අපේ බුදුහාමුදුරුවෝ 315 (සන්තිකේ නිධානය)
ඒ තවත් පැහැබර හිමිදිරියක්. බුදුපියාණන් වහන්සේ තවමත් උරුවෙලෙහි වැඩ සිටින්නේ. රන් හා සමාන කාලය දිනෙන් දින දියවෙන බව උරුවෙලකාශ්‍යපජටිල තවුසාට වැටහෙන්නේ නැති හැටි හරිම පුදුමයි. ඔබ බුදුන් බැහැදකින්න කියලා කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු බුදුපියාණන් වහන්සේ දැන් ඔබ අසල. ඔබ ගානකට නොගෙන සුපුරුදු ලෙසම තවුස්වත් පුරමින් උඩඟු කමින් කල් අරිනවා. අන් අයට තිබෙන අවස්ථාවත් මග ඇරෙනවා. මගේ හිත එලෙස උරුවෙලකස්සපට දොස්කියන්නට පටන්ගත්තා. එහෙත් බුදුපියාණන් වහන්සේට එහෙම හිතුනේ නැතිව වෙන්නට ඇති. එදින ඔහු එනතෙක් පෙරමග සක්මනක යෙදිලා. ඒ රැය ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට උරුවෙලකස්සප ලහි ලහියේ පැමිණියා. . පැමිණ “මහාශ්‍රමණය, සුදුසු කාලය වේ. බත නිමියේ ය” කියා සිටියා. . “කාශ්‍යපය එසේනම් ගිනිහල්ගෙය වෙත යන්න මම වඩින්නම්. උරුවේලකාශ්‍යප තාපසය ඉස්සර වුනා. බුදුරජාණන් වහන්සේ ක්ෂණයකින් දඹදිව සුප්‍රසිද්ධ දඹගසක් තිබුණා. එහි ගෙඩි අති මිහිරි රසයෙන්ද සුවන්දින්ද යුක්ත වුණා . ඒ නිසාම ඒ ගස ජනයා අතර ප්‍රසිද්ධයට පත්වෙලා තිබුනේ. බුදුපියාණන් වහන්සේ ක්ෂණයකින්ම ඒ දඹගසින් ගෙඩියක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි වැඩ සිටියා. උරුවේලකාශ්‍යපජටිල තුමා ගිනිහල්ගෙට ඇතුළු වෙනකොටම භාග්‍යවතුන් වහන්සේ එහි වැඩසිටිනවා. ඔහු තිගැස්සුනා.
හරිම ආශ්චර්යයක් භාග්‍යවතුන් වහන්සේ කොහොමද මෙතනට ආවේ. මමනේ ඉදිරියෙන් ආවේ. උන්වහන්සේ වැඩියේ මට පහුවෙලා. ඔහුට ප්‍රශ්ණ වැලක්.
“මහාශ්‍රමණය, ඔබ කවර මගකින් ආසේක් ද? මම ඔබට පළමු ව පිටත් වූයෙමි. ඒත් ඔබ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි වැඩසිටිනවා! බුදුරජාණන් වහන්සේ ඔහුට සියල්ල පහදා දෙන්නට වුණා.
“කාශ්‍යපය, මෙහි මම ඔබ පිටත් කොට, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද ඒ ගසින් ගෙඩියක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්නෙමි. කාශ්‍යපය, මේ දඹගෙඩිය පැහැයෙන් පිරිපුන් ය. සුවඳින් පිරිපුන් ය. රසයෙන් පිරිපුන් ය. ඉදින් කැමැත්තෙහි නම් අනුභව කරව” යි වදාරනු ලැබුවා.
“මහාශ්‍රමණය, කම් නැත. ඔබ ම මේ දඹදෙහඩිය ගෙණ ආසේක. ඔබ ම මෙය අනුභව කරණු මැනැව.” ඔහු බුදුපියාණන් වහන්සේටම එම ගෙඩිය පූජා කරනු ලැබුවා. ඉන්පස්සේ ආයෙත් වෙනදා ලෙසම මෙහෙම හිතනවා.
