අපේ බුදුහාමුදුරුවෝ 35
අසූරියනක් උස දහවල් සහ රාත්‍රියේ යොදුනක් දුර ආලෝකය පැතිර වූ
රේවත බුදුරජාණන් වහන්සේ.
සුමන භාග්‍යවතුන් වහන්සේට පසු කාලයෙහි උන්වහන්සේගේ සසුනත් අතුරුදහන් වීමෙන් පසුව අනුදහසක් ආයුෂ ඇති මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් පරමායුෂ අවුරුදු දහය දක්වා අඩුවෙන්නට වුනා. නැවතත් අන්තර් කල්ප පසුකරමින් මිනිස් ආයුෂ අසංඛ්‍යක් දක්වා පැමිණ අවුරුදු හැටදහසක් දක්වා පිරිහුණු කාලයේ රේවත නම් ශාස්තෘන් වහන්සේ ලොව පහලවුනා. උන්වහන්සේත් පෙරුම් පුරා නන් රුවනින් බබළන තුසිත භවනෙහි ඉපිද ඉන් චුතවී සකලධනධාන්‍යවත් සුඛඤ්ඤවතී නුවර සකලාලංකාර සමලංකෘත අපමණ පිවිතුරු පිරිවර පිරි සිරිසැපතින් නිරවුල් සකල සමෘද්ධියෙන් විසල් විපුල නම් රජකුල සියලු දනනුවන් බඹරකැල ගැවසී සුපිපි නෙතුපුලින් සශ්‍රීක සුසිනිඳු මුවකමලාකාර ශෝභා ඇති රුසිරු මනෝහර ගුණගණයෙන් සුවිසල් විපුලා නම් අගමෙහෙසි කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් සිතුකළු පවුවෙන් බසිනා රණහස් රජෙකු මෙන් මවුකුසින් බිහිවුණා. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවුනා.
කුමාරයාට නම් තබන දින පැමිණි කල නම් කරන්නාහු රේවත යැයි නම් තැබුවා. උන්වහන්සේ ක්‍රමයෙන් වැඩිවියපත් වෙත්ම සුදස්සන, රතනග්ඝි හා ආවේල නම් රමණීය ප්‍රසාද තුනක් හිමි වුනා. එහි සුදස්සනා දේවිය ප්‍රමුඛ නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස් තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ ප්‍රත්‍යුපස්ථාන හැමදා පැවැත්වුනා. ඔවුන් විසින් පිරිවරණ ලද උන්වහන්සේ සුරයුවතින් පිරිවර කල දෙවුකුමරකු මෙන් අවුරුදු හයදහසක් විෂයරස විඳිමින් ගිහිගෙයි ගතකලා. අගමෙහෙසිය වූ සුදස්සනා දේවියට වරුණ කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක නන්පැහැ උතුම් සළු හැද මුතුහර මිණිකොඬොල් පැලඳ උතුම් කෙයුර මකුට කටක සුවඳ කුසුමින් සැරසී පරමරූසිරු රැස් සමූහයෙන් යුතු සරාකල සඳ මෙන් තරු පිරිවැරූ චන්‍ද්‍රයා මෙන් දෙව්ගණ පිරිවැරූ ශක්‍රයා මෙන් බඹගණ පිරිවැරූ මහබඹු මෙන් මහත් සිව්රඟ සේනා පිරිවරා ආජන්‍ය රථයකින් අභිනිෂ්ක්‍රමණය කොට දෙවියන් දුන් කසාවත් හැද පැවිදි වුනා. උන්වහන්සේ අනුව කෙළක් පුරුෂයෝ පැවිදි වුනා. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ සත්වසක් ප්‍රධන් වීර්‍ය වඩා වෙසක් පොහෝදින සාධුදේවී නම් සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි වරුණීන්ධර නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන නා රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්තුන් රියන් තණ ඇතිරි පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණුනා.
රේවත ශාස්තෘන් වහන්සේ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් සමඟ පැවිදි වූ කෝටියක් භික්‍ෂූන්ද හේතු සම්පත් ඇති වෙනත් දෙවි මිනිසුන්ද දැක අහසින් අවුත් වරුණාරාමයෙහි බැස ඔවුන් පිරිවරා බොහෝ පෙළහර දක්වමින් ගැඹුරු නිපුණ අනෙකෙකු විසින් නොපැවැත්විය හැකි තිපිරිවට්ට අනුත්තර ධර්මචක්‍රය පවත්වා කෙළක් භික්ෂූන් අර්හත්වයෙහි පිහිටවූවා. තුන් පලයෙහි පිහිටි පිහිටිය අයගේ ගණන මෙතෙක් යැයි කියන්න බැහැ කියලයි අටුවාවෙහි සඳහන් වෙන්නේ. මෙය උන්වහන්සේගේ පළවෙනි ශ්‍රාවක සන්නිපාතයයි. සනරාමර තිලොවග මුනිඳු රේවත බුදුන් හට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ ශ්‍රාවක සන්නිපාත තුනක් වූවා.
