අපේ බුදුහාමුදුරුවෝ 269 (සන්තිකේ නිධානය)
සත්සතිය 07
සත්වන සතිය
සවන සතියෙන් පසු බුදුරජාණන් වහන්සේ නුදුරෙහි වූ කිරිපලු රුක වෙත වැඩ එහි සමවත් සුව විඳිමින් සතියක් වැඩ සිටියා. මෙලෙස සත් සතිය හෙවත් බුද්ධත්වයෙන් පසු දින හතලිස් නවයක් ගතවී තිබුණා. බුදු වූ තැන් පටන් කොට ගත වූ සත් සතියෙහි භාග්‍යවතුන් වහන්සේ කිසි දු අහරක් වැළඳූ බව සඳහනක් නැහැ. ඵල සමාපත්තියෙන් ම කාලය ගත කරනු ලැබුවා.
සක් දෙවිඳුගේ පූජාවක්
උසත්වන සතිය ඉක්මයත්ම නවසාළිස් දිනයෙහි උන්වහන්සේට මුව දෙවීමට සිතක් උපන්නා. එවේලෙහි ඒ බව දැනගත් සක් දෙවිඳු බෙහෙත් අරළු ගෙනවුත් පිළිගන්වනු ලැබුවා. ඒ වැළඳීල්ලෙන් පසු සිරුරු මළ පහ වූ බව පවසනවා. එවිට සක් දෙවිඳු ම නාලිය දැහැටි ද මුවදෙනා පැන් ද පිළිගන්වනු ලැබුවා. බුදුන් වහන්සේ එම දැහැටි වළඳා අනෝතත්ත විල් දියෙන් මුව දෝවා එම රජායතන රුක් මුල ම නැවතත් වැඩසියා.
තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයෝ
මෙ සමයෙහි උත්කල ජනපදයෙන් වෙළඳාමෙහි යන තපුස්ස භල්ලික නම් සහෝදර වෙළෙන්දෝ දෙදෙනෙක් පන්සීයක් පමණ ගැල් පදවා ගෙන ඒ පෙදෙසට සම්ප්‍රරොත වුණා. තපස්සු භල්ලික දෙදෙන පුෂ්කරවතී නුවර ශාර්ථවාහකයකු ගේ පුත්තු යැයි ද ඔවුන් පන්සියයක් පමණ ගැලින් වෙළෙඳාම් යන විට බුදු වීමෙන් අට වන සතියෙහි කිරිපලු රුක මුල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා සමීපයෙන් යන්නට ආ බවද, එහි වියැලි බිමෙහි ගැල් පැද්ද විය නො හැකිව කරුණු කිම් දැයි සිතා බලන ඔවුනට පෙර අත් බැවේ නෑයකු වූ දේවතාවක රුක් වෙළෙප් අතුරේ පෙනී සිට බුදුරජාණන් වහන්සේගේ තොරතුරු කියා උන් වහන්සේට ආහාරයෙන් සංග්‍රහ කරන ලෙස දැන් වූ බවද පරමත්ත දීපනියෙහි පවසනවා. මෙයට මඳක් වෙනස් ලෙස, ඒ වෙළෙඳ දෙබෑයන් අසිතංජන නුවර කෙළෙඹි ගේක උපන් බවද ඉහත සඳහන් පරිදි ඔවුන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා සමීපයෙන් යන විට එක් දේවතාවක්හු ගොනුනට ගැල් ඇද යෑ නොහැකි සේ සැලැස්සූ බව ද ඔවුන් ගැල් ගෙන යෑ නොහැකිව කරදරන දුටු දේවතාවා එ පිරිසේ එක් පුරුෂයකුට ආවිෂ්ට වී අතීත ආත්මයෙහි තමා ඔවුන් ගේ මවු බව කියා භාග්‍යවතුන් වහන්සේ ගේ තොරතුරු ද දවා දන් දීමෙහි ඔවුන් මෙහෙයූ බව ද මනෝරථ පූරණයෙහි සඳහන් වනබව බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහනායක හිමිපාණන් වහන්සේ විසින් බුද්ධ චරිතය ග්‍රන්ථයේ උප ග්‍රන්ථ නම් ශීර්ෂය යටතේ පවසනවා.
