අපේ බුදුහාමුදුරුවෝ 28
දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ
මංගල බුදුරජාණන් වහන්සේ 01
කොණ්ඩඤ්ඤ ශාස්තෘන් වහන්සේ පිරිනිවුනායින් පසුව අවුරුදු ලක්ෂයක් ඒ සසුන සුරැකුනා. බුද්ධ අනුබුද්ධ ශ්‍රාවකයන්ගේ අතුරුදන් වීමෙන් පස්සේ උන්වහන්සේගේ සසුනත් අතුරුදහන් වුනා. කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ට පස්සේ එක් අසංඛ්‍යයක් ඉක්මවා එකම එක කපෙක බුදුවරු සතර නමක් පහළ වුනා. බුදුවරු සතරනමක් පහළවෙන කල්පය හදුන්වන්නේ “සාරමණ්ඩ කල්පය” කියන නමින්. ඒ බුදුවරුන් තමයි මංගල, සුමන, රේවත, ශෝභිත, යන බුදුරජාණන් වහන්සේලා. දැන් මේ කියන්න යන්නේ ඒ සාරමණ්ඩ කල්පයේ පහළවී අපේ බුදුරජාණන් වහන්සේට නියත විවිරණ ලබාදුන් පලවෙනි බුදුරජාණන් වහන්සේ ගැන සහ අප බුදුරජාණන් වහන්සේ මංගල බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් තුන්වැනි නියත විවිරණය ගැන.
බෝසතාණන් වහන්සේලා හට බුද්ධත්වය සදහා දේව ආරාධනය දෙවු ලොවෙන් චුත වීම, දෙතිස් පෙර නිමිති පහළවීම සත්පියුම් මත ඇවිදීම, සතර පෙර නිමිති දැකීම අභිනිෂ්ක්‍රමණය දුෂ්කරක්‍රියා කිරීම, බුදුවීම, සත්සතිය, සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනය වැනි දේ විශ්ව ධර්මතා බැවින් සෑම බුදුවරයෙකුටම සමානයි. ඒ නිසා ලිපිය කෙටිකර ගැනීමට ඒ පොදු ධර්මතා අතහැර විශේෂ කරුණු විතරක් සඳහන් කරනවා.
මංගල බෝසතුන් මෙලොව ඉපදීම
ඒ මංගල ලෝකනායකයාණෝ කල්ප ලක්ෂයකට අධික සොළසාසංඛ්‍යයක් පාරමී පුරා තුසීපුර ඉපිද එහි ආයුතාක් සිට තුසීපුරෙන් චුත ව හැම නුවරට ම උතුරින් වූ උත්තර නම් නුවර අනුත්තර උතුරු නම් රජ කුලයෙහි අනුත්තර උත්තර නම් ක්‍ෂත්‍රීය රජතුමාට දාව උතුරු නම් මෙහෙසියගේ කුසයෙහි උපන්නා. එදා නානාවිධි දෙතිස් පෙළහර පහල වුනා. ඒ ගැන දීපංකර බුද්ධ වංශයේ සඳහන් කළා.
මංගල බෝසතුන් වහන්සේගේ මෑණියන් වහන්සේගේ කුසයෙන් විහිදුන අසාමාන්‍ය ආලෝකය
මේ බෝසතාණන් වහන්සේගේ අන් බුදුවරුනට නැති විශේෂත්වයක් වුනා. ඒ ශරිරාලෝකය. උන්වහන්සේ මවු කුසේ පිළිසිඳ ගත දා පටන් කුසේ සිටි බෝසත් ළදරුවාගේ ශරිරාලෝකය අසුරියනක් පමණ දුරට පැතිර ගියා. ඒ ආලෝකය කොතරම් ප්‍රබලද කිවොතින් සඳට හිරුට පවා මැඩීමට නොහැකි වුනා. ඒ මෑණියන් වහන්සේටත් බෝසත් කුමරා තම කුසතුල සිටි කාල පරිච්චයේදී මාළිගාවේ පහන්දැල්වීමේ අවශ්‍යතාවයක් මතුවුනේ නැහැ. එතුමියත් වෙනයම් ආලෝකයක් හෝ නොමැතිව ශරිරාලෝකයෙන්ම අඳුරු දුරු කොට අටසැටක් කිරිමවුවරුන් ගේ උවැටන් ලබමින් වාසය කරනු ලැබුවා.
