අපේ බුදුහාමුදුරුවෝ 365 (සන්තිකේ නිධානය)
ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 01
ඔබ හමුවේ දැන් මම තැබීමට යන්නේ ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳ අතීත කතා පුවතෙහි සිට වර්තමානයේ අපේ බුදුහාමුදුරුවෝ හමුවට පැමිණි මග පිළිබදවයි. එය බුදුවරුන් කිහිප දෙනෙකු හමුවූ දීර්ඝ එමෙන්ම ආදර්ශමත් කතා පුවතක්.
උන්වහන්සේ පියුමතුරා බුදුන්ගේ කාලයේ හංසවතී නගරයෙහි වේදේහ නම් වූ අසූ කෝටියක් සම්පත් ඇති සිටුවරයාගේ පුත්‍රයෙක් වී උපන්නා. ඔහු උපාසකයකු වී බුද්ධමාමකව, ධර්මමාමකව, සංඝමාමකව ජීවත්වමින් එක් උපෝසථ දිනයක උදෙන්ම මනාබොජුන් අනුභවකොට උපෝසථ අංගයන් සමාදන් වී සුවඳ මල් ආදියද රැගෙන විහාරයට ගොස් බුදුන් වැඳපුදා එකත්පසෙක සිටිය.
ඒ මොහොතෙහි ශාස්තෲන් වහන්සේ මහානිසභ නම් වූ තුන්වන තෙරනමක් ‘මහණෙනි, ශ්‍රාවකයන් අතර ධුතාංගධරයන්ගෙන් මේ නිසභ තෙරුන් අග්‍රස්ථානයෙහි තබමි’ යනුවෙන් මහරහත් තනතුරක තැබුවා. එය දැක්ක උපාසකතුමාට හිතේ පුදුම ශ්‍රද්ධාවක් ඇතිවුනේ. සිතේ අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා. ඒ පැහැදිමෙන්ම ධර්මදේශනාව අවසානයේ මහාජනයා නැගිට ගිය කල්හි බුදුන් වැඳ ‘ස්වාමීනි, හෙට දානය සඳහා මාගේ ආරාධනය පිළිගන්න’ යැයි ඉල්ලා සිටිය. එවිට භාග්‍යවතුන් වහන්සේ උපාසකය! භික්‍ෂු සංඝයා බොහෝය. භාග්‍යවතුන් වහන්ස කොපමණක්ද? හැටඅටදහසක් යැයි වදාරනු ලැබුවා.ඒ මහා ධනවත් සිටුපුත්‍රයා “ස්වාමීනි! එක් සාමණේර නමක්වත් විහාරයෙහි ඉතිරි නොවී දානය සඳහා ආරාධනය භාරගන්නයැයි ඉල්ලා සිටියා. ශාස්තෲන් වහන්සේ ආරාධනය පිළිගත්තා. උපාසකතුමා බුදුන් ආරාධනය පිළිගත් බව දැනගෙන ගෙට ගොස් මහදන් සූදානම් කර පසුවදා බුදුන්වහන්සේට දනට වඩින්නට සුදුසු වේලාව දන්වා සිටියා. ශාස්තෲන් වහන්සේ පාත්‍රාසිවුරු ගෙන හැටඅටදහසක් භික්‍ෂු සංඝයා පිරිවරා උපාසකතුමාගේ ගෙදරට වැඩ පැනවූ අසුනෙහි වැඩසිටියේ දානය සඳහා පැන් පිළිගැන්වීමෙන් අනතුරුව කැඳ ආදිය පිළිගෙන පිළිවෙලින් දානය පිළිගැන්වීම කරනු ලැබුවා. ඉන් අනතුරුව උපාසකතුමාද බුදුන් සමීපයට වී සිටියා.
ඒ අතරේදී මහානිසභ තෙරුන් වහන්සේ පිඬු සිඟා යමින් එම වීදියටම පිවිසුනා. උපාසකතුමාත් උන්වහන්සේව දැක නැගිට ගොස් තෙරුන්ට වැඳ ස්වාමීනි! පාත්‍රය දෙන්නයැයි ඉල්ලා සිටියා. තෙරුන්වහන්සේ පාත්‍රය ඔහුට් දුන්නා. ස්වාමීනි, මෙහි වඩින්න. භාග්‍යවතුන් වහන්සේත් මෙහි වදසිටිනවා. සිටුවරයා උන්වහන්සේටත් ගෞරවයෙන් ආරාධනය කරනු ලැබුවා.එවිට ඒ මහා තෙරුන් උපාසකතුමනි, එය අපට නුසුදුසුය කරුණාවෙන් කියා සිටියා. සිටුපුත්‍රයත් පාත්‍රය ගෙන පිණ්ඩපාතයෙන් පුරවා පිටතට ගෙන ගොස් උන්වහන්සේට පිළිගැන්වූයේ මහත් විමතියෙන්. ඒ කටයුතු නිම කාරයින් පසුව නැවත බුදුන් ලඟට පැමිණ වාඩිවී මෙසේ කියා සිටියා. ස්වාමීනි! මහානිසභ තෙරුන් වහන්සේ, බුදුන්වහන්සේ ගෙයි වැඩසිටින බව කියූ නමුත් මෙහි වඩින්නට කැමැතිවුනේ නැහැ. හරිම පුදුමයි. ස්වාමීනි, ඔබවහන්සේලාට වඩා අමතර ගුණයක් උන්වහන්සේට තිබේදැයි විමසා සිටියා. බුදුරජාණන් වහන්සේලා ලග ගුණමකුකමක් නැහැ.. ඒ කියන්නේ කාගෙවත් ගුණයක් මකන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරනු ලැබුවා.
