අපේ බුදුහාමුදුරුවෝ 311 (සන්තිකේ නිධානය)

 

තෘතීය හා චතුර්‍ත්‍ථප්‍රාතිහාර්‍ය්‍යය.

තෘතීයප්‍රාතිහාර්‍ය්‍යය

එදිනත් පෙරසේම තවත් සුවිශේෂ රාත්‍රියක්. රෑ පෙරයම ඉක්ම ගිය පසු විශිෂ්ට ශරීරවර්‍ණ සහිතව සියලු වනලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ සක්දෙව්රජතෙමේයි. එම ආලෝක කදම්භ පෙරදා සතර මහා රජදරුවන් වෙතින් නික්මුණ ආලෝකයන්ට වඩා විශාල වශයෙන් ප්‍රභලයි කියලත් කියනවා. අපිටත් දකින්නට ලැබුණානම් කියලත් හිතෙනවා. ඒ උත්තමයන් වහන්සේ ඉමහත් ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටිය. එම වර්ණවත් ආලෝක කදම්භ මහගිනිකඳක් සේ පළමුම පැමිණි අයගේ පැහැයට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද බව අට්ට කතාවෙහි පවසනවා. .

එදත් උරුවේලකාශ්‍යපතුමා මෙම දර්ශනය දුටුවා. ඔහුට ඉවසිල්ලක් නැහැ විස්තර දැන ගන්නකම්. කොහොමත් පොරොන්දු වුන පරිදී හිල්දානේ අරගෙන යන්න ඕනනේ. ඔහු රෑ ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිය. පැමිණ මෙලෙස පවසා සිටියා.

“මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමියේ ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති කවරෙක්, වනලැහැබ බබුළුවා ඔබවහන්සේ වෙතට පැමිණියේ ද? පැමිණ නුඹ වහන්සේ වැඳ පසෙක සිටියේ ද? හේ මහ ගිනිකඳක් සේ පළමු වූ පැහැසටහන්වලට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද වී ය” .

“කාශ්‍යපය, දෙවියන්ට අධිපති වූ ශක්‍ර තෙමේ දහම් අසනු පිණිස මා වෙතට පැමිණියේ ය” එවිට මාන්නක්කාර උරුවේලකාශ්‍යප ජටිලයා හට මෙහෙම සිතක් පහලවුනා.

“යමකු කරා දෙවියන්ට අධිපති වූ ශක්‍ර තෙමේත් දහම් අසනු පිණිස පැමිණෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය, මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ මැ” ඔහු තව දුරටත් තමන්ගේම මතයේ එළඹ සිටියා.

 අනේ ඒ මහා කරුණිකායන් වහන්සේ ඒ සිත දැක දැකත් උරුවේලකාශ්‍යප ජටිලයා පූජා කරනු ලැබූ බත වළඳා, ඒ වනලැහැබෙහි ම ඔහුව නිවන්දක්වනු පිණිස තවදුරටත් වැඩ සිටියා.

චතුර්‍ත්‍ථප්‍රාතිහාර්‍ය්‍යය.

ඉන්පස්සේ තවත් දිනයක සහම්පති මහා බ්‍රහ්මතෙමේත් රෑ පෙරයම ඉක්ම ගිය පසු අති විශිෂ්ටශරීරවර්‍ණ ඇතිව වනලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටිය. උන්වහන්සේද මහාගිනිකඳක් සේ පළමු පැහැ සටහන්වලට වඩා අතිශයින් විශිෂ්ටවද , අතිශයින් ප්‍රණීතවද වැඩ සිටියා.

එදත් උරුවේලකාශ්‍යපතුමා මෙම දර්ශනය දුටුවා. ඔහුට ඉවසිල්ලක් නැහැ තව තවත් විස්තර දැන ගන්නකම්. මෙච්චරම දෙවිවරු කොහෙන්ද එන්නේ? ඇයි අපව හමුවන්නට නොඑන්නේ? දහසකුත් දේ හිතෙන්නට ඇති. . කොහොමත් පොරොන්දු වුන පරිදී හිල්දානේ අරගෙන යන්න ඕනනේ. ඔහු රෑ ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට ලහි ලහියේ පැමිණිය. පැමිණ මෙලෙස පවසා සිටියා.

“මහාශ්‍රමණය, මේ සුදුසු කාලය යි. බත නිමියේ ය. මහාශ්‍රමණය, රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ටශරීරවර්‍ණ ඇති කවරෙක්, වනලැහැබ බබුළුවා ඔබවහන්සේ වෙතට පැමිණියේ ද? පැමිණ නුඹ වහන්සේ වැඳ පසෙක සිටියේ ද? හේ මහ ගිනිකඳක් සේ පළමු වූ පැහැසටහන්වලට වඩා අතිශයින් විශිෂ්ට වූයේ ද අතිශයින් ප්‍රණීත වූයේ ද වී ය”.

කාශ්‍යපය, සහම්පති බ්‍රහ්මතෙමේ දහම් ඇසීම පිණිස මා වෙත පැමිණියේය. බුදුපියාණන් වහන්සේ පහදා දුන්නා. එවේලේත් උරුවේලකාශ්‍යප ජටිලයාගේ සිතට පෙර දිනවල මෙන්ම මහා අඳුරු මේඝ වළාවක් මෙන් මාන්නය පැමිණ ප්‍රඥා ඇස මඩිනු ලැබුවා. ඔහු මෙලෙස සිතන්නට වුණා

“යමකු කරා සහම්පති බ්‍රහ්මයාත් දහම් ඇසීම පිණිස පැමිණෙන්නේ ද, ඒ මහාශ්‍රමණතෙමේ මහත් ඍද්ධි ඇත්තේ ම ය. මහත් අනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය.

අනේ ඒ මහා කරුණිකායන් වහන්සේ ඒ සිත දැක දැකත් උරුවේලකාශ්‍යප ජටිලයා පූජා කරනු ලැබූ බත වළඳා, ඒ වනලැහැබෙහි ම ඔහුව නිවන්දක්වනු පිණිස තවදුරටත් වැඩ සිටියා. අශ්චර්යක්මයි බුදුවරුන්ගේ මෛත්‍රිය දයාව කරුණාව ඉවසීම. ආශ්චර්යයි ශ්‍රාවකයන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලය.

විනයපිටක/මහාවග‍්ගපාළියා/මහාක‍්ඛන්‍ධකං/ආදිත්තපරියාය/උරුවෙල්පෙළහ​ර