සතරවරන් දෙව්රජවරුන් විසින් දෙනු ලැබූ පාත්‍ර සතර එකක් බවට පත්වීම.
වෙළෙන්දෝ ද දේවතානුශාසනය පරිදිම භාග්‍යවතුන් වහන්සේ කරා එලැඹ විළඳිනුත් මී පිඬුයෙනුත් උන්වහන්සේ පුදනු ලැබුවා. එහෙත් එය පිළිගන්නට භාග්‍යවතුන් වහන්සේ සතුව කිසිම භාජනයෙක් ඒ වනවිට තිබුණේ නැහැ. ඒ නිසාම “කිමෙකින් මෙය පිළිගනිම් දැ”යි උන්වහන්සේට සිතෙක් වුණා. ඒ මොහොතේම උන් වහන්සේ ගේ චිත්තාවාරය දත් සිවුවරම් දෙව්රජහු මුං වන් ගල්මුවා පාත්‍ර සතරක් ගෙනවුත් පිළිගන්වනු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ ඒ පාත්‍ර සතර ම අධිෂ්ඨාන බලයෙන් එකක් කොට එයින් යටැ කී දෙ වෙළෙඳුන් දුන් අත් සුණු හා මී පිඬු පිළිගෙන වළදනු ලැබුවා. එයත් බුද්ධත්වයට පෙර සුජාතාව විසින් පිළිගන්වනු ලැබූ කිරිපිඩු දානය මෙන්ම සසර පුරාවට පෙරුම් පුරමින් පැමිණ ලබාගත හැකි තවත් අති දුර්ලභ ගනයේ දානමය පින්කමක්.
ආනුපුබ්බී කථාව
මෙලෙස බුද්ධතවයෙන් දින සතළිස් නවයක ට පසු ඒ සුමිහිරි දානය වැළඳු උන් වහන්සේ ඔවුනට භූත්තානුමෝදනා වශයෙන් ආනුපුබ්බී කථාව* (අනුපිළිවෙළ කථා) වදාරනු ලැබුවා. බණ ඇසූ ඔවුහු ද “වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේත් ධර්මයත් සරණ යම්හ. අද පටන් දිවි හිමි කොට. බුදුන් දහම් සරණ ගිය උපාසකයන් හැටියට අප සලකන සේක් වා”යි කියා සරණ ගියා පමණක් නොවෙයි බුදුන් සරණ ගිය ප්‍රථම උපසකයන්ද ඔවුන් වුනා. . ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නමින් පිදීමට වස්තුවක් ඉල්ලූ ඔවුනට කේශධාතු මිටක් දෙනු ලැබුවා. ඔවුහු රන් කරඬුයෙන්, ඒ ගෙන ගොස් සිය ජාත භූමිය වූ අසිතංජන පුරයෙහි චෛත්‍යයක් තැනවූ බව සඳහන්.
*ආනුපුබ්බී කථා නොහොත් පිළිවෙළ කථා නමින් සඳහන් වන්නේ ශ්‍රාවක හමුවකදී බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ සංවාද ක්‍රමයයි. යම් අවස්ථාවක යම් පුද්ගල හමුවකදී බුදුරජාණන් වහන්සේ අවස්ථානුකූලව හා පුද්ගල චරිත කෙරෙහි වඩා අවධානයකින් දහම් දෙසීම සිරිතයි. සෑම දෙනාටම එකම දහම් දෙසීමේ පිළිවෙතක් නැත. ඒ නිසාම ආනුපුබ්බී කථා පිළිවෙළ නමින් දාන කථා, සීල කථා, සග්ග කථා, කාමයන්හි ආදීනව හා එහි නික්මීම, (දාන කථාව, සීල කථාව, සග්ග කථාය නෙක්ඛම්මේ ආනිසංස ඔකාරෙ සංකිලෙසා) ආදී වශයෙන් ශ්‍රාවක මනස අගාරික ජීවිතයෙන් අනගාරික දිවි පෙවෙත වෙත යොමුකරයි.
උපග්‍රන්ථ
ජාතකටඨකථා
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ විසින් රචිත සිද්ධාර්ථගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථය.