවා ඒ අවස්ථාව උදාවෙන තෙක් දින ගනිමින් සිටියේ. ඔවුන් අතරටත් ඒ කැළඹීම පැතිරිලා. දෙවිවරැ ‘ශාස්තෘන්වහන්සේ ධර්මය දෙසනසේකැයි’ සියලු දඹදිව පුරා ප්‍රචාරය කරමින් ගියා. ඇයි ඉතින් ඒ කාලයේ වෙන සන්නිවේදන මාර්ග තිබුණෙත් නැහැනේ. ඉතින් අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් පූර්ව ආත්මභාවයේ ඉහත කි පරිදී ඉපිද ඒ පුවත ඇසුවා. ඔහු කොතරම් දුප්පත්ද කීවොතින් ඔහුට සහ බිරිඳට තිබුනේ එකම එක හඳනාසළුවක් විතරයි. ඒ කාලයේ තිබුන වත්පිළිවෙත් හැටියට උතුරු සළුවක් ගැහැණු පිරිමි දෙකොටසම භාවිතා කරනු ලැබුවා එලිපහලියට යනවිට. එහෙම නැතිව එළපහලියට බහින්නේත් නැහැ. විශේෂයෙන්ම මෙවැනි සුවිශේෂී අවස්ථාවක. එත් මේ දෙදෙනාට තිබුනේ එකම එක සළුවක් විතරයි. ඒ නිසාම දෙදෙනාටම නිතරම එකට එලියට යන්න බැරි වුනා. එක්කෙනෙක් එලියට යනවිට අනෙකා ගෙදර හිටියා. නැත්නම් අනිකාට ගෙදර ඉන්න සිදුවුණා. මේ නිසාම මුළු නුවර පුරාම ඔහුට “එකසාටක බමුණා” යයි නමක්ද පට බැඳුනා..

ඉතින් එදිනත් ඒ ප්‍රශ්නය මතුවුනා. එදා දිවා කාලයේත් රාත්‍රී කාලයේත් පුරාවටම ඒ දර්ම දේශනය පැවැත්වීමට නියමිතව තිබුනා.ඒ නිසා බමුණා බැමිණිය ගෙන් මෙසේ ඇසුවා., ‘පින්වතිය, කවුද රාත්‍රී කාලයේ ධර්ම දේශනාවට සහභාගී වෙන්නේ කවුද දහවල් කාලයේ ධර්ම දේශනාවට සහභාගී වෙන්නේ. ඔහුටත් හිටියේ සංසාරය පුරාවට පතාගෙන පැමිණි පින්වත් භාර්යාවක්. ඇය මෙලෙස කිවා. ‘ස්ත්‍රීජාතිකවූ අපිට රෑ දහම් ඇසීමට නොහැකියි. ඒ නිසා ඔබ රාත්‍රියට යන්න මම දහවල් දර්ම දේශනාවට සහභාගී වෙන්නම්. ඉන්පස්සේ බැමිණිය බමුණා නිවසෙහි රැඳී සිටිද්දී තම සන්තකයේ තිබූ එකම සළුව පොරවා උවැසියන් සමඟ දහවල් භාග්‍යවතුන් වහන්සේ හමුවට ගියා. එහි පැමිණ ශාස්තෘන් වැඳ එකත්පසෙකට වී සිට දහම් අසන්නට වුණා. දැන් කළුවර වැටෙන්නට ආසන්නයි. එහෙත් බුදුවරයෙකුගේ සුමදුර දේශනාවක් අත්හැර කාටද යාහැක්කේ. ඒත ඒ පින්වත් බිරිඳට ඒ කැපකිරීම කිරීමට හැකිවුනා. ඇය කළුවර වැටෙන්නට පෙරම උවැසියන් සමඟ පිටවී ගියේ තම ආදරණිය ස්වාමියාට ඉක්මනින් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණීම සදහා මග සැලසීමට. එහෙමයි ඒ අය එකිනෙකා හට උදවු කරමින් මේ සංසාර සාගරය තරණය කරනු ලැබුවේ.

උපකාර වූ මූලාශ්‍ර

මහාකාශ්‍යප තෙරණුවෝ අඞ්ගුත්තර නිකාය එතදග්ග පාළිය පළමුවෙනි වර්‍ගය