අපේ බුදුහාමුදුරුවෝ 337 (සන්තිකේ නිධානය)
අපේ බුදු හාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 01
අපේ බුදුහාමුදුරුවෝ ලොව පහළවීමට පෙර, සැරියුත් මුගලන් අගසවු දෙදෙනා එක් අසංඛයකුත් කප් සියදහසක්ම පාරමිතා පුරා දෙව්ලොව ඉපිද ඔවුන්ගෙන් පළමු තැනැත්තා දෙව්ලොවින් චුතව, බමුණන්ට අයබදු ලබාගැනීමට වෙන් වූ ‘උපතිස්ස’ නම් වූ රජගහනුවරට නුදුරු බමුණු ගමෙහි හැටපන් කෝටි සියයක ධන සම්පත් ඇති ගම්දෙටු බමුණාගේ රූපසාරී බැමිණියගේ කුස පිළිසිඳ ගත්තා. දෙවැන්නාද එම ගමට නුදුරු, බමුණන්ට අයබදු ලබාගැනීමට වෙන් වූ කෝලිත ගමෙහි එපමණ වූම ධන සම්පත් හිමි ගම් දෙටු බමුණාගේ මුගලන් නම් බැමිණියගේ කුස පිළිසිඳ ගත්ත. තවත් සුවිශේෂ දෙයක් තමයි මේ දෙදෙනා සංසාරයේ බොහෝකල් හොදම යාලුවෝ වශයෙන් එකටම පැමිණි අය . පාරමී පෙරුවෙත් එකටමයි. අගසවු තතතුර ප්‍රර්ථනා කලෙත් එකම බුදුවරයෙකු යටතේ. ඒ වගේම මෙම අවසන් අත්මභාවයේ මෙලොව එලිය දුටුවේත් එකම දිනෙක, ඉහත කි පරිදී එකිනෙකට නුදුරෙන් පිහිටි ගම් දෙකක උසස් බ්‍රාහමණ කුලයක. ඒ දෙකුලයේම පිරිස පරම්පරා සතක පමණ කාලයක සිට ඔවුනොවුන් එකට බැදුණු යහළුවන් ලෙස කාලය ගෙවු අය. ඒ බැමිණියන් දෙදෙනාටම එකම දවසෙහි ගැබ් පෙරහැර ඇතිවුනා වගේම ඒ දෙදෙනා දසමස් ඇවෑමෙන් පසු එකම දිනයේ පුතුන් දෙදෙනෙක් වැදුවා. නම් තබන දිනයෙහි සාරී බැමිණියගේ පුතාට උපතිස්ස ගම දෙටුකුලයේ පුතා නිසා උපතිස්සයයි නම් තැබූවා. අනිත් තැනැත්තා කෝලිතගම දෙටු කුලයේ පුතා නිසා කෝලිත යයි නම් තැබූවා.
දෙමාපියන්ගේ බොහෝකල් සිට පැමිණි ඇසුරත් මිත්‍රත්වයත් නිසා ඔවුන් වැලි සෙල්ලම් කරන කාලයේ පටන්ම එකිනෙකා යහළුව, කෙමෙන් තුරුණු වියට පත්වූනා. දෙදෙනාටම පන්සියයක්, පන්සියයක් බැගින් තරුණයෝ පිරිවර වශයෙන් හිටියා. එක් තැනැත්තෙක් රන්දෝලා පන්සියයක්ද දෙවැන්නා අජානීය අසුන් බැඳි රිය පන්සියයක්ද පිරිවරින් යුතුව උයනට හෝ ගං තෙරට හෝ ගොසින් නිතර විනෝද වෙන්නට වුනා. පුදුම වාසනාවන්ත ජිවිත. ඔවුන් බොහෝ ආත්මභාව වල ඒ අයුරින්ම යහළුවන් වශයෙන් එක්ව සැප වින්දා. එකල රජගහනුවර කලින් කලට පවත්වන ‘ගිරග්ග සමජ්ජ’ නම් රඟදැක්මක් තිබුණා. සවස් කල මුළු මගධ වැසියෝ ද – පසිඳු කැත් කුමරුවෝ ද නුවර වීදි මැදට රැස්ව මනාව සැකසූ මැසි හා ආසනවල හිඳිමින් රැඟුම් අසිරිය නරඹන්න වුනා. සුපුරුදු පරිදී එදිනත් උපතිස්ස කෝලිතද පිරිවර සමග එහි ගොස් පණවන ලද අසුන්වල අසුන්ගත්තා. දෙදෙනාම එකට හිඳගෙන බලමින් සිනාසිය යුතු තැන සිනාසෙන්නටත් දුක්විය යුතු තැන දුක්වෙන්නටත්, තෑගි දියයුතු තැන තෑගි දෙන්නටත් වුණා ඔවුහු මෙසේ එක් දිනක් සමාජය බලා සිටියදී, ඥානය මුහුකුරා ගොස් තිබුණු හෙයින් පෙර දිනවල මෙන් සිනාසිය යුතු තැන සිනාසීමක් හෝ දුක් විය යුතු තැන දුක්වීමක් හෝ තෑගි දිය යුතු තැන තෑගි දීමක් හෝ සිදු නොවුණා. දෙදෙනාම කිම මෙහි බැලිය යුත්තක් ඇද්ද? මේ සියල්ල වර්ෂ සියයක් යාමට මත්තෙන් සදොස් බවට, නොපිළිගන්නා බවට පත්වෙයි. අප විසින් එක් මෝක්ෂධර්මයක් සොයා යායුතු යයි සිතමින් හුන්නා. උපතිස්ස රැඟුම් අසිරිය දකිමින්ම, රැස්වූ මහා ජනකායද දැකලා අනේ, මෙපමණ ජනතාවක් හිටියත් මෙතරම් ප්‍රීතියෙන් අද සිටියත් මේ අය තව අවුරුදු සියයක්වත් නොපැමිණ මරණයට පත්වෙනවා නේද කියලා සිතුවා. හරියට මරණය අවුත් නළලෙහි සිටියාක් මෙන් ඔහුට දැනුණා. ඒ තමයි සසරේ පුරුද්ද. කෝලිතටත් එසේම සිතුණ. නන් අයුරු රඟන රැඟුම් පැවතියත් එයින් එකකටවත් සිත ගියේ නැහැ.. හුදෙක් සංවේගය පමණක්ම පහළ වුණා .