නම් තැබීම
දසමසක් ඇවෑමෙන් මෙලොව බිහුවුණු ඒ බෝසත් කුමරා උපන්කෙණෙහිම උත්තර දිශාභිමුඛය බල සත් පියවරක් ගොස් අභිතනාද කලා. ඒ සැණින්ම දස දහසක් ලෝකවාසි දෙවියෝ දෘශ්‍යමාන සිරුරින් දිවමල් ආදියෙන් සැරසී එහි සිට මඟුල් තුති වදන් පවත්වන්නට වුනා. දෙතිස් පෙළහරද පෙර කි පරිදිම සිදුවුවා. උන් වහන්සේට නම තබන දින නම් තබන පඬිවරු දේහ ලක්ෂණ බලා සියලූම මඟුල් දේහ සම්පත් ඇති බව පවසා මංගල කුමාර නමින්ම නම් කරනු ලැබුවා.
මංගල බෝසතාණන් හට ඉදි වූ යසවා, සුචිමා හා සිරිමා ප්‍රසාද සහ තිස්දහසක් නලගනෝ
උන්වහන්සේ හට නිසිවිය පැමිණිකල යසවතී නම් දේවියක් හා විවාහ වුවා. අපේ බුදුහාමුදුරුවන්ට වගේම උන්වහන්සේටත් යසවා, සුචිමා හා සිරිමා නම් රමණීය ප්‍රසාදත්‍රයක් වුනා. ඒ මාළිගාවේ උන්වහන්සේව ගිහිගෙදර රඳවා ගැනීමට යසවතී අග බිසව ප්‍රමුඛ දෙවගණන් මෙන් රූමත් තිස්දහසක් නලගනන්ද හිටියා. ඔවුන් දිවා රෑ මංගල බෝසතාණන් වහන්සේව සතුටු කළා.
මංගල බෝසතාණන් සසර කලකිරි ගිහිගෙයින් නික්මීම සහ බුද්ධත්වයට පැමිණීම
ඒ බෝසතාණන් වහන්සේ එම අතිසුන්දර මාළිගාවේ දෙවුසැප බඳු සැපවිඳිමින් සිටියත් අගමෙහෙසියගේ කුසතුල සීලව නම් පුත්‍ර රත්නය ද ලැබී සතර පෙරනිමිති දැකීමෙන් සසර කලකිරි පඪෙර නම් අශ්වරාජයගේ පිටමතින් ඒ මහත් වූ සැප සම්පත් අතහැර වනගත වී පැවිදි වුනා. පැවිදි වූ උන්වහන්සේ අනුව යමින් මිනිස්සු තුන් කෙළක් පැවිදි වුනා. අට මසක් වීර්යය කොට වෙසක් පොහෝදින උත්තරගම උත්තර සිටුහුගේ දුව වූ උත්තරා සිටුදූ දුන් දිවඕජා බහාලු පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි උත්තර නම් ආජීවක දුන් කුස තණ මිටි අට ගෙන නාබෝධිය තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්හත් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමා වහන්සේ සමග පැවිදි වූ තුන් කෙළක් පිරිස දැක පා සිවුරු ගෙන හංස රාජයකු මෙන් අහසින් වැඩ සිරිවඩ්ඪන නුවර ලඟ සිරිවනගහණයෙහි බැස දම්සක් දෙසනු ලැබුවා. එහිදී තිස් කෙළක් දෙනාට ධර්‍මාභිසමය වුවා.