“යමෙක් මා පළමු කොට පිටත් කර යවා, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසින් ගෙඩියක් ගෙණ පළමුකොට අවුත් ගිනිහල්ගෙයි හුන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය” ඉතින් භාග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපජටිලයාගේ බත වළඳා ඒ වනලැහැබෙහි ම නැවතත් වැඩසිටියා.
පසුදිනත්, ඊට පසු දිනත්, ඊටත් පසුදිනත් පෙර දිනයේ සේම අශ්චර්යන් තුනක් වුනා. එනම් ඊට පසුදින සිට පිලිවෙලින් දඹ ගසට නුදුරින් වූ අඹ ගසින්ද, අඹ ගසට නුදුරින් වූ නෙල්ලි ගසින්ද නෙල්ලිගසට නුදුරින් වූ අරළුගසින්ද, ගෙඩි කඩා ඔහුට පෙරවිත් ගිනිහල්ගෙහි වැඩ සිටියා. ඒ හැම අවස්ථාවකම ඔහුට සිතුනේ පෙර පරිදිමයි. මොනදේ කලත් මා මෙන් රහත් ඵලයට නම් පැමිණිලා නැහැ කියලා.
දැන් මේ ලෝකේ කොතැනක තියෙන දෙයක් ක්ෂණයකින් ගෙන පෙන්නුවත් උරුවෙල කස්සපගේ හිත වෙනස් නොවෙන බව බුදුපියාණන් වහන්සේ දන්නවා. ඒ එක්කම දැන් ඔහුගේ මාන්නයත් ක්‍රමක්‍රමයෙන් තුනිවන බවත් පෙනෙන්නේට ඇති කියලා මට හිතෙනවා. එදත් උදෑසන සුපුරුදුලෙස ඔහු දානයත් සමග පෙරමගට පැමිණියා. බුදුපියාණන් වහන්සේත් පෙර පරිදිම ඔහුව ගිණිහල වෙත යන්නට නියම කරා. එදා බුදුපියාණන් වහන්සේ ක්ෂණයකින් මතුවුනේ දඹදිව වෙනත් පෙදසකින් නොවෙයි. දෙවුලොව පරසතු ගසක් අසළින්. එයින් පරසතු මලක් රැගෙන ගිණිහල් ගෙයි වැඩසිටියේ උරුවෙල කස්සපට පෙර වැඩම කොට.
උරුවෙලකාශ්‍යපජටිලතෙමේ ගිනිහල්ගෙයි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේව දුටුවා. දැක භාග්‍යවතුන් වහන්සේට “මහාශ්‍රමණය, නුඹවහන්සේ කිනම් මගකින් ආසේක් ද? මම නුඹවහන්සේට වඩා පළමු කොට පිටත් වූයෙම් වෙමි. ඒ නුඹවහන්සේ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්සේකැ” යැයි පවසා සිටියා. එවිට බුදුපියාණන් වහන්සේ මෙලෙස දේශණා කරනු ලැබුවා. . “කාශ්‍යපය, මම මෙහි ඔබ පිටත් කර යවා තාවතිංසයට ගොස් පරසතුමලක් ගෙණ පළමුකොට අවුත් ගිනිහල්ගෙයි හුන්නෙම් වෙමි. කාශ්‍යපය, මේ පරසතුමල පැහැයෙන් යුක්ත ය. සුවඳින් යුක්ත ය” යි වදාරනු ලැබුවා. ඒ මොහොතේ මුළු ජනපදය පුරාම ඒ මල් සුවඳ විසිරෙන්නට ඇති. පරසතු මල් විතරක් නෙවෙයි දෙව් ලොව තියෙන සෑම මලක්ම එහෙම තමයි. ඉතින් පරසතු මල් ගැන කුමන කතාද? එවන් අසිරියක් දැකලත් ඒ මාන්නක්කාර සිත හිලෑ වුනේ නැහැ. ඔහු “යමෙක් මා පළමු කොට පිටත් කර යවා තාවතිංසයට ගොස් පරසතුමලක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” ය
විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහර