අපේ බුදුහාමුදුරුවෝ 362 (සන්තිකේ නිධානය)

 

කෙණිය සහ සේල ජටිල තවුසන් පැවිදිවීම 02

භික්ෂු සංඝයා හට හිරු අවරට ගිය පසු පානය කල හැකි ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් අනු දැන වදාළ පැන් වර්ග.

මේ අතර භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් කේණිය සහ සේල බමුණන් වෙනුවෙන්මද කොහෙද ආපණයේ වැඩ වාසය කරනවා. මේ බව ප්‍රථමයෙන්ම දැනගත්තේ කේණිය ජටිලයා. ඔහු ඉහත කියූ අකාරයේ බුදුරජාණන් වහන්සේගේ නවහරහදී ගුණ දැක ඉක්මනින්ම උන්වහන්සේව දැක බලාගැනීමට ආශාවක් ඇතිවුනේ සංසාර පුරුද්දටම වෙන්නට ඇති. ඔවුන් අතීතයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේලාට දන් පැන් දුන් මහා පින්වත් සත්පුරුෂයන්. දැන් හොදටම හවස් වෙලා. එහෙත් ඔහුට හෙට වනතෙක් ඉන්නට සිතකුත් නැහැ. ඒ වගේම හිස් අතින් යන්නට හිතකුත් නැත්තේ ඉහත කී අයුරින්ම ඇති වූ සංසාර පුරුද්දට වෙන්නට ඇති. ඔහු මෙහෙම සිතුවා.

 “මම ශ්‍රමණ භවත් ගෞතමයන්ට මොනවද අරගෙන යන්නේ. නැවත කේණිය ජටිලයාහට මෙහෙමත් සිතුනා. : “බමුණන්ගේ මන්ත්‍ර (වේද) කළා වූ පැවැත්වූ යම් ඒ පූර්‍ව ඍෂීහු වූවහු ද, යම්කෙනෙකුන් සතු වූ ඒ පැරණි වේද මන්ත්‍ර දැන් බමුණෝ (පෙර බමුණන්) ගැයූ කියු රැස් කොට තැබූ පරිදි ගයත් ද, කියත් ද, හදාළ පරිදි හදාරත් ද, කියවූ පරිදි කියවත් (උගන්වත්) ද, ඒ ඍෂීහු එනම්: අට්ටක, වාමක, වාමදෙව, වෙස්සාමිත්ත, යමතග්ගි, අඞ්ගිරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මොහු රාත්‍රිභෝජනයෙන් වැළකුණා. විකල්බොජුනෙන් තොර වූවා. එහෙත් ඔවුන් යම් යම් පානවර්ග ඉර හවරට ගිය පසු වැළදීම අනුමත කරනු ලැබුවා. ඒ නිසා නිසැක වශයෙන්ම ශ්‍රමණගෞතමයන් වහන්සේ ද රාත්‍රිභෝජයෙන් වැළකී සිටිය යුතයි. විකල්බොජුනෙන් වෙන් වූන ශ්‍රමණගෞතමයන වහන්සේද මෙබඳු පැන් ඉවසීමට සුදුසු වනු ඇති.” යි මෙසේ සිතූ කේණිය ජටිල තෙමේ “බදරපානස්ස කුටසහස්ස යනාදී ඩෙබරපැන්කළ දහසක්” ඇතුළු බොහෝ පැන් පිළියෙල කරවා කත්වලින් ගෙන්වා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචියේ යෙදුනා. සතුටු විය යුතු වූ සිත් ඇලවිය යුතු වූ කතා කොට නිමවා ඉන් පස්සේ පසෙකට වී සිටියා. පසෙක සිටි කේණිය ජටිල තුමා භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන වහන්ස මාගේ පැන් පිළිගණීත්වා” යි යැයි යනුවෙන් ආයාචනා කර සිටියා. “කේණිය, එසේ නම් භික්‍ෂූන්ට දෙව” උන්වහන්සේ පිළිගනු ලැබුවා. ඒ එක්දහස් පන්සියයක් වූ මහා සංඝ පිරිසට එතුමා ඇතුළු සේවකයන් ඒ විවිධ පාන වර්ග පිළිගැනීමට පටන් ගැනුණා. එවිටම භික්ෂූන් අතර කුකුසක් ඇති වුනා. සමහර පාන වර්ග අකැප යනුවෙන් සිතා භික්‍ෂූන් ඒවා නොපිළිගත්තා. හරිම ප්‍රශ්ණයක්, හැමෝම තුෂ්නිම්භූත වෙලා. ප්‍රශ්නය භාග්‍යවතුන් වහන්සේ වෙතට යාමට වැඩි වේලාවක් ගතවුනේ නැහැ. උන්වහන්සේට එක් ක්ෂණයකින් ඔවුන් ගෙනැවිත් ඇති පාන වර්ග පෙනෙන්නට ඇති.

