අපේ බුදුහාමුදුරුවෝ 29
දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 02
මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීර අලෝකදහරාව අනෙකුත් බුදුරජාණන් වහන්සේලාට වඩා මහත් වූ අධිකතරයි. අන් බුදුවරයන්ගේ ශරීර ප්‍රභාව අසූ රියන් හෝ බඹයක් පමණ වෙනවා. එහෙත් මංගල බුදුන් වහන්සේගේ ශරීර ප්‍රභාව දසදහසක් ලෝක ධාතු දක්වා පැතිර ගියා. උන්වහන්සේගේ ආයුෂ අවුරුදු අනූදහසක්. එතෙක් කල් ලෝකයට රාත්‍රියක් උදා වුනේ නැහැ. සැමදා දහවල මෙන් වුනා. ඒ ශරීර ආලෝකය ඒ තරම්ම බලවත්. ඒ බුද්ධාලෝකයෙන් සියලු සත්ත්වයෝ දිවා රාත්‍රි වැඩ කළා. සවස පිපෙන මල් වලින් ද උදෑසන කුරුල්ලන්ගේ නාදයෙන් ද මිනිසුන් උදය රැය දැනගත්තා.
අන්‍ය බුදුවරුන්ට මෙම ශක්තිය තිබුනේ නැද්ද කියලා ඔබ හට එකවරම සිතෙන්නට පුළුවන්. නැත්තේ නැහැ තිබුනා. ඒ අවශ්‍ය විටදී පමණයි. එහෙත් මංගල බුදුරජාණන් වහන්සේ මවු කුසයේ සිටි කාලය තුලම නොනවත්වා දිවා රෑ අසූ රියනක් විහිදුන ඒ ශරීරාලෝකය බුද්ධත්වයෙන් පසු පැය විසිහතරම දස දහසක් සක්වල දක්වා විහිදෙන්න පටන්ගත්තා. උන්වහන්සේගේ ශරීර ප්‍රභාව මෙලෙස අධික වීමට හේතුවක් තිබුනා. ඒ උන්වහන්සේ පාරමිතා පුරණ කාලය තුල වෙස්සන්තර ආත්ම භාවයකට සමාන ආත්ම භාවයක දී දරු දෙදෙන දන් දන්දීමේදී කල අධිෂ්ඨානය.
මංගල බෝසතාණන් වහන්සේ එකල වෙස්සන්තර අත්මභාවයකට සමාන අත්භවයක තමන්ගේ අඹුදරුවන් සමග වංකගිරියට සමාන පර්වතයක් ජිවත්වුනා. ඔහුට දරුවන් දෙදෙනෙකු හිටියා. එම දරු දෙදෙනා ව ලැබීමට පැමිණියේ මහා භයානක සකල ජනහිංසක මිනී කන ඛරදාඨික නම් යක්ෂයෙක්. ඒ යක්‍ෂයා මංගල බෝසතුන්ගේ දාන පාරමිතාව දැන බමුණු වෙසින් පැමිණ දරු දෙදෙනාව ඉල්ලන්නට වුනා. බෝසතාණෝ ඉතාම තුටුපහටු ව මහ පොළොව කම්පාකරවමින් දරු දෙදෙනා ඒ බමුණු වෙසින් ආ යක්‍ෂයාට දුන්නා.
අනේ සිදුවුන විපතක්. ඒ යක්ෂයා බෝසතුන් බලා සිටිය දී ම බමුණු වෙස් හැරදමා ගිනිදැල් බඳු ඇස් ඇතිව විසම විරූපී නාසා ඇතිව තඹරළු කෙස් ඇතිව තල් කඳක් වන් සිරුරු ඇති යක්‍ෂ වෙස් අරගනිමින් ඒ දරුවන් දෙදෙන නෙළුම් මිටියක් සේ ගෙන එකවර කන්නට පටන් ගත්තා. ඒ යක්ෂයා දෙස බලා සිටි ඒ බෝසතාණන් වහන්සේහට යක්ෂයා කට විවර කල විටම ගිණිදැල් මෙන් උණු ලේ ධාරා වැගිරෙන මුඛය දැකීමෙන් මද දොම්නසක්වත් ඇතිවුනේ නැහැ. ඒ වෙනුවට මා විසින් මනා දානයක් දෙන ලදැයි සතුටු වුනා. උන්වහන්සේ මේ කුසල විපාකයෙන් “අනාගතයෙහි මේ අයුරින් ම රැස් නික්මෙම්වා”යි! පැතුවා. උන්වහන්සේගේ ඒ පැතුම පරිදි බුදු වී දසදහසක් සක්වළ රශ්මිධාරා පතුරුණා.
පෙරභවයක උන්වහන්සේ විසින් කරනු ලැබූ තවත් අසාමාන්‍ය පින්කමක් තියෙනවා. හැබැයි මෙවැනි දේ ඔබ කරන්න හදන්න එපා. ඒ තමයි පෙර එක් බුදු කෙනෙකුන්ගේ ධාතු චෛත්‍යයක් දැක එයට ජීවිත පරිත්‍යාගයක් කළයුතු යැයි සිතා දඬුවැට පහණක් වෙලන පරිද්දෙන් මුළු සිරුර වෙලා ලක්‍ෂයක් පමණ වටිනා රන් බඳුනක සුවඳ ගිතෙලෙන් පුරවා එහි පහන් වැටි දහසක් දල්වා එය හිස මත තබාගෙන මුළු සිරුර ම දල්වා සෑය පැදකුණු කරමින් මුළු රැය ම පහන් කරනු ලැබීම. මෙසේ අරුණෝදය දක්වාම කල පහන් පුජාවෙන් උන්වහන්සේගේ රෝමකුපයක්වත් රත්වුනේ නැහැ ඒ වගේම රෝමකුපයක්වත් හානි වුනෙත් නැහැ. හරියටම පියුම් ගැබකට පිවිසි කලෙක මෙන් වුනා. “මේ ධර්මය නම් තමන් රක්නවුත් රක්නේමය” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු ලැබුවා.
“ධම්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං, ධම්මො සුචිණ්ණො සුඛමාවහාති;
එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී”ති
ථෙරගාථාපාළි\චතුක‍්කනිපාතො\ධම්මිකත්‍ථෙරගාථා
යැයි “ධර්‍මය ඒකාන්තයෙන් ධර්‍මචාරියා ආරක්‍ෂා කරයි. ප්‍රගුණ කළ ධර්‍මය සුව ගෙන දෙයි. පුරුදු කළ ධර්‍මයේ ආනිසංසය මෙය යි. ධර්‍මචාරී තෙම දුගතියට නො යයි.” යැයි වදාළ සේක.
මේ කර්‍මයේ විපාක වශයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ ආලෝකය දසසහශ්‍රී ලෝකධාතුවෙහිම පැතිර ගියා.