උපාසකය! අපි භික්‍ෂාව ලබමින් ගෙයි හිඳිමු. ඒ භික්‍ෂුව වනාහි මෙහි වාඩිවී භික්‍ෂාව නොගනී. අපි ග්‍රාමාත්ත සේනාසනයෙහි වසමු. ඔහු අරණ්‍යයෙහිම වාසය කරයි. අපි ජනාකීර්ණයෙහි වසමු. ඔහු එලිමහනෙහි වාසය කරයි යැයි ඔහුගේ මේ ගුණයයි මේ ගුණයයි කියමින් මහා සමුදුර පුරවන්නාක් මෙන් ධුතාංග භික්ෂුවකගේ ගුණ පවසා සිටියා.
සිටුකුමාරයාගේ සිතත් දැල්වෙන පහනකට තෙල් ඉස්සාක් මෙන් අතිශයින්ම පැහැදුන. ඔහු මෙසේ සිතුවා. මට වෙන සැපකින් කවර ඵලයක්ද? අනාගතයෙහි එක් බුදුවරයන් වහන්සේ නමක් ලඟ මෙවැනිම ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත්වන්නෙමියි යන ප්‍රාර්ථනා සිතේ පැන නැග්ගා. මෙසේ සිතා ඔහු නැවතද දනට ආරාධනා කොට මේ ක්‍රමයට දවස් හතක් මහදන් දී සත්වන දවසෙහි බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට තුන්සිවුරු පිළිගන්වා බුදුන් පාමුළ වැටී මෙසේ කිවා.
ස්වාමීනි, සත් දවසක් දන් දෙන්නා වූ මාගේ මෙත්තා කාය කර්මය, මෛත්‍රී වචී කර්මය, මෛත්‍රී මනෝ කර්මය එළඹ සිටියේද මේ පිනින් මට අන්‍ය වූ දෙව්සැපක් හෝ ශක්‍ර, මාර, බ්‍රහ්ම සම්පතක් ප්‍රාර්ථනා නොකරමි. මේ පුණ්‍යකර්මය වනාහි අනාගතයෙහි එක් බුදුවරයන් වහන්සේ නමකගේ සමීපයෙහි මහානිසභ තෙරුන් විසින් පතන ලද තනතුරට පත්වීම සඳහා තෙළෙස් ධුතාංග දරන්නන්ගෙන් අග්‍රස්ථානයට පත්වීම සඳහා හේතුවේවායි ප්‍රාර්ථනා කරනවා. ශාස්තෲන් වහන්සේත්, මොහු විසින් ලොකු තනතුරක් පතන ලදී. එය ඉටුවෙයිද? නොවේදැයි බලමින් එය සඵල වනබව දැක මෙසේ වදාරනු ලැබුවා.
පින්වත් උපාසකය, ඔබ විසින් මනාප වූ තනතුරක් පතන ලදී. කල්ප ශතසහශ්‍රයක් ගිය තැන ගොතම නම් බුදුන්වහන්සේ පහළවන්නේය. ඔබ උන්වහන්සේගේ තතිය සාවක මහා කස්සප තෙරුන් නම් වන්නෙහිය. ඒ අසා උපාසක තැන බුදුවරයාණන් වහන්සේලාගේ වචන දෙකක් නැතැයි පසුවදා ලැබෙන සම්පතක් ලෙසම එය සැලකුවා. ඔහු දිවි ඇතිතෙක් දන්දී සිල්රැක නොයෙක් ආකාර යහපත් දේ කොට අවසානයේ කලුරිය කොට ස්වර්ගයෙහි උපත ලැබුවා.
උපකාර වූ මූලාශ්‍ර
මහාකස්සප ස්ථවිරගාථා වර්ණනාව කුදුගත් සඟිය අටුවාවෙහි ථේරගාථා අටුවාව චත්තාලීසනිපාතය