අපේ බුදුහාමුදුරුවෝ 363 (සන්තිකේ නිධානය)
කෙණිය සහ සේල ජටිල තවුසන් පැවිදිවීම 03
ඇත්තෙන්ම ඒ කෙණිය නම් ජටිලයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ජටිලො කියන්නේ තවුසන්ට. ඔහු බමුණු මහසල් කුලයකට අයත් කෙනෙක්. ඒ අය තවුස් දිවියට පැමිණ තිබෙන්නේ තමන්ගේ ධනය රැකීම පිණිස තවුස් වත සමාදන්ව. ඔහු රජුට පඬුරු දී බිම් කොටසක් ලබාගෙන එහි අසපුවක් කොට පවුල් දහසකට උපකාරවෙමින් වාසය කරනවා. ඔහුගේ වාසනාව කොතෙක්ද කිවොතින් ඒ අසපු බිමෙහි එක් තල්ගසක දිනපතා එක් රත්රන් ගෙඩියක් වැටෙනවා යනුවෙන් සඳහන්. අදකාලේ එහෙම නොවුනට ඒ කාලේ එහෙම දේවල් සිදුවන්නට ඇති. කේණිය තවුසා දිවාකල කහවත් දරනවා. ජටාවත් බඳිනවා. එහෙත් රැයෙහි කැමති පරිදි පස්කම් සුවෙහි රිසිසේ ගැලී කල්ගත කරනවා. එහෙම තමයි ඔහුගේ ජීවිතය ගතවුනේ. එහෙත් සසරෙහි පින්කොට ඇති උදවිය අවසානයේ සසරෙන් එතෙර වන මගට කෙසේ හෝ පැමිණෙනවා.
ඉතින් කේණිය ජටිලතුමා භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟීට සිය අසපුව කරා ඉක්මණින් පැමිණියා. තව වැඩි වෙලාවක් නැහැ බුදුන් ඇතුළු මහා සංඝ පිරිස පැමිණීමට. ඔහු පවුල් දහසකට උදවු කරනවනේ. ඉතින් ඒ අයත් උදවු නොකර ඉන්නේ නැහැනේ. ඔහු ගමට පැමිණි විගස මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේ නෑයන් ව අමතන්න වුනා.
” භවත් මිත්‍රාමාත්‍යයෙනි, නෑසාලේ නෑයෙනි, මබස් අසව. මවිසින් බික්සඟුන් හා ශ්‍රමණ භවද් ගෞතමයෝ සෙට බතට නිමන්ත්‍රණය කරණ ලදහ. මට කයින් වතාවත් කරව”යි.
භවත්නි, එසේය යි කේණිය ජටිලගේ මිත්‍රාමාත්‍යයෝ ද නෑ සාලේ නෑයෝ ද කේණිය ජටිලයන් පිළිවදන් දුන්නා. ඇතැම් ය ගිනි උදුන් වළ කණිනව, ඇතැම් අය දර පලනවා, ඇතැම් අය බඳුන් දොවනවා, ඇතැම්හු දිය සැළ තබනව, ඇතැම්හු අසුන් පණවනවා. එහෙත් කේණිය ජටිලතුමා තමා විසින්ම මණ්ඩල මාලය පිළියෙල කරන්නට වුනා.
සේල බ්‍රාහ්මණයා පදුමුත්තර බුදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද අද මෙන්ම උගත්බවට පැමිණ පිරිසක ප්‍රධානියා වී පුරුෂයන් තුන්සියයක් හා එක්ව ඔවුන් සමග බුදුරජාණන් වහන්සේට ගන්‍ධකුටියක් සාදවා, ගඳකිලියේ වැඩ අවසන් වූ පසු බුදුන්වහන්සේ ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහ දන් දී ශාස්තෲන් වහන්සේද භික්‍ෂූන්ද තුන්සිවුරු පළඳවනු ලැබුවා. ඔහු ඒ පිණින් එක් බුද්ධාන්තරයක් දෙව්ලොව ගොස් එයින් චුතව දෙව්මිනිසුන් අතර උපදිමින් සැරිසරමින් මේ බුද්ධෝත්පාද කාලයේ අංගුත්තරාපෙසු ආපණො අංගුත්තරාපෙසු ආපණ නම් වූ බමුණු ගමෙහි බමුණු කුලයක ඉපිද සෙලොති සෙල යැයි නම් ලැබුවා. ඒ දවස්වල සේල බ්‍රාහ්මණයා නිඝණ්ඩු ශාස්ත්‍ර හා ක්‍රියාකල්ප විකල්ප ශාස්ත්‍ර සහිත (ශික්‍ෂා, නිරුක්ති සඞ්ඛ්‍යාත) අක්‍ෂර ප්‍රභේද ඇති (අර්‍ත්‍ථව වේද සතරවන කොට) පුරාණ කථා සඞ්ඛ්‍යාත ඉතිහාසය පස්වනු කොට ඇති වේදත්‍රයෙහි කෙළ පැමිණ පද හා ව්‍යාකරණ දතුයේ (විතණ්ඩවාද ශාස්ත්‍රසඞ්ඛ්‍යාත) ලෝකායත ශාස්ත්‍රයෙහි හා මහා පුරුෂ ලක්‍ෂණාධිකාරයෙහි පරිපූර්‍ණ වී ආපණයෙහි වාසය කරමින් සිටියේ.