“මහණෙනි, පිළිගණිවු, වළඳවු”. ඒ බුදුරජාණන් වහන්සේගේ “අණ ” සියලු ම දෙසවන් වලට එක් මොහොතකින් ඇසෙන්නට ඇති. සියල්ලෝම සන්සුන්ව එම මිහිරි පාන වර්ග පානය කරනු ලැබුවා.

 ඉන්පස්සේ කේණිය ජටිල තුමා බුද්ධප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයා බොහෝ පැනින් සියතින් සතප්පා පවරා, සේදූ අත් ඇති පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ පසෙකින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ පසෙක හුන් කේණිය ජටිලයාට දැහැමි කතාවෙන් කරුණු දක්වා එහි ඔහුව තිසරණයේ පිහිටවනු ලැබුවා. ඔහු කල පිනෙන් සතුටු කරවනු ලැබුවා. සසර පුරා දියුණු කරනු ලැබූ පංච ඉන්ද්‍රිය දර්ම තව තවත් තියුණු කරනු ලැබුවේ ඔහුගේ භව ගමන අවසානයට පැමිණි ඇති බැවින්.

 භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දැක්වූ සමාදන් කරවූ තියුණු කරවූ සතුටු කරවූ කේණිය ජටිල තුමා “භවත් ගෞතම තෙමේ භික්‍ෂු සඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි යැයි ආරාධනය කරනු ලැබුවා. එවිට බුදුරජාණන් වහන්සේ මෙලෙස පිළිතුරු දුන්නා. “කේණිය, භික්‍ෂු සඞ්ඝයා අතිමහත්. එක්දහස් දෙසියපණසක්. ඔබද අනෙකුත් බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුන ඔවුනට ඇප උපස්ථාන කරන කෙනෙක්. ඒ අයත් හිත නොහොඳ විය හැකියි. භාග්‍යවතුන් වහන්සේ එලෙස කිවේ මහත් වූ කරුණාවෙන්.

එවිට කේණිය ජටිල තුමා දෙවැනිවතාවටත් මෙලෙස ආරාධනා කොට සිටියා. භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂුසඞ්ඝයා කෙසේ මහත් වුවත් එක්දහස්දෙසියපණසක් වුවත් මා ද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුනත් භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි යලිත් ආයාචනය කරනු ලැබුවා. එවිට භාග්‍යවතුන් වහන්සේ “කේණිය, භික්‍ෂුසඞ්ඝ තෙමේ මහත් වේ. එක්දහස්දෙසිය පනහක් . ඔබද බමුණන් කෙරෙහි වෙසෙසින් පැහැදුන කෙනෙක් ”.

 තෙවනු ද කේණිය ජටිල තුමා භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, භික්‍ෂුසඞ්ඝයා කෙසේ මහත් වුවත් එක්දහස්දෙසියපණසක් වුවත් මා ද බමුණන් කෙරෙහි පැහැදුනත් භවත් ගෞතම තෙමේ භික්‍ෂුසඞ්ඝයා සමග හෙට මාගේ බත ඉවසාවා” යි සැළකොට සිටියා. භාග්‍යවතුන් වහන්සේ එවිට තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාරනු ලැබුවා. ඉක්බිති කේණිය ජටිල තුමා භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට ලහි ලහියේ ගියේ විශාල වගකීමක් හිතේ දරාගෙන..

ඔහු ගිය පසු භාග්‍යවතුන් වහන්සේ සංඝයා වහන්සේ සමග දැහැමි කතාවෙන් ඇති වූ ඒ සිද්ධිය පිළිබඳව සාකච්චා කොට හිරු අවරට ගිය පසු පිළිගත හැකි පානිය වර්ග පිලිබඳ භික්ෂුන් වහන්සේලාහට මෙලෙස යම් දැනුවත් කිරීමක් කරනු ලැබුවා.

“මහණෙනි, අඹපැන්, දඹපැන්, ඇටකෙසෙල්පැන්, මස් කෙසෙල්පැන්, මීපැන් ,මිදිපැන්, ඕලුපැන්, බොරලුදමුනුපැන්, යන අට වැදෑරුම් පැන් අනුදනිමි.

මහණෙනි, ධාන්‍යඵලරසය හැර සියලු ඵලරසය අනුදනිමි.

මහණෙනි, පිසූ පලාකොළරසය හැර දිය හා මුසු කොට මිරිකාගත් සියලු කොළරස අනුදනිමි.

මහණෙනි, මීපුප්රසය හැර සියලු මල්රස අනුදනිමි. මහණෙනි, උක් රසය (උක් ඉස්ම) අනුදනිමි” යි වදාළ සේක.

උපකාර වූ මුලාශ්‍ර

විනය පිටකය භෙසජ‍්ජක‍්ඛන්‍ධකයේ මහාවග‍්ගපාළිය,