ඊට පසුකාලෙක උතුම් නගරයක් වූ උත්තර නම් නුවර සකල සතුරන් දමනය කරවන අරින්දම නම් රජකෙනෙක් සිටියා. ඒ රජතුමාට දැනගන්නට ලැබුනා බුදුන්වහන්සේ තම රාජධානියට වඩිනබව. මහා බල පරාක්‍රමයෙන් යුතු ඒ රජතුමා තුන් කෝටියක මහා සෙනගක් සමගින් බුදුරජාණන් වහන්සේ අභියසට ගමන්කොට පසුදින දානයට ආරාධනය කොට ඒ කෙළකට වැඩි බුදු පාමොක් සඟ පිරිසට දින හතක් මුළුල්ලේ මහදන් පැවැත්වුවා. ඒ විතරක් නෙවෙයි තුන්ගව්වක් පුළුල් පහන්පුජාවක් කොට බුදුන් වෙත ගොස් වැඳ නමස්කාර කරමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඔහුට සිතට අනුරූප විසිතුරු නය ඇති දහමක් දේශනා කළා. එය අසා තවත් කෙළ ලක්ෂයක් දෙවුමිනිසුන් හට ධර්මාවබෝධය වුනා. ඒ දෙවැනි අභිසමයයි.
රේවත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මචක්‍රානුවර්තක අග්‍රශ්‍රාවක මහා ප්‍රාඥයන් වහන්සේ ගිලන් වුනා. ගිලන්බව විමසීමට උන්වහන්සේ වෙතට පැමිණි මහජනයා හට තිලකුණු දක්වන දහම් දෙසා කෙළලක්ෂයක් පුද්ගලයන් එහිභික්ඛු පැවිද්දෙන් පැවිදිකොට අරහත්වයෙහි පිහිටුවා සිවුපිරිස් සන්නිපාතයෙහි පාමොක් දේශණා කරනු ලැබුවා. මෙය තෙවන සන්නිපාතයයි.
ඒ කාලයෙහි අප මහා බෝසතාණන් රමතී නුවර අති දේව නම් බ්‍රහ්මණව බමුණු දහමෙහි පාරප්‍රාප්ත ව රේවත බුදුන් දැක බණ අසා සරණ පිහිටා සිලෝදහසකින් භාග්‍යවතුන් වහන්සේ පසසා දහසක් අගනා උතුරු සළුවෙන් දසබලයන් වහන්සේ වහන්සේට පුදන ලැබුවා. ඒ බුදු රජාණන් වහන්සේ ඔහු කප් ලක්ෂයක් මත්තෙහි ගෝතම නමින් බුදු වන බවට නියත විවරණ ලබා දුන්නා .
රේවත දසබලයන් වහන්සේ උසින් අසූ රියනක් වුනා. උස්ව සිටි ඉන්ද්‍රයාගේ ධ්වජය මෙන් සියලු දිසාවන් හොබවනු ලැබුවා. උන්වහන්සේගේ ශරීරයෙහි හටගත් උතුම්වූ රශ්මි මාලාව දහවල්ද, එමෙන්ම රැයෙහිද, හාත්පස යොදුනක් තෙක් පැතිර ගියා. ඒ කාලයෙහි අවුරුදු සැටදහසක් දක්වා ආයුෂ පැවතුනා. ඒ රේවත බුදුරජාණන් වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතෙර කරනු ලැබුවා.
බුද්‍ධ බලය දක්වා ලෝකයෙහි අමෘතය (නිවණ) ප්‍රකාශ කරමින් උපාදාන (දර) අවසන් වීමෙන් ගිණි යම්සේ නිවියාද එසේ පඤ්ච උපාදානයන්ගේ අභාවයෙන් පිරිනිවි ගියා. රත්නයක් වැනිවූ ඒ රූපකාය ද, අසමවූ ඒ ධර්‍මයද, යන සියල්ල අතුරුදන් වුනා. සියලු සංස්කාරයෝ අනිත්‍ය බව නැවත නැවතත් පසක් කරනු ලැබුවා.