අපේ බුදුහාමුදුරුවෝ 352 (සන්තිකේ නිධානය)
සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 01
ඉන් පස්සේ උන්වහන්සේලා ඇසුවේ ස්වාමීනි, උරුවේල කාශ්‍යපාදීහු කුමක් කළාහුද? යනුවෙන්. මෙය ටිකක් දීර්ඝ විස්තරයක්. මීට සති කිහිපයකට පෙර මෙය උරුවෙල් කාශ්‍යප යටතේ ලියා තිබෙන නිසා ලියන්නේ නැහැ. කරුණාකර ඔවුන්ගේ අතීත කතා ප්‍රවුර්තියත් කියවන්න. ඉන්පස්සේ විමසා සිටියේ අගසවු දෙනාම ගැන. ස්වාමීනි, අගසවු දෙනම කිනම් පිනක් කළාහු ද? ඒක හරිම ලස්සන දීර්ඝ කතාවක් මෙතැන් සිට බුදුන් වහන්සේ වදාළ අයුරින් එය විස්තර කරනවා.
මීට කල්ප ලක්ෂයකටත් අසංඛ්‍ය කල්ප ගණනකටත් පෙර ශාරිපුත්‍ර තෙම, බමුණු මහසල් කුලයක උපන්න. ඔහු නමින් සරදමානව නම් වුණා. මොග්ගල්ලාන තෙම, ගෘහපති මහසල් කුලයක ඉපිද සිරිවඩ්ඪනකුටුම්බික නමින් පතළ වුණා. ඒ දෙදෙනා වැලිකෙළියෙහි පටන්ම අඹ යහළුවෝ. ඔවුන් අතර සරද මාණවක සිය පියාගේ ඇවෑමෙන් පස්සේ කුලසන්තක මහා ධනයට හිමිකරු වී සිටින අතර දිනක් හුදෙකලාව මෙසේ සිතන්නට වුණා. “මම මෙලොව මේ ආත්මභාවය ගැන පමණක් දනිමි. පරලොව ගැන කිසිවක් නොදනිමි. උපන් සත්වයන්ට මරණය ඒකාන්තයි. එක් පැවිද්දකින් පැවිදි වී මෝක්ෂධර්මය සොයා යායුතුය.” මෙසේ සිතු ඔහු තම යහළුවා වෙත ගොස් මෙසේ කියා සිටියා. ” ප්‍රිය මිතුරු සිරිවඩ්ඪන, මම පැවිදි වී මොක්ෂ ධර්මය සොයන්නෙමි. ඔබටත් මා සමඟ පැවිදි විය හැකිද? නොහැකිද?” එවිට සිරිවඩ්ඪන මෙසේ පිළිතුරු දුන්නා. මිත්‍රය, මට පැවිදිවන්ට බැහැ. ඔබ පැවිදිවන්න. එහෙත් ප්‍රඥාවන්ත සරද මෙසේ සිතුවා. පරලොව යන කල යහළුවන් හෝ නෑ මිතුරන් හෝ කැටුව ගිය කෙනෙක් නම් නැත. තමන් කළ දේ පමණක් තමන් කැටුව යයි. පිහිටවෙයි. බුදුවරු වගේම ඔවුන්ගේ ශ්‍රාවකයන්ගේත් අත්හැරීම හරිම පුදුමයි. හරියටම බෝසත් දරුවන් වගේ. ඔහු රුවන් කොටුගුළු විවෘත කරවා, කපණද්ධික වණිබිබ්බක යාචකාදීන්ට මහදන්දී පර්වතප්‍රාන්තයකට ගොස් සෘෂිවර පැවිද්දෙන් පැවිදි වුණා. ඔහු ළඟ එකෙක් දෙන්නෙක් තිදෙනෙක් ආදී වශයෙන් අනුක්‍රමයෙන් පැවිදි වූ අය අවසාන වනවිට තිස්හතර දහසක් පමණ ජටිල ගෝල පිරිසක් ඇතිවුණා ඒ විතරක් නෙවෙයි. ඔහු වැඩිකලක් යන්නට මත්තෙන් ² පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගෙන සෙසු ජටිලයන්ටත් කිසුණු පිරියම් (කසිණ භාවනාක්‍රම) කියා දුන්න. සෙසු සියල්ලෝද ඔහු වගේම පංචාභිඥා අෂ්ටසමාපත්තිලාභීන් බවට පත්වුණා.
ඒ කාලයේ තමයි අනෝමදස්සි නම් බුදුහාමුදුරුවෝ ලොව පහළ වුණේ. ඒ නගරය බන්ධුමතී නම් වුණා. පියා යසවන්ත නම් ක්ෂත්‍රියයෙක්. මව නමින් යසෝදරා. කරඳ ගසක් බෝධිය වුණා. නිසභ අනෝම යන දෙනම අගසවුවෝ වුණා. වරුණ නම් උපස්ථායකයෙක් ද, සුන්දරා සුමනා යන දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝද වුණා. ආයු කාලය වර්ෂ ලක්ෂයක් . බුදු සිරුර අටපනස් රියනක් උස්යි. දොළොස් යොදුනක් ශරීරාලෝකය පැතිරුණ. භික්ෂූන් ලක්ෂයක් පිරිවර වුනා.
ඒ අනෝමදස්සි බුදුරජාණන්වහන්සේ එක් දිනක් උදෑසන මහාකරුණා සමාපත්තියෙන් නැගිට ලොව බලන විට සරද තවුසා දැක්කා. දැක්කා පමණක් නෙවෙයි, “අද මා සරද තවුසා වෙත යෑමෙන් දහම් දෙසීමෙන් මහත් යහපතක් වෙයි. ඔහු අගසවු තනතුරුද පතන්නේය. ඔහුගේ යහළු සිරිවඩ්ඪන සිටුකෙළෙඹියාත් දෙවෙනි ශ්‍රාවක භාවයද පතන්නේය.දේශනාවගේ කෙළවර හැත්තෑහතරදහසක් පමණ වූ ඔහුගේ පිරිවර ජටිලයෝ රහත් වන්නාහුය. එහෙයින් මා එහියායුතුම යයි” තමන්වහන්සේගේ පාසිවුරු රැගෙන වෙනත් කිසිවෙකුට කථා නොකර එකලාව හැසිරෙන සිංහරාජයකු මෙන් සරද තවුසාගේ අතවැස්සන් ඵලාඵල නෙලීමට ගිය අතරතුරේ මගේ බුදු බව ඔහුට දැනේවායි අදිටන් කොට සරද තවුසා බලා සිටිද්දීම අහසින් බැස පොළොවෙහි වැඩ සිටියා.
උපකාර වූ මුලාශ්‍ර – සාරිපුත‍්තත්‍ථෙරවත්‍ථු