ඒ වගේම සේල බ්‍රාහ්මණයා මාණවකයන් තුන්සියකට වේද මන්ත්‍ර හදාරවමින් සිටියේ. ඒ කාලේ කේණිය ජටිලය කෙරෙහි සේලබ්‍රාහ්මණයා බොහෝ පහදිලයි සිටියේ. එදා සේල බ්‍රාහ්මණයත් හදිසියේම තුන්සියක් මාණවකයන් ප්රිවරමින් කේණිය ජටිලයන් ගේ අසපුව කරා පැමිණියා. බොහෝ විට මට හිතෙන්නේ සසර පින නිසාම වෙන්නේට ඇති. කේණිය ජටිලයන් තමා මැ මණ්ඩල මාලය පිළියෙල කරණ බවත් ඔහු දුටුවා. ඔහුට පුදුමයි. ඔහු කේණිය ජටිල හට මෙලෙස කිවා.
කිම භවත් කේණියගේ ආවාහයක් හෝ වන්නේ ද? විවාහයෙක් හෝ වන්නේ ද? මහායාගයෙක් හෝ එළඹ සිටියේ ද? සෙට දවස් සඳහා බලකායයෙන් යුත් මගධාධිපති සේනිය බිම්බිසාර රජ හෝ බතින් පවරණ ලදුයේ දැ? යි. අසා සිටියා.
එවිට කේණිය බ්‍රාහ්මණයා මෙලෙස කිවා.
සේලයෙනි, මාගේ ආවාහයෙක් හෝ නො වන්නේ යැ, විවාහයෙක් හෝ නොවන්නේ යැ, බල සෙන් හා මගධපති සේනිය බිම්බිසාර රජ හෝ සෙට දවස් සඳහා නිමන්ත්‍රිත නො වෙයි, වැලිදු මට එළඹ සිටි මහා යඥයෙක් ඇත. සැහැකුලෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ගෞතමයෝ අඞ්ගුත්තරාප ජනපදයෙහි සැරිසරන්නාහු අඩ තෙළෙස් යල් සියක් බික්මහසඟන හා කැටිව ආපණයට පැමිණියහ, එ භවත් ගෞතමයන්ගේ මෙවන් කල්‍යාණ කීර්තිඝෝෂයෙක් උස්වැ නැංගේ යැ. බුද්ධයහ, භගවත්හ”යි. එම බික් සඟුන් හා සමග මා විසින් සෙට දවසට නිමන්ත්‍රණ කරනු ලැබුවා.
භවත් කේණියෙනි, බුද්ධයහ’යි කියහි? භවත් සේලයෙනි, ‘බුද්ධයහ’යි කියමි. භවත් කේණියෙනි, බුද්ධයහ’යි කියහි? භවත් සේලයෙනි, බුද්ධයහ’යි කියමියි.
බුද්ධ යන වචනය අසු පමණින්ම සේල තවුසා තිගැස්සුනා. ඒ වැනි වචනයක් අසන්නට ලැබීමත් කොතරම් වාසනාවක්ද? එහෙම අය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විතයි. මට එය බලන්නටත් පුළුවන්. ඔහු මෙලෙස බොහෝ දේ සිතුවා. මී සම්බන්ධව වැඩි කරුණු දැනගැනීමට සේල සූත්‍ර කිහිපය සහ අට්ට කතා ඉඩක් ලැබුණු විට කියවන්න. බොහෝ කරුණු තියෙනවා. ලිපිය කෙටි කෙරීමට මම ඒ සියලු කරුණු ලියන්නේ නැහැ.
කේණිය ජටිල තුමා ඒ රෑ ඉක්ම ගිය පසු සිය අසපුවෙහි ප්‍රණීත වූ කෑ යුතු බිදිය යුතු දැ පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, මේ කාලය යි. බත් නිමියේ ය” යි ආරාධනා කොට සිටියා. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ කේණිය ජටිලයාගේ අසපුවට සංඝ පිරිවර සමග වැඩියා. වැඩ භික්‍ෂුසඞ්ඝයා සමග පැණවූ අසුනෙහි වැඩ සිටියා. එවිට කේණිය ජටිල තුමා ඇතුළු පිරිස බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ කෑ යුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්පා පවරා, වළඳා අවසන් කළ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අසලින් අසුන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් කේණිය ජටිලයාට මේ ගාථාවන්ගෙන් අනුමෝදන් කරනු ලැබුවා.
“යාගයේ ගිනිපිදීම ප්‍රධාන කොට ඇත්තාහ. සාවිත්‍රීජන්‍දස* වේදයට ප්‍රධාන වේ. රජ තෙමේ මිනිසුන්ට ප්‍රධාන වේ. සාගරය නදීන්ට ප්‍රධාන වේ. චන්‍ද්‍ර තෙමේ තාරකාවන්ට ප්‍රධාන වේ. බබළන්නන් අතුරෙන් සූර්‍ය්‍ය තෙමේ ප්‍රධාන වේ. පින් කැමැත්තා වූ දන් දෙන්නන්ට සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් ප්‍රධාන වේ”.
අවසානයේ ඒ සියලුම දෙනා සසර ගමන එතැනින් නිමකළා.
උපකාර වූ මූලාශ්‍ර
සේල සූත්‍ර වර්ණනාව කුදුගත් සඟිය අටුවාවසුත්ත නිපාත අටුවාව. මහා වර්ගය, සේල සූත්‍රය
මැදුම් සඟිය මජ්ඣිමපණ්ණාසකය. බ්‍රාහ්මණ වර්‍ගය,
සේල සූත්‍රය කුදුගත් සඟියසූත්‍රනිපාතය මහා වර්ගය, සේල ස්ථවිරගාථා යි කුදුගත් සඟියථේරගාථා 20. වීසතිනිපාතය
විනය පිටකය භෙසජ‍්ජක‍්ඛන්‍ධකයේ මහාවග‍්ගපාළිය,