අපේ බුදුහාමුදුරුවෝ 361 (සන්තිකේ නිධානය)

 

කෙණිය සහ සේල ජටිල තවුසන් පැවිදි වීම 01

බුදුන් වහන්සේ විසින් අනු දැන වදාළ තවුස් පැවිද්දන් අට දෙනා.

මෙලෙස අපගේ භාග්‍යවතුන් වහන්සේ ආපන නම් ග්‍රාමයට එක්දහස් දෙසිය පනහක් වූ භික්ෂු සංඝයා සමග වැඩම කරනු ලැබුවා. එවිට ඒ ග්‍රාමය තුල අප මහා බුදුරජාණන් වහන්සේ පිළිබන්ධව මෙලෙස යහපත් කීර්තිරාවයෙක් ගොඩ නැගුණා.

‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙන් ද රහත් සේක. මේ මේ කරුණෙන් ද සම්‍යක් සම්බුද්ධ සේක. මේ මේ කරුණෙන් ද අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස්චරණධර්‍මයෙන් යුක්ත සේක. මේ මේ කරුණෙන් ද සුගත සේක. මේ මේ කරුණෙන් ද ලෝකවිදු සේක. මේ මේ කරුණෙන් ද පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තර වූ සාරථි සේක. මේ මේ කරුණෙන් ද දෙවි මිනිසුන්ට ශාස්තෘ සේක. මේ මේ කරුණෙන් ද බුද්ධ සේක. මේ මෙම කරුණෙන් ද භාග්‍යවත් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශලෝකය ද, මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකය ද තමන්වහන්සේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම යහපත් වේ ය” යි යනුවෙන්.

එකල කෙණිය ජටිල තාපසයාත් එම ග්‍රාමයෙහි ම අනෙකුත් තවුස් පැවිද්දන් හා සමග ඔවුන්ට ඇප උපස්ථාන කරමින් ජීවිකාව ගෙන ගියා. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් සියලු තවුස් පැවිද්දන් වන්නේ යැයි තවුස් පැවිද්දන් වර්ග අටක් පිළිබන්ධව විනය පිටකයේ විග්‍රහ කොට තිබෙනවා.

ඒ මෙලෙසයි, තාපසයෝ අටවැදෑරුම්ය.

1.සපුත්තභරියා

2.උඤ්ඡාචරිය

3.අනග්ගිපක්කික

4.අසාමපාකික

5.අසමමුට්ඨක

6.දන්තවක්කලික

7.පවත්තඵලභොජී

8.පණඩුපලාසික. යනුවෙන්

1.සපුත්තභරියා :- එහි යමෙක් කෙනිය ජටිලයා මෙන් පවුලක් තබා ගෙන තපස් පැවිදි භාවයේ වසත් ද ඔවුහු සපුත්තභරිය නම් වනවා.

2.උඤ්ඡාචරිය :- යමෙක් සකල ආත්මභාවය පැවිද්දාට අයුතු යැයි ගොයම් කපන, මඩින තැන්වල වී, මුං, මෑ, තල ආදිය ඇද ගෙන පිස අනුභව කරත්ද, ඔවුහු උඤ්ජාචරිය නම් වනවා.

3.අනග්ගිපක්කික :- යමෙක් කමතින් කමත හැසිර වී ගෙනවුත් කොටා අනුභව කිරීම නුසුදුසු යයි ගම් නියම්ගමෙහි සහල් ශික්ෂාව ගෙන පිස අනුභව කරන්නේ ද ඔවුහු අනග්ගිපක්කික නම් වනවා.

4.අසාමපාකික :- යමෙක් පැවිද්දාට තමාම පිසූ අහරින් කවර ප්‍රයෝජනයක් දැයි ගමට පිවිස පිසූ ශික්ෂාව ගනින් ද ඔවුහු අසාමපාකීක නම් වනවා

5.අසමමුට්ඨක :- යමෙක් දින දින ශික්ෂාව සොයා යාම පැවිද්දාට දුක් යයි ගල් ගෙඩියකින් අඹ ආදී ගස්වල පොතු කොටා කත් ද ඔවුහු අසමමුටඨික නම් වනවා

6.දන්තවක්කලික :- යමෙක් ගලින් පොතු කොටා හැසිරීම දුක් යැයි (මෙම කොටස අඩුයි)

7.පවත්තඵලභොජී :- දත්වලින් ම පොතු ගලවා කෑම පැවිද්දාට දුක් යයි ගල් කැට දඬු කැබලි ආදියෙන් ගසා වැටුණු ගෙඩි අනුභව කරත්ද ඔවුහු පවත්තඵල භෝජී. නම් වනවා

8.පණඩුපලාසික :- යමෙක් ගල් කැට දඬු කැබලි ආදියෙන් හෙළා පරිභෝගය පැවිද්දාට අසාරුප්‍යයයි ඉබේ වැටුණු මල්පල වියලි කොළ කමින් යැපෙත්ද ඔවුහු පණ්ඩු පලාසික නම් වනවා.

ඔවුන් ද තෙවැදෑරුම් වනවා. උසස් (උක්කට්ඨ) මැද (මජ්ඣිම) මෘදු (මුදුක) යනුවෙනි. එහි යමෙක් හුන් තැනින් නො නැගිට අත පොවන තැනම වැටුණු දේ ගෙන කත් ද ඔවුහු උක්කට්ඨ නම් වනවා. යමෙක් එක් ගසකින් තවත් ගසකට යත්ද ඔවුහු මැද නොහොත් මධ්‍යම නම් වනවා. යමෙක් ඒ ඒ රුක් මුලට ගොස් සොයා ගෙන කත්ද ඔවුහු මෘදුක නම් වනවා.

මේ තවුස් පැවිදිනන් මේ තවත් සතර අකාරයකට මේ අයුරිනුත් සංග්‍රහ වන බව බුද්ධ දේශනාවේ පවසනවා. එනම්, මේවා අතරින් සපුත්තභරියා, උඤ්ඡාචරිය, යන කොටස් දෙක දන් ගෙන වාසය කරනවා. අනග්ගිපක්කික අසාමපාකිකයෝ ගිනිහල්ගෙයෙහි භජනය කරනවා. අනග්ගි අසමමුට්ඨක දන්ත වක්කලිකයෝ චාරිකාවේ යෙදෙමින් ගස්වල කඳ, මුල්, පල බොජුන් වශයෙන් ගනිමින් වාසය කරනවා

පණ්ඩුපලාසිකයො පවත්තඵල භෝජනය ඇසුරු කරයි යනුවෙන් තව දුරටත් එලෙස විග්‍රහ වෙනවා. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් සියලු තවුස් පැවිද්ද නිර්දේශ කරන ලද්දේ වෙයි’ යනුවෙන් විනය පිටකයේ සඳහන් වනවා.

උපකාර වූ මූලාශ්‍ර

විනය පිටකය භෙසජ‍්ජක‍්ඛන්‍ධකයේ මහාවග‍්ගපාළිය,