රැඟුම නිමා වී ආපසු යන පිරිස අතරට එක්වූ ඒ යහළුවන් දෙදෙනා ද තම පිරිවර සමග එක්ව ‘මිතුර, කෙසේද? නැටුම් බැලීමෙන් ඔබ නොසතුටු වීදැ’යි කෝලිත උපතිස්සගෙන් අසා සිටියා. උපතිස්ස තම අදහස සැළකොට, ඒ කරුණුම කෝලිතගෙන් ද විචාරනු ලැබුවා. ඔහුද තම අදහස පවසා, ‘මිතුර, පැවිදි වී නොමැරෙන මග (අමතං) සොයන්නෙමු, එන්නැ’යි කියා සිටියා. ‘මිතුර, එය මැනවැ’යි උපතිස්සද එකඟ වුනා. හරිම පුදුමයි. මේ අඹ යහළුවෝ දෙන්නම අර අනෙක විදි සම්පත් අතහැර දමා නැවත රජගහනුවරට පැමිණිය.
ඒ කාලයෙහි රජගහනුවර සංජය නම් පිරිවැජියෙක් වාසය කළා. ඔවුන් තරුණයන් පන්සියයද සමග සංජය වෙත පැමිණ පැවිදිව කිහිප දිනකින්ම තුන්වේදය හා සියළුම පිරිවැජි දහමද ඉගෙන ගත්තා. ඔහු කියා දුන් දහමේ මුල මැද තිබුණත් අගක් තිබුනේ නැහැ. ඉතින් ඔවුන් ඉගෙන ගත් දහමෙහි මුල-මැද-අවසානය විමසමින්, අවසානයක් නොදැක, ‘මේ දහමෙහි මුල, මැද පැහැදිලිය. අවසානය නො පෙනෙයි. මෙහි අප ඉගෙන ගත් දෙයට වඩා වැඩියෙන් දැනගත යුතු බවට පැමිණීමක් නැතැ’යි ගුරුතුමාගෙන් විමසා සිටියා. ගුරුතුමාත් සත්‍යවාදී පුද්ගලයෙක් ඔහු අද වගේ නොදන්නා දේ දන්නා හැටියෙන් පවසා ගෝලයන්ව රවට්ටුවේ නැහැ. ඇත්ත කිවා. ‘මම ද එසේ පැමිණිය යුතු අවසානයක් නොදකිමි’යි සංජය පිරිවැජි ඔවුන් දෙදෙනා ඇතුළු පිරිසට කියා සිටියා. ‘එසේනම් අපිට මෙහි අවසානය සොයන්නට අවසර දෙන්න යනුවෙන් ඔවුන් සන්ජය ගුරුවරයාගෙන් ඉල්ලා සිටියා. ‘කැමති පරිදි සොයවු’ යනුවෙන් ගුරුතුමා ද ඔවුන්ට අවසර දුන්නා. මෙසේ ගුරුතුමාගෙන් අවසර ලත් ඔවුහු ‘නොමැරෙන බව’ සොයමින් ඇවිදිමින් දඹදිවම පතළ වුනා. කැත් කුල ආදී වියතුන්ගෙන්ද පැන විචාරන ලැබුවත් , මතු මතුත් ඒ ගැන විමසුවද අවසානයක් නොපෙනේ යන්න තමයි ඒ උගතුන්ගේත් අවසාන පිළිතුර වුනේ. ඔවුන් මේ නිසා මොතරම් ප්‍රසිද්ධියට පත්වුනාද කීවොතින් උපතිස්ස, කෝලිත නම් කී සැණින්ම , ‘මොවුන් කවුරුන්ද? අප නම නොදනිමු’යි කියන අයෙකු නම් නැතිවම ගියා. එපමණටම ඔවුන්ව හඳුනනු ලැබූවා.
උපකාර වූ මූලාශ්‍ර – ධම්ම නාවා සූත්‍ර වර්ණනාව , අගසවු වස්තුව